යොවුන් සාහිත්‍යයක් තිබේද නැද්ද? | Page 2 | සිළුමිණ

යොවුන් සාහිත්‍යයක් තිබේද නැද්ද?

ලංකාවේ යොවුන් සාහිත්‍යයක් පරිපූර්ණ වශයෙන් වර්ධනය වී නෑ 
- විචාරක ජයසිරි අලවත්ත

ලංකාවේ යොවුන් සාහිත්‍යයක් තියෙනවා; හැබැයි ජීවන දෘෂ්ටිය නෑ 
- ප්‍රවීණ ලේඛක දෙනගම සිරිවර්ධන 

ලංකාවේ යොවුන් සාහිත්‍යය තාමත් ළපටි පැළයක් වගේ 
- ජයසිරි අලවත්ත

ඇත්තටම අවශ්‍ය වෙන්නෙ මහ පොළොවෙ ජීවත් වෙන වීරයෝ 
- දෙනගම සිරිවර්ධන

යොවුන් සාහිත්‍යය යන විෂයය ක්ෂේත්‍රය ගැන ලංකාවේ කතා බහ ඇරඹෙන ඉතිහාසය එතරම් ඈතට දිව යන්නේ නැත. එහෙත් යොවුන් සාහිත්‍යයක් බිහි වීමේ පදනම ඊට බොහෝ ඈත අතීතයකට හිමිකම් කියයි. එකී ලක්ෂණ පෙන්නුම් කරන ඉතිහාසය ජාතක කතා ඉතිහාසය තරමටම පැරණි බැව් ඉතිහාසය නිරීක්ෂණයේදී පැහැදිලි වේ. සාම කුමාරයාගේ කතාව මෙන්ම උමංදාවේ මහෞෂධගේ ළමා විය ද ඊට ජනප්‍රිය නිදසුන් සේ ගත හැකිය. මේ තොරතුරු එසේ වුවද රාජ්‍ය සාහිත්‍යය උලෙළේ යොවුන් සාහිත්‍යය සඳහා සම්මාන දීම ඇරඹෙන්නේ 1980 දශකයෙන් අනතුරුව ය.

ලංකාවේ තත්ත්වය එසේ වුවත් බටහිර සාහිත්‍යය ආශ්‍රය ඇතුළත මේ තත්ත්වය වෙනස් ය. 1697 චාල්ස් පැරෝලිට් නමැති ප්‍රංස ලේඛකයා ඔහුගේ පුතා සමඟ එකතුව ‍ඒ රටේ පැරැණි උපමා කතා, පැරැණි ගැදි, පැදි රැස්කොට පොතක් පළ කර තිබේ. මේ කෘතිය ප්‍රංශ ගැටවර ගැටවරියෝ මහත් සතුටෙන් පිළිගත් බවක් ඉතිහාසයේ සඳහන් ය. මේ හේතු නිසා යෞවන යෞවනියන් වෙනුවෙන් ලියැවෙන, බිහිවෙන සාහිත්‍ය අතිවිශේෂ සාහිත්‍යයක් බවට වර්ධනය වීමට පටන් ගත්තේ ය. යෞවන සාහිත්‍ය වංශයේ ඉතා වැදගත් කෘති දෙකක් දහඅටවැනි සියවස මුලදී පළ විය. 1719 වසරේදී ඩැනියෙල් ඩිෆෝගේ ‘රොබින්සන් කෲසෝ’ සහ 1726 වසරේදී ජොනාතන් ස්විජට් ලියූ ‘ගලිවර්ගේ චාරිකා’ ඒ කෘති දෙක ය. ඉන් අනතුරුව චාල්ස් ඩිකන්ස් ද විවිධ දුෂ්කරතා මැදින් ගමන් කොට ජීවිතය ජයගත් ගැටවරයන් පිළිබඳ ඔලිවර් ට්විස්ට්, ඩේවිඩ් කොපර්ෆීල්ඩ් වැනි කතාවලින් හෙළි කෙළේ ය. 

