අට­පහ සහ තුන­පහ | සිළුමිණ

අට­පහ සහ තුන­පහ

කලකදි වහ ලු කලකදි රහ වෙනවා ලු යැයි ජන වහරෙහි ප්‍රකට කියමනක් වෙයි. හැබැයි කලකදි රහ වුණත් වහ නම් වහ ම වන බැව් එහි එන සැඟවුණු රහස යි. රහ වුණත් වහ කෑවොත් නම් විසුමක් නැත. පැරණි ජනකතාකරුවා හැම විටම දෙයක් කියා ඇත්තේ මෙවැනි යටි අරුතක් ඇතිවයි.

'ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත' යන කියමන ද අද බොහෝ තැන වැරදියට යෙදෙයි. ඒ අනුව ඕනෑම කෙනෙකුට හොඳට ම කළ හැක්කේ එක් දෙයක් පමණක් ලු. එක් පුද්ගලයකු සතුව හැකියාවන් දෙකක් තිබිය නො හැකි ලු. මේ මොන බොරුවක් ද ? එහි යටි අරුත ලෙස එන්නේ ලොව උපදින හැම කෙනෙකු ම යම් දෙයකට සමතෙකි යන උදාන වැකිය යි. එහෙත් හැම කෙනෙකුට ම හැම දෙයක් ම කළ නො හැකි බව ඇත්තකි. ' බැරි වැඩ නොකරං අබරෝ ' යැයි කියමනක් එන්නේ ඒ නිසා ය. මෙන්න මේ කතාව ඒ කියමන තහවුරු කරයි.

''........එක්තරා රටක රජ ගෙදරක් තිබිණ. එරට රජු හැම තැනක් ම සහ හැම වැඩක් ම දෙස ඇස් සෝදිසියෙන් වුන්නේ ය. ඒ නිසා ම රජ ගෙදර මුළුතැන්ගෙයි කටයුතුවලට පවා රජුගේ ඇස් දිස්ටිය වැටිණ. දිනක් රජ ගෙදර මහ අරක්කැමියා මහමඟ ඇවිදිමින් යන අතර පෙර වුන් හැම තැනකින් ම ගර්හාවෙන් පන්නා දමනු ලැබ ආතක් පාතක් නැතිව ගිය තැනැත්තියක දැක ඈ කැඳවා ගෙන ආවේය. ඒ විගස ම එපුවත රජුගේ කන වැටිණ.

'උදුනට අඟුරු දමන්නට කෙනෙකු නැති නිසා අත් උදව්වට කෙනෙකු සොයා ගෙන ආවෙමි ' යි මහ අරක්කැමියා රජු හමුවේ නිදහසට කරුණු කීවේය.

කාලයක් ගත වෙමින් යන කල අඟුරුකාර ස්ත්‍රියට සුළු අරක්කැමි කමක් පිළිබඳව සිත් ඇතිව මහ අරක්කැමියාට ගතු කේළාම් කීවාය. එහි විපාක ලෙස අලුතින් එන සුළු අරක්කැමියන්ට වැඩිකල් රස්සාව කරන්නට නො හැකි විණ. අඟුරුකාර ස්ත්‍රිය ගතු කේළාම් කියා එකිනෙකා කොටවා බිඳවා එන එන සුළු අරක්කැමියන් පන්නා ගත් නමුත් මහ අරක්කැමියා වෙතින් ඇයගේ ආශාව පරිදි සුළු අරක්කැමි අපේක්ෂාව ඉටු නොවූ නිසා ඇය මහ අරක්කැමියා සමග බද්ධ වෛරයෙන් පෙළෙන්නට වූවාය.

එහි විපාක වශයෙන් රජ ගෙදර මුළුතැන් ගෙයි එකිනෙකාට එරෙහි අසමගිය රජ කෙළෙන් මහ අරක්කැමියා නිතර නිතර රජුගේ උදහසට ලක් වූයේ රාජ භෝජනය දිනෙන් දින නීරස වන්නට වීම නිසාය.

මහ අරක්කැමියා සූප ශාස්ත්‍රය නො දන්නා අනුවණයකු යැයි ද ඔය ටිකවත් කෙරෙන්නේ තමාගේ උපකාරය නිසා යැයි ද කටකතාවක් පැතිර වූ අඟුරුකාර ස්ත්‍රිය තමා මහ අරක්කැමි තනතුර ලදොත් දිව බොජුන් පරයන අම බොජුන් පිළියෙළ කරන්නෙමියි ද රාජ මන්ත්‍රී ට ආරංචි යැව්වාය.

