මී කිරි නිමැවුමට හපන් ගාල්ලේ දිරිය කත | සිළුමිණ

මී කිරි නිමැවුමට හපන් ගාල්ලේ දිරිය කත

ජීවිතය ජය ගත හැක්කේ දිරිය හා උත්සාහය ඇත්නම් පමණි.විවිධ අභියෝග හමුවේ නොසැලී ඉදිරියට යමින් නව මාවතක ගමන් කරනා මේ දිරිය යුවතිය ගාල්ල දිස්ත්‍රික්කයේ 406, ලුවිස් මාවත,ගලකුඹුර , ගෝනපීනුවල ලිපිනයේ පදිංචි චමිලා චාමරීය. ඈ සිය ව්‍යාපාරය අරඹන්නේ සුළුවෙනි. ඕනෑම දෙයක් වඩා ඉහළින් පටන් ගැනීමට සිතනවා වෙනුවට ඉතා පුංචියට පටන් ගත් සිය ව්‍යාපාරය අද වන විට ප්‍රධාන ජීවනෝපාය කර ගන්නට ද ඇය සමත් වී සිටියි. චමිලා චාමරී මේ වන විට එළ කිරි දියර කිරි හා මී කිරි නිෂ්පාදනය අරඹා වසර 06 කට ආසන්නය. ඊට අමතරව ගෙවත්තේ පළා කොළ එළවළු වගාවද සිදු කරයි. ඉන් නොනවතින ඈ සමෘද්ධි වැඩසටහන මගින් හදුන්වා දී ඇති සෞභාග්‍යා වැඩසටහනේ අලෙවි කටයුතු සිදු කරමින් දිරිය කතුන් සිය දෙනා අතරට ද පත්වී ඇත. ඇගේ දිරිය කතාව ඈ අප සමඟ පවසන්නේ ඉතාමත් සතුටින්ය. මම මේ ව්‍යාපාරය කරන්නෙ හරිම සතුටකින්. ඉතාම පිරිසිදුවට දියර එළ කිරි නිපදවලා අලෙවි කරනවා. ඒ වගේම මී ගවයින් ගෙන් ලබා ගන්නා කිරි බෝතල් කරලා විකුණනවා.මදි ප්‍රමාණයට මී කිරි අවටිනුත් මිළට ගන්නවා. දවසකට මි කිරි බෝතල 25 ක් 30 ක් විතර නිපදවනවා. එළකිරි ලීටර 30 ක් පමණ මගේ එළදෙනුන් මගින් ලැබෙනවා. මේ හැම දේකටම මගේ මහත්තයා තමා උදව්

කරන්නෙ.ගෝනපීනුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, ආරච්චිකන්ද සමෘද්ධි බැංකු සංගමය තමා මගේ ගමනට දිරියක් වුණේ. මේ වනවිට මට රුපියල් ලක්ෂයක ණය මුදලක් ලැබී තියෙනවා.

මී කිරි නිෂ්පාදනයට අමතරව සමෘද්ධි වැඩසටහන හා යුනිලීවර් ආයතනය එක්ව ඇරඹූ සෞභාග්‍යා අලෙවි වැඩසටහනේ සාමාජිකාවක් වෙලා එහි නිෂ්පාදන ගෙයින් ගෙට අලෙවි කිරීම සිදු කරනවා. එහිදි වසරක් සදහා අප වෙත ලබා දෙන ඉලක්ක සැපුරූ විට අපට විශේෂ ත්‍යාග ලැබෙනවා. පසුගිය වසරේ අලෙවි ඉලක්ක සපුරා මා හොදම දිරිය කතුන් සියයට තෝරා ගත්තා. එහිදී කුසලානයක් හා රු 30000 ක මුදල් ත්‍යාගයක් ද හිමි වුණා. මේ සියල්ල මා සිදු කරන්නෙ හුගාක් අසීරුතා මැද. දරුවන් හතර දෙනෙකුගේ පාසල් කටයුතු හා ගෙදර වියදම් සියල්ල අපි සපුරා ගන්නෙ අපේ මේ කුඩා ව්‍යාපාරයෙන්.

ඒ වගේම අපේ ගෙවත්තෙ පලා වර්ග , කොල එළවළු වගාවෙනුත් මුදලක් උපයගන්න අතරෙ ගෙදර ප්‍රයෝජනයටත් ගනන්වා. සමහර මාසවල වැහි කාලෙට අපට ආදායමක් නෑ . සමෘද්ධි බැංකු ණය ආදී හැම දෙයක්ම නියම වෙලාවට ගෙවාගෙන කීයක් හරි ඉතුරු කර ගන්නෙත් මේ ව්‍යාපාරෙන්ම තමයි. දියර කිරි උණු කරලා ගෙනියගන්න විදිහක් නෑ. ගාල්ල ටවුන් එකට අපේ නිෂ්පාදන අලෙවි කරන්න

ප්‍රවාහනය වෙනුවෙනුත් මුදලක් වැය වෙනවා. අපේම කියල ත්‍රී රෝද රියක් තියනවනම් ලොකු සහනයක්.තාම ලොකු මුදලක් ඉතිරි කර ගන්න නම් බැරි වුණා. ඒත් අපි කරදරයක් නැතිව ජීවත් වෙනවා.

මම මේ වනවිට ගෝනපීනුවල සමෘද්ධි විධායක සභාවෙ සභාපති. සියලුම සමිති සමාගම් වැඩත් කරන අතරෙ තමා මේ හැම දෙයක්ම කරන්නෙ. හිත ශක්තිමත් නම් කාන්තාවකට බෑ කියල දෙයක් නෑ. 2010 වසරෙ ගාලු දිස්ත්‍රික්කයෙ හොදම ව්‍යසායකයින් දස දෙනා අතරට මට එන්න ලැබුණෙ ඒ නිසයි. ඒ වගේම ව්‍යාරපාරයක් කරන කොට ලාභ පාඩු දරා ගන්නත් පුළුවන් වෙන්න ඕන.

සමාජයෙන් එන ඕනෑම ප්‍රශ්නයක් හමුවේ නොසැලී ආතම ශක්තියෙන් වැඩ කරන කාන්තාව තමා ජීවිතය ජය ගන්නෙ.

සු‍ළුවෙන් අරඹා ජීවිතය දිනන්න යැයි කියමනක් තිබේ. චමිලා සිය ජීවිත දර්ශනය කර ගෙන ඇත්තේ එම කියමනයි. කිසිවෙකුට අත නොපා ජීවින ගමන සදහා ආර්ථික ශක්තිය ලබා ගන්නා සාධාරණ ක්‍රමෝපායන් ඔස්සේ ඇගේ ගමන වැටී තිබේ. හැල හැප්පීම් බාධක පැමිණිය ද ඇයට සිය ගමන නවත්වන්නට අවශ්යම වී නැත. ඈ දිගින් දිගටම සාර්ථකත්වය කරාම ගමන් කරයි. ගැහැණියකගේ අභිමානවත් බව දිරිය,

ශක්තිය මේ සියල්ල අපට කියා දෙන්නේ කාන්තාවකට ඕනෑම අභියෝගයක් ජය ගතහැකි බවකි.

 සමන්ති මීරි­ය­ගල්ල

 

Comments