යොවුන් සාහිත්‍යය පිළිබඳ කතාබහට විශේෂ වටිනාකමක් එක්වන්නේ 1952 වසරේදී ය. ස්විට්සර්ලන්තයේ සුරිච් නගරයට එක් වූ රටවල් 52ක නියෝජිතයෝ හා ලේඛකයෝ අන්තර්ජාතික ළමා හා යෞවන ග්‍රන්ථ මණ්ඩලය නමින් සංවිධානයක් පිහිටුවා ගත්හ. මෙය යොවුන් සාහිත්‍යය පිළිබඳ කතිකාවට එක් වූ නව්‍ය පිළිගැනීම විය. එහිදී යෞවනයාගේ ජීවිතය හා සමාජය පිළිබඳ දැක්ම පුළුල් කිරීමත්, සමාජ ආශ්‍රය පෘථූල කිරීමත්, පෞරුෂ වර්ධනයත් පිළිබඳ කතිකාවක් වර්ධනය විණි.

මෙහි දීර්ඝකාලීන ප්‍රතිඵලයක් ලෙස වසර තුනක් ඇතුළත ලොව පළවූ හොඳම යොවුන් නවකතාවට, චිත්‍රයට සහ පරිවර්තනයට සම්මාන පිදීමේ උලෙළක් අන්තර්ජාතික ළමා හා යෞවන ග්‍රන්ථ මණ්ඩලයේ මෙහෙයවීමෙන් ආරම්භ වීමට කටයුතු සූදානම් කෙරිණි. 1994 දී ස්පාඤ්ඤයේ සෙවිල්ලා නුවර මේ උලෙළ පැවැත්විණි. එහිදී ඓතිහාසික ප්‍රවේශයක් ගනිමින් ඒ සංවිධානයේ සභාපති, බ්‍රිටිස් කොලොම්බියා විශ්වවිද්‍යාලයේ ළමා සහ යොවුන් සාහිත්‍ය අධ්‍යයන අංශයේ මහාචාර්ය රොනල්ඩ් ජෝබ් මෙසේ පවසා තිබේ.

“වගකීමක් ඇති යොවුන් නවකතාකරුවකුට යෞවන වයස පිළිබඳ සිතන්න සිදුවෙනවා.”

ගැටවර වයස හඳුනා ගැනීමත්, එහි විශේෂතා තේරුම් ගැනීමත් ඒ අනුව නිර්මාණකරුවන්ගේ ප්‍රධානතම කාර්ය විය යුතු වෙයි. චිත්තවේග ඔස්සේ දිවයනු මිස මේ යුගයේ තාර්කික චින්තනයට ඉඩක් නැත. ස්ටැන්ලි හෝල්ස් නමැති මනෝ විද්‍යාඥයා ගැටවර විය කුණාටු සමයක් ලෙස හැඳින්වූයේ මේ නිසා ය.

ලංකාවේ යොවුන් සාහිත්‍යයක් තිබේද යන්නට කරුණු සම්පාදනය කරන්නට අප සිතුවේ මෙකී කරුණු සංගෘහිත නිර්මාණකරණයක් ලංකාවේ යොවුනන්ට තිබේද යන ගැටලුව පෙරදැරිව ය. ඒ අනුව මෙවර සිළුමිණ වාදය ගොඩනැඟෙන්නේ යොවුන් සාහිත්‍යයක් කියා දෙයක් තිබේද යනුවෙන් ය. වාදයට සම්මුඛ වෙන්නේ යොවුන් සාහිත්‍යකරණයේ දෙස් විදෙස් සම්මාන ලැබූ හා නවකතාකරුවකු, කෙටිකතාකරුවකු මෙන්ම ළමා සාහිත්‍යකරුවකු ලෙස ද සම්මානයට පාත්‍ර වූ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදියකු හා ගුරුවරයකු වන දෙනගම සිරිවර්ධන හා විචාරකයකු මෙන්ම නවකතාකරුවකු ලෙසද සිය නාමය සාහිත්‍ය කලාව ඇතුළේ සටහන් කළ ජයසිරි අලවත්ත ය.

යොවුන් සාහිත්‍යය යන්න ප්‍රවීණ ලේඛක දෙනගම සිරිවර්ධන හඳුනා ගන්නේ මෙලෙසිනි.

