
ගම්මිරිස් ප්‍රතිඅපනයනය තහනම් කිරීමට පියවර ගන්නා බවට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් දී තිබේ. දේශියව ගම්මිරිස් වගාවේ නියුතු ගොවිජනතාව කලක සිටම මෙය අපෙක්ෂා කෙළේය.
දහසය වන සියවසේ ලංකාවට පැමිණි පෘතුගීසිහු මෙරට කුළුබඩු එකතු කර ඒවා බටහිර රටවලට විකිණීමේ නිරත වූහ. මෙසේ කුරුඳු සහ ගම්මිරිස් අපනයන වෙළෙඳ භාණ්ඩ බවට පත් විය.
පෘතුගිසින්ගෙන් පසු ලන්දේසිහුද, අනතුරුව බ්‍රිතාන්‍ය ජාතිකයෝද, ගම්මිරිස් අපනයනයට යොමු වුහ. ශ්‍රී ලංකා ගම්මිරිස් අපනයනයට බ්‍රිතාන්‍යය ජාතිකයන් සම්බන්ධ වුයේ 1813 වසරේ යැයි ඓතිහාසික වාර්තා සඳහන් කරයි. එමා, ඇල්බිනා සහ මොනාර්ඩ් යන බ්‍රිතාන්‍ය නැව් තුන මඟින් කෝපි, ගම්මිරිස්, කරදමුංගු, අරක්කු, පොල් තෙල්, යන ශ්‍රී ලංකා වෙළෙඳ ද්‍රව්‍ය තොගයක් 1813 දෙසැම්බරයේ ලංකාවෙන් නැව්ගත කළ බවත්, ඒවා විකිණීමේන් රන් පවුම් 18, 351 සිලිං 18 යි පැන්ස 8 ක ආදායමක් ලැබු බවත්, එමගින් සියයට 50 ඉක්මවා ලාබයක් ලැබු බවත්, එවක ලංකාවේ මුහුදු බඩ පළාත් ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් බ්‍රිතාන්‍යයේ විදේශ භාර ලේකම් බෙතර්ස්ට් සාමිවරයාට යවන ලද වාර්තාවක සඳහන් ය. මෙය ලංකාව සහ ලන්ඩනය අතර සෘජු නැව් සේවාවක් මඟින් යවන ලද මුල්ම භාණ්ඩ තොගය බවත් එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
ශ්‍රී ලංකාව 2016 වසරේ ගම්මිරිස් මෙට්‍රික් ටොන්18476 ක් අපනයනය කරන ලද අතර ඇතැම් වර්ෂවල මෙට්‍රික් ටොන් 28,000 ඉක්මවා අපනයනය කරන ලද අවස්ථාද තිබේ. 2013,2015 එවැනි වර්ෂ දෙකකි. 2016 කුළුබඩු අපනයනය ඇ.ඩොලර් දස ලක්ෂ 489 ක් පමණ වන අතර ගම්මිරිස් සඳහා ඇති ඉල්ලුම ක්‍රමයෙන් වැඩිවන බවට ලෝක බැංකු වාර්තාවක් කරුණු දක්වයි. වියට්නාමය, බ්‍රසීලය, ඉන්දුනිසියාව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ලොව ප්‍රධාන ගම්මිරිස් නිෂ්පාදක රටවල්ය.
මාතලේ, කුරුණෑගල, මහනුවර, කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්ක වැඩියෙන්ම ගම්මිරිස් නිපදවන දිස්ත්රික්කයෝය. එහෙත් සෙසු දිස්ත්‍රික්කවල ද ගම්මිරිස් ගෘහාශ්‍රිත වගාවකි. හෙක්ටයාර් 32,800 ක පැතිර ඇති ගම්මිරිස් වගාව මඟින් ලක්ෂ 2 කට අධික ජනතාවක් දිවිපෙවෙත සරුකර ගනිති.
ශ්‍රී ලංකා නිෂ්පාදන ඉන්දියාව, ජර්මනිය, සවුදි අරාබිය, ඊජිප්තුව, පාකිස්තානය, එක්සත් ජනපදය, එක්සත් ආරාබි ජනරජය, ස්පාඤ්ඤය, සහ එක්සත් රාජධානිය යන රටවලට අපනයනය කරනු ලබයි. ලෝක ගම්මිරිස් ඉල්ලුමෙන් ශ්‍රී ලංකාව සපයන්නේ සියයට 2 ක තරමේ ප්‍රමාණයකැයි අපනයන සංවර්ධන මණ්ඩලය කියයි. ශ්‍රී ලංකා ගම්මිරිස් සඳහා ලෝක වෙළෙඳ පොළේ ඉතා ඉහළ ප්‍රතිචාරයක් ද හිමිවේ. එහෙයින් මේ වගාව දියුණු කිරීමත් අපනයනය දිරිමත් කිරීමත්, කළ යුතුව තිබේ. ඒ සඳහා ප්‍රාථමික කර්මාන්ත අංශය සහ කෘෂිකර්ම අපනයන අංශ විධිමත් ආධාර ක්‍රම ද සලසා ඇති නිසා ශ්‍රී ලංකා ගම්මිරිස් නිෂ්පාදනය වැඩිවී තිබෙන බව සංඛ්‍යා ලේඛන අනුව පැහැදිලිවේ.
පසුගිය වසර ජුලි මාසය වනවිට ශ්‍රී ලංකාවේ ගම්මිරිස් මිල පහත වැටීම නිසා ගොවි විරෝධතා ව්‍යාපාර ඇරැඹිණ. මේ නිසා කිලෝවට රුපියල් 900 ක සහතික මිලක් නියම කිරීමට රජයට සිදුවිය.
ගම්මිරිස් මිල පහත වැටීමට හේතුවක් වුයේ වියට්නාමය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රියාත්මක වු ජාත්‍යන්තර ගම්මිරිස් මාෆියාවයි. මේ මාෆියාව නිසා ඉන්දියාවේ ගම්මිරිස් ගොවියෝ ද මහ පාරට බැස විරෝධතා පැවැත්වීමට පටන්ගත්හ. විශේෂයෙන් කේරළය, ආන්ද්‍ර ප්‍රදේශ් හා තමිල් නාඩුවේ ගොවි විරෝධතා සමනය කිරීමට මධ්‍යම රජයට අත පෙවීමට සිදුවිය.
වියට්නාමය ද ගම්මිරිස් නිෂ්පාදනයේ සහ අපනයනයේ නිරත රටකි. මේ වනවිට රටවල් 109 කට වියට්නාමය ගම්මිරිස් අපනයනය කරයි. කාම්බෝජයේ නිෂ්පාදිත ගම්මිරිස් ප්‍රති අපනයනයටද වියට්නාමය මැදිහත්ව සිටින බවට වාර්තා වෙයි.
ඉන්දියාව, ඉන්දුනීසියාව, මලයාසියාව, ශ්‍රී ලංකාව සහ වියට්නාමය එක්ව අන්තර්ජාතික ගම්මිරිස් ප්‍රජාව නම් වාණිජ සංවිධානයක් පිහිටුවාගෙන තිබේ. ෙකාමියුනිස්ට්වාදි ආර්ථික ක්‍රමයක් අනුගමනය කළ වියට්නාමය 2000 සිට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් අරඹා ආර්ථික සංවර්ධනයේ දී කෘෂිකර්මාන්ත නවෝදයක් පුබුදු කෙළේය.
1970 දී හෙක්ටයාර් 400 ක් වු වියට්නාම ගම්මිරිස් වගාව 2014 වනවිට හෙක්ටයාර් 73, 500 දක්වා වර්ධනය කර ටොන් 140000ක අස්වැන්නක් වාර්තා කළාය. එසේම අපනයනය ටොන් 1,40, 000 දක්වා ඉහළ නංවා ගත්තාය. 2016 වන විට වියට්නාමය ලෝක ගම්මිරිස් නිෂ්පාදනයෙන් සියයට 41ක්ද ලෝක අපනයන වෙළෙඳ පොෙළන් සියයට 59 ක් ද හිමිකරගත්තාය.
ශ්‍රී ලංකාවේ ගම්මිරිස් මිල පහත වැටීමට වියට්නාම ගම්මිරිස් මාෆියාව හේතුවිය. එසේම ඒ අවධියේම ඉන්දියානු ගම්මිරිස් මිල ද පහත වැටුණි ඉන්දියාවේ ද හින්දු පත්‍රය 2017 දෙසැම්බර් 06 වනදා මේ ගැන හෙළිදරව්වක් ඉදිරිපත් කෙළේය.ඒ අනුව ඉන්දියාවේ ගම්මිරිස් වැවිලිකරුවනගේ සංවිධානය වියට්නාම ගම්මිරිස් රට තුළට ගලා ඒම අවුරාදමා ඉන්දියාවේ උසස් වර්ගයේ ගම්මිරිස් පරිභෝජන සම්ප්රදාය රට තුළ ආරක්ෂාකර ගන්නා මෙන් මධ්‍යම ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර ඇත. මේ වන විට ඉන්දියාව පුරා වියට්නාමයේ බාල ගම්මිරිස් භාවිතාව ක්‍රමයෙන් වැඩිවෙමින් දේශීය ගම්මිරිස් භාවිතාව අඩුව මිල ගණන් ද පහත වැටෙමින් තිබුණි. ලංකාවේ තත්ත්වය ද ඒ හා සමාන විය.
