සසර වසන තුරු අමතක නොවන ගී අස්වැන්නක් තිළිණ කළ ඩෝල්ටන් අල්විස් | සිළුමිණ

සසර වසන තුරු අමතක නොවන ගී අස්වැන්නක් තිළිණ කළ ඩෝල්ටන් අල්විස්

දා සිළුමිණෙහි ස්වභාවය අධ්‍යයනය කිරීමට මම ලේක්හවුසියේ ඩී. ආර්. විජයවර්ධන මාධ්‍ය පුස්තකාලයේ පැරණි පුවත්පත් පිරික්සමින් සිටියෙමි. පනහේ දශකයේ අග භාගයේ සිළුමිණ කවි පිටුවක නතර වූ මගේ දෑසට හමු වූයේ සුන්දර සිතුවමක් සහිතව පළව තිබූ මිහිරි පැදි පෙළකි. බෙන්තර ඩී. ඩී. ඩෝල්ටන් අල්විස් නමින් පළව තිබූ ඒ පැදි පෙළෙහි බස සුගම ය, සරල ය. එහෙත් එහි අර්ථය ගැඹුරු ය. ඒ කවි මා කැඳවා ගෙන යන්නේ අප ඉෂ්ටාර්ථ යැයි සිතන නමුත් බොහෝ විට දක්නට නොලැබෙන සමහර සංවේදනා ගැන වන ආත්මීය සිතිවිලි වෙත ය. ඒ ලෝකය සුන්දර ය. එහෙත් හේ යථාර්තය එහි ගල්වන්නේ අප සැණෙකින් පවතින ලෝකය වෙත කැඳවා ගෙන එනු වස් ය. මට ඒ ගැන ඔබට උදාහරණයක් පැවසීමට අවැසි ය. 

මට පසුගිය දිනෙක අපූරු ලිපියක් කියවන්නට ලැබිණි. ලිපිය ලියා තිබුණේ ගුවන් විදුලි හා මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයකු වන කරුණාරත්න අමරසිංහ විසිනි. එකල ඔහු ඉරිදා සිළුමිණ එනතෙක් මඟ බලන්නේ ඩෝල්ටන් අල්විස්ගේ සුමිහිරි කවි කියවන්නට බැව් එහි සඳහන් ව තිබිණි. එය පරම සත්‍යයක් බැව් නිසැක ය. හේතුව අප හට කියවන්නට ලැබුණු ඒ පැරණි කව් ද කියැවීමේ පෙලඹවීම ඇති කරවන සුළු සුමිහිරි කවි බැවිනි. පසුකලෙක කරුණාරත්න අමරසිංහයන්ට ඩෝල්ටන් අල්විස් කවියා මුණ ගැසෙයි. ගුවන් විදුලියට අල්ලපු වත්තේ පිහිටි

පී. ඩබ්ලිව්. ඩී. අවන්හලේ සාද සාමිචීයක පසුවන අවස්ථාවක ඔහු තමාගේ කවි සිත අවුස්සන්නට ඩෝල්ටන්ගේ කවි උපස්ථම්භක වූ අයුරු ගැන ඩෝල්ටන් කවියාට කියයි. ඒ අවස්ථාවේ අහිංසක ලෙස හිනැහුණු ඩෝල්ටන් යමක් රස විඳින කලෙක මෙන් තලු‍ මරන්නා සේ කට හදමින් කවි පද දෙකක් ගැයූ බව හේ සිය ලිපියේ සඳහන් කර තිබුණේ එදා රස අපට ද දැනෙන තරම් මිහිරි ලෙසිනි. මේ ඒ කවි දෙපදය ය. මා පෙර කියූ මිහිරි බවත් ජීවන යථාර්තයත් එහි ගැබ් ව ඇති බව ඔබට ම වැටහෙනු ඇත.

ආලය මිහිරි කරදරයකි විඳිය හැකී 
ගැහැනිය කඳුළු අතරින් එහි ගැඹුර දකී...

