සාහිත විචාරය කතුවර සීමාවෙන් ඔබ්බට යා යුතුයි | සිළුමිණ

සාහිත විචාරය කතුවර සීමාවෙන් ඔබ්බට යා යුතුයි

පාඨක රුචිය නංවාලීම තමයි විචාරකයාගේ මූලික කාර්යභාරය. ඒ සඳහා විචාරකයා සාහිත්‍ය කෘතිය සහ ඒවාට තුඩු දුන් මූලාශ්‍රයන් විශ්ලේෂණය කළ යුතුයි. මේ විශ්ලේෂණය විචාරකයා ඉතාමත් සුපරික්ෂාකාරීව සිදු කළ යුතුයි. මෙහිදී අප අමතක නොකළ යුතු කරුණක් තිබෙනවා. සාහිත්‍ය විචාරකයා කියන්නේ අප මානනය කරන සමාජයේ නිෂ්පාදනසම්බන්ධතාව ඇති කරන පුද්ගලයා බව. සාහිත්‍ය නිර්මාණය, රස විඳීම, විචාරය යන ක්‍රියා ත්‍රිත්වයෙන්ම යුක්තයි‍.

 

විවිධ විෂය යටතේ ග්‍රන්ථ ප්‍රකාශනය වර්තමානයේ විශාල වශයෙන් සිදුවන අතර එම කෘති විචාරයට ලක් වීම ද දක්නට ලැබේ. මෙහිදී විචාරය ගැන සැලකිලිමත් වුවහොත් මේ විචාරය ගුණාත්මකව පිළිගත හැකි මට්ටමක ඇතිදැයි විමසා බැලිය යුතුය. සාහිත්‍ය කෘතියක් විචාරය කිරීමේදී එය නිර්මාණය කළ පුද්ගලයා පිළිබඳව ද බොහෝ විචාරකයෝ අමතක නොකරති. කෘතිය නොව පුද්ගලයා ප්‍රමුඛ කර ගනිමින් සාහිත්‍ය කෘතිය ඇගයීමට පාත්‍ර කිරීම අද කියවන්නට ඇති විචාර අතර සුලබ වුව ද විචාරය පැත්තෙන් ගත් කල එය දුර්වලතාවකි. මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අංශ ප්‍රධානී ආචාර්ය ලතා ගුරුසිංහ මහත්මිය සමඟ කළ සාකච්ඡාවක් ඇසුරෙන් මෙය සැකසිණි.

 

සාහිත්‍ය යන්නෙහි අර්ථය පැහැදිලි කළොත් සාහිත්‍ය කියන්නේ භාෂාව මාධ්‍ය කොට ගෙන මිනිසුන් අතර ඇති වන ක්‍රියාවලියක්. තවදුරටත් විස්තර කරනවා නම් සමාජයේ සමාජික මිනිසාට වඩා පරිපූර්ණ සුපිෂ්පිත සුසංවාදී ජීවිතයක් සඳහා දරණ අනවරත අරගලය භාෂාව මඟින් ප්‍රති නිර්මාණය කිරීමේ පරිශ්‍රමය තුළදී පාඨකයා අත්පත් කරගන්නා ඥාන විශේෂණ කුසලතා නිපුණතා ආදිය මේ ප්‍රති නිර්මාණවලට ඇතුළත් වෙනවා. ඒ නිසාම සාහිත්‍යයේ ඥානය ගැබ් වෙනවා.

 

ඔබ කියන සාහිත්‍යය ඥානය මේ පරම්පරාව සඳහා පමණක් ද?

නැහැ. සාහිත්‍ය මේ පරම්පරාව සඳහා පමණක් නෙමෙයි. මතු පරම්පරාව සඳහා ද වටිනාකමක් අත්පත් කර දෙනවා. අනෙක් සුවිශේෂීම දෙය තමයි පුද්ගලයකු ගේ ජීවිතයට සතුරුව පවත්නා සමාජ තතු ඉක්මවා යෑම සඳහා අවශ්‍ය වන, පාඨකයන්ගේ විමුක්තිය සාහිත්‍යයේ අන්තර්ගත වීම. සාහිත්‍ය සම්බන්ධයෙන් ගත් කල එය වටිනාම අංගයක්.

 

ඔබ කියන්නේ සාහිත්‍ය ඇසුරු කිරීමෙන් පුද්ගලයාගේ ඥාන මණ්ඩලය ප්‍රසාරණය වෙන බවද?