‘යොවුන් සාහිත්‍යය කියලා කියද්දිම ඒක වෙන් වෙන්නෙ වයස් සීමාවත් එක්ක. යෞවන වයසට අපි කියන්නෙ ගැටවර අවදිය කියලා. ඒ කියන්නෙ 11ත් 18ත් අතර වයස සීමාව. මේ වයස් සීමාව මනෝවිද්‍යාඥයන් හඳුන්වන්නෙ ජිවිතේ කුණාටු සමයක් කියලා. ඉක්මනින් ජීවිතේ ගොඩක් වෙනස් කම් වෙන වයස සීමාවක්. එහෙම වයසක අයට ලියනකොට ලියන ලේඛකයන් වෙත විශාල වගකීමක් පැවරෙනවා. සාමාන්‍ය නවකතා, කෙටිකතා ලියද්දී ඒවගේ වගකීමක් පැවරෙන්නෙ නෑ. ඒනිසාම යොවුන් නවකතාකරුවෙක් හැමතිස්සෙම ඉතා හොඳ ගුරුවරයෙක් වෙන්න ඕන. ගුරු මනසක් තියෙන කෙනෙක් වෙන්න ඕන. හිතට ඇතුළු කරන්න ඕන යහපත් දේම පමණයි. ළමයා හොඳ පැත්තට ගන්න ඕන‘

මේ පිළිබඳ විචාරක ජයසිරි අලවත්ත දක්වන්නේ මෙවන් අදහසකි.

‘පළමුවෙන්ම අප නිරාකරණය කරගත යුතු කරුණ වන්නේ යෞවනයා හෝ යෞවනිය යනු කුමන වයස් මට්ටමක සිටින දරුවන් ද කියන දේ. මනෝ විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් හඳුන්වන විදියට යොවුන් විය කොටස් දෙකකට බෙදෙනවා. එනම් අවුරුදු 12 සිට 17 දක්වා සහ 18 සිට 22 දක්වා. ඒ වුණාට වයස 12 සිට 17 දක්වා වූ දරුවන් ඉලක්ක කර ලියන යොවුන් සාහිත්‍ය කෘති සහ වයස 18 සිට 22 දක්වා වූ පුද්ගලයන් ඉලක්ක කර ලියන යොවුන් සාහිත්‍ය කෘති එකිනෙකට වෙනස් විය යුතුයි. ඒකට හේතුව වයස අවුරුදු 18 ඉක්මවූවා යනු 12 සිට 17 දක්වා වර්ධනය වූ දරුවා එම සීමාවෙන් මිදී ස්වාධීනව සිතිය හැකි, කටයුතු කළ හැකි මට්ටමට එළඹෙන පුද්ගලයකු වන බැවින්. එහෙයින් වයස 12 සිට 17 දක්වා දරුවන් ඉලක්ක කරගනිමින් ලියන සාහිත්‍ය කෘති යොවුන් සාහිත්‍ය කෘති ලෙස වර්ග කරන්නේ නම් වඩාත් සුදුසුය යන්න තමයි මගේ පුද්ගලික හැඟීම‘

ලංකාවේ යොවුන් සාහිත්‍යය ලෙස ප්‍රවර්ගයක් වර්ධනය වී නැති බව බොහෝ විචාරකයන්ගේ අදහසයි. එබැවින් මේ පිළිබඳ ව අපි දෙනගම සිරිවර්ධන ලේඛකයාගෙන් විමසුවෙමු.

‘ඇත්තටම තියෙනවා. මම 1990 ගණන්වලදී මගේ මිතුරෝ යොවුන් නවකතාවට සම්මානයක් ගන්න ගියා ස්පාඤ්ඤයේ සිවිල්ලා නගරයට. මෙහි තිබුණා යොවුන් සාහිත්‍යය ගැන වැඩමුළුවක්. එහිදී ලංකාවෙ යොවුන් සාහිත්‍යය ගැන කතා කරද්දි මම ඉදිරිපත් කළා කුමාරතුංගයන්ගේ හීන්සැරය කෘතිය. ඒ කතාව මම කිව්වා. ඉංග්‍රීසි සංක්ෂිප්ත පිටපතකුත් මම අරගෙන ගියා. ඒ කතාව ඉදිරිපත් කළාට පස්සෙ එතැන හිටපු චීන ලේඛකයෙක් කිව්වා, 1930 ගණන්වල ලංකාව ඉංග්‍රීසීන්ට යටත් වෙලා තිබුණු යුගයක ලියැවුණු පොතක් වශයෙන් ගත්තට පස්සෙ ඇත්තටම යටත් විජිත විරෝධි හැඟීම් දරුවන්ගේ සිතට ඇතුළු කිරීම සඳහාත්, නිදහස පිළිබඳ හැඟීම් ඇති කරන්නත් හොඳම මාවතක් හීන්සැරය කෘතියෙන් පිළිබිඹු වෙන බව. ඇත්තටම යොවුන් පරපුරට මේ කෘතියෙන් හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් කියන මතය තමයි ඔහු ඉදිරිපත් කළේ.

