
නුඹ මගේ
පහන් තරුවට අත වනා හිරු ගාටමින් අැවිදින්
පවන් රොදකට රහස් මුමුනයි සිසිල හුරු කරමින්
දෙනෝදාහක් දෑස් අතරින් නුදුටු නෙත් සොයමින්
ගෙවුණු මොහොතක් දැනුණා සත්තයි කල්පයක් විලසින්
සසර පෙර දා දැනුණා හුරු බව ආයෙමත් දැනුණා
ස්නේහයේ සුව සුවඳ කුසුමක් හදවතේ පිපුණා
අපි අපේ නෙත් වලම පැටලි මොහොතකුත් ගෙවුණා
රත්තරං මට තවම මතකයි මාව හිරිවැටුණා
හිතේ හිරවුණු දහසකුත් දේ කියන්නට තිබුණා
කඳුළු ඇවිදින් දෙකම්මුල් පෙති මතින් බිම වැටුණා
අැඟිලි තුඩු අග සෙමෙන් අතැගිලි නොදැනීම බැඳුණා
මින් පෙරදී අප මුණගැහුණා නම්, කියලා මට සිතුණා
කියාගන්නට බැරි තරම් මට ආදරේ දැනුණා
නුඹේ උණුහුම දැනෙන හැම විට සැනසුමක් දැනුණා
දෙතොල් පෙති අඟ සෙමෙන් තැවරුණු සිසිලසක් දැනුණා
මගේ පණ මේ ඇත්තමයි නුඹ මගේ බව දැනුණා
සිතුමිණි මධුෂිකා
සොඳුරු සිහිවටනේ
යමුනා නිදි තෙර ප්‍රේමයෙ සිහිවටනේ
ඉදි වූ අපූරුව මන්මත් කරවන්නේ
සොඳුරුම පෙමක මහිමය ලොව පතුරන්නේ
ටජ් මහලටත් කණ කොක් හඬ මතු වන්නේ
සෙනෙහස පුදන්නට හදවත පතුලෙ උපන්
ෂා-ජහන් රජු ඉදිකළ මුම්ටාස් වෙනුවෙන්
මුළු ලොව මවිත කළ ප්‍රේමයෙ සිහිවටනින්
යුගයක් කියයි දඹදිව්පුර අතීතයෙන්
කම්හල් වලින් පිටවන විෂ වායු වලින්
අම්ල වැසි වසී නැහැවී දුඹුරු වතින්
වාහන දුමට නිරතුරුවම ගොදුරු වෙමින්
විනාශයට මහ දොරටුව විවර කරන්
සිව් සිය වස් කිරි ගරුඩෙන් බැබළුණද
අව පැහැ ගැන්වී හිස මුදුනේ වෙනස අද
පරිසර බලපෑම තර්ජනයකි නොමද
විස්මිත ඉන්දු රත්නය රැක නොගනිමුද
සුවහස් ජනී ජන මෙන් ගොඩ ගලන සිඳු
වගකිව යුත්තෝ නොමහැර නොසිත ඉඳු
පිවිතුරු පෙමක් ගැන නැත දැන් එදා බදු
පිසලනු මැනවි ටජ් මහලේ කඳුළු බිඳු
අමිතා කුමාරි දිවාරත්න
මිනිසුනේ
නැති දා දුක බෙදාගෙන බත් පත කෑවත් එකට
ඒ අයට ලැබෙන කොට මුල අමතක කළාට
හිතුවෙ නෑ කිසිවෙකුට බොරු වළවල් කපන්නට
හිතුවෙ කාටත් හැකි ලෙස දුකේදී පිහිටක් වෙන්නට
බැංකුණය හතර වටින් අරගෙන මාලිගා හැදුවට
හිතට වද දිදි මැරෙන තුරු රෑ පුරා සිනහ මැවුවට
මරණය සදහටම තම හිතින් අමතක කර දැමුවට
මිනිස්සු නොමැරි සදහට ම ජීවත් වෙන්න හැදුවට
මහ මඟ හිටියත් මාලිගා ඇතුළේ හිටියත් එදාට
සල්ලි මිටි බැදන් කොපමණ සැප සම්පත් වින්දට
එනවා දිනක් මගෙ කියන සියල්ල ම දමා යන්නට
මිනි පෙට්ටියක් ඇතුළෙ පොළවට පස්වන්නට
කසුන් ලක්ප්‍රිය
දුකින් එතෙර වීම
දුක දරා සිටින මට
සඳවතිය කියන්නේ
දුක් සිත සනහා ගන්න
මාවතක් ඇත ඔබට
එනු; යන්න මා සමඟ
දුර ගෙවා යනෙන මඟ
කිසා ගෝතමී ගයයි
නිබ්බුත පද
අසා සිටියෙමි සැනසුණේ නැත හද
පටාචාරා මෙහෙණි
දුක් නිවා ගත් ලෙසට
ඉඟි කරයි මා දෙසට
සඳ ගොසින් නැවතුණේ
දෙව්රම් වෙහෙර ළඟ
දොහොත් මුදුනත තබා වඳින්නී
හැඳින්නෙමි.