ගම්මිරිස් වැවිලි කරුවන්ගේ සංවිධානයේ කැදවුම්කරු කොන්කඩි පද්මනාභ හින්දු පත්‍රයට පවසා ඇති අන්දමට ප්‍රති අපනයනයට මුවාවී, බදු සහන ද ලබා ගනිමින් මේ මාෆියාව ක්‍රියාකාරී වෙයි. වියට්නාම ගම්මිරිස්වල අඩංගු කෘමිනාශක හා රසායනික සංයුතිය අධිකවීම නිසා එමඟින් වියට්නාම ගම්මිරිස් අපනයනයට බටහිර රටවලින් පහර වැදුණි. ඒ නිසා ඉන්දියාවට ප්‍රති අපනයනය කිරීමද මාෆියාවේ උපක්‍රමයයි. ඔවුහු ප්‍රති අපනයනයේ දී ශ්‍රී ලංකාව ද සම්බන්ධ කර ගත්හ.
මේනිසා රුපියල් 650 ට තිබු ඉන්දියානු ගම්මිරිස් කිලෝවක මිල රුපියල් 380 දක්වා අඩුව ඇතැයි ද මේ දුෂණය නැවැත්විය යුතු යැයිද ගම්මිරිස් වැවිලි කරුවෝ ඉන්දියාවේ වෙළෙඳ ඇමැති සුරේෂ් ප්රභුගෙන් ඉල්ලා සිටියහ.
ඉන්දියා ටයිම්ස් ආර්ථික සංග්‍රහයට ලිපියක් සපයන පී.කේ. ක්රිෂ්ණ කුමාර් 2017 සැප්තැම්බර් 13 වනදා හෙළිකරන්නේ මේ උප්පරවැට්ටියට ශ්‍රී ලංකාව ද සම්බන්ධ වී ඇති අන්දමයි.
2007 අගෝස්තුවේ වියට්නාමය ශ්‍රී ලංකාවට ගම්මිරිස් ටොන් 2000 ක් අපනයනය කර ඇති අතර තවත් මෙට්ට්‍රික් ටොන් 2000 ක් අගෝස්තුවේ දී වියට්නාමය ශ්‍රී ලංකාවට අපනයනය කර ඇත. අවසානයේ මේ ගම්මිරිස් තොග ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට ප්‍රතිඅපනයනය කර ඇති බව එරට ප්‍රධාන අපනයනකරුවකු වන කිෂෝර් ෂම්ජුගේ ප්‍රකාශ උපුටා දක්වමින් කියා සිටින එම වාර්තාව සාක් රටවලට හිමි තීරු බදු සහන යොදා ගනිමින් මේ ප්‍රතිඅපනයන සිදුවන බවද කියයි.
දෙසැම්බර් 04 වනදා ඉකොෙනාමික් ටයිම්ස් ව්‍යාපාරික සංග්‍රහයට ලිපියක් සපයන පී. කේ. ක්‍රිෂ්ණකුමාර් සප්ටා ගිවිසුම උපයෝගි කර ගනිමින් වියට්නාම ගම්මිරිස් ශ්‍රී ලංකාව ඔස්සේ ඉන්දියාවට ප්‍රතිඅපනයනය කරන අන්දම තවත් පැහැදිලි කර දී ඇත.
