
පුරුක් පණුවන් විශේෂ කිහිපයක් ආසියාතික රටවල වී වගාවන්ට හානි පමුණුවයි.මොවුන් අතුරින් ශ්‍රී ලංකාවේ බහුල සිටින , ප්‍රධාන විශේෂය වන්නේ කහ පුරුක් පණුවාය.දිවා කාලයේ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින පුරුක් පණු සලබයන් ක්‍රියාකාරී වන්නේ රාත්‍රී කාලයේය. සාමාන්‍යයෙන් දින 4ක පමණ ජිවිත කාලයක් ගත කරන ගැහැනුසලබයින් බිත්තර 200-300ක් පමණ දමයි.
අනාදිමත් කාලයක සිට ශ්‍රී ලාංකිකයන්ගේ ප්‍රධාන ආහාරය බත් විය. ආහාරයක් ලෙස පරිභෝජනය කළ හැකි පරිදි බත් සකස් කිරීම සදහා ගුණාත්මක තත්ත්වයෙන් යුක්ත සහල් අවශ්‍ය ය. ඒ සඳහා දේශීය ගොවීන් තම ජීවිත කාලය පුරාම තම ශ්‍රමය කැප කරයි. වී වගාවේ පාරිසරික බලපෑම් මත විවිධ පළිබෝධකයන් මඟින් නොසිතූ අයුරින් වී වගාව විනාශයට පත් වී යන ආකාරය වර්තමානයේ දී අපට දැක ගැනීමට හැකිය. එහිදී වී වගාවේ පළිබෝධකයන් පිළිබඳ මනා අවබෝධයක් සෑම ගොවි මහතකු සතුව පැවතීම ඉතාමත් වැදගත් වේ. එසේ නම් මේ වී වගාවේ පළිබෝධකයන් ඒවා පාලනය කිරීම පිළිබඳව ගන්නොරුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය (HORDI) විසින් අවධානයට ලක්කර ඇති පළිබෝධකයන් කීප දෙනෙකි.
කහ පුරුක් පණුවා
පුරුක් පණු විශේෂ කිහිපයක් ආසියාතික රටවල වී වගාවට හානි පමුණුවති. මොවුන් අතුරින් ශ්‍රී ලංකාවේ බහුල සිටින , ප්‍රධාන විශේෂය වන්නේ කහ පුරුක් පණුවාය. දිවා කාලයේ සෙවණ ඇති ස්ථානවල රැඳී සිටින පුරුක් පණු සලබයන් ක්‍රියාකාරීවන්නේ රාත්‍රී කාලයේය. සාමාන්‍යයෙන් දින 4ක පමණ ජිවිත කාලයක් ගත කරන ගැහැනු සලඹයින් බිත්තර 200-300ක් පමණ දමයි.එමෙන්ම මොවුන් ආලෝකය දෙසට ආකර්ෂණය වන නිසා ක්ෂේත්‍රයේ අධික ගහන මට්ටමක් ඇතිවේ. එවැනි අවස්ථාවල ගොයමේ ඇති පුරුක් පණු බිත්තර කැදලි ප්‍රමාණයද සලබයින්ගේ සංඛ්‍යාවට අනුකූලව අධික වේ. ජීවන චක්‍රයක් සම්පූර්ණ වීම සඳහා සාමාන්‍යයෙන් සති 4-5ක් ගතවේ.
කහ පුරුක් පණුවා මඟින් ඇති වන හානිය වන්නේ බොල්වූ ශුකිකා සහිත සුදු කරල් ඇති වීම ය.
සුහුඹුල් සලබයාගෙන් හානියක් නැතත් කීට අවස්ථාව ගොයම් ශාකයේ කඳට හානි කරයි. මොවුන් ගොයම් ශාකයේ වර්ධක හා ප්‍රජනක යන අවධි දෙකටම හානි කරයි. පුරුක් පණුවන් ගොයම් ගසේ කඳ තුල පෝෂණය වේ. මේනිසා සනාල පද්ධතිය විනාශ වී හානිවූ රිකිලි මැරී යයි.
තව ද කරල් හට ගැනීමට පෙර එනම් වර්ධක අවධියේ සිදුවන පුරුක් පණු හානියේ ප්‍රතිඵලය වන්නේ රිකිලිවල වැඩෙන අංකුරය සහ අභ්‍යන්තර පත්‍ර වියළීයාමයි. මේවා "මළ හදවත්" (dead hearts) ලෙස හඳුන්වනු ලබයි. පීදෙන අවස්ථාවේදී පුරුක් පණුවාගෙන් සිදුවන හානිය බොල්වූ ශුකිකා සහිත "සුදු කරල" (white heads) වශයෙන් දැකගත හැකිය. මෙහිදී සම්පූර්ණ කරල් බොල්වී වියළී යයි.
ගොයම් කරල් වර්ධනය වන අවස්ථාවේ පුරුක් පණු ආසාදනය නිසා කඳ සම්පූර්ණයෙන් විනාශ නොවුණහොත් හානිය පත්‍ර කොපුවලටත්, කඳේ පහළ කොටසේ සමහර ස්ථාන වලටත් සීමාවිය හැකිය.
කඳේ සිටින පුරුක් පණුවා
මෙවැනි අවස්ථාවලදි කරලේ පහළ කොටසේ ශුකිකා සමහරක් පමණක් බොල්වේ. පුරුක් පණුවාගේ හානිය සිදුවූ බවට හඳුනාගත හැකි ලක්ෂණ සමහරක් නම්, කඳ තුළ පුරුක් පණුවන් සිටීමයි. පුරුක් පණුවන් නිසා කඳ කපා දමා ඇති බවට පෙන්නුම් කරන සලකුණු තිබීම.කඳ තුල කීට අපද්‍රව්‍ය දක්නට ලැබීම.
පත්‍රවල වර්ණ වෙනස්විම හා පුරුක් පණු සලබයා පිටවු සිදුරු කඳෙහි සහ පත්‍ර කොපුවල දක්නට ලැබීම හා වගාවක පුරුක් පණු බිත්තර කැදලි දක්නට ලැබීම අනිකුත් විශේෂයන්ය.
මේ කඳේ සිටින පුරුක් පණුවන් පාලනය කිරීම සඳහා කන්නයට වගා කිරීම, භෝග මාරුව (මෙය යායම එකට කළ යුතුය). අස්වැන්න නෙලූ වගාව (ඉපනැල්ල) පසට යටකර දැමීම, හොඳින් බිම් සකස් කර වල් පැළෑටි මර්ධනය, අධික ලෙස නයිට්‍රජනීය පොහොර භාවිතයෙන් වැළකීම, කෙටි කාලීන නිර්දේශිත ප්‍රභේද භාවිතය, වසරකට කන්න 2 ක් පමණක් වගා කිරීම, නයිට්‍රජන් අඩංගු පොහොර යෙදීම, නිර්දේශය කොටස් වශයෙන් යෙදිම.ගොඩ වි වගාවන් වෙනත් බෝග සමග මිශ්‍රව සිටුවීම.
පැළ ගහනය සුදුසු පරිදි පවත්වාගෙන යාම,යාය එකට පීදෙන ලෙස වගා කිරීම,නිර්දේශිත රසායනික පාලනය කිරීම කළ යුතු වේ.
කොපු පණුවා
සුදු පැහැයක් ගන්නා සලඹයා දිගින් මි.මී. 6ක් පමණ වන අතර, විහිදුන පියාපත් හරහා මි.මී. 15ක් පමණ වේ. සුදු පැහැති පියාපත් මත කළු දුඹුරු පැහැයක් ගන්නා ලප තීරු කීපයක් ඇත. මොවුන් නිශාචරය. ආලෝකය දෙසට ආකර්ෂණය වේ.දින 8ක පමණ ජීවිත කාලයක් ඇති ගැහැනු සලඹයා සාමාන්‍යයෙන් බිත්තර 50ක් පමණ තැන්පත් කරයි.
ජල පෘෂ්ඨයට ආසන්නව පත්‍ර තලය හා කොපුව මත කාණ්ඩ වශයෙන් තැන්පත් කරන මෙම බිත්තරවලින් කීටයන් පිටවන්නේ දින 4ක කාලයකින් පසුවය.
දින 20ක පමණ වර්ධක කාලයක් ගත කරන මොවුන් කීට අවධි 5ක් පමණ පසුකරයි. ජීවන චක්‍රය දින 35කින් පමණ සම්පූර්ණ වේ.
සුහුඹුල් සලබයා
මොවුන්ගේ ජලජ ස්වසනය සඳහා දේහයේ රෝම වැනි ජලක්ලෝම පිහිටයි.
කොපු පණුවාට ගලා යන ජලය මඟින් වෙනත් කේෂ්ත්‍රය වෙත සංක්‍රමණයවී හානිය පැතිරිය හැකිය.බිත්තරයෙන් පිටවූ විගස ශරීරය වටා පත්‍රවලින් සාදාගත් කොපුව තුළ සිට ළපටි පත්‍රවල උඩු අපිචර්මය ඉතිරිවන තෙක් යට පැත්තේ කොළ පැහැ කොටස් ආහාරයට ගනිමින් ජීවත් වේ. පසුව මේරූ පත්‍රද ආහාරයට ගනී. ශරීරය වටා ඔතා ගැනීමට පත්‍ර කොටස් කපා ගැනීම නිසා පත්‍ර තැනින් තැන කා දැමූ ස්වභාවයක් පෙන්නුම් කරයි. අධික ලෙස පත්‍රවලට හානි වුවහොත් අස්වැන්න අඩු විය හැකිය.
සුහුඹුල් සලබයින් පාලනය කිරීම සඳහා වගාවේ පැළ අතර පරතරය වැඩි කිරීම,ඩනියමිත කන්නයට වගා කිරීම, දින 5-7කට වරක් වගා ක්ෂේ ත්‍රයේ ජලය කපා හැර 2ක් පමණ වියළීමට හැරීම යනාදිය කළ යුතු ය.
කොළ හකුළන දළඹුවා
සලබයා පිටවී පළමු දිනයේම බිත්තර දැමීම ආරම්භ කරයි. සාමාන්‍යයෙන් එක් ගැහැනු සතකුට බිත්තර 300ක් පමණ නිපදවිය හැකි අතර, මේවා තනි තනිව හෝ කුඩා කාණ්ඩ වශයෙන් පත්‍ර තලය මත හෝ කොපුව මත තැන්පත් කරයි.දින 3-5ක පමණ බීජෞෂණ සමයකින් පසු බිත්තරවලින් පිටවන පළමු අවධියේ කීටයා (දළඹුවා) ලපටි පත්‍ර කොටස් සූරා ආහාරයට ගනී. වර්ධක කාලයකින් පසුව දෙවන කීට අවධියට පැමිණෙන දළඹුවා පත්‍ර හකුලා ඒ තුල පෝෂණය වේ. කීට අවධි කිහිපයක් ගත කරන මෙම දළඹුවා දේහය කහ පැහැයට හුරු කොළ පැහැතිය. හිස තද දුඹුරු පැහැයක් ගනී. දින 16ක පමණ වර්ධන කාලයකින් පසු එළඹෙන පිලවා අවධියද ගත කරන්නේ හකුලාගත් පත්‍ර තුලය.
මොවුන් පත්‍ර දාර එකට බැඳ නාලාකාර ව්‍යුහයක් සාදා එය තුල සිට පත්‍ර මධ්‍යයේ පටක සිරස් තීරු වශයෙන් සූරා කයි. මෙම හානිය පැතිරී ගිය අවස්ථාවල සුදු පැහැ ගැන්වූ හෝ දුර්වර්ණ වූ හැකිළුණු පත්‍ර නිසා ගොයමට නිසරුබවක් හා අවලස්සන බවක් ඇති වේ.හකුලාගත් පත්‍රයක් තුල පෝෂණය වන දළඹුවාට එම පත්‍රයේ මෘදු පටක ප්‍රමාණය අඩුවූ විට වෙනත් පත්‍රයක් වෙත සංක්‍රමණය වීම සිදුවේ. මේ නිසා ශාකයක පරිණත පත්‍රවල සිට අලුතින් හටගන්නා පත්‍ර කරා හානි ලක්ෂණ පැතිර යයි.
කොළ හකුලන දළඹුවන් පාලනය කිරීම සඳහා කන්නය ආරම්භයේදීම වගාව පිහිටුවීම,නයිට්‍රජන් අඩංගු පොහොර නිර්දේශිත පිළිවෙළටම යෙදීම,මතුපිට පොහොර කොටස් වශයෙන් යෙදීම, වගාව ආසන්නයේ එනම් නියර ආදි ප්‍රදේශවල ගොයම් නොවන වෙනත් කුඩා ශාක තිබෙන්නට හැරීම, මෙමගින් එම ප්‍රදේශයේ ජීවත්වන විලෝපික පළගැටියන්ට රාත්‍රී කාලයේදි කොළ හකුලන දළඹුවාගේ බිත්තර ආහාරයට ගෙන ඒවා විනාශ කළ හැක.එමෙන් ම ක්ෂේත්‍රය අවට වදුල ඉවත් කිරිම සිදු කළ යුතු ය.
