ජපා­නයේ අභි­මා­නය විද­හා­පාන ‘කම­කුරා’බුදු පිළි­මය | සිළුමිණ

ජපා­නයේ අභි­මා­නය විද­හා­පාන ‘කම­කුරා’බුදු පිළි­මය

මේ සුවිශේෂ බුදු පිළිමය අවට පරිසරය බොදු බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යන්නේ වසරේ අප්‍රියෙල් - මැයි මාසවලදී ය. ඊට හේතුව වන්නේ ජපන් ජාතිකයින් ‘වෙසක් දිනය’ සමරන්නේ අප්‍රියෙල් මස අට වැනිදා නිසාය. එනම් ජපානයේ සකුරා මල් සමයේදී ය. බුදුන් වහන්සේ ගේ උපන් දිනය ජපානයේ සැමැරෙන්නේ ‘මල් උත්සවය’ නොහොත් ‘හන මත්සුරි’ නමින් පවත්වන උත්සවය සමඟිනි. මල් අතුරා අලංකාර කරන ලද කුඩා බුදු කුටියක කුඩා බුදුරුවක් තබා බැතිමතුන් විසින් බුදුරුව තේ වලින් තෙවරක් නහවනු ලැබේ. ‘අමචා’ නමින් හඳුන්වන මේ පැණි රස තේ පානය පිළ‍ියෙල කර ගන්නේ හයිඩ්‍රන්ජියා ඇටවලිනි.

ශ්‍රී ලංකාවේ මෙන් ම වෙනත් රටවල ද බුදු රදුන්ගේ රූපකාය සම්පත්තිය ප්‍රතිනිර්මාණය කිරීමට වෙහෙස ගත් කලා නිර්මාණ දුරාතීතයේ සිට ම දක්නට ලැබේ. අවුකන බුදු පිළිමය, මහ මෙව්නාවේ සමාධි ප්‍රතිමාව, ෙපාලොන්නරුවේ ගල් විහාරයේ ප්‍රතිමා, බුදුරුවගල බුද්ධ ප්‍රතිමාව අප බොදු හදවත් පුබුදු කිරීමෙහි සමත් වු විශිෂ්ට ගණයේ ප්‍රතිමා වෙයි.

මෙහිදී මට බෞද්ධ පිළිවෙත් ජීවිත රටාවට උරුම කර ගත් ලොව දිනු ජාතියක් වන ජපන් වැසියන් ගේ බුද්ධ භක්තිය ගැන සිහිපත් වේ. එය පිළිබිඹු වන ශ්‍රේෂ්ඨ කලා කෘතිය ලෙස ‘කමකුරා’ (KAMAKURA) බුද්ධ ප්‍රතිමාව සඳහන් කළ හැකිය. දෙස් විදෙස් කාගේත් කරුණාව, මෛත්‍රිය ආදී බුදු ගුණයන් හදවත් තුළ ජනිත කරලීමට සමත් වී ඇති මේ අපුරු නිර්මාණය සියැසින් දැක ගැනීමට මටද වාසනාවක් තිබිණි. ඒ මතකය යි‍ මේ.

ලෝකයේ විශිෂ්ට ගණයේ බෞද්ධ ස්මාරක අතර ජපානයේ ‘කමකුරා’ බුද්ධ ප්‍රතිමාවට ලැබෙන්නේ සුවිශේෂ ස්ථානයකි. ජපානයේ ඓතිහාසික නැඟීමක් වැටීමත් දෙකම පිළිබිඹු කරන පිළිමයක් ලෙස සැලකෙන මේ ප්‍රතිමා රාජයා ස්වභාව ධර්මයේ සියලු ආපදා මැද නොසැලී වැඩ සිටියි. ජපානයේ ‘කමකුරා’ හි වැඩ හිඳින මේ බුදු පිළිමයෙන් ‘අමිතාභා’ (AMITABHA) නම් මහායාන බුදු වරයා නිරූපනය කරනු ලැබේ. ‘අමිතාභා’ යන්නෙහි තේරුම ‘අනන්ත වු ආලෝකය’ යනු යි. ජපන් බසින් බුදුන් වහන්සේ හඳුන්වන්නේ, දයිබුත්සු (DAIBUTSU) හොතොකෙ සම (HOTO KE SAMA) මි - හොතො කෙ සම (MI HOTO KH SAMA)ආදී ගෞරව නාමවලිනි. ජපන් ජාතික බෞද්ධයන්ගෙන් බොහෝ දෙනෙක් ‘නමු අමිදා බුත්සු අමිතාභා’ (NAMU AMIDA BUTSU AMITABA) යන‍ුවෙන් බුදුන්ට නමස්කාර කරති.

