
කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්පාත ග්‍රාමයේ 1938 දී උපත ලැබූ එම්.ජී.ආර්. ආරියවංශ මහතා පරිසරයට මෙන්ම දේශිය ආහාර භෝගවලටද දේශිය ඖෂධ පැළෑටිවලට ද ආදරය කරන්නෙකිි. හාතාගොඩ පාසැලෙනි මූලික අධ්‍යාපනය ලැබූ ඔහු රුවන්වැල්ලේ රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා කටුබැද්ද කාර්මික විද්‍යාලයේ පුහුණුවී 1961 දී ගුරුපත්වීමක් ලැබීය. ඉන්පසු මහරගම ගුරු අභ්‍යාස විද්‍යාලයේ ගුරු පුහුණුව හා ලන්ඩන් ඇසෝසියේට් ඩිප්ලෝමාව ලබා දිවයිනේ විවිධ පළාත්වල සේවය කළේය. ආරියවංශ මහතා කොළඔ තර්ස්ටන් විද්‍යාලය, පිංදෙණිය විද්‍යාලය, අමුණුගම විද්‍යාලය, අම්පාර ඉගිනියාගල විද්‍යාලය, හා දෙවරක් රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සේවය කර 1991 දී විශ්‍රාම ගියේය.
ගොවි ජනතාවට කළ සේවය
තරුණ ගොවි සමාජයක් ඇති කළේය. එහි ලේකම් වශයෙන් කටයුතු කරමින් තරුණ තරුණියන් වගා කටයුතුවලට යොමු කිරීමත් සමඟ තමාත් ගොවි කටයුතු කළේය. එමඟින් ගමේ එළවළු අතිරික්කයක් ඇති කළේය.
එදා ගමේ ගවයින් බහුලව සිටි නිසා මේ වගාවන්ට ගොම පොහොර යෙදීමට උපදෙස්දී කටයුතු කළේය. ගුරුවරයකු වශයෙන් පත්වීම ලැබුවද පටන්ගත් කිසිවක් අත් නොහළේය. ප්‍රථමයෙන් ගොවි සංවිධානය පිහිටුවා එහි ලේකම් ධුරය දැරීය. තම සමකාලිනයන් සමග කෘෂි කටයුතු ඇරැඹීය. මේ වනවිට ගොවිතැනට නොයෙක් රෝග වැළදීමට පටන්ගෙන තිබුණි. ඒ සදහා විවිධ දේශීය පළිබෝධ නාශක සෑදීමට පටන් ගත්තේය. ප්‍රථමයෙන් දියර පොහොර නිපදවීමට පටන් ගත්තේය. පසුව ගමේ අන් අයටද හුරු කළේය.
දියර පොහොර සහ කෙම් ක්‍රම
ප්‍රථමයෙන් දියර පොහොර සෑදීමට කටයුතු කළ අතර මේ සඳහා ගොම ඉතාම අඩු ප්‍රමාණයක් යොදා ගත්තේය. දියර පොහොර මිශ්‍රණය ඔහුම සකස් කළේය.
අමුගොම කිලෝ 5 ක් හා එයට ගිනිසීරියා කොළ කිලෝ 01 ක්, මුරුංගා කොළ මිටක්, සුදු ලුණු බික් කිහිපයක් ගැලුම් 07 ක භාජනයකට ගැලුම් 05 ක් පමණ දියර දමා හොඳින් කලවම්කර දින 05 න් 05 ට නැවැත කලවම් කර දින 21 කට පසු ගන්නා ජලය 01 කට 05 ක් කලවම්කර දින 5 කට වරක් දැමීමෙන් පැළෑටි වැඩි ඵලදාවක් ලැබේ.
තවද වැටහිරියා කොළ තට්ටුවක්, ගොම තට්ටුවක් උදුරා දමන තණකොළ තට්ටුවක් දමා දින 21 ක් තබා කලවම්කර කාබනික පොහොර නිෂ්පාදනය කිරීම. මීට අමතරව එන පත්‍ර රෝග කෘමි රෝග සඳහා වස විසෙන් තොර දියර සෑදීම කොහොඹ කොළ කොටා ඉන් ඉස්ම ගෙන දින 21 ක් තබා 1- 5 මිශ්‍රණය කර ඉසීම. වල් කහබිලියා ගස මුල් පිටින්ම උදුරා එය පොඩි නොවන ආකාරයට අසුරා ජලය දමා දින 21 ක් තබා පැළෑටිවලට ඉසීම හා නොයෙක් පැරැණි කෙම් ක්‍රම සොයා භාවිතයට ගෙන ඇත.
සතුන්ගේ හානිය වැළැක්වීමේ උපක්‍රම
මීයන්ගෙන් වන හානිය සදහා භාවිතා කළ එක් පැරැණි ගොවියා සෑම කුඔුරකම ඉස්මත්තේ මී ගසක් වගා කර තිබුණි.
එහි ලකුණු අදත් දක්නට ඇත. මේ ගස වවා සුද්ධකර පිරිසුදු කිරීම පසුව රාත්‍රී වඳුරා කෑගැසීමට හෝරා බාගයකට පෙර එනම් රාත්‍රී 3.00 ට මේ ගස අසලට පිහියකුත් රැගෙන ගොස් ගස හතර වටේටම වැදීමෙන් පසුව උතුරු ගසට නම වරක් වැද උතුරු පෙදෙස බලා ගසට පිටිපා අත ඇති පිහියෙන් ගසට එක්වරක් කොටා ආපසු හැරී ඒ සලකුණ කළ තැන් සිට ගස් මුලට වෙදඟිල්ලේ ප්‍රමාණයට කෑලි 46 ක පට්ටයක් කපාගෙන එය වේළා කුඩුකර තැබීමෙන් මීයන්ගෙන් වන හානිය නැති විය.
ඖෂධ වැඩසටහන්
වැවෙන ඖෂධ සංරක්ෂණය සඳහාද සමිතියක් පිහිටුවා ඖෂධ පැළ ඒකරාශී කර සෑම නිවසකම ඖෂධ පැළ වැවීමට කටයුතු කළේය.
මෙය ගමට පමණක් සීමා නොකර තුන් කෝරළ ඖෂධ සභාවක් පිහිටුවා අවට ප්‍ර දේශ වලටත් පැළෑටි වර්ග හඳුන්වා දීමට කටයුතු කළේය. ඒ අනුව මොරාවත්ත විහාරස්ථානයේ, මොරාවත්ත වැඩිහිටි නිවාස භූමියේ ඖෂධ පැළ රෝපණය කළේය.
තවද ගල්පාත, මුදුගමුව, හාතාගොඩ, පන්නල හා මත්තමගොඩ අවට පාසල්වල දරුවන් දැනුවත් කරමින් පාසල් භූමියේ ඖෂධ රෝපණය කළේය.
මේ මහතා අන් අයගේ ආධාර උපකාර ඇතිව මී මැසි පෙට්ටි සීයක් පමණ ලබා දීමට කටයුතු කළ අතර ඒ සඳහා අවශ්‍ය උපදෙස් ද ලබා දුන්නේය. එමෙන්ම ගමේ පුරවැසියන්ට එළවළු බීජ වර්ග ලබා දීමට ද කටයුතු කළේය.
කුමාරසිංහ ගුණදාස
යටියන්තොට සමූහ