සිළුමිණ පුවත්පතට ඉර හඳ පවතිනාතාක් කල් පවතින්නට නැකත හැදුවෝ ලංකාවේ යතිවර සාහිත්‍ය කලා හා භාෂා සම්ප්‍රදානයෙහි චිරප්‍රාප්තියට පත් රත්මලානේ ධර්මාරාම නාහිමියෝ ය. දිනමිණ කන්තෝරුවෙන් හෙවත් ලේක්හවුසියෙන් අලුතෙන් පටන් ගන්නට යන සති අන්ත සාරසංග්‍රහය ඇරඹීමට සුබ නැකතක් හා නමක් ඉල්ලා සිටියෝ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී පියසේන නිශ්ශංකයෝ ය. 1930 මාර්තු 30 වැනිදා අභිනවයෙන් පාඨක දෝතට පත් සාර සංග්‍රහය පුවත්පත් ලොව චූඩා මාණික්‍ය යන අරුතෙන් යුතුව සිළුමිණ ලෙසින් නාමකරණය කරන ලද්දේ ද එය ඇරඹීමේ මහාර්ඝ සම්පන්න නැකත සාදන ලද්දේ ද උන් වහන්සේ විසිනි. දෙස් විදෙස් පතළ පඬිරුවනක් ලෙස උන් වහන්සේ කළ ශාස්ත්‍රීය හා ශාසනික මෙහෙවර අද්විතීය ය.
සමීපාතීතයෙහි බෞද්ධාචාර්යයෝ නමින් ග්‍රන්ථයක් සම්පාදනය කරන පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ සිය කෘතියෙහි මෙසේ සඳහන් කරති.
‘ලෙඩ ඇදේ වැතිර සිටත් දවල් දෙකේ සිට රාත්‍රී අට වනතුරුත් ශ්‍රී ධර්මාරාම මාහිමියන් වහන්සේ පොත් පත් කියා දුන් ආකාරය මට තවමත් මතකය. හරියට වෙලාවට වැඩ කිරීම, නොපැකිළව විවේචනය කිරීම, නිදහස් මත ගරු කිරීම, ආචාර්ය ගරුත්වය, මහා පාණ්ඩිත්‍යය ආදී උන්වහන්සේ ගේ උදාර ගතිගුණ පවා එකල සිටි ශිෂ්‍යයන්ගේ ගුණ නුවණ දියුණුවට හේතු වූයේය‘
මෙසේ කියන්නේ කිරිවත්තුඩුවේ ප්‍රඤ්ඤාසාර නායක හිමියෝ ය. උන්වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ වෙන්නේ රත්මලානේ ධර්මාරාම ස්වාමීන් වහන්සේ ය. මේ කියන්නේ ගුරු හාමුදුරුවන් ගැන ය.
භාෂා ශාස්ත්‍ර ඈ නෙක විෂය ඇසුරෙහි මුළු දිනයම ගත කිරීමෙන් හා ව්‍යාවෘත වීමෙන් උන් වහන්සේ සන්තෝෂයක් ලබන්නේ ඒ කෙරෙහි වෙන ඇල්ම නිසා ය. එය සිය ජීවිතය සේ දක්නා බැවිනි. එබැවින් ගත දුබල ව ගියේ හෝ රෝග පීඩාදියෙන් දුක්ඛිත වූයේ හෝ කියා උන් වහන්සේ සිය ශාස්ත්‍ර දානය අතහැරියේ නැත. එයින් ලද වෙහෙස වෙහෙසක් සේ උන් වහන්සේට දැනුණේ ද නැත. කිරිවත්තුඩුවේ ප්‍රඤ්ඤාසාර නායක ස්වාමීන් වහන්සේ වදාළේ නොපැකිළ විවේචනනය කිරීම සහ නිදහස් මත ගරු කිරීම යන්න ධර්මාරාම හිමියන්ගේ වඩාත් වටිනා ගුණාංග දෙක බව ය. උන් වහන්සේ ඇසුරෙහි විවිධ ශාස්ත්‍ර උගත් හා අධ්‍යයනය කළ බොහෝ වියත්හු මේ පිළිබඳ පවසා තිබේ.
ධර්ම ශාස්ත්‍ර උගත් ශිෂ්‍ය යතිවරයාණ වහන්සේ නමකගේ ඒ වැදෑරීම උන්වහන්සේගේ චරිත ස්වභාවය පිළිබඳ මනා නිදර්ශනයකි. ධර්ම දේශකයෙක්, ගුරුවරයෙක්, ගත්කතුවරයෙක්, සංස්කාරකවරයෙක්, උගතෙක් වශයෙන් රටට, ජාතියට, ආගම දහමට මෙන්ම භාෂා ශාස්ත්‍රාදියට උන්වහන්සේ කළ සේවය අති මහත් ය. මෙහිදී විශේෂයෙන් සැලකිල්ලට ගත යුතු විෂයය ක්ෂේත්‍රයක් සේ අප අවධානයට ලක් වෙන්නේ සිංහලයෙහි යටපත් ව පැවති න, ණ, ල, ළ සම්භාව්‍ය ව්‍යවහාරය නැවත පාදා මතුකොට දීම කෙරෙහි වූ උන්වහන්සේගේ මැදිහත් වීමයි. 1892 වැනි කාල වකවානුවක සත්‍යසමුච්ඡය සඟරාව ඔස්සේ ධර්මාරාම හිමියෝ න- ණ - ල - ළ ව්‍යවහාරය පිළිබඳ ස්වකීය නිගමනය ඇතුළත් කොට අක්ෂර වින්‍යාසය පිළිබඳ නිවැරදි සම්භාව්‍ය පිළිවෙළ පැහැදිලි කළහ. සිංහල භාෂාව ව්‍යවහාර කරන පඬිවරු උන්වහන්සේ පහදා දුන් ව්‍යවහාර විධික්‍රමය අනුගමනය කිරීම ම එහි වටිනාකම පිළිබඳ නිදර්ශනයකි.
ධර්මාරාම හිමියන්ගේ උපත සිදු වූයේ 1853 වර්ෂයේ සැප්තැම්බර් මස 23 වැනිදා ය. පියා ඇලෙක්සැන්ඩර් වීරසිංහ අප්පුහාමි ය. මව දෝන ඉසබෙලා ද අල්විස් සිරිවර්ධන මාතාව ය. බටුවන්තුඩාවේ පඬිතුමාගේ ඉල්ලීම පරිදි දරුවාගේ ජන්ම පත්‍රය සකස් කළ දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි සහ අනාගතයේ මේ දරුවා ශ්‍රේෂ්ඨ පැවිදි උතුමකු වන බවට අනාවැකි පළ කළ බව පැවසේ. දරුවා අකුරු කියැවීමට සුදුසු වයසට පැමිණි පසු මුලින්ම කිත්සිරිමෙවන් කැලණි විහාරවාසී කොටගම ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත යොමු කෙරිණි. ටික කලෙකට පසු අලුත්කුරුවේ අස්ගිරි වල්පොළ විසූ සමීප ඥාතියකු වූ දොන් දිනෙස් අමරතුංග අප්පුහාමිගේ නිවසෙහි දරුවා නවත්වා ඒ් නිවෙස ආසන්නයේ වස් වසා වැඩ සිටි කහතුඩුවේ චන්දජෝති ස්ථවිරයන් වහන්සේ වෙත ශාස්ත්‍රය ලබනු පිණිස යොමු කෙරිණි. චන්දජෝති හිමියන් සත් හැවිරිදි දරුවා මවුපියන්ට නොකියා ම පැවිදි දිවියට ඇතුළත් කළේ දරුවාගේ ජන්ම පත්‍රයෙහි වන පුණ්‍ය මහිමය දුටු බැවිනි. කුඩා සාමණේරයන් වහන්සේ ධර්ම දේශනා පවත්වන බුහුටි හා චතුර බව දකින නිකලස් ගුණතිලක සල්පිටි කෝරලයේ මුදලිතුමා උන්වහන්සේට උසස් අධ්‍යාපනයක් ලබා දිය යුතු බව සිතීය. ඒ අනුව 1864 වර්ෂයේදී රත්මලානේ ධර්මාලෝක මහ නාහිමියන් වෙත යොමු කෙරිණ. ධර්මාලෝක හිමියෝ නැවතත් සාමණේරයන් වහන්සේ පැවිදි කරවා, රත්මලානේ ධර්මාරාම” යයි නම් තැබූහ.
ධර්මාරාම හිමියන් සංස්කෘත භාෂාව පිළිබඳ ප්‍රවීණත්වය ලැබ ගත්තේ කුමාරස්වාමි බ්‍රාහ්මණ පඬිතුමාගේ ආරාධනයෙන් 1869 වර්ෂයේ ඉන්දියාවේ තෙලිඟු ප්‍රදේශයෙන් මෙරටට පැමිණ සිටි මාතෘභූතේශ්වර ශර්මශාස්ත්‍රි පඬිවරයාගෙනි. ඊට අමතරව අන්නම් භට්ටිය, නීලකණ්ඨ භට්ටිය සහ විශ්වනාථ කුමාරස්වාමි යන පඬිවරුන් වෙතින් නිරුක්ති ශාස්ත්‍රය සහ ව්‍යාකරණය හැදෑරූහ. දීර්ඝ කාලයක් ශාස්ත්‍ර අධ්‍යයනයෙහි නිමග්න වූ ධර්මාරාම සාමණේරයෝ 1874 වර්ෂයේදී මල්වතු විහාරයේදී උපසම්පදාව ලැබූහ.
වයස අවුරුදු දාහතර වෙද්දී සිංහල හා පාලි යන භාෂා ද්විත්වයෙහි ම හසළයකු වූ ධර්මාරාම හිමියෝ සතු ව මවිත කරවන සුලු ධාරණ ශක්තියක් තිබිණි. උන්වහන්සේ ගේ ගුරු හිමි රත්මලානේ ධර්මාලෝක නාහිමියන් හමු වූ අවස්ථාවක බටුවන්තුඩාවේ පඬිතුමා හාමුදුරුවනේ, ඔබ වහන්සේ දැන් කුමක් කරන්නේ දැයි විමසා තිබේ. බටුවන්තුඩාවේ පඬිතුමාට ලැබෙන්නේ ඔහු කිසිසේත්ම අපේක්ෂා කළ පිළිතුර නොවේ. උන් වහන්සේ වදාළේ, “මම ධර්ම ශාලාවක් තනවමි” කියා ය. ටික කලකට පසු රත්මලානේ ධර්මාලෝක නාහිමියන්ට බටුවන්තුඩාවේ පඬිතුමා හමු වෙයි. පඬිතුමා “හාමුදුරුවනේ අර ධර්මශාලාව තනා අහවර දැයි ඇසුවේ ය. හාමුදුරුවෝ වදාළේ “ඔව්, මම ඒ ධර්මශාලාව තනා අහවරයි. මේ ඒ ධර්මශාලාව තමා” යැයි සිය ශිෂ්‍ය රත්නය වූ ධර්මාරාම හිමියන් පෙන්වමින් උන්වහන්සේ ඉමහත් ප්‍රීතියෙන් පිළිතුරු දුන්හ. ස්වකීය ශිෂ්‍ය රත්නය ගොඩනැංවීම වෙනුවෙන් උන්වහන්සේ ගේ මැදිහත් වීමේ ප්‍රමාණය කෙතෙක් දැයි යන්න අපට පුදුම සහගත ය.
උන් වහන්සේ ගේ ශාස්ත්‍රීය එළැඹුමෙහි පරාසය අදටත් මනා තක්සේරුවකට ලක් වී නැතැයි කිවහොත් ඒ ගැන බොහෝ දෙනකු එකඟ වනු නියත ය. සම්භාව්‍ය සාහිත්‍යය කෙරේ වූ පර්යේෂණමය ඇල්ම නිසා උන් වහන්සේ යුග යුග කතා බහට ලක් වෙන යතිවරයාණ කෙනකු වීමේ මාර්ගය පෑදිණි. 1886 දී පඤ්චිකා ප්‍රදීපය සංශෝධනය කර පළ කළ උන් වහන්සේ 1902 දී සිදත් සඟරාව සංශෝධනය කොට ලියා පළ කළහ. සිදත් සඟරාවට ධර්මාරාම හිමියන් විසින් සම්පාදනය කරන ලද ව්‍යාඛ්‍යාව උගතුන් අතර බෙහෙවින් සම්භාවනාවට පාත්‍ර විණි. එතෙක් සිදත් සඟරාවේ වැරදි ලෙස අර්ථ දක්වා තිබුණු බොහෝ තැන් නිරාකුල කිරීමට ඒ් පරිශ්‍රමය හේතු විය. එපමණක් නොවේ, ධර්මාරාම හිමියන්ගේ ශුද්ධියෙන් 1896 වර්ෂයේ පළ වූ මොග්ගල්ලාන පංචිකාප්‍රදීපය පැරණි ශාස්ත්‍රීය වාචනා මාර්ගයේ ජීවමාන විදහා දැක්වීමක් ලෙස පිළිගැනේ. එමෙන්ම එකී ශාස්ත්‍රීය පොත පත අතර පපංචසූදනී අටුවාවෙහි ප්‍රථම භාගය, මනෝරථපූරණී, අත්ථසාලිනී වැනි පෙළ අටුවා ද මජ්ඣිම නිකාය, ධම්මසංගණී ආදි පෙළ පොත් ද, බාලාවතාර, මහාරූපසිද්ධි, පාලි නාම්‍යාත පදමාලා වැනි පාලි ව්‍යාකරණ ආශ්‍රිත ග්‍රන්ථ ද මහාබෝධිවංශ ග්‍රන්ථ පද විවරණය, සන්න සහිත කාව්‍යශේඛරය, සන්න සහිත සැළලිහිණි හා හංස සන්දේශ, කාව්‍යශේකර පුරාණ සන්නය සංස්කරණ ආදිය වේ. එමෙන්ම බුද්ධවර්ෂ වාද, පාරුපනවාද, සුගත්වියත්වාද ආදී විවිධ වාදවිවාද පවත්වා එකී මතවාදවල පැවැති ව්‍යාකූලතා නිරාකරණය කොට ඉදිරිපත් කළහ.
උන්වහන්සේ ව්‍යාවෘත කාර්යය අතර වෙසෙස් අවධානයට ලක්වූ සාහිත්‍ය එළැඹුමක් වන්නේ මහා කවි කුමාරදාස විසින් රචිත ජානකීහරණය කාව්‍යය නැවත රචනා කිරීමයි. මේ නිර්මාණාත්මක මැදිහත්වීම පඬිවරු හඳුන්වන්නේ හාස්කමක් ලෙසිනි. ඒ වන විට ජානකීහරණය වෙනුවට තිබුණේ පද්‍ය මාලාවෙන් තොර සන්න පොත් පමණකි. කාලිදාස කවියාගේ සිතේ මැවුණු මනරම් සකු පද්‍ය මෙදා ධර්මාරාම හිමියෝ සියවස් දහතුනකට පසුව සකු බසෙන් ම නැවත ලියූහ. එනම් ජානකීහරණය මහා කාව්‍යය එහි පුරාණ සිංහල සන්නය ආශ්‍රය කොට සකස් කෙරුණු ප්‍රතිසංස්කෘත පෙළක් 1890 වර්ෂයේදී පළ කළහ. එය නව නිමැවුමක් කිරීමට වඩා අසීරු කාර්යයකි. තවකකුගේ සිතේ බැඳි අපමණ පරිකල්පන ධාරාවක් ඉරි ගසා මායිම් ලකුණු කොට ලිවීම පහසු කාර්යයක් නොවේ. එය නව නිර්මාණයකට වඩා හැමතින්ම අසීරු වූවකි. ධර්මාරාම හිමියන්ගේ ජානකීහරණය සංස්කරණය පළ වන තෙක් ඒ් කෘතියෙහි අංග සම්පූර්ණ සංස්කරණයක් නොවූ අතර පෙරදිග රටවල් කිහිපයකින් පසුව ලැබුණු පිටපත් ආශ්‍රයෙන් පූර්ණ සංස්කරණ පළ වූයේ කලකට පසුවය. ජානකීහරණ සංස්කරණ බැරෑරුම් කර්තව්‍යයෙහි ලා උන්වහන්සේට පිටු බල වූයේ භාරතීය පඬිවරුන් ඇසුරෙන් ලද කාව්‍ය ශාස්ත්‍ර හා සංස්කෘත භාෂා ඥානයයි.
සකු පද බහුල ව යොදා ලිවීම මෙකල පැවැති සිරිතයි. කාලයක් තිස්සේ අවියත් හා නොගැළපෙන ලෙස යෙදුණු සකු පද මනාව සිංහලයට ඈදන ලද්දේ ධර්මාරාම හිමි විසිනි. ප්‍රකාශන ශක්තිය වඩ වඩාත් අතු ඉති ලියලා වැඩෙන්නේ බසෙහි වදන් පොහොසත් වන තරමට ය. සකු වදන් සුඛනම්‍ය ලෙස සිංහලයට ඈදෙන්නේ මේ පොහොසත් බව පතමිනි. ධර්මාරාම හිමියෝ එකී පොහොසත් බසක් වෙනුවෙන් සිය නිර්මාණාවලිය ම පෙරගමන් යැවූහ. ධර්මාරාම හිමියන්ගේ භාෂාව ගුරුළුගෝමි හා තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ භාෂා ආරට සමීපස්ථ යැයි විචාරක මතයක් ගොඩ නැඟෙන්නේ ඒ නිසා ය. වියත් යෙදුම් ඔස්සේ පොහොසත් භාෂා ගමනක හැඩතල ඒ නිර්මාණ මතින් පෙනෙන බව අවිවාදිත කරුණකි. සීමිත වචන ගණනක හිරවී කියන්නට ඇති දේ නිසි සේ කියාගත නොහැකිව ළතවෙන්නට ඉඩ සැලසී නැත්තේ උන් වහන්සේගේ අප්‍රතිහත කැපවීම හේතුවෙනි.
විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව ආරම්භයත් සමඟ එහි පරිවේණාධිපති ධුරය හෙබවූයේ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක යතිවරයාණන් වහන්සේ ය. උන්වහන්සේ උපාචාර්ය ධුරය දරමින් සිට තම අග්‍රගණ්‍ය ශිෂ්‍ය රත්මලානේ ශ්‍රී ධර්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිරුවෙනෙහි උප පරිවේණාධිපති ධූරයට පත් කොට බැදිගම රතනපාල ස්ථවිරයන් වහන්සේ උපාචාර්ය ධුරයට පත් කළහ. මේ කාලයේ දී ගුරු ශිෂ්‍ය දෙදෙනා වහන්සේ සංස්කෘත ශබ්දමාලා” නම් ග්‍රන්ථය ද “ධර්මප්‍රදීපිකතා” නම් ගැඹුරු ව්‍යාඛ්‍යාන ග්‍රන්ථය (1886) ද ශුද්ධ කොට ප්‍රකාශයට පත් කළහ. 1887 වූ අගෝස්තු මස 17 වෙනි දින රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වීමෙන් විද්‍යාලංකාර පරිවේණාධිපති ධුරයට රත්මලානේ ශ්‍රී ධර්මාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර දායක සභාව විසින් පත්කර ගන්නා ලදී. සිංහල සංඝයා අතර වාමවාදී ප්‍රවණතාව වඩාත්ම පෙනුණේ විද්‍යාලංකාර පිරිවෙනෙහිය. රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙනින් බිඳී ආ රත්මලානේ ධර්මාලෝක හිමි විසින් පිහිටුවන ලද විද්‍යාලංකාර පිරිවෙන ප්‍රාචීන ශාස්ත්‍රය අතින් උච්ඡස්ථානයට පැමිණියේ උන්වහන්සේගේ ප්‍රධාන ගෝල නම වූ රත්මලානේ ධර්මාරාම හිමි එහි ප්‍රධානාචාර්ය තනතුරට පත්වීමෙන් පසුවය.