සසර වසන තුරු ලියා හේ සසර වසන තුරු අපේ හදවත්හි ලැඟුම් ගත් කවියා ය. ගේය පද රචකයා ය. ජීවන ගමනේ කුමන හෝ තැනකදී අප අත්විඳින සියල්ල හේ කලින්ම ලියා තැබුවේ ය. ඒ කවි පද රිදෙන, සැනහෙන, විඳින, විඳවන ඕනෑ ම විටෙක අප මතකයට නැඟෙන්නේ ඒ අනුරූපී මානසික ඝට්ටනයට සොඳුරු පිළියම් සම්පාදනය කරමිනි. ඉඳින් ඩෝල්ටන් අල්විස් නික්ම ගියේ වුව ජීවත් වෙන්නේ යැයි හැඟෙන හැඟීම පුද්ගලික හැඟීමක් සේ සලකා ඉවත ලන්නට හැකි දෙයක් නොවේ. එය ජීවිතයේ ම කොටසකි.

සසර වසනතුරු ගීතය ඩෝල්ටන් නිර්මාණකරුවාට ද ගැලවුම් කාරකයක් වූ අවස්ථාවක් ගැන ඔහු ගැන සඳහන් වෙන සෑම තැනක ම ලියැවෙනු කියැවෙනු පෙනේ. ගුවන් විදුලියේ වැඩ තහනමකට ලක්වෙන ඩෝල්ටන්ගේ රස්සාව බේරා ගැනීමේ ඉටු දෙවියා වන්නේ සසර වසනතුරු ගීය ය.

අප මේ කියන කාලයේ ගුවන් විදුලියේ සිංහල සේවා අධ්‍යක්‍ෂවරයා වූයේ එච්.ඇම්. ගුණසේකර ය. ඩෝල්ටන්ගේ වැඩ තහනම් කළ ලිපිය මුලින් ම ලැබෙන්නේ ඔහුගේ අංශ ප්‍රධානියා වූ එච්. ඇම් ට ය. හේ කලබල විය; ලිපිය අතට ගෙන කාමරය පුරා ඇවිද්දේ ය. මනුස්සකමේ ප්‍රතිමූර්තියක් බඳු යැයි කියූ එච්. ඇම්ට මේ ලිපිය ඩෝල්ටන්ට දෙන්නට කොහෙත්ම හිත නැමුණේ නැත. එකල ශ්‍රී ලංකා ගුවන් විදුලි සේවයේ ප්‍රධානියා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වූයේ රිජ්වේ තිලකරත්න ය. හේ විනය හා වගකීම් ගැන අකුරටම සිතූවෙකි. එහෙත් ඒ සියල්ල පරයා ඔහු සැබෑ මානවවාදී හැඟීම්වලින් යුතු කලාවේ රසය හඳුනන අපූරු මිනිසෙකි. මේ බැව් ඔහුගේ දීර්ඝ කාලීන හිතවතකු වූ එච්. ඇම් හොඳින් දැන සිටියේ ය. එබැවින් ඩෝල්ටන්ට මේ ලියුම ගැන හාන්කවිසියක් හෝ දැනෙන්නට ඉඩ නොහරින එච්. ඇම් කෙලින්ම යන්නේ සිය ප්‍රධානියා වන රිජ්වේ තිලකරත්න හමු වීමට ය.

දන්නවාද මේ ලිපිය නිකුත් කළේ කාට ද කියලා... සිය අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් එච්. ඇම් අසන්නේ ය. එච්. ඇම් නිකම් කිසිවක් නොකියනා බවට වන විශ්වාසය පෙරදැරිව රිජ්වේ කිසිවක් නොකියා සිටියේලු. මෙයා තමයි සසර වසන තුරු ගීතය ලියූ ඩෝල්ටන් අල්විස්....

