වෙසක් මහේ දොරින් දොර ඇසෙන බොදු බැති ගී කලාවේ මුසල්මානු පෞරුෂය | සිළුමිණ

වෙසක් මහේ දොරින් දොර ඇසෙන බොදු බැති ගී කලාවේ මුසල්මානු පෞරුෂය

1956 වර්ෂයයි. බුද්ධ ජයන්ති සැමරුම අවස්ථාවේ වේදිකාවට නැඟෙන ගායකයා ඒ වනවිට බොහෝ රසිකයන්ගේ ආදරය දිනාගත්තෙකි. හේ සිය ගැඹුරු කටහඬින් බුද්ධාලම්භන ප්‍රීතියත්, දේශයට වන ආදරයත් කැටි වන අන්දමෙන් කළ ගායනය ඇසූ එවකට අගමැතිව සිටි එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායකයන් ඉමහත් අමන්දානන්දයට පත් විණි. සභාව මෙහෙයවමින් සිටියේ ප්‍රවීණ නිර්මාණකරුවකු වන කරුණාරත්න අබේසේකර ය. ඔහු ගායකයා වේදිකාව මත සිටියදීම අගමැතිවරයා වෙත ගොස් කනට කර යමක් පැවසුවේ ය. විස්මයෙන් මහත් වූ දෑස් ඇතිව අගමැතිවරයා ගායකයා අසලට ගොස් පැවසුවේ මින් ඉදිරියට ඔහු පළමු පන්තියේ පුරවැසිභාවය හිමි ශ්‍රී ලාංකිකයකු බවට පත් කරන බව ය. ගායකයා මොහිදීන් බෙග් ය. හේ සුපුරුදු නිහතමානීත්වයෙන් යුතුව තමා වෙත කරන ඇගැයුම් සහගත සැලකිල්ල වින්දේ මඳ සිනාවකින් යුතු ව ය.

සංගීතය විශ්ව භාෂාවකි. නාදාවලීන් ස්පර්ශ කරන්නේ සියලුම හදවත් මිස තෝරා ගත් හදවත් පමණක් නොවේ. එයට ජාති ආගම් කුල භේදයක් නැත. වර්ණ වාදයක් නැත. උස් මිටිකම් නැත. කොටින්ම මේ ලොව විවිධාකාර ලෙස වර්ණ ගන්වන කිසිවක් ඊට අයිති නැත. ඒ බවට හොඳම උදාහරණය වෙන්නේ වෙසක් මහේ දොරින් දොර ඇහෙන ප්‍රතාපවත් එහෙත් බුද්ධාලම්භන ප්‍රීතියෙන් සිත ඔකඳ කරවන බොදු ගී රාවය ය. ඒ රාවයේ හිමිකරුවා ලොකු කුඩා ඕනෑම කෙනකුට නම කියූ පමණින් මතකයට නැඟෙන අල්හාජ් මොහිදීන් බෙග් ය. නැතිනම් බෙග් මාස්ටර් ය. ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රය මෙහිම ඉපිද මෙහිම වැඩුණු කෙනකුටත් වඩා හේ දික්විජය කළේය. ඒ නාමය ඉදිරියේ කිසිවිටෙකත් ජාති ආගම් භේදයක් ගැන හාන්කවිසියක් හෝ සඳහන් වූයේ නැත. හේ සියලු බොදුනුවන්ගේ ආදරය දිනාගත් කළණ මිතුරකු විණි. ඔවුන්ගේ මනසේ ශ්‍රද්ධාව වැඩූ මඟ පෙන්වන්නා විණි. ඒ විඳි ආදරය කෙතෙක් ද යන්න වඩාත් හොඳින් සැවොම දැන ගත්තේ ඔහු නාමශේෂභාවෝපගත වූ දා ය. කුප්පියාවත්ත මුස්ලිම් සුසාන භූමිය පුරා තැඹිලි පැහැ විණි. ඒ අවසන් ගෞරව දක්වන්නට ආ භික්ෂූන් වහන්සේලාගෙනි. ඇස නැඟි කඳුළු බිඳු පිස දමමින් මහත් ශෝකයෙන් යුතුව පිටව ආ ශෝකවන්තයන් අතර වැඩියෙන්ම සිටියේ බොදුනුවන් ය. ඒ සංගීතයට ජාතියක්, වර්ණයක් හෝ ආගමක් නැති බැවිනි. සිය හදවතට ගැයූ ගායකයාගේ නික්ම යෑම ඔවුනට මහත් වූ ශෝකයක් ම පමණක් වූ බැවිනි. ඒ ගායකයාගේ ජාතියක් ජන්මයක් ගැන හැඟීමක්, මතකයක් හෝ එකී රසිකයනට තිබුණේ නැත.

