රට බැබළ වූ යතිවර පඬිරුවන | සිළුමිණ

රට බැබළ වූ යතිවර පඬිරුවන

රගොඩ පන්සල ගැන නොදන්නෝ විරල වෙති. ගම්පෙරළිය කියැවූ අයෙක් වෙතොත් පරගොඩ රජමහා විහාරයත් ඒ මඟ දෙපසත් ගැන ගමේ අය තරමටම දනිති. ඒ නිසා අප මේ කියන්නට යන කතාවට අදාළ පරිසරය ගැන නොදන්නා අය අඩු ය. පරගොඩ පන්සලට උඩහට වෙන්නට පොඩි කැලයක් තිබේ. පන්සලේ පිටුපස ළිඳ ළඟින් උඩට යන්නට හදා ඇති පුංචි පඩිපෙළෙන් උඩට නඟින්නේ නම් තවමත් එහි ලකුණු දැක ගත හැකිය. දැනට ශතකයකට පෙර ඒ පළාත කොයිතරම් නම් කැලයෙන් වැසී තිබෙන්නට ඇත්දැයි ඔබට සිතා ගැනීමට හැකිය. මේ කැලයේ කුටි හදාගෙන පිණ්ඩපාතයෙන් දිවිසරි කරගනිමින් ධර්ම මාර්ගයේ අති දුෂ්කර ගමනක නිරත වූ, පසුව විශ්ව සම්භාවනාවට පාත්‍ර වූ යතිවරයාණන් වහන්සේ නමක වෙති. නම කියූ පමණින් දෙස් විදෙස් පතළ යතිවරයාණන් වහන්සේලා අතර උන්වහන්සේ ඉදිරියෙන් ම සිටිති.

වල්පොළ රාහුල හිමි යන නාමය ඉදිරියෙන් කෙතරම් ගරු නම්බු නාම තිබුණද, උපාධි තිබුණ ද උන්වහන්සේ තමන් වහන්සේ විසින් සම්පාදිත සියලු ග්‍රන්ථවල නාමය තැබුවේ වල්පොළ රාහුල නමිනි. උන්වහන්සේ ජන්ම ලාභය ලබන්නේ ගාල්ල ඉමදුවේ වල්පොළ ග්‍රාමයේ ය. ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ රාහුල හිමියෝ ඉන් අනතුරුව ගමේ පන්සල වන ගෞතමාරාමයේදී පැවිදි ජීවිතයට පිළිපන් පසු කිසිදු සම්මත පාඨශාලාවකින් ඉගෙනුම ලැබූවේ නැත. ඒ ගැන උන්වහන්සේ ම කළ ප්‍රකාශයක් උපුටා දක්වමි.

“මුල් ඉස්කෝලෙන් අස්වෙලා ගියාට පස්සේ පිරිවෙනකවත්, ඉස්කෝලෙකවත් කවදාකවත් මම ඉගෙන ගෙන නෑ. සේරම ඉගෙනීම කළේ තනිවමයි. පරගොඩ පන්සලේදී අපට හමුවුණා පරගොඩ සුමනසාර හාමුදුරුවෝ. හාමුදුරුවෝ බොහෝම උගත් කෙනෙක්. පාලි, සංස්කෘත, සිංහල පමණක් නෙමෙයි, ධර්ම අතිනුත්. පරගොඩ පන්සලට උඩහ තිබුණා කැලයක්. ඔය කැළේ අපි නතර වෙලා, සුමනසාර හාමුදුරුවන්ගේ ප්‍රධානත්වයෙන් කුටි හදාගෙන පිණ්ඩපාතෙන් තමයි ජීවත් වුණේ. ඔය කාලෙදි මම ධ්‍රැතාංග දෙකක් ආරක්ෂා කළා. පිණ්ඩපාතිකාංගය, ඒ කියන්නේ පිණ්ඩපාතය ගොහිල්ලම ලැබෙන දේකින් ජීවත්වෙන්න ඕනෑ. පත්තපිනිකාංගය කියන්නේ පාත්තරේට මොනවා බෙදුවත් ඒවා අරගෙන වළඳන්න ඕනෑ, මනුස්සයෝ කන දෙයක් නම්. වැඩිය හොඳයි, වැඩිය රසයි කියලා තෝරන්න බෑ. ධ්‍රැතාංග රැකීම ආත්ම දමනයට උදව් වෙනවා. ධ්‍රැතාංග මොකක්වත් නැතුවත් සත්‍යය අවබෝධ කරගන්නත් පුළුවන්.”