මම ලංකාවට ආවට පස්සෙ මේ සාකච්ඡාව ගැන දිවයින පත්තරේට ලිව්වා. කුමාරතුංග මහත්තයා දැකපු දේ හරි වැදගත්. අලියෙක් හා කටුස්සෙක් මාර්ගයෙන්නෙ මේක ගොඩ නැඟෙන්නෙ. ඇත්තටම මේ පණිවිඩය දෙන්න වෙන ක්‍රමයක් තිබුණෙ නෑ. ඉර නොබසින අධිරාජ්‍යය පරාජය කරන්න පුංචි මිනිසුන් එකතු වුණොත් පුළුවන් කියන පණිවිඩය තමයි මෙහි තියෙන්නේ. ඇත්තටම චීන ලේඛකයා මේක දැක්කා. මේකෙ යටි අරුත ඉදිරිපත් කරන්න අපේ අයට පුළුවන් කමක් තිබුණෙ නෑ. හෙළ හවුලෙ අයට වුණත් මේ දෘෂ්ටිය තිබුණෙ නෑ. ඊට පස්සෙ පළ වුණු මඩොල්දූව, අඹ යාළුවො වගේ පොත්වලට යොවුන් කතා විදියට ලොකු පිළිගැනීමක් තිබුණට හීන් සැරය පොතේ වගේ දෘෂ්ටියක් ඒවයෙ තිබුණෙ නෑ. අඹ යාළුවො කතාව ගත්තත් ඒකෙ වුණත් ජීවන දෘෂ්ටියක් නෑ‘

මේ පිළිබඳ යම් ඍණාත්මක අදහසක් දරන ජයසිරි අලවත්ත විචාරකයා පවසන්නේ පරිපූර්ණ ලෙසින් වර්ධනය වූ යොවුන් සාහිත්‍යයක් ලංකාවේ නැති බවෙකි.

මගේ කියවීමට සාපේක්ෂව ගත් විට නම් ලංකාවේ යොවුන් සාහිත්‍ය පරිපූර්ණ වශයෙන් වර්ධනය වී නෑ. යොවුන් සාහිත්‍ය යන ලේබලය යටතේ ප්‍රකාශයට පත් කෙරී ඇති බහුතරයක් (සම්මානලාභී කෘති ද ඇතුළුව) කෘති හුදු ළමා හෝ යොවුන් වීරත්වය පිළිබිඹු කෙරෙන කෘති විදියට හඳුන්වන්න පුළුවන්. දරුවන්ට වීරත්වය පිළිබඳ ආදර්ශ සැපයීම හොඳ නෑ කියලා මේකෙන් අදහස් කෙරෙන්නේ නෑ. නමුත් නිවෙසේ පවතින විවිධ ගැටලු හේතුවෙන් නිවෙසෙන් පැන යන හෝ නිධන් හොරු අල්ලා ගැනීම වෙනුවෙන් සටන් කරන දරුවන් පිරිසක් වටා ගෙතන කතන්දර යොවුන් සාහිත්‍යය ද යන්න ගැටලුවක්.