මේ අතර මහ අරක්කැමියා තමන් දන්නා උසස්ම සූප ශාස්ත්‍ර වට්ටෝරු යොදා බොජුන් පිළියෙළ කළ ද අඟුරුකාර ස්ත්‍රිය විසින් උදුනට මඳගින්න ඇවැසි තැන මහ ගිනි සැර ද උදුනට මහ ගිනි සැර වුවමනා තැන මඳගින්න ද හට ගන්නා ලෙසින් අඟුරු දමනු ලැබූ හෙයින් හදන හදන භෝජනය ඇට්ටකුනා වී ගියේය.

එක් දිනක් ඇය බෝ කුළුපග ඉරියව් ඇතිව ඉච්චා මූනිච්චා වදනින් මහ අරක්කැමියාට සමීපව මෙසේ කීවාය. ' නුඹ තරම් සාර විශාරද දැනුමින් පිරිපුන් සූපවේදියකු මෙරට තබා අන් රටක පවා නැත්තේ ය. එහෙත් නුඹ මේ ගිනි අඟුරු දුම් කමින් දැලි පිළීගඳ උහුලමින් දුක් විඳ සිටිනවා මිස සේවයට සරිලන වැටුප් තනතුරු තබා පැසසුමක් වත් නො ලබන්නේ ය.

ඒ එසේ මුත් රාජ මන්තිරියා අගනා සළු පිළි ඇඳ රජ බොජුන් වළඳමින් දැසි දසුන් ගරු බුහුමන් ඇතිව මහ වැටුප් තනතුරු ලබන මුත් කරන්නා වූ සේවයක් නම් නැත. ඌ හැම දිනකම කරන්නේ මුණු මුණු ගා රජුට ගතු කේළාම් කියා පිටව යෑමයි ..නුඹ කෙරෙහිත් අවලාද නගා රජු බිඳවන්නේ ඌම තමා ..' යි කියා මහ අරක්කැමියා කුපිත කළාය.

දිනක් රා බී මත් වූ මහ අරක්කැමියා විසින් රාජ මන්ත්‍රීට එරෙහිව හරුප් නො සරුප් කියමින් රාජ මන්තිරියා අනුවණ වාචාලයකු මිස වැද ගැම්මකට නැත්තකු යැයි ද තමාට රාජ මන්ත්‍රී තනතුරු ලැබෙන්නේ නම් රටටත් රජුටත් මහ සේවයක් කරන්නෙමියි පාරම් බෑවේය.

ඒ සැණින් එපුවත රජුගේ කනට වැටිණ. රාජ මන්ත්‍රී කැඳවූ රජු ඔහුට මෙසේ කීවේය. ' නුඹ දැන් බොහෝ කලක් නිවාඩු නො ලබා මට සේවය කළ හෙයින් දිනක් හමාරක් විවේකයෙන් විනෝදයෙන් සිටිය යුතු බව කියා මහ අරක්කැමියා කැඳවා නුඹට හෙට සිට රාජ මන්ත්‍රී නිළය දැරිය හැකි දැයි ඇසූ විට එහෙමයි රජ්ජුරුවන් වහන්ස යැයි කී හෙයින් කටයුතු එලෙසටම නියම කෙළේ ය.

පසුදින පෙරවරුවේ අගනා සළු පිළියෙළින් සැරසී රාජ මන්ත්‍රී වෙස් ගත් මහ අරක්කැමියා රජු හමුවේ පෙනී සිටියේ ය.

මහා භාණ්ඩාගාරයේ අයකම් වැයකම් කෙසේ දැයි රජු ඇසූ විට මහ අරක්කැමියා උඩ බිම බලන්නට වූ හෙයින් රජු වෙනත් පැණයක් නගමින් රටේ හමුදා මුරකාවල් කෙසේ දැයි ඇසු විට අරක්කැමියා ගල් ගැසී සිටි හෙයින් වෙනත් පැණයක් මතු කරමින් රටේ ගොවිතැන් කටයුතු කෙසේ දැයි ඇසුවේය.