අධ්‍යක්ෂ ජනරාල්වරයා විමතියට පත් විණි. නැවත නැවතත් තමා නිකුත් කළ ලිපිය දෙස බැලූ හේ ඩෝල්ටන් කැඳවූයේ ය. ඒ වනවිටත් කනින් කොනින් තමාගේ ඉරණම ගැන දැන සිටි ඩෝල්ටන් එහි පැමිණියේ ඕනෑම තත්ත්වකයට මුහුණ දෙන්නට හිත හදා ගෙනය.

ඩෝල්ටන් මේ ඔබේ වැඩ තහනම් කළ ලියුම මම ඉරනවා. සසර වසන තුරු කවදාවත් මට ඔබට මෙවැනි ලිපියක් ලියන්න නොලැබේවා කියලා මම පතනවා... බිම බලාගෙන සිටි ඩෝල්ටන් නික්ම ගියේ ය.

කලාකරුවාගේ අගය ගැන රිජ්වේ තිලකරත්න මනාව දැන සිටියේ ය. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ඒ. ඩී. රන්ජිත් කුමාර ලියූ නොව පැරණිය පොතේ සඳහන් වෙන ආකාරයට හේ අන්වර්ථ නාමයක් වෙන විමලා රංජනී පීරිස් යන්නෙන් ලියූ ගී තිබේ. ඔබ හා මෙමා අතිනත් අරන් අපගේ ලොවේ තනිවූ එදා.... ටී. එම්. ජයරත්න ගයන පසිඳු ගීය එසේ ඔහු අතින් නිර්මාණය වූවකි.

ආයතනික නීති සංග්‍රහයට අනුගත වීම අත්‍යවශ්‍ය බව අඟවා හේ කලාකරුවාගේ අපූර්වත්වයත් ඇගැයූ අයුරු වටින්නේ නායකයකු සතු විය යුතු විචක්ෂණශීලි බව මොනවට විදහා පාමිනි. හේ සොඳුරු තර්ජනයක් කරන්නේ සසර වසන තුරු ඔබට මෙවැනි ලිපියක් ලිවීමට මට නොලැබේවා කියාය. එය වරද හා අගය එකවර පෙන්වූ සොඳුරු ආඥාදායකත්වයකි.

ජාතක කතා පොත නිර්මාණකරුවන්ට නිර්මාණ ආකරයකි. ගී පද රචකයන්ට ද එහි වෙනසක් නැත. ප්‍රේමකීර්ති ද අල්විස්, මහගම සේකර, රත්න ශ්‍රී විජේසිංහ, මඩවල එස්. රත්නායක, සුනිල් සරත් පෙරේරා එවැනි මූලාශ්‍රයවලින් වැඩ ගත් නිර්මාණකරුවන් අතර කිහිපදෙනෙකි. ප්‍රේමයේ ස්වරූප ගැන ලියැවෙන ගී කෙත වඩාත් ශෘංගාරාත්මක හා ප්‍රේමාන්විත වන්නේ එලෙස ය.

ඩෝල්ටන් ගී කෙත පිරික්සන කෙනකුට අමතක නොවන මූලාශ්‍රය සපයන සද්ධර්ම රත්නාවලියේ හමුවෙන කුණ්ඩලකේශී කතා වස්තුව එවැන්නකි. ඔහු එක්තරා මාධ්‍ය වැඩසටහනකදී පැවසූ පරිද්දෙන් ඒ වස්තු බීජය ඔහුට එන්නේ මුහුදු වෙරළේ නිදහසේ සරන රූමත් යුවතියක් දැකීමෙනි. ඒ පුරාතන දැනුම හා වත්මන් දෘශ්‍ය රූපය ඩෝල්ටන් නිර්මාණකරුවාගේ මනසේ සමපාත දර්ශනයක් වෙන්නේ ය. කලාකරුවා අතීතය, වර්තමානය සේ ම අනාගත රේඛාව ද සම්බන්ධ වෙන දැනුම් පරාස ගැන කෙතරම් සවිඥානික ද හා දැනුම්වත් ද යන්න ගැන මේ එළැඹීම මනා නිදර්ශනයකි. කුණ්ඩලකේශිය හා වෙරළේ නිදහසේ සරන යුවතිය සමපාත රේඛාවකට එක්ව සුන්දර ගීයක් ක්ෂණයෙන් බිහි වෙන්නේ ය.