මිනිස් ජීවිතයකට අවැසි අවම පහසුකම් සහිතව පිණ්ඩපාතේ යැපෙමින්, පොල්කටු කෝප්ප භාවිත කරමින්, කිසිදු මුදල් වර්ගයක් නොඅල්ලමින් ගත කළ ඒ දුෂ්කර දිවිය ගැන බොහෝ අය කතා කළේ අවඥා සහගත ලෙස පොල්කටු නිකාය යැයි පරිභව කරමිනි. ආරාමික ජීවිතයේ විනය පිළිබඳ සිංහල ජාතිය පුවත්පතට රාහුල හිමියන් ලියූ ලිපි මාලාව ද එකල ආන්දෝලනයට ලක් විණි. එනයින් උන් වහන්සේ විවාදාත්මක ලේඛකයකු වශයෙන් පාඨක සමාජය හඳුනා ගත්තේ ය.

සරල පැවැත්ම භික්ඛු ජීවිතය පුරාම රැකි උන් වහන්සේ කිසි දිනෙකත් විහාර පන්සල් ඉදි කිරීමට උනන්දු නොවූ අතර, නායක පදවියක් හෝ දරා නැත. සරල සුපේක්ෂකාමී ජීවිතය ගැන අනුදත් සේම එහි මනාව ව්‍යාවෘත වූ රාහුල හිමියෝ භික්ෂූ පැවැත්ම ගැන කළ මතවාදීමය අරගලය අද ද බොහෝ කතාබහට ලක් වෙන්නකි. නියම බුදුදහම හා බෞද්ධ දර්ශනය කවරේද යන්න ගැන උන්වහන්සේගේ මතවාදය විශ්වීය විමර්ශනයට මඟ පෑදුවේය.

කලක් ආරණ්‍යගත ව දැඩි දුෂ්කර ජීවිතයක් ගත කල රාහුල හිමියෝ වයස අවුරුදු 20 වන විට කොළඹ ධර්මදූත සභාවට එක් වී පරාර්ථ චර්යාවේ නිරත වූහ. පීඩාවට පත් රොඩී ආදී කුලවල ජනයා සමඟ දින ගණන් ගත කරමින් ඔවුන් ධර්ම මාර්ගයෙහි පිහිටුවාලන්නට මහත් වෙහෙසක් උන් වහන්සේ ගත්හ. 1936 දී මැලේරියා වසංගතයෙන් පීඩාවට පත් වූ ජනයා වෙනුවෙන් දොරෙන් දොර යමින් රාහුල හිමියෝ කළ සේවය එකල සමාජවාදී දේශපාලකයන්ගේ බෙහෙවින් ඇගයුමට ලක් වූහ. රාහුල හිමියන්ට ඇන්. ඇම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන හා දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ ආදී සමාජවාදී කඳවුරේ ක්‍රියාකාරී නායකයන් හා ඇසුරු කරන්නට ලැබෙන්නේ ද මේ අවධියේ ය.

ස්වයං අධ්‍යයනයේ නිරත වූ රාහුල හිමියන්ට විද්‍යාව හා ගණිතය වැනි විෂයයන් ඉගෙන ගැනීම සඳහා වියහියදම් දරා ඇත්තේ ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේ ආචාර්යවරයකු වූ එස්. තංගරාජා ය. ඔහු පිළිබඳ ගෞරවනීය ආදරයක් උන් වහන්සේ සිත පැවැති බව සනාථ වූයේ තංගරාජා මොලොවින් සමුගෙන යද්දී රාහුල හිමියන්ගේ දෙනෙත් කඳුළෙන් පිරීම නිසා බැව් තංගරාජාගේ වැඩිමහල් පුතු චිත්‍රපට අධ්‍යක්ෂ ටී. අර්ජුන පවසයි. ඒ පිළිබඳ උන්වහන්සේ වරක් මෙවැනි සඳහනක් කර තිබුණි.

