අපට වාස­නාව ගෙනාවේ මී මැස්සෝ | සිළුමිණ

අපට වාස­නාව ගෙනාවේ මී මැස්සෝ

ගොඩාක් ඉස්සර අපි පුංචි කාලේ, මිදුලේ අඹ ගහේ තියලා තිබුණ මැටි කලෙකට මීමැස්සෝ ආවම, " ගෙදරට වාසනාවක්" කියලා ආත්තම්මා කියනවා. ළඟට ගියොත් පන්න පන්න විදින මීමැස්සෝ වාසනාවක් වෙන්නෙ කොහොමද කියලා, ගොඩාක් ඈත ඉඳන් ඔළුවත් කහකහ අපි කල්පනා කරනවා. "මීමැස්සෝ ආවාම වත්තේ ගස්වල ඵලදාව වැඩිවෙනවා. ඒකයි වාසනාවක් කියලා කියන්නේ",

අම්මා අපේ ප්‍රශ්නෙට උත්තරේ දෙනවා. අපිට ඒක තේරෙන්නේ නෑ. ඒත්, සැරින් සැරේ අපි ඒළඟට ගිහින් උන් යනවා එනවා බලාගෙන ඉන්නවා. අපිට ඕන මීපැණි තියෙනවද බලන්න. මීපැණි කාලා බලන්න. ඒත්, එහම තියෙන ජනපදයකින් මීපැණි ගන්න විදිය අපි කවුරුත් දන්නේ නෑ. ඒ නිසා මීපැණිත් නෑ. ඔහොම කාලයක් ගිහින් අපිත් ටිකක් ලොකු උණාම, ළඟ ගෙදරක අයියා කෙනෙක් එක්ක මී වදයක් කඩන්න කියලා යනවා.

ඒක බැඳලා තියෙන්නේ ලොකු කොටේක. බෙනේක. හෝ ගාලා මැස්සෝ. අපි මී කඩන්න දන්නේ නෑ. කඩන විදිය පැත්තකට වෙලා බලාගෙන ඉන්නවා. මුලින්ම වේළිච්ච පොල් කොළ මිටියක් පත්තු කරගෙන දුම් ගහනවා. දුමත් එක්ක මීමැස්සෝ ගොඩාක් එළිියට එනවා. එතකොට හරි සද්දේ. සමහරු පන්න පන්න විදිනවා. ඒ එයාලගෙ ජනපදය අපෙන් බේරගන්න. කොහොම හරි, සම්පූර්ණ ජනපදයම ටිකකින් විනාශයි. "වැඩිය පැනි තිබුනේ නෑ. පැනි වාරයක් නෙමේ වගේ", පොඩි බොතලේකට මීපැණි, වදවලින් මිරිකන ගමන් අපිත් එක්ක ආපු අයියා කියනවා. එතකොට අනිත් වදවල තියෙන්නේ මොනාද? අපිට හරියට ප්‍රශ්න. "ඒ පැටව්. උන්ගෙන් වැඩක් නෑ", අයියා උත්තර දුන්නාම අපිට හරි දුකයි. ටිකකින් කඩි, කූඹි ඇවිත් උන්ව ඇදගෙන යනවා. ඉතිරි මීමැස්සෝ රන්චුව පිටින්ම ඈතට ඉගිලිලා යනවා. උන් ආයෙම කවදාවත් එන්නේ නෑ. ගෙදර ගියාට පස්සෙත්, සති ගානක් යනකන් මතක් වෙන්නේ ඒක. ආයෙනම් මී කඩන්නේ නෑ. අපි හිතාගන්නවා.

ආදිවාසින්, දඩමස් කල්තියාගන්න මීපැණි වල ගිල්වලා තිබ්බා කියලා ඉගෙනගන්නේ පුංචිම දවස්වල. මීපැණි අවුරුදු ගානක් ගියත් නරක්වෙන්නේ නෑ කියලා පොතක තිබිලා ඉගෙනගන්නවා. ඉතින් මට ඕන ඒක ඇත්තද බලන්න. ඒක නිසා, මීමැසි පෙට්ටියකින් ගත්ත මීපැණි ටිකක්, පරිස්සමට බෝතලේක අහුරලා තියලා තියනවා. දැනට අවුරුදු තුනක් වුනත්, ඒවාට තාම මුකුත් වෙලා නෑ, ඉස්සර රජකාලේ, වෙහෙර විහාර හදනකොට පාවිච්චි කරපු බදාම වලට මීපැණිත් පාවිච්චි කළා කියලා අහලා තියෙනවා.

ආයුර්වේද වෙදකම් වලට මීපැණි නැතුවම බැරි බෙහෙතක් කියලා හැමෝම දන්නවා. තාමත්, ගමේ කාටහරි බෙහෙතකට මීපැණි ටිකක් ඕනෙ වුණාම එන්නේ අපේ ගෙදරට. ගොඩාක් කාලයක් ගිහින්, විශ්වවිද්‍යාෙල ගියාට පස්සේ, යාළුවෙක්ගෙන් මීමැසි පාලනය ගැන ඉගෙනගන්නව කියලා මට ආරංචියක් ලැබුණා. මේ නිසා මගේ හිතේ නැවත වරක් මී මැසි පාලනය පිළිබඳ උනන්දුවක් ඇති වුණා.