නීල වරල නිල් චාමර 
පවන් සලන්නී 
කුණ්ඩල කේශී 
කුණ්ඩල කේශී

ගීතයේ ස්ථායි කොටස පණ්ඩිත් අමරදේව අතට දෙන සැණින් පණ්ඩිත් අමරදේව වචන මුමුණමින් තනුව නිමවන්නට උත්සුක වෙයි. ගීතයේ අන්තරා කොටස ගැන සිතමින් ඩෝල්ටන් අල්විස් කුණ්ඩලකේශී නම් සුන්දර ලලනාව ගැන සිතයි. මුළු කතාවම ගීයේ අන්තර්ගත නොවුණත් ලිය වැනුම ඔස්සේ මවන සුන්දර ඉසව්වට ඔබ්බෙන් ඇය මරා දැමීමට කඳු මුදුනට යෑම සඳහා සිය ස්වාමියා කරන ඇරයුම ගැන සුළු ඉඟියක් ලබා දෙයි. ඇයට මරණය හිමි වීමට බලපෑ හේතු සාධක කවරේ ද යන්න ගැන කුණ්ඩලකේශී වස්තුව ගැන දන්නා ඔබ දනී. කුණ්ඩලකේශී වස්තුව ගැන මඳක් මතක් කිරීම මේ නිර්මාණයේ අගය ගැන කතා කරන්නට සුදුසුම පාලමයි.

රජගහනුවර මහ ධන සිටාණන්ගේ දියණිය වැඩිහිටියන් විසින් නිවාස අඩස්සියේ තබන්නේ ඇය වරදක් කළ නිසා නොව වරදක බැඳේවිය යන බිය නිසා ය.

“රූපත්ව උපන්නාට පාටෝපයට සිරගෙයක ලුවා සේ ලූහ“

ඒ නිසා ඇය දෙමාපියන්ට වෛර බඳියි. ඇය තීරණය කරන්නේ තමා විවාහ වන්නේ තමා කැමැති දෙමාපියන් අකමැති පුද්ගලයකු සමඟ බවයි. ඒ අනුව ඇය විසින් තෝරා ගනු ලබන්නේ මරන්නට ගෙන යන දරුණු සොරෙකි. ඇය නොකා නොබී උපවාස කොට දෙමාපියන් ලවා රාජපුරුෂයන්ට අල්ලස් දෙවා සොරා මුදා ගෙන ආවාහ කර ගනියි. කොතරම් සැප සම්පත් දුන්න ද සොරා සොරා ම ය. සිය පුරුදුවලින් ඔහුට ගැලවිය නොහැකි ය. මෙය වස්තු බීජයක් වෙන්නේ ඩෝල්ටන් නිර්මාණකරුවාට පමණක් නොවේ. මහගමසේකර සිය ගේය කාව්‍යයකට එය නඟන්නේ මෙලෙසිනි.

අන්න බලන් සඳ රන් තැටියෙන් 
සුදු සීත ගඟුල් ගලනා 
හද ශෝක තැවුල් නිවනා...

එහෙත් ඩෝල්ටන් අල්විස් නිර්මාණකරුවා වර්ණනා කරන්නේ ඇගේ රූපශ්‍රියාව ය. ඒ ඔහු මුහුදු වෙරළේ දකින ලලනාවගේ රූපශ්‍රීය හා ජාතක කතාකරුවා වර්ණනා කරන රූපයේ සම්මිශ්‍රණයකි. එමෙන්ම ඇයගේ සොරදෙටු සැමියා ඇයව පර්වතයට ගෙන යන්නේ ඇගේ රූපශ්‍රීය ගැන ඉච්ඡා බස් කියමිනි. මුල් නිර්මාණකරුවා කියන පරිද්දෙන්ම ඇය මනා රූපශ්‍රීයෙන් යුතු ලලනාවකි. එහෙත් සොරා ඇගේ රූපය උත්කර්ෂයට නංවන්නේ ඇගේ සිත රැවටීමට ය.