“තංගරාජා මහත්තයා තමයි මට විශ්වවිද්‍යාල අධ්‍යාපනයට උදව් කළේ. කන්න බොන්න දීලා, නවාතැන් දීලා මාව බලා ගත්තේ. ඒ දවස්වල කොළඹ යුනිවර්සිටියට යනකොට ගාස්තුවක් ගෙවන්න ඕනෑ. මට හොරා උන්නැහේ ඒක ගෙවනවා. මගේ පියා මැරිලා ආදාහනය කරන වෙලාවේවත් මගේ ඇස්වලට කඳුළු ආවේ නැහැ. නමුත් තංගරාජා මහත්තයාගේ ආදාහනයට ගිය වෙලාවේ මට කඳුළු නවත්වන්න බැරිවුණා.’

රාහුල හිමියන්ට ඉංග්‍රීසි ඉගෙන ගැනීම සඳහා උදව් කරන ලද්දේ එවකට නාලන්දා විද්‍යාලයේ නේවාසිකාගාර පාලකයකු වූ ඩී. එස්. ගුණසේකරය.

මේ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස උන් වහන්සේ සිලෝන් යුනිවර්සිටි කොලේජ් (ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලය) ආයතනයට ඇතුළත් වෙයි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ ප්‍රථම භික්ෂූන් වහන්සේ වීමේ වාසනාව උදා වෙන්නේ ද උන් වහන්සේ ට ය. එහිදී රාහුල හිමියන්ගේ ආචාර්යවරයා සහ උපදේශකවරයා වන්නේ මහාචාර්ය ජී. පී. මලලසේකර ය. මෙම විශ්වවිද්‍යාල අධ්‍යාපන කාලය ඇතුළත තම උපාධිය සඳහා හදාළ විෂයයන්ට අමතරව දේශපාලන, දර්ශන, සමකාලීන ලෝක ප්‍රවණතා ගැන ද උන් වහන්සේ හැදෑරූහ. 1941 දී පෙරදිග භාෂා පිළිබඳ පන්ති සාමාර්ථයක්‌ ද සහිතව ගෞරව උපාධිය සම්පූර්ණ කරන උන්වහන්සේ විධිමත් අධ්‍යාපනයකින් තොරව වුව ද යා හැකි දුර පිළිබඳව සජීවී නිදසුනකි.

ප්‍රථම උපාධියෙන් පසුව දිගින් දිගටම පර්යේෂණ කටයුතුවල නිරත වූ රාහුල හිමියෝ 1950 වර්ෂයේදී ලක්දිව බුදුසමයේ ඉතිහාසය මැයෙන් ලියූ පර්යේෂණ නිබන්ධනයට ලංකා විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය පිරිනැමිණි. ඒ වසරේදී ම ප්‍රංශ රජයෙන් ලැබුණු අධි ශිෂ්‍යත්වයක් මත පැරීසියේ සෝබෝන් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙන රාහුල හිමියෝ පශ්චාත් ආචාර්ය උපාධි පර්යේෂකයකු ලෙස පෝල් දමියවිල් මහාචාර්යවරයා යටතේ පර්යේෂණ ඇරඹීය. ඒ කාලයේදීම හතරවැනි සියවසේ අසංග නම් මහායාන බෞද්ධ පඬිවරයා විසින් ලියන ලද අභිධර්ම සමුච්ඡය නම් කෘතිය උන් වහන්සේ විසින් විස්තර සටහන් සහිතව ප්‍රංශ භාෂාවට පරිවර්තනය කිරීමේ විශිෂ්ට කර්තව්‍ය බොහෝ දෙනකුගේ පැසසුමට ලක් විය. බටහිර ලෝකය පුරා බෞද්ධ දර්ශනය හා අධ්‍යාපනය නඟා සිටුවීමට රාහුල හිමි කළ සේවය නිසා ම ඇමෙරිකාවේ කිතුනු විශ්වවිද්‍යාලයක්‌ වන නෝර්ත් වෙස්‌ටර්න් විශ්වවිද්‍යාලය එහි ආගමික ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ධුරයට උන්වහන්සේට 1964 දී ආරාධනා කරනු ලැබීය. ඒ තනතුර බාරගත් උන්වහන්සේ එතැන් සිට එකී විශ්වවිද්‍යාලයේ සේවය කරමින් පොදුවේ මුළු ඇමෙරිකාවේම විශ්වවිද්‍යාලවල එතෙක්‌ පැවැති අසංවිධානාත්මක බෞද්ධ හැදෑරීම් විධිමත් තත්ත්වයකට පත් කිරීමට කටයුතු කළේ ය. බටහිර ශාස්ත්‍රවේදීන් අතර බෙහෙවින් සාකච්ඡාවට ලක් වූ What the Buddha Taught (සිංහල පරිවර්තනය, ‘බුදුන් වදාළ ධර්මය’) කෘතිය වල්පොළ රාහුල හිමියන් විසින් රචනා කරන්නේ ද මේ කාලයේය. මේ කෘතිය ඇමෙරිකාවේ මුද්‍රණය කර ප්‍රංශ, ජර්මන්, ඉතාලි, ස්පාඤ්ඤ බටහිර භාෂා පහකට පරිවර්තනය වූයේ ය. එමෙන්ම ආසියාතික භාවිත භාෂා වන බුරුම, කොරියන්, චීන, වියට්නාම්, සිංහල හා දෙමළට ද පරිවර්තනය කරන ලද්දේ ය. ඒ අනුව ඒ කෘතිය භාෂා 12කට පරිවර්තනය වී තිබේ.

