අඹ ලොවේ නව ගමන් මඟ Tjc අඹ | සිළුමිණ

අඹ ලොවේ නව ගමන් මඟ Tjc අඹ

‘අල්පෝන්සු ‘Tjc අඹ නොවේ. අඹ ලොවේ නව මානයක් සොයාගිය රජු ලෙස සැලැකෙන Tjc අඹ අද වනවිට ලෝකයාගේ රසවත් පලතුරක් බවට ප්‍රචලිතව ඇත්තේ ය. එහෙත් බොහෝ දෙනා නොදත් කරුණක් වන්නේ මේ අඹ ලොවේ රජුගේ මුල්ම නිපැයුම්කරුවා වන්නේ ලංකාවේ ශ්‍රි ලාංකිකයන් දෙදෙනකු බවයි. ටොම්.ඊ.ජේ.සී හෙවත් මේ Tjc අඹ වර්ගයේ නිර්මාතෘ වන්නේ ශ්‍රි ලංකික ව්‍යාපාරිකයකු වන දේශබන්දු ටොම් එල්ලාවල මහතාය. 1993 වර්ෂයේ අනුරාධපුර දිස්ත්‍රීක්කයේ ගල්කිරියාගම ප්‍රදේශයෙන් ආරම්භ වූ මේ අඹ ප්‍රභේදය ලොවට විවර වූයේ ඒ මහතාගේ ව්‍යාපාරික හා තාක්ෂණික ඥාණයේ ප්‍රතිඵලක් නිසාවෙනි. ටොම් එල්ලාවල මෙන්ම ඔහුගේ හිතවතකු වූ ජුවාන් කාලෝස් යන මහත්වරුන් දෙදෙනා විසින් සිය තාක්ෂණක ඥානය යොදවමින් කරන ලද පර්යෝෂණයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මෙම රසවත් පලතුර ලොවට බිහිවිය. අවසානයේ එම විද්වත් දෙපළට ගෞරවයක් පිණිස Tom and JC යන නම් ද්විත්වය එකතු කරමින් Tjc නමින් වෙළෙඳ පොළ කරා ප්‍රචලිත වූ අතර ජාත්‍යන්තරය පවා ජයගෙන ඇත්තේ මේ ශ්‍රි ලාංකික නාමයන් දෙක එක්වීමෙනි.

ශ්‍රි ලාංකීය ගොවි ජනතාව සහ ව්‍යාපාරිකයන් අතර වාණිජ ලොව වඩාත්ම ප්‍රචලිත පලතුරක් බවට මේ Tjc අඹ වර්ගය ප්‍රචලිත කිරිමටත්, ජාත්‍යන්තර වෙළෙඳ පොළ කරා වඩාත්ම ඉක්මනින් සමීප කරවීමටත් මේ අඹ වර්ගයට හැකිවී තිබේ. එයට බලපෑ හේතු අතර මෙම අඹ වර්ගයේ ඇති අති මිහිරි රසය වාණිජමය වශයෙන් ලාභ ලැබීමත් හේතු වී ඇත. මේ වන විට අඹ ලොවේ වඩාත්ම ජනප්‍රිය වි ඇති මේ අඹ වර්ගය වාණිජ ලාභ ඉපයීමේ අරමුණින් බොහෝ දෙනා මේ වගාවන්ට සිය අතහිත යොදවා ඇත. වර්තමානය වන විට බොහෝ වගාකරුවන් සිය පෞද්ගලික වෙළෙඳ අරමුණු වෙනුවෙන් මහා පරිමානයෙන් මේ වගාවට අතහිත යොදවා ඇත.

අප රටේ වියළි හා අතරමැදි කලාපයන් තුළ ඉතා හොඳින් වැවෙන මේ පලතුර වගා කිරීමෙහිලා බොහෝ දෙනෙක් සිය අතහිත යොදවා ඇත්තේ හේතු කාරණාවන් කිහිපයක් මතය. Tjc අඹ ගෙඩිය අන් අඹ ගෙඩි මෙන් නොව ඉතා ආකර්ෂණීය පෙනුමකින් යුතු හා ගෙඩියක් බර ග්‍රෑම් 600-1000 ක විශාලත්වයෙන් වැඩිවීම නිසා ඉතා හොඳ මිල ගණන් යටතේ ලාභ ලැබීමේ හැකියාව පවතියි.

වැඩි මාංශල ප්‍රමාණයකින් යුතුවීම මෙන්ම පොත්තේ ඝණකම අඩුවීම නිසා වැඩි මිලක් දී හෝ එය ලබා ගැනීමෙන් පාරිභෝගිකයාට පාඩුවක් වන්නේ නැත. එසේම හොඳ පෝෂණ ගුණයෙන් යුතුවීම මෙන්ම ඉහළ පාරිභෝගික රුචිකත්වයෙන් යුතුවීම වගාකරුවන්ට මෙය වගාකීරීම අති සාර්ථක ප්‍රතිඵල ලැබීමට හේතු වෙයි.

මේ වන විට Tjc අඹ වගාවේ මූලාරම්භය වශයෙන් සැලැකෙන ගල්කිරියාගම, දඹේවටන එල්ලාවල ෆාම් ගොවිපළින් මේ වගාවන්ට ඉතා හොඳින් අතහිත දීමට කටයුතු කරන අතර රටපුරා වගාකරුවන්ට මේ සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම මෙන්ම හොඳ පැළය ලබා ගැනීමේ අවස්ථාවද එහිදි උදාකර දී ඇත. Tjc වර්ගයේ අඹ වගාවක් කිරීමට නම් ඒ සඳහා හොඳ තත්ත්වයේ ගුණාත්මක පැළයක් ලබා ගැනිම අවශ්‍ය වේ. මේ සඳහා ගුණාත්මක පැළයක් ලබා ගන්නේ Tjc අඹ මව් ශාකයෙනි. නමුත් වර්තමානයේ විවිධ වංචනික පරමාර්තයෙන් මේ අඹ පැළ විකිණිම හේතුවෙන් ගුණාත්මක බවින් තොර අඹ රට පුරා ව්‍යාප්තව ඇත.

නමුත් හොඳ තත්ත්වයෙන් යුතු Tjc අඹ ඵලදාවක් ලබා ගැනීමට නම් නියමිත ප්‍රමිතියෙන් යුතු හොඳ පැළයක් ලබා ගැනීම අවශ්‍ය වේ.එසේම මෙම අඹ වර්ගයට ඇති අධික ඉල්ලුම නිසාවෙන් බොහෝ දෙනා මේ අඹ වලට ව්‍යාජ නාමයන් යොදා ගනිමින් විකිණීම් කළත් එවා නියමිත තත්ත්වයෙන් යුතු එවා නොවේ යැයි මේ වන විට සොයා ගෙන ඇත. වර්තමානයේ බොහොමයක් සුපිරි වෙළඳසැල් TJC Mango නමින් මේ අඹ විකිණිම් කළත් ඇතැමුන් මේ අඹ ‘අල්පෝන්සු‘ නම් වූ අනුවර්තන නාමයන් යොදා ගනිමින් විකිණීම් කරති. අල්පෝන්සු යනු ඉන්දීය සම්භවයක් සහිත පලතුරක් වන අතර එහි පැහැය Tjc අඹ ගෙඩියේ පැහැයට සමාන කමක් පෙන්වන අතර මෙය එකිනෙකට වෙනස් ප්‍රභේදයන් දෙකක් වේ. මේ නිසා Tjc අඹ අල්පෝන්සු යනුවෙන් විකිණීම සම්පූර්ණයෙන්ම වැරැදි අතර මේ පිළිබඳ පාරිභෝගිකයින්ද දැනුවත් වීම වටී. මේ දෙක නමින් වෙනස් වන්නා සේම ගුණයෙන් හා රසයෙන්ද වෙනස් වන්නේ ය.

රටේ වියළි කලාපයන් තුළින් අපනයන භෝගයන් නිර්මාණය කිරිමේ සංකල්පය යටතේ විදේශ විනිමය ඉපැයීම අරමුණු කර ගනිමින් ප්‍රවර්ධනය කරන මෙම Tjc අඹ වර්ගය නිවැරැදි කෘෂි තාක්ෂණයට අනුව කිරිම හොඳ හා නිවැරැදි ගුණාත්මක මට්ටමින් යුතු Tjc අඹ වර්ගයක් නිපදවා ගැනීමේ හැකියාව පවතියි. ගුණාත්මක මට්ටමින් යුතු පැළයක් නිවැරැදි තාක්ෂණයට අනුකූලව වගා කිරීමෙන් අනතුරුව වසර 3 ක් ඇතුළත මල් හට ගන්නා අතර මාස 8 ක කාලයක් පුරාවටම අඛණ්ඩව ඵල දැරීමේ හැකියාව පවතියි. සාමාන්‍යයෙන් ඉහළ ගුණාත්මක මට්ටමේ යුතු අඹ කිලෝවක වටිනාකම රුපියල් 350 ක් 700 ක් අතර වේ.

Tjc අඹ ඵලදාවක් ලබා ගැනීම නුපුරුදු අයෙකුට කිරීම තරමක් අසීරු කර්තව්‍යයකි. දරුවකු හරියාකාරව බලා ගන්නා සේම Tjc අඹ ගසද බලා ගැනීම හා පෝෂණය කිරීමට නම් ඒ පිළිබඳ හොඳ තාක්ෂණික දැනුමක් හා පුහුණුවක් තිබීම අත්‍යාව්‍යයය. පැළ බද්ධයේදි මෙන්ම මල් හට ගැනීම මෙන්ම ඵලදාව නෙළා ගැනීම දක්වාම මේ වෙනුවෙන් කළ යුතු කරුණු බොහෝ වෙයි.

මේ පිළිබඳ පුළුල් විග්‍රහයක් ලබන සතියේ රන්බිම අතිරේකයෙන් බලාපොරොත්තු වන්න.

 

 

සුභාෂිණි ජයරත්න

 

Comments