බදු ගැනීම | සිළුමිණ

බදු ගැනීම

බදු අය කිරීම හා වැය කිරීම ගැන කතා බහ නොවන කාලයක් ඇත්තේම නැත. බද්ද ඇතුවත් බැරි නැතුවත් බැරි ක්‍රියාදාමයකි. ඕනෑම රටක මේ කාරිය කෙරෙයි. රටක් ආණ්ඩු කිරීමේදී අවශ්‍ය මුල්‍යමය ධනය වැඩිමනත්ව රැස්කරනුයේ බදු අය කිරීමෙන්ය. රාජාණ්ඩු, ප්‍රජාතන්ත්‍රවාදී ඒකාධිපතිවාදී‍ හෝ සමාජවාදී ඕනෑම රටක පාලන කාලය තීරණය කිරීමේ හැකියාවේ වැඩි බරක් ඔවුන් පනවන බදු මතම සිදු වේ. වර්තමානයේ මෙන්ම ඈතම අතීතයේදී ද මේ පිළිබඳ “බදු සුත්‍ර න්‍යාය” යන් පැවතිණි.

බදු වර්ග රාශියක් ඇත. පෞද්ගලික බදු දීම එකකි. තමන් සතු යම් වටිනාකමක් ඇති, යාන වාහන, උපකරණ සත්ව සම්පත්, (ගව, අලි) ගෙවල් දොරවල්, භූමි ඉඩම් බදු දී මුදල් රැස් කරගැනීම ඉන් සිදු වේ.

නොයෙකුත් මුල්‍ය පහසුකම් සපයන සමිති සමාගම් සේම පුද්ගලයෝද එම කාරිය කරති. බදු ප්‍රධාන කොටස් කීපයක්ම පවතී. සෘජු සහ වක්‍ර, කෙටිකාලීන, දිගුකාලීන වශයෙනි. ආයතන හෝ පුද්ගලයින් මේවා කරන්නේ ලාභ ඉපයීම සඳහා ය. අවශ්‍යතාව ඉහළ යන විට කුමන අලාභයක් වුවද තමන් සතු දේ බදු දීමට අප පෙලඹීමද මනුෂ්‍ය ස්වභාවයකි.

බදු හා බැඳුණු කතාබහ, උපමා උපදේශන පාඨ, එමට ඇත. සමාජ යහ පැවැත්මට සේම, උපහාසය අපහාස පිණිසද ඒව‍ායේ දී ඇත.

“වත්ත බද්දට දී ඇස්සට දත නියවන්නා සේ” එයින් එකකි. පොල්වතු බදු ගන්නා බොහෝ අය බදු කාලය අවසන්වන තුරුම වෑවර (කුරුම්බා) ගෙඩියක්වත් නොමිලේ හිමිකරුට නොදෙති. රට රාජ්‍යයන්ට ගිවිසුම් පිට ආයතන භූමි, බදු දුන් විට සිදු වන්නේද මේ ටිකමය.

බදු ගන්නා රීරි මාංසයත් හුරාගෙන කාබී සතුටු වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකිය. බදු ගැනීමේදී දෙපාර්ශ්වයටම හානි නොවීම පිණිස, නීති , රෙගුලාසි පනවා එකඟතා ඇති කර සුරක්ෂිත භාවයට කටයුතු කෙරෙන අවස්ථාද පවතී.

අපේ ගම්වල ඇතැම් අය පිටස්තර අයකුගෙන් යම් වුවමනාවක් පිරිමසාගෙන අත‍නොහැරම එහි ඇලී ගැලී සිටින විට කියන්නේ “මිනිහා හරියට බදු ගත්තා ව‍ාගේ” කියාය.

රජය පුරාණ කාලයේදී මෙම බදු එකතු කිරීම උදෙසා යොදාගත්තේ ගමෙන් පත්කරගත් “බද්දේ රාල” නම් නිලමක්කාරයින්ය. අද ඇත්තෝ මෙන් වංචාවක් ‍නොකළ ඒ ඇත්තෝ තීන්දු තීරණ ලැබගත් “වර්ග සභා” නම් ප්‍රාථමික අධිකරණයේ සාමාජීකත්වයද දැරීමට පවා පාරිශුද්ධ වුහ.

රජ කාලේ රට පාලනයට අවශ්‍ය මුදල් උපයා ගැනීම අද සේම බදු අයකිරීමෙන් සිදු වී ඇති බව ඉතිහාස කථා, සෙල්ලිපි, හා ටැම් ලිපි, කියවීමෙන් සනාතවෙයි.

වැරදි විදිහට ජල පරිහරණය කළ ගොවියන්ට හිමිව ඇති භූමියෙන් බලන ආදායමින් දඩ ගෙවීමට ද සිදු වු අයුරු කොණ්ඩු වටුවාන ශිලාවේ “අක”එකක දඩයක් නියම වී තිබීම මීට හොඳ උදාහරණයකි.

රජ කාලේ රජයේ බදු ප්‍රතිපත්තිය වුවේ “මල නොතළා‍ රොන් ගන්නා මීමැසි න්‍යායයි.

පොල්, තල්, කිතුල් රාමදින්නා පදම් කරගත් මළ ඉතා සියුම් කොටසක් කප්පාදු කර වැඩි තෙලිජ්ජ ප්‍රමාණයක් ලැබගත් ලෙස බදු ගැනීම ද කළේය. අය බදු රැස් කරන බද්දේ රාලවරුන් රජයට බදු සක සුද්දෙට රැස් කර දුන් සේම රට කර වු නිලමක්කාරයෝ තම සුඛ විහරණයට අද පාලකයින් මෙන් ඒවා යොදා නොගති. අහස් කුස සිප ගන්නා චෛත්‍යන්ද, සමුදුරු පරදන වැව් අමුණු ද ඉදිවුයේ ඒ මුදල් වලින් ය.

අපේ අත්තප්පලාගේ කාලය වන විටත් රාජකාරියේ පිරිසිදු බව මනාව ඉටුවුණි.

රජයේ බදු ඉඩම් වලින් ද සින්නක්කර හෝ පරවෙණි ඉඩම් වලින්ද බදු රැස් කිරීම වෙනුවෙන් ඒ ඇත්තන්ට ලැබුණ ආදායම සඳහන් කළේ “ගම්ව සම්පංගුව”ව‍ශයෙනි. පසු කාලයේ වැව සහ වෙල හරියා කාරව නඩත්තුකර පාලනය කළ වෙල් විදානේ, වෙල් මුලාදෑනි ඇත්තන්ට “සලාරිස්” නමින් වී කොටසක් එකතු කරනු ලැබුණේ ද මේ “ගම්වසම් පංගුව” ක් ලෙසටය. ගමේ පොදු කටයුතු කරන ලද “ගම්සභාවට” එකතු කර දුන් බද්ද “පනම් බද්ද” ලෙස නම් කෙ‍රිණි.

ගමේ වැවේ හොරොව්ව ආසන්නයේ තිබු ගහ “පනම් බැඳි ගහ” වුයේ ‍ගොවිතැන හා වැව් ආරක්ෂාවට දෙවියන් උදෙස බාරවී මේ ගහේ (පඬුරු) පනම් බැඳීම නිසාය. කාරිය නිසි ලෙස ඉටු වු පසු ලැබෙන සියලු පුද පුජා උපකරණාදිය බැන්ද පනමට ලැබෙන “ බද්ද” සේ සැලකිය. “පනම්” බණ්ඩාර දෙවියන්ට සේවාවට බදු ලෙස පුද පුජා ලැබීය. රුහුණු, මායා, පිහිටි, ලෙස රට පාලන බල ප්‍රදේශවලට බෙදුණ කාලේදී ප්‍රදේශයකින් තවත් ප‍්‍රදේශයකට බඩු භාණ්ඩ ගෙන යන විට ද බදු අය කළේය. එතැන “කඩවත” යයි නම් විය.

රට පුරා “කඩවත”නමින් නම් හමු වන්නේ ඒ නිසාය. කොළඹ රටේ මහර “කඩවත” මැදවච්චිය ආසන්න උතුරු ඉසව්වේ ඇති “කඩවත් ගම” මින්නේරිය දඹුල්ල මාර්ගයේ “කඩවත” ගමද මීට නිදසුන්ව දැක්විය හැකිය. කඳුරටේ ද දකුණේ ද කඩවත් හමුවේ. ඉංග්‍රීසීන් බදු එකතු කළේ පීස් ඔපිසර මගින්ය.

“සුංගං” ලෙස නම් කෙරී ඇත්තේද බදුය. යක්ෂගෝත්‍ර ඥාතීන්ගෙන් පැවත එන කථා හා ළමා නැළවිලිවලද “සුංගං” ගැන කියවෙයි.

“ආටක, නාටක වේ පත සුංගං

‍කෝඩි අලප්පන් ආං

බාන් බුන් මුස්”

කියා බදු නොගෙවා යක්ෂ ඥාතීන් බදු මඟහැර පැන ගිය බව අපේ කථාබහ ජනශ්‍රැතියේ කියවෙයි. මේ අසුරෙන්ම ළමා ප්‍රීති ක්‍රීඩාවක ද ගායනා පවතී ඒ මෙසේය.

“ආනා රූනා රූණු කටුස්සා

වේ ගෙඩි, වේ පළු

බාං බුං ටුස්”

වේ ගෙඩි, “වී” ධාන්‍ය යයි වේ පළු සහල් ලෙස දක්වයි. අප ‍යටත් කළ බටහිරයන් ( සුද්දා) අපේ ඉහ මොළ කන බලු බදු කුකුළු බදු, පොල් ගස් බදු, කුඹුරු බදු, පාරු බදු, ඇඟ බදු පැනැ වුහ. සීහලයන් ආණ්ඩු වීරෝධී කැරලි ගැසුව්ද මේ බදු මුල් කොටය. මේ ගැන කිපුණු අපේ ඇත්තන්ගේ මතය කවි කොළයකට ගොනුවී තිබුණේ මෙසේය.

“බල්ලට, හරකට, කුකුළට, බළලට සේරෝවම

බදු ඉල්ලන්නේ

සේරොම අරගෙන අවසානේ දිමුං ඇඟ බද්දක් අය කරගන්නේ

විලි ලැජ්ජාවක් නැති සිංහලයෝ ටික ඉල්ලන

සේරම දන් දෙන් නේ

ගැහැනු ටිකත් පර සුද්දට දීලයි අවසානේදි මුං නවතින් නේ”

බදු පැන වීමත්, ගෙවීමත් රටක පැවැත්මට අත්‍යඅවශ්‍ය අංගයක් වෙයි. ඒත් ගන්නා බදු මුදල් පාලකයන් හරි හැටි භාවිතා නොකරයි නම්, තම සුඛ විහරණයට ම යොදා ගනී නම්, බදු ගෙවන්නන් කට්ටි පනී නම් එතැන ඇති වන්නේ පරිහානියකි.

 

Comments