උන් වහන්සේ විදෙස්ගතව කළ විශිෂ්ට සේවය අනගිභවනීය ය. මෙකී සේවාව ලංකා රජය විසින් 1966 දී අගය කරනු ලදුව, විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ උපකුලපති ධූරය බාර ගන්නා ලෙස රජය කළ ඇරයුම පිළිගත් උන් වහන්සේ ලංකාවට වැඩම කළහ. එතැන් පටන් විද්‍යෝදය විශ්වවිද්‍යාලය ජාතික හා අන්තර්ජාතික වශයෙන් කීර්තිමත් ආයතනයක් කිරීමේ ලා මූලිකව ක්‍රියා කළ උන් වහන්සේ ආචාර්යවරුන් පිටරට යවා පුහුණු කිරීමත්, එකී රටවල මහාචාර්යවරු ගෙන්වා මෙරට සිසුන්ට ඔවුන්ගේ සේවය ලබා දීමටත් ක්‍රියා කළහ. දේශපාලන ඇඟිලි ගැසීම්වලට කවදත් විරෝධය පෑ වල්පොළ රාහුල හිමියෝ තමන් කරගෙන ආ ක්‍රියාමාර්ගයට වූ කෙනෙහිලිකම් නිසා ඉල්ලා අස්වී නැවතත් ප්‍රංශයට වැඩම කළහ. ඉන් අනතුරුව ඇමෙරිකාවේ හා එංගලන්තයේ මහාචාර්යවරයකු වශයෙන් උන් වහන්සේ සිය දැනුම විදෙස් සිසුන් වෙත බෙදා හදා දුන්නෝ ය.

කොතෙක් බලපෑම් හා අකටයුතුකම් සිදු වුව ද තමා උපන් දේශය අමතක කිරීමට උන් වහන්සේට හැකි වූයේ නැත. 80 දශකයේ මුල් භාගයේ නැවත ලංකාවට එන උන්වහන්සේ භික්ෂූ අධ්‍යාපනය නඟා සිටුවීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටුවීමට පුරෝගාමී මෙහෙයක් කළහ.