නීල වරල නිල් චාමර 
පවන් සලන්නී 
කුණ්ඩල කේශී...

රූපශ්‍රීය වර්ණනා කරද්දී සහජයෙන්ම කාන්තාවකට එන ප්‍රහර්ශය ස්වකීය සටකපට බවෙන් තේරුම් ගන්නා සොරා, තමාට ජීවිතයක් දුන් තම ප්‍රියම්බිකාවගේ වැනසීම සඳහා එය ආයුධයක් කරගනී. ලෝකයේ ස්වභාවය මනාව වටහා ගන්නා ජාතක කතාකරු සේම ජාතක කතාවේ ව්‍යංගාර්ථය තේරුම් ගන්නා ඩොල්ටන් අල්විස් කලාකරුවා ද එකසේ සිය නිපුණතාව පෙන්වන්නේ කලාකරුවාගේ භූමිකාව ගැන වන නිසි අවබෝධයෙනි. සිය හදවතින්ම සැමියාට ආදරය කරන කුණ්ඩලකේශීය රමණයට පෙර තමාට ලැබෙන්නට නියමිත මරණය ගැන හාන්කවිසියක්වත් නොදන්නේ; ඉච්ඡා බස් නිසා ආනන්දයට පත් ව සිටින්නී ය. මාරු වෙන්නේ අකුරු දෙකක් පමණී. එහෙත් මුළු මහත් ස්ත්‍රී වර්ගයාගේ කැපවීමත්, ආලයෙහි වන අන්ධ බවත් ගේය කාව්‍යකරුවා සිය ස්වල්ප වූ වචන අතර සිර කරන්නේ විසල් ලොවක අරුණලු විදහා දක්වමිනි.

නෙත උපුලින් වත කමලින් 
ගත දුලවන්නී 
සිහින් හිනා කැන් දහරින් 
මන බැඳලන්නී 
කුණ්ඩල කේශී...

සියලු ආභරණවලින් සැරසෙන ඇය රමණය වඩාත් රමණීය කරගන්නට කඳු මුදුනට නඟින අයුරු අප ඉදිරියේ මැවී පෙනෙන්නේ ගේය පද රචකයාගේ ප්‍රතිභාව ගැන අප සිත්හි විමතියක් ඇති කරවමිනි. ඩෝල්ටන් අල්විස් නම් මේ ගේය පද රචකයා ස්වාමි භක්තියෙන් අනූන ව වංචනික පුරුෂයා පිටුපස සියලු අභරණ පැලඳි මේ තරුණිය යවන්නේ ගීයට සර්වකාලීන අගයක් එකතු කරමිනි.

ගිරි දේවිය විලස රුවන් 
බරණින් ගතා සරසා ගෙන 
ගිරි මුඳුනත දෙව් අරණට 
යමු අපි ළඳුනේ නොලසින 
කුණ්ඩල කේශී...

සසර වසන තුරු මෙවැනි ගීයක් අමතක වෙන්නෙක් සිටීදැයි මා ඔබෙන් අසන්නේ එබැවිනි.