විශාකා මහ මවු තුමිය
වැඳ වැටී දුක කියමි
මම බුදු හිමි නැමද
ලෝ සියලු සත වෙතට
කරුණාව පෙර දැරිව දම් දෙසා
මා වෙත දුක් තැවුල් සැම
එතෙර කරන්නෙමි: දුක් සසර
කමලා ධර්මලතා ජයසූරිය
හිරුට
කවියන්ගෙ කවිවලට මගේ වත උල්පතක්
සිනාසෙන තරු කැකුළු මා වටා පිරිවරක්
සුමුදු මුදු රැස් දහර මුළු ලොවට සැනසුමක්
රැ අහස සරසන්නේ වෙන කවුද මා මිසක්
කවුරුත්ම නෑ දන්නෙ මගෙ ලොවේ ඇති රහස්
මා සතුටු වන දවස අමාවක පෝ දිනක්
ඔබ සොයාගෙන එන්න නෑනෙ මට ඉවසුමක්
අපේ පෙම ගැන දන්නේ වෙන කවුද අප මිසක්
එළිය විහිදුවන්නට මට කොහිද හැකි කමක්
මගෙ අගය අඩු වේවි ඒ රහස හෙළි වුණොත්
එපා නුඹ කියන්නට කිසි කලෙක ඒ වගක්
මට එළිය ගෙන එන්නෙ වෙන කවුද නුඹ මිසක්
මේ එකම අහස් කුස නුඹට මට නිවහනක්
නුඹ ඉවත යන විටදි එය මගේ උරුමයක්
හැබෑ කරගන්න මම පතමි එක සිහිනයක්
එක අහසෙ අප දෙදෙන එකට හිනැහෙන දිනක්
ගයානි දිසානායක
නොකිලිටි
විඳ දුක් කන්දරා සිත තුළ යොමාවා
ඩහදිය පෙර පෙරා නිති සියොළඟාවා
දිවි සරි කරන්නට ගත් තැන මනාවා
නොපමා වන්ට නුඹ සිතුවා සොඳාවා
අගුපිලක නිදන නුඹ
වකුටුව කුරුමිට්ටකු සේම
දකින්නේ කුරුමිටි නොව
සද්දන්ත ගලිවර හීනය
නැව් වගේ රථවලින් පැන දුවන
විකුම් තේජ බල ඇති මහතෙකු දකින
සිහිනය මොන පාට දැයි නොදැනම ඉතින
අතපා ඉතින් නුඹ තව හිඟමන් යදින...
අඹුවත් සමඟ විරසක වී කොටු පනින
නොදැමුණු ගජ සිතුම් එහෙ මෙහෙ පැන දුවන..
සැමි වෙත වෙර බැඳන් වට පිට පෙම් කෙළින
උන්ගේ තතු එහෙම බව මදකුදු නොදැන
හිනාවක් පපා නුඹ හිඟමන් යදින
කිලිටි ගතින් වුව කිලුටක් නැති සිතින
එහෙට මෙහෙට නුඹෙ කණවැල ගෙන අදෙන
නුඹත් සමඟ සසරේ සරනා ඇයම
රැජනක් බව නුඹට වැටහෙන්නේ කෙදින...?
විලවුන් සුවඳ ගල්වාගත් බිසෝවරු
මත් සුව රතින් ඔකඳ වු සිටුවරුන් විරූ
ළඟ නැති සුවයකින් නුඹලා වේය සරූ
උනුනුන් බැඳි පෙමින් නුඹලාය - රජවරු !