ඉඳි පිළිමයක් වන ‘අමිතාභා’ බුද්ධ ප්‍රතිමාවේ නළලත ඇති මැණික් ගලෙන් විහිදෙන ආලෝකය, ‘මම ලෝකයටම ආලෝකය වෙමි’ යන්න සනාථ කරන බව විශ්වාස කෙරේ. වාතයට නිරාවරණය වී ඇති මේ පිළිමය පයින් ගස් අතරින් මහත් තේජාන්විත ව වැජඹෙයි. ඉදිරිපසින් ඇති නිශ්චල ජලාශය දෙසට ශ්‍රී දෙනෙත් යොමා සි‍ටින්නේ නිර්මාණයට මඟ දක්වන්නාක් මෙනි. දෙ අත් නමා සිටින ඉරියව්වෙන් නිමවා ඇති ‍ලෝකඩ ප්‍රතිමාව ජපන් ජාතිකයන් සතු බුද්ධිමත් භාවය ශ්‍රේෂ්ඨත්වය හා ආගමික භක්තිය ආදිය මොනවට කියාපාන බවට විශ්වාසයක් පවතී.

ක්‍රිස්තු වර්ෂ 1238 වර්ෂයේදී ගොඩනගන ලද මේ ශ්‍රේෂ්ඨ ප්‍රතිමාවේ ඒ ඒ ප්‍රමීතීන් මෙසේ දැක්විය හැකිය. බර - රාත්තල් 274428 පමණ, කණ - අඩි 6.6 පමණ, උස - අඩි 44 පමණ, මුඛය - අඩි 2 .8 පමණ, ඇස - අඩි 3.3 පමණ, දණිස් අතර දුර - අඩි 30 ක් පමණ, මාපට ඇඟිල්ලේ පරිධිය අඩි 2.8 පමණ.

මේ ප්‍රතිමාවේ දක්නට ඇති විශේෂ ලකුණු කීපයක් ද වේ.

ඇහි බැම අර්ධ වෘත්තාකාර ය. ඇස තිරස්ව පිහිටා ඇත. නාසයේ මුල් කෙළවර නළලතින් පටන් ගැනේ. සිහින් දිග රැවුළකි. හිස කෙස් දක්ෂිණවෘතව පොකුටු වී තිබේ. ( පොකුටු 656 ක් ඇති බව ලේඛනවල සඳහන් වේ. ) නළලත මැද සුදු පාටින් ආලෝකය පරාවර්තනය කරන මැණික් ගලකි. කන් දිගැටිය, විශාලය. වාඩි වී සිටින ඉරියව්ව භාවනා කරන විලාසයක් දක්වයි.