එවිට ද අරක්කැමියා අසරණ විලාසයක් පෑ හෙයින් රජු වෙනත් පැණයක් නගමින් රටේ කුමන කාලයේ වැසි සමය හෝ ඉඩෝර සමය එන්නේ දැයි ඇසුවේය. එවිට ද අරක්කැමියා උඩබිම බලන්නට වූ හෙයින් වෙනත් පැණයක් මතු කොට රටේ ගිලන් ගිමන් හල් කටයුතු නිසි ලෙස පවතින්නේ දැයි ඇසුවේය.

එවිට අරක්කැමියා ගොලුවී ගිය සේ සිටි හෙයින් රජු වෙනත් පැණයක් මතු කොට රටේ කර්මාන්ත ශිල්ප ගැන ඇසුවේය. එවිට නළලේ දහදිය බිඳු පිසදමමින් අරක්කැමියා වටපිට බලන්නට වූ හෙයින් රජු වෙනත් පැණයක් නගමින් රටවාසීන් රජුට එරෙහිව කුමන දේ කියන්නේ දැයි ඇසූ විට ඇස් මවිතයෙන් යුතුව අරක්කැමියා අසරණ විලාසයක් පෑ හෙයින් රජු මෙසේ කීවේය.

නුඹට පෙර වුන් රාජ මන්ත්‍රී ගෙන් ඇසුවේ නම් ඔය පැණ සියල්ලට ම ඌ සැණෙකින් පහසුවෙන් ඇත්ත උත්තරම දෙන්නේය. ඒත් තවමත් රජ්ජුරුවන් වහන්සේ සතුව නුඹ කෙරෙහි මනාපයක් අනුකම්පාවක් ඇති හෙයින් නැව් තොටුපළේ වග විස්තර බලාගෙන වරෙන් යැයි කියමින් අරක්කැමියා පිටත් කෙළේ ය .

හෝරාවකට පසුව අරක්කැමියා රජු බැහැ දැක්කේය. ' .. තොටුපොළ වරායේ කොපමණ නැව් තිබේදැයි රජු ඇසූ විට අනේ රජ්ජුරුවන් වහන්ස වරායේ නැව් නම් තිබුණා මම සුනංගුවෙන් ඒවා ගැණගෙන එන්නෙමියි කියමින් අරක්කැමියා වරාය දෙසට දිව ගියේ ය. ආපිට ඔහු රජු බැහැ දුටු විට ඒ නැව් කුමන රටවලින් මෙහි පැමිණ තිබේදැයි රජු ඇසූ හෙයින් අනේ රජ්ජුරුවන් වහන්ස මම ඒ වග විස්තර සොයා ගෙන එන්නෙමි යි කී ඔහු නැවත වරායට දිව්වේ ය.

ඒ විස්තරය රජුට කී විට ඒ නැව්වල කුමන භාණ්ඩ මෙහි ගෙනවිත් තිබේදැයි රජු ඇසූ විට අනේ රජ්ජුරුවන් වහන්ස මම ඒ වග විස්තර සොයා ගෙන එන්නෙමි යි කී ඔහු නැවත වරායට දිව්වේ ය. ඒ විස්තරය කී විට ඒ භාණ්ඩවල මිල ගණන් කෙසේ දැයි රජු ඇසූ විට, අනේ රජ්ජුරුවන් වහන්ස මම ඒ වග විස්තර සොයා ගෙන එන්නෙමි යි කී ඔහු නැවත වරායට දිව්වේ ය. අරක්කැමියා පෙරළා රජු බැහැ දැක ඒ විස්තරය කියන විට ඔහුගේ මුළු ගතම දහදියෙන් නෑවී සිරුර කළු පැහැයෙන් යුතුව හතියෙන් වෙවුළමින් තිබුණේ ය.

නාවිකයන් කියන මිලට ඒ භාණ්ඩ ගතහොත් ලාබ පාඩු කෙසේ වේදැයි රජු ඇසූ හෙයින් හෙයින් අනේ රජ්ජුරුවන් වහන්ස මම ඒ වග විස්තර සොයා ගෙන එන්නෙමි යි කී ඔහු නැවත වරායට දිව්වේ ය. අරක්කැමියා මෙසේ දහඅට වාරයක් වරායට දුවමින් ද රජ ගෙදරට එමින් ද සිටියත් රජුගේ ප්‍රශ්න අවසන් නොවූයෙන් අරක්කැමියා මෙසේ කීවේය. අනේ රජ්ජුරුවන් වහන්ස මේ රාජකාරී නිළය මට නම් නොකළ හැකිමය.