යමුනා මාලනි පෙරේරා
අබුද්දස්ස කාලය
පවස නිවනට තම ගෙවත්තේ පුංචි ළිඳ නිති පිහිට වන මුත්
මනස අදමිටු පළ කරන්නේ සයුර දෙන බැව් සියලු සම්පත්
සිරස නමමින් රුහිරු හෙළුවද දොසක් මිස නැත හොඳක් කවදත්
කුකුස රඳනා හදක් ඇදමය කෝවෙ මකලා නැවත ගත්තත්
කොකා නිලඹර පියා හැඹු කල සැඟව උන් සුද නෙතු ගැටේවී
මකා දැමුවද සිහින ලොවකදි සැබෑ පතිදම නොමැකි යාවී
නොකා හිඳුමට නිති වරම් ලද යදින්නා වුව රස වනාවී
ක-කා බත් පත එහිම පහරන සතුන් අද හැම තැනම බෝවී
පියුම අසලම රැඳෙන මැඩියා හමන සුවඳින් පිනා යේවිද
රැයම අඳුරුව පහන් වුවද කණා පසුදින හිරු දකීවිද
තරුම පායා අඹර දිලුණ ද සඳක් නැති කල එළිය දේවිද
ධර්මයට පිටුපාන මිනිසා සසර සයුරෙන් එතෙර වේවිද
සඳුන් විජේසිරි
මිම්ම
ඉසුරින් මිනිස්කම
මනිනු නොමැනවි කිසිවිට
අබතුරු වොරැඳි ගුණ
ගනිමු සැම කල් මිනුම් දඬුවට
දළුපත - පිලීෂියන්
පණ ගැහෙන නුඹෙ අකුරු
දිවි මගෙහි කඩ ඉමක්
දිනන පැතුමින් මහරු
ලොවක් වටිනා උතුම්
ශිල්ප කැටිකළ අකරු...
නොසිතු මහ සම්පතක්
රැගෙන විත් හිත මිතුරු
නිදි නොමැති රෑ පුරා
ළඟින් හිඳ ලියු අකුරු...
ලද පුංචි විරාමෙක
ගයා ගී පද මියුරු
නුඹ කවුරුදැයි අසා
ලියා දුන් කවි අකුරු....
සොඳුරු වූ මතකයන්
සීරුවට ගෙන ඇතිරු
මහා දිග කතාවක
ඇරඹුමක් වූ අකුරු....
එලෙස ඉපදුණු බැඳුම්
නුඹට වූවත් නිසරු
බොහො මතක ඉතිරි කළ
නුඹේ මුතුකැට අකුරු...
නිමා කළ පිටු අතර
නුඹ නික්ම ගිය අයුරු
ඒත් මගෙ නොතනියට
ඉතිරි කර ගිය අකුරු.....
නිරතුරුව රිදවුවත්
උතුරවා නෙත් ඉවුරු
අදත් මගෙ හිත පුරා
පණ ගැහෙන නුඹෙ අකුරු...
නදීරා රෝෂීණී නල්ලපෙරුම
ඇය එන තෙක්
අකුරු කරවා වියරු උපදෙස් පුරන්වී කාලයක් ගෙවලා
අතුරු වැසිවට ලියදි පොඟවා නැවුම් සුවඳක් සිතට එබිලා
නුහුරු නොපුරුදු නොවන රහසක් මගේ තනියට තුරුලු කරලා
දෙගුරු පායේ දවසරියි ඇය පුර දෙපෝයක නිමිති දැකලා
සිහිල් හිමිදිරි පින්න පාකොට සුමුදු දෑතක පහස ලබමින
හවුල් වී උණුසුමට තුරුලුව කුසේ ගින්දර නිවා සැනසුණ
නොකල් මෙහෙවර විරාමය ලැබ දුම්මැස්සෙ පිළිවෙළට ඇහිරුණ
අවුල් වී බොල්හඬ නගයි හැළිවලන් මී පුර වැසියො පිළිගෙන
පද්ද පද්දා තාලයට ඇඹරෙමින් සිපගත් ගෙබිම මන හර
රෙද්ද එළමින් දිගාවන්නට නොදී මැසිවිල්ලකට අවසර
සද්දෙ දැමීමට ගෙමිදුලේ හිඳ රෑ පුරාවට බලු බළල් පොර
වැද්ද නොගනී එදා වගේ කොස්ස මුස්සනය පුරුදු හරසර
වයන ගී තනු කනට ළංකර සොඳුරු සිහිනය මුදවමින්
අනින හී තුඩු දැනෙන නොදැනෙන මායිමේ පලු වගා කරමින්