කමකුරා හි බුදු පිළිමයේ ඉතිහාසය සොයා බැලීමේදී මෙවැනි විශාල බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කිරීමේ අදහස පහළ වී ඇත්තේ 1147 -1199 යුගයේ ෂොගුන් යොරිනොමො (SHOGUN YORITOMO) නමැත්තාගේ සාත්තු සේවිකාවක වු ඉනදනොත්‍යු බොතෙ (INADANO TIU BOTE).නම් බෞද්ධ කාන්තාවක සිත තුළ බව සැලවේ. ස්වාමීයාගේ මරණයෙන් පසු රැකියාවෙන් ඉවත් වු ඕ තොමෝ බුද්ධ ප්‍රතිමාවක් සෑදීම සඳහා ආධාර මුදල් එකතු කිරීමට පටන් ගත්තා ලු. ඇයගේ මේ උත්සාහය ගැන ජපන් ජාතිකයෝ මහත් සේ පැහැදි ඇයට සහයෝගයක දැක්වුහ. විශේෂයෙන් ‘කොතොමි’ (KOTOMI)නම් පළාතේ භික්ෂුවක් වු ජෝකෝ (JOKO) සිය කැමැත්තෙන් ම ඇය සමඟ එකමුතුව ප්‍රතිමාව ගොඩනැංවීමට මුදල් යෙදවීය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබු අචල භක්තිය නිසාම ඇය ක්‍රි. ව. 1238 වර්ෂය වන විට ප්‍රතිමාව ඉදිකිරීමට සෑහෙන මුදලක් එකතු කර ගත්තාය. මුලින් ම ලී යොදා මේ ප්‍රතිමාවේ කටයුතු 1243 වන විට නිමකළ හැකි වුවත් 1248 දි කුණාටුවකින් එය විනාශ වී ගියේය.

ඉන් පසු එය ලෝකඩවලින් ගොඩනගන ලදුව 1252 දී වැඩ කටයුතු නිම කෙරිණි. ඒ නි‍මිත්තෙන් මංගල උත්සවයක්ද පැවැත් වු බැව් කියැවේ. අවාසනාවන්ත ලෙස දෙවැනි වරටද කුණාටුවකින් විනාශ වුයෙන් යළිත් ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. නැවතත් විශාල භූමි කම්පාවක් ඇති වුණද ප්‍රතිමාවේ බඳට කිසිදු හානියක් සිදු නොවීය. ප්‍රතිමාව 1960 – 61 වර්ෂ‍වලදී යළිත් ප්‍රතිසංස්කරණය වු බව පැවසේ . එදා මෙදා තුර බොදු බැතිමතුන්ගේ මතු නොව දෙස් විදෙස් සංචාරකයන්ගේද ආකර්ෂණීය ස්ථානයක් ලෙස කමකුරාහි දැවැන්ත බුදුරුව ගෞරවයට පාත්‍ර වී තිබේ.

මේ සුවිශේෂ බුදු පිළිමය අවට පරිසරය බොදු බැතිමතුන්ගෙන් පිරි ඉතිරි යන්නේ වසරේ අප්‍රියෙල් - මැයි මාසවලදී ය. ඊට හේතුව වන්නේ ජපන් ජාතිකයින් ‘වෙසක් දිනය’ සමරන්නේ අප්‍රියෙල් මස අට වැනිදා නිසාය. එනම් ජපානයේ සකුරා මල් සමයේදී ය. බුදුන් වහන්සේ ගේ උපන් දිනය ජපානයේ සැමැරෙන්නේ ‘මල් උත්සවය’ නොහොත් ‘හන මත්සුරි’ (HANAMATSURI) නමින් පවත්වන උත්සවය සමඟිනි. මල් අතුරා අලංකාර කරන ලද කුඩා බුදු කුටියක කුඩා බුදුරුවක් තබා බැතිමතුන් විසින් බුදුරුව තේ වලින් තෙවරක් නහවනු ලැබේ. ‘අමචා’ (AMACHA) නමින් හඳුන්වන මේ පැණි රස තේ පානය පිළ‍ියෙල කර ගන්නේ හයිඩ්‍රන්ජියා ඇටවලිනි. මේ තේ පානය පන්සල්වලින් අමුත්තන්ට හා දරුවන්ට බීමට දෙති. එදිනට අලංකාර ඇඳුම්වලින් සැරසුණු දරුවන් පෙරහැර පවත්වමින් විනෝද වෙති.

 

Comments