මහාචාර්ය වල්පොළ රාහුල හිමියෝ පොදු ජන සුබසෙත වෙනුවෙන් නිරන්තරව සිය පෑන මෙහෙයෙව්වෝ ය. උන් වහන්සේ මේ රටේ දරුවන්ට නොමිලේ අධ්‍යාපනය දෙන්නැයි ආණ්ඩුවට බලපෑම් කිරීම සඳහා රටපුරා යමින් අති දැවැන්ත පෙත්සමක් අත්සන් කළෝය. මුදල් ගෙවා තමන් ද ලද අධ්‍යාපනය සාමාන්‍ය පන්තියේ හැකියාවන් සහිත දරුවන් වෙත ද ලබාදීමේ ඇති වැදගත්කම වෙනුවෙන් පෙනී සිටි රාහුල හිමියෝ ගම් නියම් ගම් හි ඇවිදිමින් රැස්‌වීම් පවත්වමින් නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත කරගැනීම සඳහා ජනයා පෙළගස්‌සන්නට වූහ. කළල්ඇල්ලේ ආනන්ද සාගර තෙරුන් ද එදා විද්‍යාලංකාර පිරිවෙනේ වැඩහුන් යක්‌කඩුවේ හිමි ඇතුළු භික්‌ෂූන් වහන්සේ කිහිප නමක් ද ඩී. බී. ධනපාල වැනි මාධ්‍ය දැවැන්තයන්ද වාමවාදී දේශපාලන නායකයන් ද හරිහරියට මේ මහජන අරගලයට සහයෝගය ලබා දුන්හ. එතෙක්‌ ඉතිහාසයේ අත්සන් කෙරුණු දිගම මහජන පෙත්සම නිදහස්‌ අධ්‍යාපනයට පක්‌ෂව අත්සන් කිරීම ඇරඹිණ. එහි මුල්පිටපත ලියන ලද්දේ ද රාහුල හිමියන් විසිනි. මහා ජනතාවගේ අති බහුතරයක් අත්සන් කළ එම පෙත්සම නිදහස් අධ්‍යාපන පනත ගෙන ඒමට බලපෑ ප්‍රධාන කාරණයක් විය. එම පෙත්සමේ තිබූ දැවැන්ත බව දුටු එකල රාජ්‍ය මන්ත්‍රණ සභාවේ වී. නල්ලයියා නම් දෙමළ මන්ත්‍රීවරයා නිදහස් අධ්‍යාපනය මෙරට භික්ෂුන්ගේ ජයක් බව ප්‍රකාශ කළේය.

1947ට පෙර ලංකාවේ අධ්‍යාපනය මුළුමනින් ම පාහේ තිබුණේ ධනවත් පන්තියට පමණක් සීමා වෙමිනි. සාමාන්‍ය ජනතාවට තිබූ එක ම අවස්ථාව වූයේ ගමේ පන්සලේ භික්ෂූන් වහන්සේලා යටතේ ලබන අධ්‍යාපනය පමණකි. එය ද පිරිමි ළමයින්ට පමණක් සීමා වූ අතර ගැහැනු දරුවන්ට අධ්‍යාපනය යන්න සිහිනයක් ව පැවැතිණි. මේ සඳහා ඇති ජනප්‍රිය උදාහරණය වෙන්නේ ගජමන් පුවත ය. ගජමන් නෝනා පන්සලට ඉගෙනීමට යන්නේ පිරිමි දරුවකු සේ වෙස් වළාගෙනය. එමෙන්ම උසස්‌ රැකියා ලැබීමේ අවස්‌ථාව සමාජයේ විශේෂ පන්තියක දරුවන්ට පමණක්‌ කලින්ම වෙන් කොට තිබුණු අතර, සාමාන්‍ය පන්තියේ ජනයාට උරුමව පැවතියේ ගොවිතැන හා ප්‍රදේශයේ ඇති හැකි අයට ශ්‍රමයෙන් සේවය සැපයීමේ අවස්‌ථාවයි. මේ තත්ත්වය වෙනස්‌ කරමින් දැවැන්ත සමාජ විප්ලවයක්‌ කරනු ලැබූයේ නිදහස්‌ අධ්‍යාපන පනත ඔස්සේ ය.

