හිසට සෙවණ දෙන්න අපෙන් අත හිත | සිළුමිණ

හිසට සෙවණ දෙන්න අපෙන් අත හිත

ශාක නොමැති කර්කශක පරිසරයකට අපට පමණක් නොව සතා සිවුපාවට ද මුහුණ දීමට නොහැකිය. ජල උල්පත් පමණක් නොව මිනිසාට හිමි සියලුම සම්පත් අධික උණුසුම නිසා ක්‍රමයෙන් ක්ෂය වී යයි. මේ නිසා සිසිලස සලසා ගතයුත්තේ මිනිසා විසින්මය ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා පුරෝගාමී වී මේ වගා සංග්‍රාමය ආරම්භ කළේය. එපමණක් නොව වගා නොකරනු ලබන ඉඩම් වගා කරන පුද්ගලයන්ට පවරාදීමේ වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක ‍වන බව පසු ගියදා කතාබහට ලක් වුණි. මේ නිසා වගා කිරීමට කැමැත්තෝ වගා කිරීමට දැඩි උනන්දුවක් දැක්වූහ. එපමණක් නොව කොස් තේක්ක කරුවල බුරුත වැනි ශාක සඳහා ද ඉහළ ඉල්ලුමක් පවතින නමුත් එම ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමට ද අපට හැකියාවක් නැත. මේ නිසා එවැනි ශාක කැපීම සම්බන්ධයෙන් විවිධ තහංචි පැන විණි.

මිනිස් අවශ්‍යතාව මත මේ ශාක කපා ප්‍රයෝජනයට ගන්නා ලදී. එහෙත් අනාගත පරපුර උදෙසා මේ ශාක වගා නොකිරීම නිසා මේ තත්ත්වය උග්‍රවීමට හේතු වූවකි. කෙතරම් මිනිසුන් උනන්දු කළත් ශාක වැවීමට මිනිසා පෙළඹෙන්නේ කලාතුරකිනි. එයට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ නාගරික ප්‍රදේශවල ඉඩකඩ සීමාසහිත වීමයි. පර්චස් 10ක හා 12ක ඉඩකඩක තේක්ක කොස් වගා කිරීමට හැකියාවක් නොමැත.

ග්‍රාමීය ප්‍රදේශවල මෙවැනි ශාක වගා කිරීමේ හැකියාව තිබුණත්, එම ශාක රැකබලා ගැනීමේ හැකියාවක් ග්‍රාමීය ජනතාවට නොමැත. මෙයට එක් හේතුවක් වී තිබුණේ අලි ප්‍රශ්නයයි. අනෙක් හේතුව ගං වතුර හෝ අධික ඉඩෝරයයි. මේ ප්‍රශ්න නිසා ගම්වැසියන්ට ගස් වැවීම තනිව කළ නොහැකිය.

රජයේ නිලධාරීන්ට හෝ කෘෂිකර්ම නිලධාරීන්ට පමණක් මේ කාර්යයට සහය වීමට නොහැකිය. මේ නිසා අපේ රට බේරාගත් යුද හමුදාව මේ කාර්යයට ඍජුවදායක වීම අප අගේ කළ යුතුය. උතුරේ පොල් ගස් දස ලක්ෂයක් සිටුවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ මේ අරමුණු පෙරදැරි කරගෙනය. එමෙන්ම වටිනා ශාක වගා කිරීමේ ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වේ. සිවිල් වැසියන් සම්බන්ධ කරගත් මේ ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මකව ඇත.

ව්‍යාපෘතියට අනුව ශාක වර්ග බෙදා දීම සඳහා මුලතිව් ආරක්ෂක හමුදා මූලස්ථානය කටයුතු කර තිබේ.

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු මහතාගේ මෙහෙයවීම යටතේ මේ ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 59, 64, 68 සේනාංකයන්හි සේනාංකාධිපතිවරු යටතේ මේ ව්‍යාපෘතිය ආරම්භ විය. ඒ අනුව කොස්, මැහෝගනී හා සියඹලා ශාක වර්ග ජනතාවට බෙදා දුණි. ඒ අතරේ කොස් පැළ 2000ක් සියඹලා පැළ 1000ක් සහ මහෝගනී පැළ 750ක් ඒ අතර සිදු විය. ඒ පැළ රෝපණය කිරීම හා අනෙකුත් කටයුතු සඳහා යුද හමුදාවේ උපකාරය ලබා දී තිබේ.

හමුදාව ජනතාවට මේ වන විටත් උපරිම සහය දී ඇති අතර අවශ්‍ය වන්නේ ජනතාව මේ වෙනුවෙන් අැපකැපවීම පමණි. අවශ්‍ය උපදෙස් සහ සහය යුද හමුදාවෙන් ලබාදෙන බව පැහැදිලිවම කිව යුතුය.

ජාති ආගම් භේදයකින් තොරව සැම කෙනෙක්ම මේ කාර්ය සඳහා සහය පළ කර තිබේ. මේ කාර්යය සම්බන්ධයෙන් සහයෝගය ලබාදුන් සියලු හමුදා නිලධාරීන්ට අප ස්තූතිය පළ කළ යුතුය. ඔවුන් එවැනි මෙහෙවරක් කළේ අප හා අපේ අනාගත පරපුර වෙනුවෙනි. ශාක රෝපණය පරපුරෙන් පරපුර ගෙන යා යුතු මහඟු ගුණාංගයකි.

 

 

තාරක වික්‍රමසේකර

Comments