වෙසක් සඳ අහසේ පායද්දී බොදුනුවන් ආමිස හා ප්‍රතිපත්ති පූජා කරමින් සැරසෙන්නේ තෙමඟුල සමරන්නට ය. බුදුන් වැඳ, බෞද්ධ දර්ශනය මෙනෙහි කරමින් වෙසක් මහේ අර්ථයෙන් නිවන සාක්ෂාත් කරගැනීමේ මාර්ගයට පිළිපන් බෞද්ධයන් ආමිස පූජාවට ද මුල් තැනක් දෙයි. තොරන් ගසමින්, කූඩු හදමින්, දන්සල් දෙමින් ඔවුන් සැරසෙන්නේ සිය සිත නිවා ගැනීමටය. මේ සියල්ල අතරේ සිත පහන් කරන රාවය බෙග් මාස්ටර් ගේ ය. බුද්ධං සරණං ගච්ඡාමි.... රාවය ඇසෙද්දීම ඔහුගේ රූපකාය හා හඬ එක්තැන් ව අපේ කනට ඇසෙන්නට මනසට පෙනෙන්නට වෙයි. ඉන්දීය ජාතික සිනමා හා සංගීත අධ්‍යක්‍ෂවරු දෙපළක් අතින් නිමවූ අංගුලිමාල චිත්‍රපටය සිංහලට දෙබස් කවා ලංකාවේ තිරගත කළ යුතු බවට එකල සිනමාස් සමාගමේ අධිපති වූ කේ. ගුණරත්නම් වෙත යෝජනා ඉදිරිපත් කර ඇත්තේ ද මොහිදින් බෙග් ය. බෙග් මාස්ටර් දැයෙන් සමුගෙන ගොස් දශක තුනක් ඉක්ම ගිය ද අදත් වෙසක් සඳ නැඟ එද්දී මෙන් ම පොසොන් සඳ මෝදු වෙද්දී ද අපට සිහිපත් වෙන්නේ ඔහුගේ රාවය ය. බෞද්ධයන්ගේ හදවතේ නොමැකෙන භක්තියේ නාමයක් වීම ම අමරණීය ය.

නොමළත් මළා සේ සිටින අය අතර හේ මළත් නොමළ මිනිසෙකි. මරණින් මතු ජීවත් වීම යනු සැමට ම අදාළ දෙයක් නොවේ. එහෙත් ඒ සුන්දර අයිතිවාසිකම ලබන්නෝ කිහිප දෙනෙක් වෙති. ඒ අතර බෙග් මාස්ටර් ඉන්නේ ඉදිරියෙනි. උපතින් ලාංකිකයකු නොවූ බෙග් මාස්ටර් මෙරටට පැමිණීමට පෙර ද ගායකයෝ සිටියෝය. ඔහු මෙරට පැමිණි පසු ද ගායකයෝ බිහි වූහ. ඔහු මියගිය පසු ද ගායකයෝ බිහි වූහ. ඔවුහු පොදු රසික ප්‍රජාව අතර ජනප්‍රියත්වයට ද ලක් වූහ. එය එසේ වුව ද බෙග් මාස්ටර්ට සමවන්නට කිසිවකුට නොහැකි වූ බව ද සත්‍යයකි. අනන්‍ය වූ හඬ පෞරුෂය විසින් ඔහුට දායාද කළ අසීමිත ජනප්‍රියත්වය හේ කිසිවිටෙකත් අනිසි ලෙස භාවිත නොකළෙකි. මල් සුගන්දේ දම් සුගන්දේ, මිනිසාම යි ලොව දෙවියන් වන්නේ, සකල සතම බුදු බැතියෙන්, සුවඳේ මට සීතල සුළඟ පවා, මේ ලෝක තලේ හා බුදුන්ගේ අමා ධර්මේ වැනි ගීත ඔහුගේ ජනප්‍රියත්වය ඉහළට ම ඔසවා තැබුවේය. බෞද්ධයන් අතර හේ විසල් ආදරයකට හිමිකම් කියන්නට ඒ ගී කෙත මඟ පෙන්නුවේය. ඔහු ගායනා කළ බොහෝ බෞද්ධ ගීත රචනා කර ඇත්තේ කරුණාරත්න අබේසේකර ය. ලිපියේ ආරම්භයේ අප කියූවා සේ ම ඔහුට ශ්‍රී ලාංකේය පුරවැසිකම ලබා දෙන්නට මැදිහත් වෙන්නේ ද කරුණාරත්න අබේසේකර නිර්මාණකරුවා ය.

