
සල්ලි සෙවීමට ලේසි-පහසු ක්‍රම හොයන ඔබට නම් වගාවකට අවතීර්ණය වීම තරමක් හිසරදයක්. කාර්යබහුල සමාජයේ මොන වගාවන්ද කියලා ඔබ මගෙන් අසාවි. ඒත්, වාසි ගන්න නම් මහන්සි වෙන්න ඕනෑ. ටිකක් මහන්සි වුණොත් ඔබටත් හොඳ වගාකරුවකු විය හැකියි. අවශ්‍ය වන්නේ ඕනෑකම විතරයි. ඔබ සාදික්කා වගා කරන්න ඕනෑකමක් ඇති කරගත්තොත් වාසි වෙන්නේ ඔබටමයි. මේ නිසා වගා පිළිවෙත ඕනෑකමින් හඳුනාගන්න.
ක්ෂේත්‍ර ස්ථාපනය හා වගා නඩත්තුව
සාදික්කා තනි වගාවකදී බීජ පැළ සිටුවන්නේ නම් පරතරය මීටර් 6 X මීටර් 6ක් වන අතර, බද්ධ පැළ සඳහා මී. 4.5 මී. X 4.5ක් වේ. සිටුවීම සඳහා දිග, පළල හා ගැඹුර සෙ.මී. 75 බැගින් වන වළවල් සකස් කර ඒවා හොඳින් දිරූ ගොම පොහොර හා මතුපිට පස් සම ප්‍රමාණවලින් දමා පුරවා හොඳින් මිශ්‍ර කරගත යුතුය. වර්ෂා කාලය ආරම්භයත් සමඟ පැළ සිටුවිය යුතු අතර, මුල් වසරේ 40- 50%ක් පමණ සෙවණ යටතේ නඩත්තු කළ යුතුය.
ශාකවල වර්ධනයත් සමඟ ඉහත සෙවණ මට්ටම ක්‍රමයෙන් වසරකට 10% බැගින් අඩු කර අවසානයේ වසර 5කට පසු සම්පූර්ණයෙන් ආලෝකයට විවෘත වන ලෙස සෙවණ රහිතව නඩත්තු කළ යුතුය.
මුල් වසර 5 තුළ වල් පැළෑටි මර්ධනය නිසි කලට සිදු කළ යුතු අතර ඉන් පසු බොහෝ දුරට ස්වාභාවිකවම වල් පැළෑටි පාලනය සිදු වේ.
පොහොර යෙදීම පැළ සිටුවා මාස 6කට පසු ආරම්භ කළ යුතු අතර, ඉන් පසු සෑම මාස 6කටම වරක් පොහොර යෙදීම සිදු කළ යුතුය.
එහිදී යූරියා, රොක් පොස්පේට්, මියුරියේට් ඔෆ් පොටෑෂ් හා කීසරයිට් 6:6:9:1 අනුපාතයට සකස් කරගත් මිශ්‍රණයෙන් මාස 6කදී එක් පැළයකට ග්රෑම් 120 බැගින්ද, පළමු වසරේදී ග්රෑම් 250 බැගින්ද යෙදිය යුතුය.
ඉන් පසු පැළවල වර්ධනයත් සමඟ සෑම වසරකදීම ග්රෑම් 125 බැගින් වැඩි කරමින් 10 වන වසර දක්වා පොහොර යෙදීම සිදු කළ යුතු අතර, ඉන් පසු එක් ගසකට ග්රෑම් 1250 බැගින් යෙදීම සිදු කළ යුතුය. මල් පිපීමත් සමඟ ශාකයේ මූලපද්ධතිය වටා පාංශු තෙතමනය ආරක්ෂා වන පරිදි වසුනක් පවත්වාගැනීමද ඉතා වැදගත් වේ.
අස්වනු නෙළීම හා සකස් කිරීම
මල් පිපීමෙන් පසු ඇති වන පල හොඳින් මේරීම සඳහා මාස 8ක් පමණ ගත වේ. හොඳින් මේරූ පසු බීජය තුළ ජල ප්‍රතිශතය 30% දක්වා අඩු වී ඇති අතර, වසාවාසිද හොඳින් වර්ණවත් වී අවශ්‍ය රතු දුඹුරු පැහැය ලැබී ඇත . නොමේරු ඵල නෙළාගත් විට බීජවල ජල ප්‍රතිශතය වැඩි නිසා (65-70%) සහ සාපේක්ෂව තුනී කටුවක් ඇති නිසා දිලීර හානි වැඩි වන අතර, දිගු කලක් තබාගත නොහැකි වෙයි. ඵල හොඳින් මෝරා ඇති විට ඒවායේ බීජ වියළාගත් පසු වසරක පමණ කාලයක් පහසුවෙන් තබාගත හැකියි.
බීජ පැළවලින් ඇති වන සාදික්කා ගස්වල අස්වැන්න වසර 5 සිට 25 දක්වා ශීඝ්‍රයෙන් වැඩි වන අතර, වසර 35කදී උපරිම අස්වැන්න කරා ළඟා වේ. වසර 25කට පසු නිරෝගී ගසකින් වසරකට පල 8,000ක්–10,000ක් පමණ නෙළාගත හැකි වේ. හොඳින් නඩත්තු කළ වගාවකින් හෙක්ටයාරයකට සාදික්කා කි.ග්රෑම් 1100ක්-1200ක් පමණ ලබාගත හැකිවේ. වසාවාසි කි.ග්රෑම් 1ක් සකස් කරගැනීමට අමු සාදික්කා බීජ කි.ග්රෑම් 16-18ක් පමණ අවශ්‍ය වේ.
හොඳින් මේරූ පල නෙළාගැනීමෙන් පසු සාදික්කා හා වසාවාසි ඉතා පිරිසුදු තත්ත්ව යටතේ වෙන් කරගත යුතුය. බීජ ඉවත් කරගැනීමෙන් පසු තියුණු පිහිතුඩක ආධාරයෙන් බීජය වටා ඇති වසාවාසි වෙන් කරගත යුතු වේ. සාදික්කා හා වසාවාසි යන දෙකම හිරු එළියෙන් හෝ කෘත්‍රිම වියළනයක් උපකාරී කරගෙන වියළාගත හැකිය.
වේළාගත් බීජවලින් කටුව ඉවත් කර පහසුවෙන් එහි මදය වෙන් කරගත හැකි යන්ත්‍රයක් අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මධ්‍යම පර්යේෂණ ආයතනය මඟින් නිර්මාණය කර ඇත. මේ යන්ත්‍රය විදුලිබලය මඟින් ක්‍රියා කරන අතර පැයකට බීජ කි.ග්රෑම් 150ක-200ක පමණ මදය වෙන් කරගැනීමේ හැකියාවක් පවතියි. වර්තමානයේ බීජ වෙනුවට එහි මදය අපනයනය කරන හෙයින් මේ යන්ත්‍රය එහිදී බෙහෙවින් උපකාරී වෙයි.
ආචාර්ය ආනන්ද සුබසිංහ
නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (පර්යේෂණ)
මධ්‍යම පර්යේෂණ ආයතනය
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව