කවියන්ට මල් පුදන ලෝකයකදී සැමරෙන ලෝක කවි දිනය | සිළුමිණ

කවියන්ට මල් පුදන ලෝකයකදී සැමරෙන ලෝක කවි දිනය

අපාරේ කාව්‍ය සංසාරේ

කවිරේව ප්‍රජාපතිඃ

කුමාරතුංග මුනිදාසයන් එය සිංහලට නඟන්නේ මෙලෙසිනි.

තෙරක් නොමැති කව් සසරේ

මහ බඹු කවියා විතරේ

අපාර වූ කාව්‍ය සංසාරේ මහ බඹු හෙවත් නිර්මාතෘ වෙන්නේ කවියා ය.

විය කියන්නේ මලක් වැන්නකි. මලෙහි සුවඳ කිසිවකුටත් අයිති කරගත නොහැක්කකි. කොතරම් උරා ගත්ත ද එහි සුවඳ අවසන් නොවේ. මලෙහි ම ඉතිරි වේ. අනුන්ට සුවඳ ප්‍රදානය කරන අතරම තමාගේ සුවඳ රැක ගන්නා අයුරු ද මල දනී. ඒ සුවඳ මලට ම අයිති වෙන්නේ ඒ නිසා ය. කවියත් මලක් වැනි ය. මලෙහි රුව සුවඳ මල රැක ගන්නා සේ කවිය ද සිය ගුණ සුවඳ රැක ගනී. එය විඳින්නා තම නැණ මහිම අනුව එහි රස විඳියි. කවිය නිමවන කවියා ද මලෙකි. කවියෙහි සුවඳ වන් එහි අරුත එහි ම විවිධ රස භාවයන්ගෙන් පිරී පවතී. කැමැති කෙනකුට කැමැති පරිදි විඳිය හැකි ය. එමෙන්ම මලෙහි සුවඳ මෙන් කවියෙහි අරුත කාටවත් සොරා ගත නොහැකි වෙයි. විචාරකයෝ, පඬිවරු තම තමන්ට දැනෙන, හැඟෙන පරිදි කවිවලට හා කවියන්ට අරුත් නිරුත් ඉදිරිපත් කරති.

කවි ගැන ලිවීම කවි ලියන තරම් ම අසීරු වූවෙකි. කවියා ගැන ලිවීම ඊටත් අසීරු වූවකි. එවන් අසීරු මාතෘකාවක් වෙනුවෙන් දිනයක් වෙන්වීම නම් ප්‍රශංසනීය ය. ලෝක කවි දිනය ලෙස විධිමත් මුහුණුවරක් ගැනීමට පෙර ටෙසා ස්වීසි වෙබ් නම් කවියා විසින් 1938 දී එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රාන්තයේදී මේ පිළිබඳ සිය උනන්දුව දක්වා තිබේ. ඒ අනුව පුරාණ රෝම කවියකු වූ වර්ජිල්ගේ උපන් දිනය දා කවි දිනය ලෙස නම් කර නිවාඩු දිනයක් ස්ථාපිත කරන ලදැයි සඳහන් වේ. 1951 දී අමෙරිකානු ප්‍රාන්ත 38ක සහ මෙක්සිකෝවේදී ජාතික කවි දිනය සමරනු ලැබ තිබේ. මාර්තු 21 වැනිදා කවිය හා කවිය වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානය නම් කරන්නේ මේ ක්‍රියාදාමයේ දිගුවක් විය යුතුය. 1999 ප්‍රංශයේ පැරිස් නුවරදී යුනෙස්කෝ සංවිධානයේ 30 වැනි මහා සමුළුවේදී සෑම වසරක ම මාර්තු මස විසිඑක් වැනි දා ලෝක කවි දිනය සේ සම්මත කරගෙන ති‍බේ. එහි පොදු තේමාව වූයේ මිනිස් මනසේ නිර්මාණශීලි ආත්මය අවදි කිරීමට කවියට ඇති අද්විතීය හැකියාව පුබුදු කිරීමයි. ලොව පුරා කවියෝ, කවි සංවිධාන, පුස්තකාල, අධ්‍යාපන ආයතන, කවියට හිතැත්තෝ හා රසිකයෝ ලෝක කවි දිනය සැමරීමට එක් වෙති. 2011 මාර්තු 21 දා සංස්කෘතික අමාත්‍යාංශය විසින් ලංකාවේදී ප්‍රථම වරට ලෝක කවි දිනය සමරන්නට එක් වේ.

ලංකාවේ පළමු ලෝක කවි දිනය 2011වසරේදී සංස්කෘතික අමාත්‍යාංශයේදී පවත්වන ලද්දේ එවකට සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ විමල් රූබසිංහගේ ප්‍රධානත්වයෙනි. එවකට සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වූයේ ටී. බී. ඒකනායක ය. යුනෙස්කෝ සංවිධානයට රටවල් 156 ක් ඇතුළත් වෙයි. ගිලීහි යන උරුමයන් ආරක්ෂා කිරීමට ගත් පියවරක් ලෙස ගත් මේ කවි දිනය නම් කිරීම මානව ගුණධර්ම හා මානවවාදී මිනිසුන් බිහි කිරීම අරමුණු කර ගත්තකි. ඒ අනුව අඩපණ වූ සංස්කෘතිවල වාග් සන්නිවේදනය හා කවිය නඟාසිටුවීම සිදු කෙරේ.

2023 වසර වෙනුවෙන් ද සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ අස්පර්ශනීය උරුම උපදේශක සභාව විසින් විවිධ වැඩ කටයුතු රැසක් සංවිධාන කර තිබේ. මේ ඒ පිළිබඳ අස්පර්ශනීය උරුම උපදේශක සභාවේ සභාපති, මහාචාර්ය කමල් වලේබොඩ දැක්වූයේ මෙවන් අදහසකි.

‘ලෝක කවි දිනය වෙනුවෙන් 2011 වසරේ ඉඳන් විවිධ වැඩ කරලා තියෙනවා. අපි මෙවර කල්පනා කළා ලෝක කවි දිනය මේ රටේ කවියන්ගේ, රසිකයන්ගේ හා කවියට හිතැති අයගේ වැඩසටහනක් බවට පත් කරන්න. එහෙම නැත්නම් කවි දිනය ජනගත කරන්න. ඒ වෙනුවෙන් අපි විශාල අධ්‍යාපන වැඩසටහනක් එක්ක කවියන්ට ආරාධනා කරලා තියෙනවා ලෝක කවි දිනයට සමගාමීව විවිධ වැඩසටහන් කරන්න කියලා. ඒ අයට අපි පත්‍රිකාවක් යවලා තියෙනවා. ලංකාව පුරා තියෙන හාරසිය ගණනක පුස්තකාලවලත් ලෝක කවි දිනයට සමගාමීව අපි විවිධ වැඩසටහන් කරනවා. මෙවර ලෝක කවි දිනය දා පමණක් නොවෙයි; කවි දිනයට සමගාමී ව රට පුරා විවිධ වැඩසටහන් සතියක් පුරා අපි ක්‍රියාත්මක කරනවා. සියලුම කවි සංවිධානවලට, ලංකාවේ කවීන්ට ඒ පිළිබඳ විස්තර අපි යවලා තියෙනවා. මේ කවීන් දැන් නව මාධ්‍ය භාවිත කරන නිසා අපට හරි ලේසියි පණිවිඩ ඔවුන් අතරට යවන්න. ඒවගේම තරුණ පිරිසේත් අතිවිශාල අවතීර්ණ වීමක් පේන්න තියෙනවා. ඒ අයට මුහුණුපොත තියෙනවා; වෙබ් අඩවි තියෙනවා. අපි නව මාධ්‍ය භාවිත කරලා කවීන් සම්බන්ධ කරන ආකෘති හදලා තියෙනවා. නව මාධ්‍ය හරහා මේ දේවල් කරන්න අපි ඔවුන්ව දැනුම්වත් කරලා තියෙනවා.

මේ වැඩපිළිවෙළ අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා මීට වඩා පුළුල් ව ලබන අවුරුද්දේ කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. කවි දිනය ජනතාවගේ දිනයක්. කවි දිනයේ අරමුණු වන ජාතික සුහදතාව ඇති කිරීම, කවියන්ට සැලකීම, කවියන් එකතු කිරීම, කවි ගායනා කරන්න, කවි ලියන අය උනන්දු කරන්න, කවි රස විඳින්න ආදී දේ කරන්නයි අපේ බලාපොරොත්තුව. කවි දිනයේ මුඛ්‍ය අරමුණ වෙන්නෙ මිනිසාගේ නිර්මාණශීලි මනස අවදි කිරීමයි. මනස අවදි කිරීමෙන් තමයි අනෙක් කලාවන් වුණත් පෝෂණය වෙන්නෙ. ඒ නිසා මිනිස්කම අවදි කිරීමටත්, වෛරය තුරන් කිරීමටත්, දයාව ඇති කිරීමටත්, සහයෝගීතාව වර්ධනය කරන්නත් තමයි අපි මේ දේවල් ක්‍රියාත්මක කරන්නෙ.

ඒ වගේම වැදි ජනතාවගේ භාෂාව වගේ වඳවී යන භාෂා හා සිරිත්විරිත් කවියෙන් සුරකින්නත් අපි බලාපොරොත්තු වෙනවා. සිනමාව, රූපවාහිනිය, මූර්ති, ගීත වගේ කලා මාධ්‍ය කවියත් එක්ක බලාත්මක කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මෙවර ලෝක කවි දිනයේදී අපේ බලාපොරොත්තුව වෙන්නේ මිනිස්කම අවදි කිරීමේ වැඩපිළිවෙළක් සැකසීමයි‘

කවිය අස්පර්ශනීය උරුමයක් ලෙස යටපත් වීමට නොදී එය යාවත්කාලීන කිරීමේ වගකීම වෙනුවෙන් අස්පර්ශනීය උරුම උපදේශක සභාව මැදිහත් වීම අගය කටයුතුය. 1981 මැයි 11 වැනිදා සිට 18 වැනිදා දක්වා යුගෝස්ලෝවියාවේ දී පැවැත්වුණු කවීන්ගේ සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වෙන්නේ පණ්ඩිත විමල් අභයසුන්දර ය. එහිදී මේ සඳහා රටවල් 35ක නියෝජිතයන් සහභාගී වූ බවත්, විමල් අභයසුන්දර විසින් ගායනා කරන ලද කාව්‍ය ඉංග්‍රීසි බසට පරිවර්තනය කර, අනතුරුව යුගෝස්ලෝවියානු බසට ද පරිවර්තනය කොට සම්මේලනයට ඉදිරිපත් කළ බැව් ද සඳහන් වෙන්නේ ඔහු විසින් රචිත අසෙනිය කුසුම් ග්‍රන්ථයෙහි ය. ඔහු පවත්වන ලද කෙටි දේශනයේදී සිංහල කාව්‍ය සම්ප්‍රදාය වසර 300කටත් වඩා පැරණි බවත්, එය ඔප්පු කිරීමට ඓතිහාසික සාධක මෙන්ම සාහිත්‍යයික සාධක ද සිංහලයන් සතුව ඇති බව පැහැදිලි කරන ලදි. එහිදී ඔහු ලයට, තාලයට, විරිතට හා ඡන්දසට අනුරූප වන ගායනාත්මක විලාසයකින් කවි ගායනා කර ඇත. මිනිත්තු කිහිපයක් පුරා උත්සව ශාලාවේ අත්පොළසන් නද ගිගුම් දී තිබේ. සම්මේලනය ඇමතූ රුසියානු කවියා ශ්‍රී ලංකාවේ කවි ගැන විශේෂ සඳහනක් ද කර තිබේ. මේ සියල්ල සඳහන් ව ඇත්තේ අසෙනිය කුසුම් කෘතියෙහි ය. ඒ ගැන අපගේ අවධානය අවදි කළේ පුලස්ති අභයසුන්දර සහෘදයා ය.

ශ්‍රී ලංකා කලා මණ්ඩලය කවිය ඇතුළු සාහිත්‍ය පිළිබඳ දක්වන උනන්දුව හා කැපවීම අගය කටයුතු ය. එහි වත්මන් සභාපති මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර ලෝක කවි දිනයක් පැවැත්වීමේ අගය ගැන සඳහන් කළේ මෙසේ ය.

‘කවිය ගැන අන්තර්ජාතික අවධානයක් යොමු වීම ඉතා වැදගත් කාරණයක් ලෙසයි මම දකින්නෙ. අපේ සාම්ප්‍රදායික ඡන්දස්, විරිත් අලංකාර පවා දැන් අලුත් පරම්පරාවට ගයන්න බැරි තත්ත්වයක්නෙ තියෙන්නෙ. ඒවා අලුත් පරම්පරාවට හඳුන්වා දීමක් කළ යුතු වෙනවා. ක්‍රි. පූ. 3 වැනි සියවසේ කළුගල්වල අපේ කවි කොටලා තියෙනවා. කෙටි කවි, මුක්තක කවි ආදී විවිධ වර්ගවල කවි ඒවායේ තියෙනවානෙ. දැන් කවි කියවන සහ ගයන පරම්පරාවක් ලේසියෙන් හොයා ගන්නත් නැති තරම්. ඒ නිසා රසවින්දනය මතු කරන්න, අවදි කිරීමක් කරන්න මේ වැනි දින නම් කිරීමත්, ඒ නිසා හෝ විවිධ වැඩසටහන් කිරීමත් ඉතා හොඳ බවයි අපේ අදහස‘

කවියේ පැවැත්ම ගැන අපූරු සකු ශ්ලෝකයක් වෙයි. එය කවිය ගැන කතා කරද්දි මඟ හැරිය නොහැක්කකි.

කවිඃ කරෝති කාව්‍යානි

රසඃ ජානානි පණ්ඩිතඃ

තරුඃ ඍජති පුෂ්පානි

මරුත් වහති සෞරහම්

කවියා කාව්‍ය කරයි. පණ්ඩිතයා එහි රසය ගෙන හැර දක්වයි. ඒ කෙසේද යත් ගස මල් දරනු වැනි සේම ඒ මල්වල සුවඳ සුළඟ පතුරුවා හරින්නා සේ ය. කවියාට විචාරකයා හෝ පණ්ඩිතයාගෙන් තොර පැවැත්මක් නැද්දැයි කෙනකුට මෙය කියවන විට ප්‍රශ්නයක් පැන නැඟීමට ඉඩ ඇත. එහෙත් කවියට ඇත්තේ එයට ම අනන්‍ය වූ භාවයකි; විලාසයකි. එය පෙර නොවූ විරූ දෑ නිර්මාණය කිරීම හෙවත් ප්‍රතිභාවේ ඵලයකි. කෙසේ කොහොම වුවත් කවිය හදවත් සුමුදු කරන්නකි. ජීවිත කියවන්නකි. එහෙයින් කවියා යනු ජීවිත පරිඥානය ඇති කරන ආනන්දය ජනනය කරන්නෙකි. එබැවින් කවියට දවසක් වෙන් කිරීම වටනේ ය. අස්පර්ශනීය උරුම වන ඒවා යටපත් වීමට නොදී සංරක්ෂණය කිරීම සඳහා යුනෙස්කෝව ගත් ක්‍රියාමාර්ගය අගය කටයුතු වන්නේ ඒ නිසාය.

නව පරපුරේ කවියන් හා කිවිඳියන් ගැන නිරන්තරයෙන් සිය අවධානය යොමු කරන සම්මානිත ප්‍රවීණ කිවියර බුද්ධදාස ගලප්පත්ති ලෝක කවි දිනය ගැන සිය අදහස පළ කළේ මෙපරිද්දෙනි.

ලෝක කවි දිනය පටන් අරන් දැන් දශක දෙකකට වැඩියි. ශ්‍රී ලංකාවේ මේ පිළිබඳ සාහිත්‍යකරුවන් හෝ කවීන් දැනුම්වත් ද කියන එකත් ගැටලුවක්. මට මතක විදියට සංස්කෘතික දෙපාර්තමේන්තුව නම් එක පාරක් ලෝක කවි දිනය අතිඋත්කර්ෂවත් අයුරෙන් පැවැත්වූවා. ඒ වුණාට සාහිත්‍ය ප්‍රජාව අතර ලෝක කවි දිනයක් ගැන දැනුම අල්පයි කියලයි මට හිතෙන්නෙ. කවි දිනයක් කියලා එක දවසක් අවශ්‍ය නැති තරමට අපේ අය කවියත් එක්ක බද්ධයි. සමාජ මාධ්‍ය බැලුවොත් අවුරුද්දෙ දවස් 365ත් මදි අපට තියෙන කවි කියවන්න. ඒ තරම් කවි බිහි වෙනවා. යුනෙස්කෝව සඳහන් කරන එක එක දින වගේ කවියටත් දිනයක් වෙන් කරන එක හොඳ දෙයක්. ඒ කවි දිනය ගැන දැනුමක් නැති එක නම් කණගාටුවට කරුණක්. අලුත් කවි පරපුරට තියෙන ප්‍රශ්න විසඳ ගන්න පිළිසරණක් වෙනවා නම් ඒක දිනයක් නම් කරනවාට වඩා ප්‍රයෝජනවත් කියලා හිතෙනවා. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ වගකිව යුතු පාර්ශ්ව ඊට මැදිහත් වෙනවා නම් වටිනවා. ඒකයි කළ යුතු සේවාව. මගේ ජීවිතේ නම් හැමදාම කවි දිනයක්. ලෝක කවි දිනයක් තිබීම වටිනවා; නමුත් කවිය වෙනුවෙන් ඊට වඩා කළ යුතු වැඩ තියෙනවා කියලයි මගේ හැඟීම.

කවිය වෙනුවෙන් දිනයක් වෙන් කිරීමෙන් යුනෙස්කෝව බලාපොරොත්තු වෙන අස්පර්ශනීය උරුමයක් ලෙස කවියට ඇති වැදගත්කම ගැන වන අවබෝධය සාමාන්‍ය ජනතාව අතර පවතී ද යන්න ගැටලුවක් බවත්, විවිධ මට්ටමෙන් විවිධ නිර්මාණකරුවන් ඒ සඳහා සිය ශක්ති ප්‍රමාණයෙන් මැදිහත් වෙන බවත් සම්මානනීය කිවිඳියක වන අනුරාධා නිල්මිණී පවසයි.

‘යුනෙස්කෝ සංවිධානය විසින් ,ජාත්‍යන්තර කවි දිනයක් ප්‍රකාශයට පත් කිරීමේ මූලික අරමුණ ඒ ඒ රටවල ඒ ඒ සංස්කෘතීන්ට සහ ආවේණිකව මුල් බැස ඇති කාව්‍ය සම්ප්‍රදායන්, විලාස පිළිබඳ නූතන සමාජයට විවෘත විය හැකි අවස්ථා නිර්මාණය කිරීමටයි. විශේෂයෙන්ම අස්පර්ශනීය නිමැවුම්, කලාවන් කෙරෙහි සහකම්පනීය මානසිකත්වයක් සමාජය තුළ ප්‍රතිනිර්මාණය කිරීමටයි.