කුලසේන ෆොන්සේකා විසින් රචිත රංසිරිගේ සංග්‍රාමය කෘතිය යට කී සාම්ප්‍රදායික කතා තේමාව අබිබවමින් සමාජයේ පවත්නා අඳුර පැතිකඩක් නිරාවරණය කරන්නට සමත් වෙලා තියෙනවා. ඔහුගෙන් පසු සාම්ප්‍රදායික යොවුන් සාහිත්‍යය වෙනසකට ලක් කළ ලේඛකයෙක් ලෙස දෙනගම සිරිවර්ධන හඳුන්වන්න පුළුවන්. ඔහුගේ යොවුන් සාහිත්‍යය කෘතිවල හුදු වීරයන් අබිබවන සමාජ කතිකාවක් ගොඩ නංවන්නට උත්සාහ දරා තියෙනවා. ඒක සාර්ථකයි කියලයි මගේ හැඟීම ය. අප වැඩි දෙනෙක් කතා නොකරන ලේඛිකාවක් සම්බන්ධයෙන් ද මේ මොහොතේ සඳහන් කළ යුතු යි. ඇය ධර්මා එස්. සමරනායක. ඇයත් ඇගේ යුගය දක්වා පැවති යොවුන් සාහිත්‍ය සම්ප්‍රදාය අබිබවන්න සමත් වූ ලේඛිකාවක්. ඊට පස්සෙ ප්‍රියාන් ආර්. විජය බණ්ඩාර, මහින්ද කුමාර දළුපොත, ගුණසේකර ගුණසෝම සහ ගාමිණි අබේවික්‍රම වගේ ලේඛකයන් එතෙක් පැවති යොවුන් සාහිත්‍ය රටාව තව දුරටත් වර්ධනය කළා. ඊටත් පස්සෙ යොවුන් සාහිත්‍ය යේ නවතම එළඹීම සනිටුහන් කළේ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල‘

ඔහු පවසන මේ අදහස සමඟ දැනට පවසන අදහස් පරස්පර වන්නේ නැද්ද යන පැනයට ජයසිරි දක්වන්නේ මෙවැනි මතවාදයකි.

‘ මේ තත්ත්වය වර්ධනය වීමක් නොව වර්ධනය වෙමින් පැවතීමක්. ඉදිරි පරපුරත් මෙම තත්ත්වය අබිබවන්නට සමත් වන්නේ නම් ලංකාවේ යොවුන් සාහිත්‍ය වර්ධනීය තත්ත්වයක පවතී යැයි විශ්වාසය තබන්න පුළුවන් කියලයි මම කියන්නෙ‘

යොවුන් සාහිත්‍යය ගැන දෙනගම ලේඛකයා දරන අදහස විවාදාපන්නය.

‘සිංහල යොවුන් සාහිත්‍යයට කුමාරතුංගයන් හොඳ ආරම්භයක් ඇති කරනවා. නමුත් ඒක ඉස්සරහට ගෙනියන්න අපේ සාහිත්‍යකරුවන්ට හැකි වුණේ නෑ‘

මේ සඳහා බලපෑම් කරන හේතු සාධක මොනවාද යන්නට දෙනගම ලේඛකයා නැවත පවසන්නේ දෘෂ්ටාත්මක වර්ධනයක් ඇති වීම අත්‍යවශ්‍ය බවෙකි.

‘ළමයි කැලෑවට යනවා. කැලෑවෙදි කසිප්පු පොළවල් හමු වෙනවා. ඊට පස්සෙ ළමයි කසිප්පු කාරයන් එක්ක පොඩි සටනක් කරනවා.

ඊට පස්සෙ එයාලව පොලිසියට අල්ලලා දෙනවා. කුලසේන ෆොන්සේකා එහෙම ලියනවා නෙ කල්ලන්දූවේ මුතු කොල්ලය වගේ පොත්. පස්සෙ කාලෙක කුලසේන ෆොන්සේකා ම පිළිගත්තා ඒ කතා වැරදියි, හරි නෑ කියලා. මෙවයෙන් යොවුන් වීරයෝ මතු වෙන්නෙ නෑ කියලා. පස්සෙ ඔහු හොඳ කතා කිහිපයක් ලිව්වා. නමුත් පටන්ගත්තෙ එහෙම‘

මේ පිළිබඳ ජයසිරි විචාරකයාගේ අදහස මෙපරිදි ය.

