ගෙවත්ත හැඩ කරන අප්‍රි­කානු රූම­තිය African Violets | සිළුමිණ

ගෙවත්ත හැඩ කරන අප්‍රි­කානු රූම­තිය African Violets

සැබවින්ම සුන්දර මල් විශේෂයකි. එය මෙරට පහතරට තෙත් හා අතරමැදි කලාප වල මෙන්ම මධ්‍යම කඳුකරයේ පවතින දේශගුණ තත්ව යටතේද සාර්ථකව වගා කළ හැකිය.එය ගෙවත්තේ පමණක් නොව නිවෙස් ඇතුළත අලංකාර කිරීම සඳහාද සිටවනු ලබයි. පෙති පහකින් යුක්ත අෆ්රිකන් වයලට් මල් බොහෝ විට දැකිය හැක්කේ වයලට් , දම් , ළා නිල් හෝ සුදු පැහැයෙන්ය. එහෙත් දෙමුහුම් විශේෂයන්හී මෙයට අමතර තවත් බොහෝ චිත්තාකර්ෂණීය වර්ණයන්ගෙන් යුක්ත මල් දැක ගත හැකිය. මෙම මල් සෙ.මී.2-3 පමණ විෂ්කම්භයකින් යුක්ත කුඩා ඒවාය. සාමාන්‍යයෙන් ඉත්තක මල් පොකුරු තුනේ සිට දහය දක්වා ප්‍රමාණයකින් හට ගනියි. මෙහි පැළයක් වර්ධනය වනුයේ සෙ.මී.6-15 ක් පමණ උසකටය.

තවද මෙම මල් හට ගැනීම සඳහා ප්‍රමාණවත් තරම් ආලෝකයක් ලැබීම අත්‍යාවශ්‍ය වේ. නිවෙස් ඇතුළත තබා තිබෙන මල් පැළ සඳහා ප්‍රමාණවත් තරමේ ආලෝකයක් නොලැබෙන්නේ නම් පැය 12ක කාලයක් ෆ්ලොරසන්ට් බල්බයක ආධාරයෙන් ආලෝකය ලබා දිය හැකිය.

රෝපණ මාධ්‍යය

අප්‍රිකන් වයලට් රෝපණය කිරීමට සාරවත් පසක් අවශ්‍ය වේ.

රෝපණ මාධ්‍යය සඳහා මතුපිට පස්:කොම්පෝස්ට් : වියළි ගොම : වැලි අනුපාතය 1:1:1:1/2 හෝ 2:2:1:1/2 ලෙස සැකසූ මිශ්‍රණයක් වඩාත් සුදුසුය.සාමාන්‍යයෙන් මෙම පැළ සිටවනුයේ බඳුන් තුළය. වර්ධනය වූ අප්‍රිකන් වයලට් පැළයක විෂ්කම්භයෙන් තුනෙන් එකක පමණ ප්‍රමාණයෙන් යුක්ත බඳුනක් පැළ සිටුවීම සඳහා සුදුසුය.

ජල සම්පාදනය

අප්‍රිකන් වයලට් වර්ධනය අඩාල වී නිසියාකාරව මල් හට නොගැනීමට ප්‍රධාන හේතුවක් වනුයේ අක්‍රමවත් ජල සැපයුමයි. දීර්ඝකාලීනව පසේ පවතින අනශ්‍යය තෙතමනයද අෆ්රිකන් වයලට් මුල් සඳහා අහිතකරය. එහෙයින් ජල සැපයුම කළ යුත්තේ රෝපණ මාධ්‍යය වියළි තත්වයට පත් වූ විටය.තවද මල් හෝ පත්‍ර තෙත්ව දිගු වේලාවක් තැබීම නුසුදුසුය. ආර්ද්‍රතාවය 40% සිට 60% දක්වා අගයක පැවතීම මෙම මල් හට ගැනීම සඳහා අවශ්‍යය වන තවත් සාධකයකි. ජල සම්පාදනයේදී සැමවිට උත්සහ කළ යුත්තේ කාමර උෂ්ණත්වයේ ඇති ක්ලෝරීන් රහිත ජලය පැළ සඳහා ලබා දීමටයි.

අප්‍රිකන් වයලට් පත්‍ර මගින් නව පැළ ලබා ගත හැකිය. මේ සඳහා වඩාත් සුදුසු වන්නේ තරමක් මේරූ නීරෝගී පත්‍රය. තියුණු සැතක් මගින් සම්පූර්ණ පත්‍රය එහි නටුව සමඟ පැළයෙන් වෙන් කරගත යුතුය. ඉන් පසු නටුවේ අගින් අඟලක් හෝ අඟල් එක හමාරක් පමණ කපා ඉවත් කර ඉතිරි කොටස රෝපණ මාධ්‍යයේ සිටුවිය යුත්තේ නටුව මාධ්‍යය තුල සම්පූර්ණයෙන් ගිල්වා ශාක පත්‍රය පමණක් මතුපිට පිහිටන පරිදිය.ඉන්පසු පැළයට ජලය දැමිය යුතුය.යහපත් තත්ත්ව යටතේ සති තුන හතරකට පසු නටුවේ කෙළවරින් මුල් හට ගැනේ. මුල් හටගෙන තවත් සති තුන හතරකින් පමණ අලුත් පැළයේ පත්‍ර හට ගැනීම සිදුවේ.

මියගිය පත්‍ර හා වියළුණ මල් පොකුරු කපා ඉවත් කිරීම, ක්‍රමවත් ජල සැපයුම, ජල සීරාව නොරැඳෙන පරිදි සැකසීම ආදීය මෙහිදී සැලකිලිමත් විය යුතු විශේෂ කරුණුය.

 

 

උමයංගනා පූජනී ගුණසේකර

කෘෂිකර්ම පීඨය

රුහුණ විශ්වවිද්‍යාලය

Comments