නමුත්, මට පැහැදිලිව පෙනෙන ගැටලුව තමයි, අපි රටක්, නැතිනම් සාහිත්‍යය සමාජයක් වශයෙන් හෝ ඒ අවස්ථාව ප්‍රයෝජනවත්ව අභ්‍යාස කරන්නේ ද කියන කාරණාව.

ඊට බොහෝ හේතු තිබිය හැකි වුවත්, 'කවිය' විසින් ම නිර්මාණය කරගෙන තිබෙන විවිධ බෙදීම් නිසා සාහිත්‍යය සමාජය විසින් මෙවැනි අවස්ථා හිතාමතාම නොසලකා හරින තත්ත්වයට පත්ව තිබෙනවා.

මේ කාරණාවම තවත් පැත්තකින් ගන්නකොට, ජාත්‍යන්තර කවි දිනය, එහි අරමුණු පිළිබඳ ව මූලික අවබෝධයක් ඇතිව හෝ නැතිවත්, ලංකාවේ කවිය සමඟ බද්ධව කටයුතු කරන විද්වතුන්, වගේම නූතනයේ සම්මානිත කිවියර, මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ප්‍රමුඛ කණ්ඩායමක් ලංකාවේ කවියේ අස්පර්ශනීය, නැතිනම් සැඟවුණු කලාප වෙත කාව්‍ය රසිකයා කැඳවීමේ කාර්යයක නියැළී සිටිනවා.

ඒ නිසා, ජාත්‍යන්තර කවි දිනය, ලංකාවේ කවි, කිවිඳියන් වශයෙන් අප බාරගත යුත්තේත්, කියවා ගත යුත්තේත් මේ සියලු කාරණා සැලකිල්ලට ගෙන ඉතාම සියුම් තැනෙක පිහිටායි‘

කවිය නැළැවිලි කවියේ සිට සොහොන් කොත තෙක් දෝලනය වෙන්නෙකි. භෞතිකයේ සිට ආධ්‍යාත්මය ස්පර්ශ කරන්නකි. සහකම්පනීය ඉසව්වකට පාර කියන්නකි. කුමන අර්ථයෙන් ගත්තත් කවිය ජීවිත සුමට කරන්නකි. නොදන්නා ඉසව් පිළිබඳ මඟ කියන්නකි. කවිය පිළිබඳ කතිකා සේම කවියන් සංවිධානාත්මක වීම ද වටින්නේ ඒ නිසා ය. පටන් ගැන්මේ සිට මේ දක්වා පවතින විචල්‍යතා අධ්‍යයනය එහිදී බෙහෙවින් වැදගත් ය. කවිය නෛසර්ගික බිහි වීමක් වුවත් එයට අදාළ හැදෑරීම් නිර්මාණය සඳහා කරනු ලබන එළිය කිරීම ගැන සවිඥානික කවි පරපුරක් බිහි කිරීමේ අවැසිතාව අප ඉදිරියේ තිබේ. සිංහල කවිය අතීතයේ සිට නර්තනය, අංගම් ඇතුළු කලාවන් මෙන්ම ජන ජීවිතය හා බැඳී පැවැතිණි. ඒවා බොහොමයක් අස්පර්ශනීය ඉසව් ය. ලෝකයේ හැම රටක ම එවැනි සංකම්පනීය අස්පර්ශනීය උරුම තිබේ. ඒවා රැක ගැන්මට මෙසේ පෙළ ගැසීම අගය කළ යුත්තකි. කවියන් වෙනුවෙන් මල් පුදන, ස්මාරක හදන රටවල් තිබේ. අපි කවියන් වෙනුවෙන් යුතුකම් ඉටු කළා ද යන්න ගැන යම් පශ්චාත්තාපී හැඟීමක් තිබේ. එනයින් බලන කල කවියන් හා කවි වෙනුවෙන් අන්තර්ජාතික කවි දිනයක් යුනෙස්කෝව නම් කිරීම වටින්නේ ය.

Comments