හයිඩ්‍රීලියා මැස්සා
මි.මි. 2ක් පමණ වන සුහුඹුල් මැස්සා පත්‍ර තලය මත බිත්තර තනි තනිව තැන්පත් කරයි. බිත්තරවලින් පිටවන කීටයා (හයිඩ්‍රීලියා මැස්සා හෙවත් කරටි පණුවා) ශාකයේ කරටිය මැදට සංක්‍රමණයවි වර්ධනය වෙමින් පවතින පත්‍රවල ඇතුල් දාරයේ පටක සූරාකයි.වැඩෙන පත්‍රවල වර්ණයට සමාන කහ කොළ පැහැයක් ගන්නා මෙම කීටයා, පිලවා අවස්ථාවට එළඹෙන්නේ ද කඳ මතුපිටදිය. ජීවන චක්‍රය සඳහා සාමාන්‍යයෙන් සති 4ක කාලයක් ගනී.
හයිඩ්‍රීලියා මැස්සා හෙවත් කරටි පණුවා වර්ධනය වන පත්‍රවල ඇතුල් දාරයේ පටක මත යැපේ. පත්‍ර වර්ධනයවී දිග හැරීමත් සමග මේ අන්දමට හානිවූ පටක සුදු කහ පැහැයකින් දිස් වේ.
සාමාන්‍යයෙන් පැළ අවධියේ සිට උපරිම පඳුරු දමන අවස්ථාව පසුවන තෙක් වැඩෙන පත්‍රවල මෙම හානිය දැකිය හැකි වුවද, කෙටි කාලීන වී ප්‍රභේදවල විශේෂයෙන් පැළ අවධියේදි අධික හානි ඇති වූ අවස්ථාවල ධජ පත්‍රයද කරලේ කොටස් (ශුකිකා) ද, සුදු පැහැයක් ගෙන විනාශ විය හැක.කරටි පණුවාගේ හානිය වැඩිපුර දක්නට ලැබෙන්නේ ජලය බැඳ තැබූ කුඹුරුවලය.මෙයට ප්‍රධාන හේතුව වන්නේ සුහුඹුලන් බිත්තර දැමීම සඳහා මෙවැනි ස්ථාන තෝරා ගැනිමයි. හානි කළ ප්‍රමාණය අනුව රිකිලි දැමීම අඩුවී පරිණතවීමද පමාවිය හැක.
වගාවේ පළමු දින 30 දී දින 3-4කට වරක් ජලය කපා හැරීම,ජල පෘෂ්ඨයේ ඇසෝල්ලා වැනි පාසි වර්ග වැවීම,මඟින් හයිඩ්‍රීලියා මැස්සා හෙවත් කරටි පණුවන් පාලනය කර ගත හැකිය.
පැළ මැක්කා
සුහුඹුල් පැළ මැක්කන් මි.මී. 1-2ක් පමණ දිගැති, මෘදු දේහ සහිත කළු දුඹුරු පැහැති කෘමීන් වේ. මොවුන්ගේ ස්පර්ශක ඛණ්ඩ 5-8කින් යුක්ත වන අතර පටුවූ ද, දික්වූ ද, පියාපත් යුගල දෙකේ දාරවල සිහින් දිගැති කෙඳි පිහිටයි.
ගැහැනු සතාට කියතක ආකාරයක් ගන්නා ඩිම්බ නිධායකයක් ඇති අතර, මෙමඟින් පත්‍ර තලය සිදුරු කර බිත්තර තනි තනිව පටක තුල තැන්පත් කරයි. ළපටි බිත්තර මි.මී. 0.25ක පමණ දිග හා මි.මී. 0.1ක් පමණ පළල වන අතර, පත්‍ර තලයෙන් පිටතට අවර්ණ නෙරීමක් වශයෙන් දිස් වේ. පත්‍ර ආලෝක ප්‍රභවයක් දෙසට යොමුකර පරික්ෂා කිරීමෙන් මේවා පහසුවෙන් බලා ගත හැකිය.
මේරීමත් සමඟ කහ පැහැයක් ගන්නා බිත්තරවලින් පිටවන ළපටි කීටයන් සුදු - කහ වර්ණයක් ගනී. පළමුව නිශ්චලව සිටින කීටයන් වැඩෙන පත්‍රවල හැකිළී ඇති දාර වෙතට සංක්‍රමණයවී ඒවායේ මෘදු පටකවල යුෂ උරා බීමෙන් යැපේ.මේ අන්දමට පත්‍ර මධ්‍යයේ ඇති පටක සෛලවල යුෂ උරා බීම නිසා ඒවා දුර්වර්ණයක් ගෙන දිග අතට හැකිලේ. මෙසේ හැකිළුනු පත්‍ර තුළ කීට අවධි 3ක් හා අක්‍රීයව සිටින පිලා අවධි 2ක් ගතකර සුහුඹුලෙකු බවට පත්වේ.