සසර වසන තුරු, රන් දහදිය බින්දු, නිවහල් සිතුවිලි, උඩඟු ලියන් ගොතා බඳින, කුණ්‌ඩලකේශි, ආශාවේ මල් වැටෙන් එබී, නීර වරල නිල් චාමර පවන් සලන්නී, එගොඩහ යන්නෝ, අවසන් ලියුමයි ආදී ජනප්‍රිය ගී රැසක හිමිකරුවා වන ඩෝල්ටන් ස්වකීය අනන්‍ය හැඩරුව ගී කෙත ඇසුරේ සටහන් කෙරූවෙකි. පිපි මලක සුවඳ දසත විහිදෙන්නා සේ ඒ ගී හි සුවඳ හැමත විහිදේ. ඕනෑම අයකු කෙතරම් ඒ සුවඳ උරා බිව්ව ද එහි අඩුවක් නොවෙයි. සිය සුන්දරත්වය සේම සුවඳ ද ප්‍රදානය කරන ගමන් තමන්ගේ වටිනාකම ප්‍රදර්ශනය කරන්නට ද මලක් දනී. කවියාගේ අපූර්ව කවි ද එසේ ය. ආදරය, විරහව සේම සිය දේශයට වන අප්‍රමාණ ආදරය ද ඒ කවි කෙතේ සුවිසෙස් තේමා වෙන්නේ ඒ අයුරෙනි. 

ගුවන් විදුලියේ ළමා පිටියෙන් ඇරඹෙන ඔහුගේ කාව්‍යාත්මක හා නිර්මාණාත්මක ගමන් මඟ දසත සුවඳ විහිදමින් ගලා ගියේ රසික හදවත් අමන්දානන්දයට පත් කරමනි. සකුවට, පාලියට මෙන්ම හුදු හෙළයට වුවද අනිසි ලෙස ගැති නොවී ගැමි වහරත්, පුර වහරත්, සේ වහරින් පැහැපත් කොට තමාටම ආවේණික සුගම සුකුමාර බස්‌ වහරක්‌ නිමවා ගැනීම ඩෝල්ටන් ගී ආරෙහි ඇති සුවිසෙස් ලකුණයි. පාලි හා සංස්කෘත භාෂා ගැන වන දැනුම ස්වකීය ගී කෙත ඇසුරේ විසුල ඔහුගේ ගමන් සඟයා වූයේ පණ්ඩිත් අමරදේවයන් ය. ඒ සඳහා හොඳම නිදසුන සපයන්නේ අභිසම්බෝධි ඥානයෙන්... ගීයයි. ඉන්දියානු ජාතික නිදහස් සටනේ මුල් පෙළ කවියකු වූ පණ්ඩිත මනන්ලාල් චතුර්වේදී නම් කවියා හින්දි බසින් ලියූ ගීතයක් ඇසුරෙන් උඩඟු ලියන් ගොතා බඳින... නම් ප්‍රතිනිර්මාණිත ගීතය ද ඔහුගේ සුවිසෙස් දේශාභිමානී ගීයකි.

සිය අප්‍රමාණ කවිත්වයේ ආභාසයෙන් ගීත රචනයට පිළිපන් ඔහු වචන මාලාවේ අපූර්වත්වය ගැන නිරන්තර අවධානයෙන් සිටියේ ය. රමණීය භාෂාවක අරුත්බර සැරිසැරීමක ආනන්දය හේ නිරන්තර තම පද මාලා අතර රසිකයන් වෙනුවෙන් සැඟවූයේ ය. එකී ආනන්දයේ පහස විඳි අයෙක් නැවත නැවතත් ඩෝල්ටන් නිර්මාණකරුවාගේ නිර්මාණ අස්වැන්න විඳින්නකු බවට පත්වීම වැළැක්විය නොහැක්කකි.