බෞද්ධ ගීත කලාව සේ ම හේ ගැයූ සරල ගී ද අතිශයින් ජනප්‍රිය ය. ගමේ ගොඩේ සිදාදියේ, ටිකිරි මැණිකේ, ආදරියේ රුචිරාණියේ, පුංචි දුවේ පුංචි පුතේ, සිනහවෙන් හෝ කතාවෙන් බෑ, ගිරිහෙල් මුඳුනේ, කෝටු කෑලි සොයාලා, ඇයි බඹරෝ වැනි ගීත නොදන්නා අයෙක් නැති තරම් ය. එමෙන්ම ලතා මංගේෂ්කර් සමඟ ගීයක් ගායනා කළ එක ම ලාංකික ගායකයා ද ඔහු ය. සැඩ සුළං චිත්‍රපටයේ ඉදිරියටා යමු සැවොමා... ගීතය ලතා මංගෙෂ්කර් සමඟ ගැයීමට ලැබීම ඔහුගේ ජිවිතයේ සංදිස්ථානයකි. මුවඟ නිරන්තරයෙන් මිමිණෙන ගී රැසක හිමිකරුවා වීම පහසු නැත. එහෙත් තරාතිරමක් නැතිව සියල්ලන් මුවඟ නිරන්තර මේ ගී මිමිණෙන බැව් නොරහසකි.

ලාංකිකයකුටත් වඩා ලාංකිකයන්ගේ හදවත දිනූ බෙග් මාස්ටර් ජන්ම ලාභය ලබන්නේ දකුණු ඉන්දියාවේ සේලම් නගරයේය. බෙග් පරම්පරාව රාජ පාක්ෂික ඉස්ලාම් භක්තිකයෝ ය. එහි පැරණි පර්සියානු අර්ථය වෙන්නේ රාජකීයයා යන්න ය. පොලිස් නිලධාරියකු ලෙස මොහිදින් බෙග් ගේ පියා සේලම් නුවර පොලිස් කාර්යාලයේ වැඩ කළේය. ඔහුගේ මව බීජාන් බී ය. 14 දෙනකුගෙන් යුතු පවුලේ මොහිදීන් බෙග් තුන්වැනියා ය. දරුවන් 14න් තිදෙනෙක් කුඩා වියේදී මිය යන අතර, මොහිදීන්ට අනතුරුව ඉතිරි වන්නේ සහෝදර සහෝදරියන් හත් දෙනෙක් පමණකි. සේලම් නුවර ප්‍රාථමික පාසලකින් මූලික අධ්‍යාපනය ලැබූ මොහිදීන් බෙග් ඒ පාසලෙන්ම උර්දු හා කවාලි ගී ගායනයත්, සංගීතයත් හැදෑරුවේය. උර්දු හා කවාලි ගී ගායනයට හේ එකල වෙසෙස් දස්කම් දක්වා තිබේ.

මොහිදින් බෙග්ට ලංකාවට පැමිණීමට සිදුවෙන කාරණය ද විශේෂ ය. එමෙන්ම ඔහු ලංකාවට පැමිණෙන වර්ෂය ද සුවිශේෂී ය. 1931 වර්ෂය යනු ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණු වර්ෂයයි. මොහිදින්ගේ සීයා වූ හලාල්ඩීන් එවකට සේවය කර ඇත්තේ ග්‍රැන්ඩ්පාස් පොලිසියේ ය. ඔහුගේ වැඩිමල් සොයුරා අසීස් හාබර් පොලිසියේ සේවය කරමින් සිටියදී සිදු වූ හදිසි අනතුරක් නිසා අකාලයේ මරණයට පත් වෙයි. ඒ වන විට මොහිදින්ගේ වයස අවුරුදු 14කි. සිය සහෝදරයාගේ මරණය වෙනුවෙන් මොහිදින් ලංකාවට පැමිණෙයි. අප හද බැඳි ගායකයාගේ ලංකා ගමනය සිදු වෙන්නේ එපරිද්දෙනි.

මොහොමඩ් ගවුස් සංගීතඥයාගේ ඇසුරට වැටීම මොහිදීන් බෙග්ගේ ජීවිතය වෙනස් කරන්නට බලපෑම් කළේය. කොළඹ පැවැති ප්‍රභූන්ගේ සන්ධ්‍යා සාදවලට සහභාගී වීමේ අවස්ථාව මොහිදීන් බෙග් ට හිමි වෙන්නේ මොහොමඩ් ගවුස් මාස්ටර් නිසා ය. සිය වෘත්තීයමය සංගීත ජීවිතය 1932 දී අරඹන මොහිදීන් බෙග්ට කොලොම්බියා තැටි සමාගමේ නිෂ්පාදිත ග්‍රැමර්ෆෝන් තැටිවලට ගී ගැයීමේ අවස්ථාව උදා වෙන්නේ ය. ඔහු මුල් ගීතය ගයන්නේ කේ. කේ. රාජලක්ෂ්මී සමඟ ය. කරුණා මුහුදේ නාමු ගිලීලා... ගීතය ගායනා කිරීම වෙනුවෙන් එකල බෙග්ට රුපියල් 25ක මුදලක් ලැබුණු බව කියැවේ. 1947 වසරේදී සකීනා බෙග් සමඟ විවාහ දිවියට ඇතුළත් වෙන මොහිදීන් බෙග්ට දරුවන් අටදෙනෙකි. ඒ අතර පුතුන් 5ක්. ඒ උස්මාන්, හයිඩර්, මුඛාරක්, ඉෂාක් හා ඉලියාස් ය. තිදෙනෙක් දියණියෝ ය. ඔවුන් රාඛියා, සලීමා සහ මොයිනා ය.

බොදු ගී ගයා බොදුනුවන් හදවත නොමැකෙන සලකුණක් වූ බෙග් මාස්ටර් සිය ආගම වූ ඉස්ලාම් දහම ද දැඩි ව ඇදහුවේ ය. ඔහු පුත් ඉෂාක් පවසන පරිදි සෑම දිනෙක ම පාන්දර 4.30ට අවදි වූ ඔහු මරදාන සහිරා මුස්ලිම් පල්ලියට ගොස් ශුද්ධ වූ කුරාණයේ පාඨ කීපයක් කියවයි. කිසිදු මත්ද්‍රව්‍යයක් පාවිච්චි නොකළ ඔහු නිදහසේ සිටින්නේ නම් දවසට පස්වතාවක් පල්ලියට ගොස් දේව මෙහෙයට සම්බන්ධ විය. වාණිජ අරමුණෙන් කලාවේ නිරත නොවූ ඔහු ජීවත් වූයේ කුඩා නිවෙසක ය. ඒ කුඩා නිවෙසේ ජීවත් වූ ප්‍රමාණය ගැන සිතද්දී හේ කෙතරම් අසීරු දිවියක් ගත කරන්නට ඇත් ද යන්න ඔබට සිතා ගැනීමට අපහසු නොවනු ඇත.

මොහිදීන් බෙග්ට චිත්‍රපට ගායන ක්ෂේත්‍රය විවර වෙන්නේ මෙරට දෙවැනි සිංහල කතානාද චිත්‍රපටය ලෙස සැලකෙන අශෝකමාලා චිත්‍රපටයෙනි. බී. ඒ. ඩබ්. ජයමාන්නගේ චිත්‍රපටවල ගීත කෝකිලාවිය වූ රුක්මණි දේවි සමඟ ගීත ගායනා කිරීමට ලැබීම බෙග් ලැබූ සුවිසෙස් අවස්ථාවක් විණි. උමතු විශ්වාසය චිත්‍රපටයේ සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ...ගීය ගායනයට අවස්ථාව සලසා දෙමින් ඔහු ඒ මාර්ගයට අවතීර්ණ කළේ ප්‍රකට නළුවකු හා ගීත රචකයකු වූ හර්බට් එම්. සෙනෙවිරත්න ය. බෙග් රුක්මණී සුසංයෝගය මුල් කාලීන චිත්‍රපට හැඩ හා ජනප්‍රිය කිරීමට බලපෑම් කළේය. පෙරකදෝරු බෑනා, මතභේදය, අයිරාංගනී හා දෛවයෝගය බෙග් රුක්මණී යුගය එකලු කළ චිත්‍රපට ගී ඇතුළත් වූ නිර්මාණ ය. හේ සුජාතා චිත්‍රපටයට ගැයූ නාරිලතා පුෂ්පෙ... ප්‍රේම ගඟේ මැණික් වගේ.... මායාවකි මේ ලෝකේ.... වැනි ගීත එකල රසිකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූ අතර, චිත්‍රපටයේ වාණිජමය සාර්ථකත්වයට ද එය බලපෑම් කළේය. සිංහල උච්ඡාරණයේ නුහුරු බව විසින් ම දැවැන්ත වෙනස් පෞරුෂයක් ඔහුට තිළිණ කර තිබිණි. තිරයේ ඕනෑම රංග පෞරුෂයක් හා ගැළපුණු බෙග් මාස්ටර්ගේ හඬත්, ජෝතිපාලයන්ගේ හඬත් සිනමාවේ වාණිජ පාර්ශ්වය සාර්ථක කර ගැනීමට බලපෑ කරුණු අතර ප්‍රධාන ය.

මොහිදීන් බෙග් ගුවන් විදුලි සංස්ථාවේ ඒ ශ්‍රේණියේ විශිෂ්ට ගායකයෙකි. ඔහු භාෂා 4කින් ගී ගායනා කළ විශිෂ්ටයන් අතර, සුවිශිෂ්ටයෙකි. 1966 දී ඔහු සිය ප්‍රථම සම්මානයට හිමිකම් කියයි. ඒ අල්ලපු ගෙදර චිත්‍රපටයට ඔහු ගැයූ පියා සලමු ඉගිල්ලී ගීය වෙනුවෙන් හොඳම ගායකයාට හිමි සරසවි සම්මානය දිනා ගනිමිනි. වැඩිම චිත්‍රපට සංඛ්‍යාවකට ගී ගැයූ ගායකයාට හිමි දීපශිකා සම්මානයෙන් ඔහු පිදුම් ලබන්නේ 1974 දී ය. ලංකාවේ ප්‍රථම කලාසූරී සම්මානය ප්‍රධානය වූ 1982 දී එකී සම්මානයට හිමිකම් කියූ 8 දෙනා අතර ද මොහිදීන් බෙග් සිටියේය.

තමා උපන් දේශයට වඩා තමා ගායකයකු ලෙස අනුපමේය ආදරයට පාත්‍ර කළ භූමියට ඔහු ආදරය කළේ ය. සිය ආගම කෙරේ දැඩි භක්තිවන්තයකු වුව ද හේ බොදුනුවන් හැර ගොස් සුඛෝපභෝගී දිවි පෙවතක් ගත කිරීමට සිතුවේ නැත. ඒ පිළිබඳ සිය ජීවිතයෙන් ම භක්තිවන්ත වූ අයුරු පිළිබඳ ව වන මතකයක් ඔබ වෙත තබන්නට සිතුවේ එනිසා ය. 1987 වර්ෂයේදී එවකට පාකිස්ථානු ජනාධිපතිවරයා වූ සියා උල් හක් රාජ්‍ය චාරිකාවක් සඳහා ලංකාවට පැමිණියේ ය. ඔහු වෙනුවෙන් ගීයක් ගැයීමේ ආරාධනාව ලැබුණේ බෙග් මාස්ටර්ට ය. බෙග් මාස්ටර් එහිදී ගායනා කළේ නබිතුමන් වර්ණනා කෙරෙන උර්දු ගීයකි. ඒ ගී හඬට පාකිස්ථානු ජනාධිපතිවරයා කෙතරම් ආසක්ත වූයේ ද යත් හේ ඒ සැණින් ආරාධනයක් කළේ ය. ඒ සිය පවුලම සමඟ පැමිණ පාකිස්ථානයේ පදිංචි වෙන ලෙස ය. එහෙත් තමාට ආදරය කළ රසිකයන් හැර යන්නට හේ කැමැති වූයේ නැත. මුස්ලිම් රටවල් කිහිපයක ම නායකයෝ ඔහු ගයන උර්දු ගී අසා රසයෙන් මුසපත් විණි. එහෙත් ඒ කිසිවකින් සිය නිහතමානීත්වය නැති කර නොගත් බෙග් මාස්ටර් තමන් හැදුණු හා ගොඩනැඟුණු බිම දමා යෑමට කැමැති වූයේ නැත. ලාංකේය රසිකයෝ ද බෙග් මාස්ටර්ට අතිශය ආදරය කළහ. ඔහුගේ දේහය මිහිදන් කරන දා බොදුනුවන් සුසාන භූමියේදී හඬා වැටෙන්නේ ඒ නිසාය.

මොහිදීන් බෙග් සිංහල ගීතයට හා සංගීතයට කළ මෙහෙවර අනල්ප ය. ඔහු ගැයූ ගී අසන ඕනෑම අයෙක් දමනය වෙන්නේ නොදැනුවත් ව ය. සිත මොහොතකට නතර කරවන අපූරු බලයක් ඒ හඬෙහි විණි. බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිත ඔකඳ කරන ප්‍රබල ආකර්ෂණීය හඬ පෞරුෂයක් එහි අන්තර්ගත ය. දශක ගණනාවක් තිස්සේ සේම පරම්පරා ගණනාවක් තිස්සේ ඒ ගී අප නිවා සනහාලනු ඇත. නිවන අරමුණු කරගෙන ලෞකික ජීවන මාර්ගයේ ගමන් කරන බෞද්ධයාගේ හිතේ පහන් සංවේගය ඒ කඩහඬින් තව ශතක ගණනාවක් තිස්සේ නිවෙනු ඇත. පන්සලක්, බෝධියක් නැති කාෂ්ඨක පරිසරයක වුව ඒ පරිසරයේ ඇති නිවෙන සුලු බව ක්ෂණයෙන් ඇති කළ හැකි යමක් වේ ද ඒ බෙග් මාස්ටර්ගේ බෞද්ධ ගීත ය.

කරුණාරත්න අබේසේකරයන් ලියා ඇති නින්දා ප්‍රශංසාව මිනිසාටමයි... යනුවෙන් පටන්ගෙන සැප ඇත්තේ අවසානෙ නිවනේ අමා – තුන්ලෝක ගුරු බුද්ධ ධර්මේ තමා... යනුවෙන් අවසන් කරන ගීතය ඔස්සේ මතු කෙරෙන බුද්ධ මාර්ගය ගැන එතරම් සංවේදී ව හා පුළුල් ව හිත්වලට දැනෙන විදියට කියා දෙන්නට අද බිහිවෙන නිර්මාණවලට කෙතරම් කලක් ගතවේද යන්න සැක සහිතය. එහෙත් එක් දෙයක් ස්ථිර ව කිව හැකිය. ඒ බෙග් මාස්ටර් සිය බෞද්ධ ගීතාවලිය ඔස්සේ අප හිත්වලට ගෙනෙන නිවීම සංහිඳයාව අර සියල්ල අබිබවා මතු වෙන බව ය.

Comments