මී පැණිවල විවිධ ගුණ තියෙනවා. මීමැසි රැජිනව හදාගන්න කීටයන්ට කන්න දෙන "රාජජල්ලි" ආහාරයට ගැනීමෙන්, කාන්තාවන්ගේ ඩිම්බකෝෂ වර්ධනය කර, වඳභාවය නැති කරනවා කියලා, මේ බව විද්‍යාත්මකවත් ඔප්පු කරලා තියෙනවා. ඉතින් මේවා ගොඩාක් ඉහළ මිල ගණන්වලට ලංකාවෙත් විකිණෙනවා. මීමැස්සන්, පැටවුන්ට ආහාරයට ගේන පරාග වලත් ඉහළ පෝෂණයක් තියෙන නිසා, ඒවත් ලොකු මිලකට විකිණෙනෙවා. පරණ මීවද උණු කරලා හදාගන්න මී ඉටි බතික් වැඩවලට ඕනෑ වෙනවා. මී ඉටි පාවිච්චිකරලා හදන ඇතැම් ආලේපන වර්ග සාප්පුවල හරි හරියට විකිණෙනවා. උපන්දිනේ සමරන්න, උපන්දින කේක් එකට ගහන, පාට පාට ලස්සන ඉටිපන්දම් හදලා තියෙන්නේත් මී ඉටිවලින්.

මහා විද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් වරක් කියනවා, ලෝකයෙන් මීමැස්සන් ඇතුළු පරාගකාරකයන් තුරන් වුවහොත්, ලෝකයේ පැවැත්ම තියෙන්නේ අවුරුදු හතරක් විතරයි කියලා.

අපි ආහාරයට ගන්නා ඵලවලින් තුනෙන් එකක් හැදෙන්නේ පරාගණය නිසා කියලා අදහසක් තියෙනවා. කුරුණෑගල පැත්තේ ලොකු පොල් වත්තක අයිතිකාර මහත්තයෙක් කතා කරලා මට මෙහෙම දෙයක් කිවුවා. එයාගෙ පොල් වත්තේ මීමැසි පෙට්ටි ටිකක් ගෙනත් තියන්නලු. දැන් ඉස්සර වගේ මීමැස්සෝ නැතිනිසා පොල් හැදෙන්නේ නැතිලු. අක්කර පහ, හයක වට්ටක්කා හදලා තියෙන ගොවි මහත්මයෙක් කතාකරලා කියන්නෙත් ඔය කතාවමයි. මීමැස්සෝ ගේන්න කලින් ගෙඩි එක, දෙක හැදුන අපේ ගෙදර රතුපොල් ගහේ, දැන් පිරෙන්න ගෙඩි හැදෙනවා. පොල් මල් පිරෙන්න වහගෙන ඉන්න මීමැස්සෝ දැක්කම, අර කතාව ඇත්ත තමයි කියලා මටත් හිතෙනවා. සමහරු මීමැස්සන් ඇති කරන්නේ විනෝදෙට . "ඒක හරි මානසික සතුටක්", චීනයේ මීමැස්සන් නැතිනිසා, එයාලට පරාගණය කරන්න වෙලා තියෙන්නේ අතින්. පින්සල් අරගෙන ගස් උඩ නැඟලා. ඒක හරිම කරදරයක්. ඊශ්‍රායලය, එයාලගේ තක්කාලි මල් පරාගණය කරන්නේ අත් පරාගණය මඟින්. ඒ අතින් අපි තවම වාසනාවන්තයි.

මීමැසි පාලනයට අපේ රටේ තියෙන්නේ ඉතාමත් උචිත පාරිසරික මෙන්ම කාලගුණක සාධක. ලංකාව පුරා විහිදිලා තියෙන, වනාන්තර පද්ධතිය මෙන්ම රබර් හා යුකැලිප්ට්ස් වැනි වගාවන්ද මීපැණි නිෂ්පාදනය සදහා ගොඩක් වැදගත්. ඒවගේම, පොල්, පුවක් වැනි වගාවන් වසර පුරාම මීමැස්සන් සඳහා අවශ්‍ය පරාග සැපයීමට සමත්. ලංකාවේ වෘත්තීය වශයෙන් මීමැසි පාලනයේ යෙදී් සිටින්නන් අඩුයි. ඒත් ඒක රසවත් වෘත්තියක් ඒකේ රසය ලැබෙන්නේ නිවැරැදිව කළොත් විතරයි. මේ නිසා අපි නිවැරැදිව කළොත් ඉන් නිවැරැදි ප්‍රතිඵල නෙළා ගන්නත් ඔබට හැකි වේවි. මේ නිසා අපිත් සමඟ මී පැණි රසය විඳින්න ඔබත් එක්වන්න. ඉදිරියේදී නිවැරැදිව මී මැසි පාලනය කරන්න ඔබටත් අවබෝධයක් ලැබේවි

 

එච්. එම්. අයි. එල්. පී. කුමාර

 

Comments