1928 දෙසැම්බර් 07 වැනිදා බෙන්තරදී උපත ලබන දේවගේ දොන් රිචඩ් ඩෝල්ටන් අල්විස් පාසල් අධ්‍යාපනයට පිළිපන්නේ දෙමටගොඩ අනුරුද්ධ බාලිකාවෙනි. අනතුරුව ද්විතීයික අධ්‍යාපනය සඳහා කොළඹ ආනන්ද විද්‍යාලයට හේ ඇතුළත් වෙයි. සිය පළමු රැකියාව ලෙස ගුරු වෘත්තිය තෝරා ගන්නා ඔහු චිත්‍ර ගුරුවරයකු ලෙස සේවය කරමින් සිටියදී ලංකා ගුවන් විදුලියේ වැඩසටහන් සම්පාදක තනතුරට අයදුම්පතක් යොමු කළේ ය. ගුවන් විදුලියේ සිංහල පළමු සේවය හෙවත් සිංහල ස්වදේශීය සේවයේ වැඩසටහන් සම්පාදකයෙක් ලෙස කටයුතු කළ ඩෝල්ටන් අල්විස් සම්පාදනය කළ වැඩසටහන් අතර අතිශය ජනාදරයට පත් වූයේ පංච මයුර, රස බිංදු හා විජය ගී වැනි වැඩසටහන් ය. සාහිත්‍ය ග්‍රන්ථකරණයේ ද නිරත වූ හේ ගුවන් විදුලි ගීත නාටක රැසක හිමිකරුවාය. ලේඛකයකු ලෙස සිය නම පාඨක ප්‍රජාව අතර සටහන් කළ ඩෝල්ටන් අල්විස්‌ රිවිරැසහි ශාස්‌ත්‍රීය ලිපි පළ කළේය. කවියෙහි බස්‌වහර, කවියෙහි ප්‍රතිභාව පිළිබඳ දිගින් දිගට ලිපි ලියූ ඩෝල්ටන් “කොනේ කාමරේ” නමින් නාට්‍යයක්‌ ද ලියා තිබේ. ගුවන් විදුලි වංශ කතාවේ ස්වර්ණමය යුගය ලෙස හැඳින්විය හැකි 1970 /77 යුගය නියෝජනය කළ හේ ගුවන් විදුලි වංශ කතාවේ ස්වර්ණමය ලකුණක් ද වේ.

ඉංග්‍රීසි භාෂාව උගන්වන්නට එකල ඩෝල්ටන් නිවෙස්වලට ආ බව කියන්නේ ඔහු ප්‍රිය බිරිය ආරියවතී ය. ආරියවතී සේනානායකට ඉංග්‍රීසි උගන්වන්නට ගිය ඩෝල්ටන් අන්තිමට නතර වූයේ ඇය සිය ජීවන සහකාරිය කර ගනිමිනි. විවාහ වී දෙමටගොඩ පදිංචි වූ මේ දෙපළට දරුවන් හයදෙනෙකි. ඒ රණදේව, කාංචනා, චූලභද්‍රා, වජිරවංශ, සේනාධීර හා බාල පුතු ගයා රම්‍ය අල්විස් වශයෙනි. හදිසි රෝගී තත්ත්වයක් නිසා අකාලයේ ජීවිතයෙන් සමු ගන්නා විට ඔහුගේ වයස අවුරුදු 59කි.

ඩෝල්ටන් අල්විස් නම් ගේය පද රචකයාගේ ගැයූ ගීවලට වඩා නොගැයූ ගී බහුල බැව් ප්‍රිය බිරිය ආරියවතී සේනානායක වරක් පවසා තිබුණා ය. ඒ සමහර ගීත වෙන අයගේ නම්වලින් අබිසෙස් නැංවුණු බවත් අප අසා තිබේ. බොහෝ නිර්මාණකරුවන් මේ ඛේදවාචකයට ලක් වේ. ඒ අතරෙන් ඩෝල්ටන් අල්විස් කලාකරුවා විශේෂිතය. එහෙත් සසර වසන තුරු අමතක නොවන අමරණීය නාමයක් රසික හදවත්හි බරම තැන සටහන් කරන්නට සමත් වූ ඩෝල්ටන් අල්විස් නම් ප්‍රතිභාන්විත කලාකරුවා අබියස එවැනි දෑ දුහුවිලි බිඳක් තරම් නොවටිනා බැව් සටහන් කර තබමි.

Comments