විදේශීය ගම්මිරිස් ආනයනය කිරීම නිසා දේශිය ගම්මිරිස් මිල පහත වැටුණු බව අපේ ගම්මිරිස් ගොවියන්ගේ විරෝධතාවන්වලදී ද නැඟුණු චෝදනාවකි. ගම්මිරිස් අපනය කළ එහෙත් ඒවා දේශියව පරිභෝජනයට නොගත් බවත්, ඒ වෙනුවට ප්‍රතිඅපනයනය සඳහා ඒවා යොදාගත් බවත් ආණ්ඩුවේ පිළිතුරු විය. තවදුරටත් ප්‍රකාශ වුයේ ආයෝජන මණ්ඩලය යටතේ ලියා පදිංචි සමාගමක් මඟින් විදේශීය ගම්මිරිස් ආනයනය කළ බවයි. ඉන්දියාව සහ වියට්නාමය අතර ආනයන කටයුතු පිළිබඳ නොහොඳ නෝක්කාඩුවක්ද 2017 දී ඇරැඹිණ. කෝපි, උණ බම්බු, කළු ගම්මිරිස්, කුරුඳු, කැසියා සහ ඩ්‍රැගන් පෲට් යන භාණ්ඩ වියට්නාමයෙන් ආනයනය කිරීම තහනම් කිරීමට ඉන්දියාව 2017 මාර්තුවේදී තීරණය කෙළේය. මේ තහනමට කරුණු කීපයක් බලපැවද එයට ප්‍රධාන හේතුවක් වුයේ ඉන්දියානු කෘෂිකර්මාන්තයෙන් එල්ල වූ විරෝධතාවන්ය. කෘෂි නිෂ්පාදන මිල පහත වැටීම ඉන්දියාවේ ඉතා සංවේදී කරුණකි.
ඉන්දියාවේ පියවරට එකට එක කිරීමක් වශයෙන් වියට්නාමය ද රටකජු බීජ, කැසියා බීජ, කොකෝවා, බොංචි ඇට, සහ සියඹලා යන භාණ්ඩ ඉන්දියාවෙන් ආනයනය කිරීම තහනම් කෙළේය. මේ තහනම් ක්‍රියාත්මක වුයේ නිරෝධායන ප්‍රතිපත්ති මත යැයි ප්‍රචාරය වුවද අන්තර්ජාතික ගම්මිරිස් හවුලේ දෙරටක මේ අවුලට බලපෑවේ දෙරටේම කෘෂිකර්මයේ ආරක්ෂාව යැයි විග්රහ කරන්නෝද සිටිති.
ඉන්දියාව සහ වියට්නාමය යන දෙරටම ව්‍යාපාරික කටයුතු වලදී දැඩි ආක්‍රමණශීලි ප්‍රතිපත්ති අනුගමනය කරති.
ඉන්දියාව 16 වන සියවසේ සිටම ගම්මිරිස් ඇතුළු කුළුබඩු වෙළෙදාමට පුරුදුව ඇති රටකි . එහෙත් වියට්නාමයට ගම්මිරිස් ආගන්තුක වගාවකි. ලෝක වෙළෙඳ පොළේ ඉන්දියානු හා ශ්‍රී ලංකා ගම්මිරිස් සඳහා ඉහළ ප්‍රතිචාරයක් හිමිවේ.
ඉන්දියානු ගම්මිරිස් සඳහා අන්තර්ජාතික වෙළෙඳ පොළේ ඉහළ මිලක් ද හිමිවේ. භාණ්ඩ අපනයනයේදී එම භාණ්ඩයේ උප්පැන්න සහතිකයක් හෙවත් විභව සහතිකයක් ද අවශ්‍ය වේ. ප්‍රති අපනයනයේදී වියට්නාමයේ බාල ගම්මිරිස් ඉන්දියා වෙළෙඳ පොළට මුදා හැර එම බහාලුම්වලට උසස් තත්ත්වයේ ඉන්දියා ගම්මිරිස් ඇතුළු කොට ප්‍රතිඅපනයනය කිරීම නිසා උසස් තත්ත්වයේ ගම්මිරිස් ව්‍යාජ මිල ගණන්වලට විකිණීමේ සිදුව ඇති බව ඉන්දියානු පරික්ෂණවල දී හෙළිවේ. එසේම වියට්නාම උප්පැන්න සහතිකය වෙනස් කළ අවස්ථා ද හෙළිවිය මේ සියල්ල ගම්මිරිස් මාෆියාවේ වෙළෙඳ සූත්රයෝය.
ගම්මිරිස් මිල පහත වැටෙත්ම ශ්‍රී ලංකාවේ ඇතැම් වගාකරුවෝ උදාසීනව නැවැත වගා කිරීම් නතර කළ බවද වාර්තා විය. වරින්වර ආහාර ද්‍රව්‍ය මිල ගණන් අඩු වැඩි වන්නාසේ සියලු භාණ්ඩ මිල උච්චාවචනයට ලක්වේ. ලෝක බැංකුවේ කොමිටියි මාකට් අවුට්ලුක් 2018 වාර්තාව පවසන්නේ ගම්මිරිස් භාවිතාව නොකඩවා සියයට 2 බැගින් වාර්ෂිකව වර්ධනය වන බවයි.
කරුණාරත්න අමරතුංග