මුලින්ම කළපළුවාවේ ධර්මාරාම යනුවෙන් නම් ලැබූ උන්වහන්සේ පසුව සිය ගුරුවරයාට කරන උපහාරයක් වශයෙන් රත්මලානේ ධර්මාරාම යන නම ආදේශ කර ගත්තේය. විද්‍යාලංකාර හා විද්‍යෝදය පිරිවෙන් දෙක අතර පිටතට නොපෙනුණ මුත් අභ්‍යන්තර ශාස්ත්‍රීය තරගයක් තිබිණි. විද්‍යෝදය පාලියට මුල් තැන ගත් අතර විදුලකර සංස්කෘත ශාස්ත්‍රයට තෝතැන්නක් බඳු විය. රත්මලානේ පිරිවෙන් අධිපති පැලෑනේ හිමි තම ශිෂ්‍යයන්ට සංස්කෘත උගැන්වීම පිණිස ඉන්දියාවෙන් බමුණු පඬිවරුන් ගෙන්වා ගත්තේය. විද්‍යාභූෂණ වැනි සංස්කෘත පඬිවරුන්ගේ සෙවණේ ධර්මාලෝක, ධර්මාරාම, සුමංගල හා පණ්ඩිත බටුවන්තුඩාවේ දේවරක්ෂිත වැන්නන් සංස්කෘත බස මැනවින් උගත්තෝය. ඒ සම්ප්‍රදාය විද්‍යෝදයට පැතිරී ගියේ නැත. ධර්මාරාම හිමියෝ විද්‍යාලංකාර පිරුවන මුළු මහත් ශාස්ත්‍ර ලෝකයේ ම සම්භාවනීයත්වයට පත්කරන්නට ඇප කැප වූවෝ ය. කෙසේ නමුදු ධර්මරාම හිමියන් කළ ශාස්ත්‍රීය සේවයට මෙකී සකු ආභාසය බෙහෙවින් වැදගත් විණි. ඒ ඔස්සේ සිංහල සාහිත්‍ය හා භාෂාවට එල්ල වූ ආලෝකය අතිමහත් ය. විද්‍යාලංකාර පිරුවන්හි දෙවන පරිවේණාධිපතීන් වහන්සේ වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෑත ඉතිහාසයේ වැඩ විසූ අග්‍රගණ්‍ය පාණ්ඩිත්‍යයකින් හෙබි බහුශ්‍රැත ධර්මධර, විනයධර සුපේශල ශික්ෂාකාමී සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙස පැවිදි ගිහි වියතුන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර වෙන බව නොරහසකි.
නියඟය නිසා මහා වැව් හිඳී යද්දි දියකඩිති නිසා මිහිකත පණනල ගැටගසා ගනී. සාගතයේදී අටු කොටු සිඳී කුඹුරු පාළු වෙද්දී මහ පොළොව සඟවා ගත් අල වර්ගවලින් ජීවිත රැකේ. සාහිත්‍ය කතරක් නම් ඒ කතරෙහි සරු කාල මෙන්ම නිසරු කාල ද, සාගත මෙන්ම සශ්‍රීකත්වය ද විටෙන් විට එයි. ඒ හැමකල්හිම මුළුමනින්ම සෝදා පාළු වීමට යා නොදී රැක ගන්නට ධීමත්තු බිහි වෙති. ඔවුන්ගේ අප්‍රමාණ වෙහෙස නිසා මේ සාහිත මහ පොළොව රැකෙති. විටෙන් විට බිහිවෙන මේ වැනි සුධීමතුන්ගේ අප්‍රමාණ කැපකිරීම් නිසා සාහිත කෙත නොනැසී රැකේ. එවැනි මිණි මුතුවල අගය දැනෙන්නේ තවත් බොහෝ කල් ඉකුත් ව ගිය පසු ය. එවිට ඒ මිණිවල දිස්නය තව තවත් බැබළෙයි. රත්මලානේ ධර්මාරාම හිමියෝ එවැනි සමයෙක බිහි වුණු යතිවර රන් ලකුණකි. කිසිදා ලඝු කළ නොහැකි සාහිත රත්න දායාද කළ යතිවර පඬි රුවනකි.