දැහැන බිඳවන මසිත හඳුනා සතුරු මඟ අවුරාලමින්
නොගෙන බිය සැක රැදෙන් ම මිතුර දැල වියාගෙන රටා දමමින්
පුතුගෙ තනියට මල්ලි පැටියෙක් ගෙනැත් දෙන්නම් කියා හිනැහෙන
නෙතුපියන් අඩවන් කරන සඳ ඉගියකින් මා සිතැගි හඳුනන
මුතු පොටක්වී ඇයගෙ ගෙලවට ආදරය දෙපසට විදාලන
සතුට උතුරා ළඟාවෙයි හෙට තරු කැකුලියක් තුරුලු කරගෙන
දේනුවල තිලකරන්න
කොහා ඇවිත්
නිම විය නොදැනීම සිංහල අවුරුද්ද
නොඇසුණි දෙසවනට කෝකිලයගෙ සද්ද
තෙමඟුල් දිනේවත් ඇහැ ඇරුණේ නැද්ද
දැන් ඇහෙනවා ඉමිහිරි කෝකිල සද්ද
නිවසේ කැවිලි නොහදන බව දැනුණාද
අවුරුදු සිරිත් විකිණෙන හැටි පෙනුණාද
පතුරන්නේ නැතිව ඔය ඉමිහිරි නාද
සිත කලකිරී නුඹ නිහඬව උන්නාද
ඇසුණෙ රතිඤ්ඤාවල අඬහැරයක්ය
නැතිවම කොවුල් නද ගතවුණ දිනයක්ය
නිහඬව සිටියෙ ඇයි අප හට පැනයක්ය
පිළිතුර දන්නෙ කොවුලෝ නුඹ පමණක්ය
මානෙල් බමුණුසිංහ
එතෙර කවිය
ඔබේ හැඟුම් තුළට වදින්න
Get into your Imotions
ඔබේ ආත්මිය අගය කිමිදුමක් කරන සඳ
අරඹයි ඔබ ප්‍රශ්න කරන්නට ඔබේ වටිනාකම
විමසයි ඔබ හේතුව, ඔබ මෙහි සිටින්නට
දිනා තිබිය යුතු නැතිද ඔබ, මෙයට වැඩි යමක්?
හැඟෙනුයේ කිම ඔබට, එකම තැන, එකම තත්ත්වයේ ගැලි බවක්?
නැතිද ඔබ සපුරා තිබිය යුතු, අත් කරගෙන තිබිය යුතු වැඩි යමක් ?
විටෙක සිතුවිලි ඔබේ, ගෙනෙනු ඇත ඔබ තැනකට
ඔබගේම හැඟුම් ඔබට නොරිසි වන
මුත් එයද රැසකින් එක් මුහුණතකි. ඔබ වැලඳගත යුතු
කම් නැත හැඬුවද ඔබ අද,
තවම දිවමන්ය ඔබ,
අරමුණක් උදෙසා හඟිනු හැකිය තවමත්
බිය නොවන්න, ඔබේ හැඟුම් තුළට වදින්නට.
විය හැකිය එය විරේචනයක්.
නොතකා නොසිටින්න ඔබ හඟින දේ.
සක්‍රීය වන්න ඒ ඔස්සේ.
විල්මා නීල්ස් - දකුණු අප්‍රිකාව
කිවිඳිය පාඨකයා අමතමින් ආත්ම ගවේෂීය ප්‍රශ්න කීපයක් මතු කරයි. ඒ, ඇතැම් විට කෙනෙකු තමන්ගේම ආත්මයෙන් අසන ප්‍රශ්න විය හැකිය. මෙබඳු විමසුමකදී ලැබෙන පිළිතුරු විටෙක සතුටුදායි නොවන්නට පුළුවන. එහෙත් එයින් විස්සෝප නොවී දිරිමත් විය යුතු බවයි කිවිඳියගේ දෘෂ්ටිය. හැඟුම් නොතකා නොසිට, ඒවා තුළින්ම ඉදිරියට යන්නැයි කිවිදිය අවසන දෙන උවදෙස අගනේ යැයි හැඟේ.
විල්මා නීල්ස්, දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ ඉපිද, දැනටත් එහිම වෙසෙන, සුදු ජාතික නුතන කිවිදියකි. දෙසැ. 25 තම උපන්දිනය බව දක්වන ඇය, නව පුදුම හතෙන් එකක් වන අත්‍යලංකාර විස්මයාහවාහ Table Mountain කන්ද ඇගේ උදා නැරඹුම් ඉලක්කයන් ගෙන් එකක් බව පවසන්නීය. “whispers From My Soul” ඇය 2012 දී පළ කළ පැදි සරණියයි.
දේ. වී. ගාල්ලගේ