ඔව්. පුද්ගලයාගේ ඥාන මණ්ඩලය පමණක් නෙමෙයි භාව මණ්ඩලය ද ප්‍රසාරණය වෙනවා. සාහිත්‍යයෙන් ඵලදායී ජීවිතයකට ආරම්භයක් සලස්වා දෙනවා. සාහිත්‍යකරුවා ආරම්මානනය වන්නේ අපි ජීවත් වන ලෝකයයි. මේ ලෝකයේ යථාර්ථය එනම් දෘෂ්‍යමානය ප්‍රපංච සහ සැබෑ පදනම එනම් එහි සාරය ග්‍රහණය කොට එහි යථා ස්වභාවය සාහිත්‍ය මඟින් රඳවා ගන්නවා.

 

යථා ස්වාභාව හඳුනාගැනීමට සාහිත්‍යකරුවා යම් ප්‍රගුණ කිරීමක් කළ යුතු ද?

ඔව්. සාහිත්‍යකරුවා ලොවේ පවත්නා සම්ප්‍රදායන් මැනවින් ප්‍රගුණ කළ යුතුයි. පැරැණි සාහිත්‍ය කෘති සහ නව සාහිත්‍ය කෘතීන් පිළිබඳවත් ඒ සමඟ ගැටෙමින් නැවුම් අන්තර්ගතයක් සහිත අපූර්ව නිර්මාණ ඉදිරිපත් කළ යුතුය.

 

සාහිත්‍යකරුවාගේ ලිවීම තහවුරු කිරීමක්, ඇගයීමක් ඇතැම් විට හෙළා දැකීමක් විචාරකයාගෙන් සිදුවෙනවා. ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කළහොත්?

පාඨක රුචිය නංවාලීම තමයි විචාරකයාගේ මූලික කාර්යයභාරය. ඒ සඳහා විචාරකයා සාහිත්‍ය කෘතිය සහ ඒවාට තුඩු දුන් මූලාශ්‍ර යන් විශ්ලේෂණය කළ යුතුයි.

මේ විශ්ලේෂණය කිරීම විචාරකයා ඉතාමත් සුපරික්ෂාකාරීව සහ සිදු කළ යුතුයි. මෙහිදී අප අමතක නොකළ යුතු කරුණක් තිබෙනවා. සාහිත්‍ය විචාරකයා කියන්නේ අප මානනය කරන සමාජයේ නිෂ්පාදන සම්බන්ධතාව ඇති කරන පුද්ගලයා බව. සාහිත්‍ය නිර්මාණය, රස විඳීම, විචාරය යන ක්‍රියා ත්‍රිත්වයෙන්ම යුක්තයි‍.

විචාරකයාත් පාඨකයෙක් නේද?

ඔව්. එහෙත් ඔහු මානනය කරන දෘෂ්ටිය වෙනස්. සාමාන්‍ය පාඨකයාට වඩා වෙනස් වූ විශේෂඥ ඥානයකින් හෙබි පුද්ගලයෙක් තමයි විචාරකයා කියන්නේ. මේ නිසා සාමාන්‍ය පාඨකයාගේ ස්ථානයේ ඔහු ස්ථානගත කිරීමට නොහැකියි. සාහිත්‍ය විචාරකයාට තික්ෂණ බුද්ධියක් මෙන්ම ග්‍රන්ථඥානයෙන් පිරිපුන් හැකියාවක් තිබිය යුතුයි.

එමෙන්ම ග්‍රන්ථයේ පවතින උසස් ලක්ෂණ අවශෝෂණය කර ගැනීමේ හැකියාව පාඨකයාට තිබිය යුතුයි. එමෙන්ම ඉතාමත් උසස් වින්දන ශක්තියක් මෙන්ම පරිචයක් තිබිය යුතුයි. අනෙක් පුද්ගලයන් සාහිත්‍ය කෘතියක් පරිශීලනය කර ලබා ගන්නා නිගමනවලට වඩා උසස් තාර්කික නිගමනයක් ඔහුගේ පරිශීලනයෙන් ලැබිය යුතුයි. මන්ද සාහිත්‍ය විචාරකයා කියන්නේ ග්‍රන්ථයේ අගය මැන පෙන්වන්නෙක්. සමස්ත සාහිත්‍ය සමාජයක් ඔහුගේ ඇගයීම දෙස බලාගෙන සිටිනවා.

 

සාහිත්‍ය කෘතියක් විචාරය කිරීමේදී පොදු නිර්ණායක තිබෙනවාද?

මේ සඳහා වෙන් වූ පොදු නීතිරීති පද්ධතියක් නැහැ. සාහිත්‍ය විචාරය කිරීමේදී එක් එක් විචාරකයාට වෙන් වූ ගුණාංග සමුදායක් හෙවත් නීති පද්ධතියක් ඔවුනොවුන් සාදාගෙන තිබෙනවා. ග්‍රන්ථයක් විචාරය කිරීමේ දී විචාරකයට ඒ කෘතිය ආශ්‍රිතව පොදු විචාර නීති සමුදායක් තිබෙනවා. එකිනෙකාගේ පෞද්ගලික දැනුමේ ධාරිතාව වෙනස්. ඒ ඒ විචාරකයාගේ ඇසූ පිරූ දැනුම වෙනස්. සමාජ අත්දැකීම් වෙනස්, පෞද්ගලික අත්දැකීම් වෙනස්. මේ සෑම දෙයක්ම කෘතියක් විචාරය කිරීමෙදී බලපානවා. විචාරකයාගේ විචාරය ඕනෑම නිර්මාණයක ගුණාත්මකව ඉහළ පහළ බව තහවුරු වෙනවා.

 

ඔය විදියට සාහිත්‍ය කලාවේ ප්‍රගමනයට දියුණු විචාර කලාවක් අවශ්‍යමයි නේද?

ඔව්. සාහිත්‍ය ඇසුරු කරන පාඨකයන් ඕනෑ තරම් සිටියත්, එම සාහිත්‍ය කෘතිය උසස් කෘතියක් බව තහවුරු කරන්නේ විචාරකයාගේ ඥානයෙන්. ඒ කියන්නේ විචාරකයා කියන්නේ සාහිත්‍ය කලාවේ පිළිගත් නිර්ණායකයක් ඉදිරිපත් කරන්නෙක්. සාහිත්‍ය කෘතියක් විචාරය කිරීමේදී සිදුවන්නේ පාඨකයාට එම කෘතිය කියවීමෙන් ඇති වන හැඟීම් සහ වින්දනය හේතු සහිතව නිර්ණය කිරීමක්.

එබැවින් විචාරයක් කිසිවිටකත් අගති ගාමී නොවිය යුතුය. සාහිත්‍ය සියුණුවට දියුණු විචාර කලාවක් හේතු වන්නෙ මේ නිසයි.

අප වර්තමානය ගැන කල්පනා කරනවා නම්, විශේෂයෙන්ම සිංහල සාහිත්‍ය ගැන කතා කරනවා නම් අද බොහෝ විචාරකයන් සාහිත්‍ය කෘතිය විචාරයේදී හැඟීම් උපහාස යොදන්නේ කෘතියට අනුකූලව නොවෙයි. හැම විටම කතුවරයා සහ කෘතිය බද්ධ කිරීමෙන් යම් මතයක් ඉදිරිපත් කිරීමට ඔවුන් උත්සාහ දරනවා.

 

එහෙත් කෘතියකට කතුවරයාගෙන් වෙන් වූ පැවැත්මක් තියෙනවා නේද?

සැබැවින්ම කෘතියකට කතුවරයාගෙන් වෙන් වූ පැවැත්මක් තියෙනවා. බොහෝ දෙනා කෘතිය පිළිබඳ නිගමනවලට එළඹෙනුයේ කතුවරයා දෙස බැලීමෙන්. මෙහිදී විචාරකයා කතුරවයා සමඟ පෞද්ගලික මතවාද තිබුණොත් ඒ සියල්ල කෘතියේ විචාරයට බලපානවා. එවැනි දිළිඳු සාහිත්‍ය විචාරයකින් සාහිත්‍ය කලාවේ ප්‍රගමනයක් ඇති වන්නේ නැහැ.

අනවබෝධයෙන් හෝ නිර්දය ලෙස කෘතියක් විචාරය කිරීමෙන් සිදුවන්නේ සාහිත්‍ය උන්නතියක් නෙවෙයි. එවැනි දෙයින් පාඨකයා සාහිත්‍යයෙන් ඈත් වෙනවා. මේ නිසා සාහිත්‍ය කෘතිය සමබර ලෙස විචාරය සිදු විය යුතුයි. නැති නම් සාහිත්‍යකරුවා පමණක් නෙවෙයි පාඨකයාත් අධෛර්යවත් වෙනවා.

 

Comments