‘යොවුන් සාහිත්‍ය කෘතියක් රචනා කරන ලේඛකයා හෝ ලේඛිකාව පළමුවෙන් ම යොවුන් වියේ පසුවන දරුවන්ගේ සිතුම් පැතුම් හඳුනා ගන්න ඕන. ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රාමාණික දැනීමක් තියෙන්න ඕන. ඔවුන් තමා වටා සිටින: දෙමාපියන්, සහෝදර සහෝදරියන්, ඥාති මිත්‍රාදින් සහ ගුරුවර ගුරුවරියන් වෙතින් බලාපොරොත්තු වන්නේ මොනවා ද යන්න අධ්‍යයනය කළ යුතු යි. ඔවුන් බලාපොරොත්තු වන ආදරය, කරුණාව, සෙනෙහස වගේම නිදහස ඔවුන්ට නොලැබෙන්නේ නම් ඒ සියල්ල ඔවුන් වෙත ලබා දිය හැකි වන්නේ කෙසේ ද යන්න යොවුන් සාහිත්‍යකරණයේ නියැළෙන පුද්ගලයා දැනගෙන ඉන්න අවශ්‍යයයි. ඒ වෙනුවෙන් කළ හැක්කේ මොනවා ද යන්න සිය කෘතිය තුළින් ඉදිරිපත් කළ යුතු ය. යොවුන් සාහිත්‍යය හුදු යෞවනයන්ට පමණක් සීමා නොකර එතුළින් යොවුන් වියේ දරුවන් සිටින දෙමාපියන් ප්‍රමුඛ අනෙක් සියලු පුද්ගලයන් ඇමතීමත් වැදගත්. දරුවා පළමුවෙන් ආදර්ශයට ගන්නේ තමා ආසන්නයේ ම වෙසෙන පුද්ගලයාගේ චර්යා. තවත් සරලව ම පවසන්නේ නම් දරුවා පළමු පාඩම ඉගෙනගන්නේ සිය නිවසෙන්. එසේ නම් යොවුන් සාහිත්‍යකරණයේ නියැළෙන පිරිස පළමුවෙන් ම සිය නිර්මාණයෙන් ඇමතිය යුත්තේ දෙමාපියන්ට; සහෝදර සහෝදරියන්ට හා ගුරුවරුන්ට. නමුත් අද ලංකාවේ බිහිවන බහුතරයක් යොවුන් සාහිත්‍ය කෘතිවලින් මෙම ක්‍රියාවලිය සිදු වෙන්නෙ නෑ‘

දෙනගම සිරිවර්ධන ලේඛකයා දිගින් දිගට ම පවසන්නේ මහ පොළොවේ ජීවත් වෙන වීරයන් නිර්මාණය කිරීම යොවුන් සාහිත්‍යකරණයේ නිරත ලේඛකයාගේ වගකීමක් වෙන බවයි.

‘නවකතාවෙන් මතු වෙන්න ඕන ඇත්තටම මහ පොළවෙ ජීවත් වෙන වීරයෝ. ඉස්සර ලේක්හවුස් එක ඉස්සරහ හිටියා ලොතරැයි විකුණන ළමයෙක්. මම ඒ ළමයා එක්ක කතා කළා. එයාගෙ තාත්තා නෑ. අම්මා අසනීපෙන්. පාසල් යන නංගියි අම්මයි ජීවත් කරන්න තමයි මෙයා ලොතරැයි විකුණන්නෙ. ඒ චරිතය ඇත්තටම දිරිය යොවුනකුගේ චරිතයක්. යොවුන් කතා ලියද්දි දෙන උපදෙසක් තමයි, යොවුන් කතා කරුවන් දරුවන්ට වීර අත්දැකීම් ලබාදෙන්න ඕන කියන එක. වීර අත්දැකීම් හොයන යුගයක් තමයි ගැටවර විය. නොයෙක් වීර ක්‍රියා අනුගමනය කරන්න, වීර ක්‍රියා දකින්න මේ වයසෙ අයට වුවමනායි‘

ලංකාවේ යොවුන් සාහිත්‍යය සම්බන්ධ යම් වර්ධනීය තත්ත්වයක් පවතිනවාද යන්නට ජයසිරි ලේඛකයා පවසන්නේ මෙවැන්නකි.

‘ මගේ කියවීමට අනුව ලංකාවේ යොවුන් සාහිත්‍යයේ වර්තමාන තත්ත්වය තරමක් යහපත්ය. ඒ සඳහා රජත පුස්තක සම්මාන උලෙළත් බලපෑවා. රජත පුස්තක යොවුන් සාහිත්‍ය ඉසව්ව සාධනීය මට්ටමක පවතින බව කියන්න ඕන. ඒ සම්මාන උලෙළ නියෝජනය කළ සහ සම්මානයට පාත්‍ර වූ කෘති ලංකාවේ යොවුන් සාහිත්‍ය නව ඉසව්වක් කරා රැගෙන යන්න සමත් වුණා. ඒ තත්ත්වය තව දුරටත් පවත්වාගෙන යෑමට හැකි නම් ලංකාවේ යොවුන් සාහිත්‍ය වර්ධනීය තත්ත්වයකට ඔසවා තබන්න පුළුවන්. ලංකාවේ යොවුන් සාහිත්‍යය තාමත් ළපටි පැළයක් වගේ. ඒක අනාගතයේ දී අතුපතර විහිද සෙවණ සදන වාක්ෂයක් වෙතැයි අපි බලාපොරොත්තු වෙනවා.

දෙනගම ලේඛකයා ද යොවුන් සාහිත්‍යය ක්ෂේත්‍රයේ සලකුණක් තැබූවෙකි. ඔහු තමන් යොවුනන්ට ආමන්ත්‍රණය කිරීමේදී ප්‍රවේශම් සහගත වන කරුණු ගැන මෙසේ සිය අවධානය යොමු කළේය.

‘ හැබෑ ජීවිතයේ වීරයන් නැති වුණාම තමයි කසිප්පු තිප්පොළවල් අල්ලන ළමයි වගේ කාඩ්බොඩ් වීරයන් මතු වෙන්නෙ. දැන් ඇත්තටම මම යොවුන් කතා 10ක් විතර ලියලා තියෙනවා. මට එහෙම ලියන්න පුළුවන් වුණේ අත්දැකීම් ලැබුණු නිසා. මම ගොඩක් දුෂ්කර පාසල්වල වැඩ කළා. උදේ ඒ ළමයි ශිෂ­්‍යයන් විදියට ඉන්නවා. හවස් වෙද්දි ඒ අය වැඩිහිටියන් විදියට අම්මා තාත්තා එක්ක එයාලගෙ ජීවන වෘත්තීන් වලට සම්බන්ධ වෙනවා. හම්බන්තොට ඉස්කෝලෙක මම වැඩ කරද්දි රත්නපාල කියලා දරුවෙක් හිටියා, එයා උදේ පාසල් ඇවිත් හවස තැබෑරුම ගාව වඩේ විකුණනවා. මේ වගේ චරිත තමයි හිටියෙ. මගේ ශිෂ්‍යයන්ගේම චරිත මට කතා ලියන්න බලපෑවා. මට ඇත්තටම වීරයන් මවන්න වුවමනා වුණේ නෑ. මගේ අවට එහෙම චරිත හිටියා.

මිතුරො කතාවෙ, ගුරු පඬුරු පොතෙත් ඉන්නෙ සැබෑ වීරයෝ. ගුරු පඬුරු පොතේ තියෙන කතාවෙ ඉන්න දරුවො ඇත්තටම මට එහෙම උදව් කළා. මේවා සැබෑ වීර චරිත. ඒ නිසා මට කෘත්‍රිම වීරයෝ හදන්න ඕන වුණේ නෑ‘

සෝවියට් ලේඛක සංගමයේ සභාපති මැක්සිම් ගෝර්කි කියන්නේ, වැඩ කරන ජනතාවට මුල් තැන ලැබෙන සමාජයක් ගොඩ නැඟීමට අවශ්‍ය ශක්තිය, කැපවීම ගැටවරයාට ලබා දෙන, ඔහු පවිත්‍ර කරන සාහිත්‍යයක් ඔහු සඳහා ගොඩ නඟමු කියා ය. සාර්ථක යොවුන් සාහිත්‍යයක් ගොඩ නැඟීමට නම් මහ පොළොවේ ජීවත් වෙන චරිත ගැන සිය නිර්මාණ දෘෂ්ටිය යොමු කළ යුතුව ඇත.

Comments