අස්වැන්න වැඩි කරන ශ්‍රී ගැමුණු හා ශ්‍රී විජය | සිළුමිණ

අස්වැන්න වැඩි කරන ශ්‍රී ගැමුණු හා ශ්‍රී විජය

පස සහ පොහොර භාවිතය කුරැඳු වගාවේ දී ඉතාමත් වැදගත්ය. මෙහිදී පාංශු විශ්ලේෂණ කටයුතු කර වගාව ඇරැඹීමෙන් සාර්ථක අස්වැන්නක් ලබා ගත හැකිය. පස මෙන්ම පොහොර යෙදීම පිළිබඳවද මනා කල්පනාකාරී වියයුතුය. කුරුඳු යනු බහු වාර්ෂික බෝගයකි. මේ නිසා අස්වැන්න පිළිබඳ සැලකිලිමත්වීම වඩාත් වැදගත්ය. අස්වැන්න නෙළීම හා පොහොර යෙදීම අතර සබඳතාවක් පවතියි. මේ නිසා අස්වැන්න නෙළීමෙන් පසු පොහොර යෙදීම කළ යුතුය. කුරුඳු වගාවට පමණක් ආවේණික පොහොර මිශ්‍රණයකි. එය මූලද්‍රව්‍ය තුනකින් යුක්තය. එනම් නයිට්‍රජන් , පොටෑසියම්, පොස්පරස් ය. එහෙත් මේ මූලද්‍රව්‍ය සිතැඟි පරිදි යෙදිය නොහැකි අතර 23.7.15 අනුපාතයට සංයෝග කළ යුතුය. කුරුඳු පැළ සිටුවා මාස තුනේ සිට පොහොර යෙදීමට පටන් ගන්නා අතර මේ මඟින් කුරුඳු වගාවේ ක්‍රමානුකූල වර්ධන ආරම්භ කරයි.

පැළසිටුවා මාස තුනේ සිට පොහොර යෙදීම ආරම්භ කරයි. කුරුඳු වගාවේදී වඩාත් ජනප්‍රිය වන්නේ බීජ පැළ සහ අතු පැළයි. වර්තමානයේ වැඩි අස්වැන්නක් ලබාගැනීමේ ප්‍රභේද පිළිබඳව කුරුඳු පර්යේෂණ ආයතනය සැලකිලිමත්ය. මේ නිසා ශ්‍රී ගැමුණු සහ ශ්‍රී විජය ප්‍රභේද හඳුන්වා දී ඇත. මේ ප්‍රභේදවල අස්වැන්න වැඩිය. මේ වන විට වගාහිමියන් අතර මේ වර්ග දෙකම ව්‍යාප්තව ඇත. සාමාන්‍යයෙන් බීජ වගාව කුරුඳු වගා හිමියන් අතර ජනප්‍රිය අතර නව ප්‍රභේද හඳුන්වා දෙන ලද්දේ 2009 වර්ෂයේදීය. කුමන ප්‍රභේදයට වුවත් පොහොර යෙදීම ඉතාමත් වැදගත් වේ. කුරුඳු අක්කරයකට කිලෝ 360ක් පොහොර යෙදිය යුතුය.

කුරුඳුවල රතු දල්ල කොළ පාට වන විට පොහොර ආරම්භ කළ යුතු අතර වර්ෂා කාලයේදී පොහොර යෙදීම වඩාත් උචිත වේ. පොහොර යෙදීමේ දී කවයක් ආකාරයට පොහොර යෙදිය යුතු අතර පසත් සමඟ මිශ්‍ර කර පොහොර යෙදීමෙන් ගසට හොඳින් උරා ගනු ලබයි. කුරුඳු ඉඩමකට අවුරුද්දකට දෙවතාවක් පොහොර යෙදිය යුතු අතර අක්කරයකට කිලෝ 200ක් යෙදිය යුතුය.

පොහොර යෙදීමෙන් පසේ ආම්ලික බව අඩු වන අතර වගාවට සුදුසු ආකාරයට පස සැකසේ. ආම්ලිකතාව වැඩි පසක් වගාවට නුසුදුසුය. එයට හේතුව පොහොර යෙදූ විට පසට උරා ගැනීමට දක්වන මැලි බවයි.

පැළයක් ලබාගෙන අවුරුදු දෙකහාමාර වන විට අස්වැන්න ලබාගැනීමට හැකියාව ලැබේ. එකවරක් අස්වැන්න ගැනීමෙන් පසු මොටෙයියන් වැඩිවීම ආරම්භ වන අතර සාමාන්‍යයෙන් කුරුඳු ගසක ජීව කාලය අවුරුදු සීයයකටත් වැඩියි. කෙසේ වුවත් නිරෝගී කුරුඳු පැළයකින් වැඩි අස්වැන්නක් ලබා ගැනීමට හැකි වේ. නිරෝගී පැළයක් ලබා ගැනීමට නම් හොඳ මවු ශාකයකින් බීජ ලබා ගත යුතු ය. පැළයේ පත්‍ර වලයන් තුනක් තිබිය යුතු අතර කඳ මහතට තිබීම නිරෝගී බවේ ලක්ෂණයකි. හොඳට පෝෂණය වූ කුඳුරු වගාවක අක්කරයකට පඳුරු 3600ක් පමණ තිබේ. එමෙන්ම අක්කරයකින් කිලෝ හයසීයක් පමණ ගත හැකිය.

අන් වගාවන් මෙන්ම කුරුඳු වගාවක් ආරම්භ කිරීමේදී ද පස පිළිබඳ පර්යේෂණයක් කර තිබීම වැදගත් වන අතර මේ මඟින් පොහොර යෙදිය යුතු ආකාරය පිළිබඳ අවබෝධයක් ද ඇති වේ. ආවේණික දේශගුණයත් පසත් කුරුඳු වගාව කෙරෙහි දක්වන අනුකූල බව නිසා කුරුඳු හොඳින් වැඩීමට රුකුලක් වේ. ගාල්ල, මාතර රත්නපුර, කළුතර දිස්ත්‍රික්වල වගාවට යෝග්‍ය වාතාවරණයක් තිබේ.

 

අයිරා කල්යාණි

පර්යේෂණ නිලධාරී

කුරුඳු පර්යේෂණ ආයතනය

Comments