එහෙත් මේ පනත ක්‍රියාත්මක තලයට ගෙන ඒම පහසු වූයේ නැත. එය වසර 4ක් වැනි කාලයක් පුරා විවිධ හේතු දක්වමින් කල්ගොස් තිබිණි. කන්නන්ගරයන් නිදහස්‌ අධ්‍යාපන පනත යෝජනාවක්‌ හැටියට ගෙන ආවේ 1943 වසරේ දීය. එහෙත් 1947 වනතුරුම එය සාකච්ඡාවට ගැනීම සඳහා න්‍යාය පුස්‌තකයට හෝ ඇතුළත් කිරීම පවා වළක්වන බලවේග තිබිණි. මේ යෝජනා නිසා අපේ වත්තක පොල් කඩා ගන්නවත් කොල්ලෙක් ඉතිරි නොවනු ඇතැයි පවසමින් අද බුහුමනින් කතා කරන ඇතැම් දේශපාලකයෝ නිදහස් අධ්‍යාපන පනත යට ගැසූහ. ඒ වෙන විට නිදහස් අධ්‍යාපනය යන්න මුවඟ මුවඟ රැව් දෙන මාතෘකාවක් ව සමාජයේ ආන්දෝලනයට ලක්ව තිබිණි. නිදහස්‌ අධ්‍යාපන පනත සාකච්ඡා නොකර සිටිය නොහැකි තත්ත්වයට පැමිණ ඇති බව දුටු එදා සිටි ප්‍රභූ දේශපාලකයෝ පළමු වතාවට පනත සාකච්ඡාවට ගැනීමට දිනයක්‌ නියම කිරීමට එකඟ වූහ. බලාපොරොත්තු වූ දිනය එළැඹිණ. පෙත්සම රැගෙන රටේ විවිධ පෙදෙස්‌වලින් පැමිණි භික්‍ෂූන්, සාමාන්‍ය ජනයා විද්‍යාලංකාර පිරිවෙනේ සිට දැවැන්ත පාගමනකින් ගාලුමුවදොර පිහිටි රාජ්‍ය සභා ගොඩනැඟිල්ල වෙත ගමන් කළහ. ගාලුමුවදොර පිටිය සාමාන්‍ය ජනයාගෙන් පිරී තිබිණ. ඩබ්. දහනායක මහජන පෙත්සම සභාවට ඉදිරිපත් කළේය. රාහුල හිමි අමුත්තන්ගේ ගැලරියේ සිට සභාගැබෙහි සිදුවන දෑ නිරීක්‍ෂණය කරමින් සිටි අතර ආනන්ද සාගර තෙරුන් වරින් වර පිටත සිටි මහජනයා අතරට පැමිණෙමින් සභාගැබෙහි සිදුවන දෑ ගැන ජනතාව දැනුම්වත් කිරීම සිදු කළහ. පනතට එරෙහි වුවහොත් තමනට පැවැත්මක්‌ නැති බව ප්‍රභූ දේශපාලකයන්ට ප්‍රකට වන ආකාරයට සියල්ල සිදුවෙමින් පැවතිණි. අවසානයේ පනතට එරෙහිව සිටි අයගේ ද සහාය ඇතිව ඓතිහාසික නිදහස්‌ අධ්‍යාපන පනත සම්මත වීම සිදු විය. ඒ දුෂ්කර වෑයම පිටුපස සිටිමින් වැළලීමට ගිය නිදහස් අධ්‍යාපන පනත සම්මත කර ගැනීමේ ක්‍රියාවලිය පිටුපස සිටි යෝධ ශක්තිය වූයේ වල්පොළ රාහුල හිමිපාණෝ ය.

රාහුල හිමිපාණෝ පුළුල් ලෝක දැක්‌මක්‌ සහිත භික්ෂුවක වීම මේ සියලු ප්‍රගතීන් හි නොපෙනෙන ශක්තිය විය. භික්‌ෂුවක්‌ ලෙස පාලි සංස්‌කෘත ආදී භාෂා ද, තදනුබද්ධ සාහිත්‍යය ද පිළිබඳ ගැඹුරු දැනුමක්‌ ලබාගෙන තිබුණු අතර ඉංග්‍රීසි මාධ්‍යයෙන් තම උපාධි හැදෑරීම කරන අතර ඉංග්‍රීසි සම්භාව්‍ය සාහිත්‍ය හා නාට්‍ය සම්බන්ධව උසස්‌ හැදෑරීමක්‌ කළ බව පවසන්නේ උන්වන්සේගේ ආචාර්යවරයකු වූ මහාචාර්ය ලුඩොවයික්‌ ය. විවිධ සමාජ ක්‍රියාකාරකම්හි නිරත වීම නිසා උන් වහන්සේගේ සමාජ දැනුම ද ප්‍රශස්ත මට්ටමේ විණි. උන් වහන්සේ පුළුල් දැක්මකින් යුතුව සමාජ විඥානයකින් පරිණත දැක්මකින් යුතුව සිය වගකීම් ඉටු කිරීමේ ලා ව්‍යාවෘත ව සිටියේ ය.

Comments