අනුකම්පාවෙන් මා නිදහස් කළ මැනවි යැයි කී හෙයින් රජු මෙසේ කීවේය. නුඹට පෙර වුන් රාජ මන්ත්‍රී ඔය පැණ සියල්ලටම ඇසි පිය හෙළන වේගයෙන් ඇත්ත උත්තර දෙන මුත් හිරු අස්ත වීමට ආසන්නව තිබියදී පවා නුඹ තවම නිසි උත්තර නොකියයි. එසේ නමුත් තවමත් රජ්ජුරුවන් වහන්සේ නුඹ කෙරෙහි අනුකම්පාවෙන් යුතු හෙයින් මේ පැණයට උත්තර දෙවයි රජූ කීවේය.

' කිරි සමග ඇඹුල් අහර වැළඳුවොත් කුමක් වෙයි දැයි රජු ඇසූ විට රජ්ජුරුවන් වහන්ස ඒ සංයෝගය අපත්‍ය වන්නේ යැයි අරක්කැමියා වහා උත්තර දුන්නෙන් රජු මෙසේ ඇසුවේය. ගිතෙල් මී පැණි සම මාත්‍රාවෙන් එකවිට කෑවොත් කුමක් වේද ? ඒ පැණයට අරක්කැමියා රජ්ජුරුවන් වහන්ස ඒ සංයෝගයත් අපත්‍ය වන්නේ යි කී නිසා රජු තවත් පැණයක් නගමින් දිය මස ද ගොඩ මස ද එක් බඳුන තුළ බහා පිසුවොත් කුමක් වේද ? යි ඇසූ විට රජ්ජුරුවන් වහන්ස එවිට දිය මස අහරට ගත නොහැකි ලෙස දියබත් වන්නේ යැයි අරක්කැමියා වහා උත්තර දුන්නේ ය.

රජු සහ මිනිසුන් විසින් නොකෑ යුතු මස් මාංශයක් වේ දැයි රජු ඇසූ විට රජ්ජුරුවන් වහන්ස අලි අශ්ව නරි කබර කපුටු සහ නර මස් ය ලෙස අරක්කැමියා දිගු පිළිතුරක් දුන්නේ ය. එවිට රජු මෙසේ කීවේය. නුඹට පෙර වුන් රාජ මන්ත්‍රීගෙන් ඔය ප්‍රශ්න ඇසුවේ නම් ඔහුට ඔතරම් නිවරදිව නොපමාව පිළිතුරු දිය නොහැක්කේමය. ඒ තමා නුඹ සහ ඔහුගේ වෙනස යි කී රජු අරක්කැමියා දෙස බැලුවේය.

අනේ රජ්ජුරුවන් වහන්ස මට දැන් සියල්ල වැටහුණා මට නැවත රජ ගෙදර අරක්කැමි තනතුර දෙනු මැනවි යැයි අරක්කැමියා රජුගෙන් අනුකම්පාව අපේක්ෂා කෙළේය. එවිට රජු මෙසේ කීවේය. නුඹ වරායට යමින් එමින් සිටියදී මා අඟුරුකාර ස්ත්‍රිය මහ අරක්කැමි නිළයට පත්කොට ඇගෙන් සූපවේදය ගැන ප්‍රශ්න කළ විට ඇගේ පිළිතුරුත් නුඹ රාජ මන්ත්‍රී ලෙස මට දුන් උත්තර මෙන්ම සිනහ උපදවන සුලුයි .

අට පහ යොදා බොජුනක් පිසින්නේ කෙසේ දැයි සිතමින් ඒ ස්ත්‍රිය තවම වෙහෙසෙනවා ඇති යි කී රජ්ජුරුවෝ මහ හඬින් සිනාසෙමින් මෙසේ ද කීවේය. කෙනෙක් දන්නා දේම කිව යුතුය හැකි දේම කළ යුතුය. නො දන්නා දේ කීමටත් නො හැකි දේ කරන්නටත් යන විට ලෝකයා සිනාසෙයි. තමන්ම පිරිහෙයි. දිය මස ද ගොඩ මස ද එක් බඳුනක බහා පිසිය නොහැකි බැව් නුඹ කී ලෙසම කාරියට නො පෑහෙන මිනිසුන් ද එක්විය නොයුත්තේමය ..‘

Comments