ළපටි කීටයා යනු ගොයම් පැළ අවධියේදී හානි කරන ඉතා කුඩා කෘමියෙකි. සුහුඹුලන් හා ශිශුවන් පත්‍ර යුෂ ආහාරයට ගැනීම නිසා පත්‍ර රිදිවන් සුදු පැහැයකට හැරී රෝල්වී වියළී යයි.ගොයම් පැළ මේරීම පැළ මැක්කන්ගේ ගහණ වර්ධනය කෙරෙහි අහිතකර බලපෑමක් වේ. මේ හෙයින් මොවුන් ළපටි පැළවෙත ක්‍රමයෙන් සංක්‍රමණය වීමේ හැසිරීම් රටාවක් පෙන්වයි.
කන්නයක් පසුවී වගාකරන ගොයමේ පැළ මැක්කන් අධික ගහණ මට්ටම් දක්නට ලැබෙන්නේ මේ නිසාය. වියළි කාලවලදී හානිය උග්‍ර වේ. කෙටි කාලීන වී ප්‍රභේදවලට පැළ මැක්කන්ගෙන් සිදුවන හානිය අස්වැන්න කෙරෙහි වඩාත් බලපායි.
දැනට වගාකරන වැඩි අස්වැන්න දෙන වී ප්‍රභේද සියල්ලම පාහේ පැළ මැක්කාගේ හානියට ග්‍රාහීවන අතර , පැරණි කෙටි කාලීන වී ප්‍රභේද බොහොමයක ඔරොත්තු දීමේ ලක්ෂණ ඇතුළත් වේ.
පැළ මැක්කන් පාලනය කිරීම සඳහා නියමිත කන්නයට වගා කිරීම,නිසි වගා ක්‍රම අනුගමනය කිරීම,
කන්නය පමාවී වපුරන විට බීජ ප්‍රතිකාර කිරීම,හානිය වැඩි අවස්ථාවල කෘමිනාශක යෙදීම,
තවාන් දින 2ක් පමණ ජලයෙන් යටකර තැබීම කළ යුතු ය.
දුඹුරු පෑළ කීඩෑවා
ගොයමට පළමුව සංක්‍රමණය වන දිග පියාපත් සහිත සුහුඹුලන් පත්‍ර කොපු හෝ මැද නාරටි තුල බිත්තර කැදලි වශයෙන් තැන්පත් කරයි. මෙම බිත්තරවල පළල් පැතලි පියන් දක්නට ඇත.දින 7-9 කින් පසුව ශිශුවන් බිහිවේ. ශිශු අවස්ථා 5ක් ඇති අතර ඒ සඳහා දින 13-15ක් පමණ කාලයක් වැය වෙයි. පළමු අවධියේ ශිශුවන් සුදු පැහැවන අතර පසු අවස්ථා දුඹුරු පැහැගනී. සුහුඹුලන් සාමාන්‍යයෙන් දින 14ක පමණ ජීවිත කාලයක් ගත කරන අතර කෙටි හෝ දිග පියාපත් දරයි. දිග පියාපත් සහිත ගැහැණු සතුන් බිත්තර 100ක් පමණ ද, කෙටි පියාපත් සහිත සතුන් බිත්තර 300ක් පමණ ද තැන්පත් කරති.
සුහුඹුල් කීඩෑවා
පීදීමට ප්‍රථම ගොයම් පැළෑටියේ වැඩිපුර සිටින්නේ කෙටි පියාපත් සහිත සුහුඹුලන් ය. වගාව පරිණතවීමත් සමඟම සංක්‍රමණය වීමේ හැකියාව ඇති දිග පියාපත් සහිත කීඩෑවෝ වැඩියෙන් බිහිවෙති.
ජීවන චක්‍රයේ සියලුම අවස්ථාවන් පත්‍ර කොපුවේ ප්ලෝයම පටකවලින් අධිකව යුෂ උරාබීම නිසා ගොයම් ශාක පිළිස්සී ගියාක් මෙන් මිය යයි. මෙය කීඩෑ පිළිස්සීම ලෙස හඳුන්වයි. වගාව නොකඩවා සුපරික්ෂාවට භාජනය කිරීම,අවශ්‍ය අවස්ථාවල පමණක් කෘමිනාශක යෙදීම, සමහර අවස්ථාවල වගාවේ ආරම්භක අවස්ථාවල නොනිසිලෙස කෘමිනාශක යෙදීම පරිණත අවධියේ දී කීඩෑවන් හිතකර සාධකයකි.
මෙහි සඳහන් වනුයේ පළිබෝධකයන් අතලොස්සකි.