දයානන්ද ගුණවර්ධන පේරාදෙණි නිමැවුමකි. විශ්වවිද්‍යාලයෙන් බිහිවුණු නාට්‍යකරුවෙකි. නාට්‍ය නිෂ්පාදකයෙක් වෙන්නට පෙර ඔහු නළුවෙකි
දයානන්ද ගුණවර්ධන හමුවෙන්නට අවැසි බොහෝ අය එන්නේ ගුවන්විදුලි සංස්ථාවටය. ඔහුට ඒ එන අය ප්‍රකට ද අප්‍රකට ද කියා වගක් නැත. එන්නේ තමා හමු වීමට නම් ඒ පුද්ගලයාගේ නිර්මාණ හෝ දැනුම් අවැසිතාව පූර්ණය කරන්නට හේ නිරන්තරයෙන් සැදී පැහැදී සිටියේය
දිවිමඟ සටහන් සම්පූර්ණ නම- හෙට්ටිපත්රන්නැහැලාගේ දයානන්ද ගුණවර්ධන උපන්දිනය- 1934 ඔක්තෝබර් 15 වැනිදා උපන් ගම- වේයන්ගොඩ හල්ගම්පිටිය පියාගේ නම- සයිමන් ගුණවර්ධන. වෘත්තියෙන් ඉංග්‍රීසි ගුරුවරයෙකි මවගේ නම- සෝමාවතී රණතුංග සහෝදර සහෝදරියන්- හතරදෙනෙකි ඉගෙනගත් පාසල- කළගෙඩිහේන පාසල, උඩුගම්පළ මහා විද්‍යාලය, වේයන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලය, කොළඹ ආනන්ද විද්‍යාලය උසස් අධ්‍යාපනය- 1953 ලංකා විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙයි 1957 -ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීම හැදෑරූ පාඨමාලා- නාට්‍ය කලාව පිළිබඳ බ්‍රිතාන්‍ය නාට්‍ය සංගමයේ පාඨමාලාව, ගීත නාටක පිළිබඳ ජාතික ගීත නාටක සංගමයේ පාඨමාලාව, ශේක්ස්පියර් නාට්‍ය පිළිබඳ පාඨමාලාව පුහුණුවීම්- ගුවන්විදුලි ශිල්පය පිළිබඳ පුහුණුව, විකට චිත්‍ර සහ සිනමා (ළමා) පිළිබඳ බුකාරස්ට් සිනමා ආයතනයේ පුහුණුව, නැඟෙනහිර යුරෝපීය රටවල නාට්‍ය, චිත්‍රපට, රූපවාහිනී පිළිබඳව පුහුණුව රැකියා- උපාධි ගුරු - කෑගලු විද්‍යාලය, උපාධි ගුරු - තර්ස්ටන් විද්‍යාලය, වැඩසටහන් සම්පාදක - ලංකා ගුවන්විදුලි සේවය, නාට්‍ය කලාව පිළිබඳ කථිකාචාර්ය - රංග විද්‍යා පීඨය, බාහිර කථිකාචාර්ය (නාට්‍ය) රජයේ ලලිත කලායතනය බිරියගේ නම- අයිරාංගනී දරුවන්- 3කි. ඒ චක්‍රායුධ, අභිමංගලා සහ වසන්තප්‍රිය පළමු නාට්‍ය නිෂ්පාදනය- පාසල් කාලයේ නිෂ්පාදනය කළ ‘පුදුම හමුවීම‘ නිෂ්පාදිත ජනප්‍රිය නාට්‍ය - ස්වර්ණතිලකා, පරාස්සයා, නරිබෑනා, කාමරේ පොරේ, ඇමති පට්ටම, පිංගුත්තර, බක්මහ අකුණු, දෙන්නා දෙපොලෙ, ජසයා හා ලෙන්චිනා , ජීවන වංචාව හෙවත් ඉබිකට්ට, විකාරයේ ආකාරය, කබායේ හබේ, පද්මාවතී, ගජමන් පුවත, බැංකු නාටකය, මධුර ජවනිකා, ආනන්ද ජවනිකා වෙනත් කෘති- මූලික සිතියම් විද්‍යාව, මද්දහනේ ගින්දර (කවි) හා සකල කලා වල්ලභ (ජනප්‍රවාද) අභාවය- 1993 ජුනි 24 වැනිදා
සිය නාට්‍ය පුහුණුවීම් කටයුතු සිදු කෙරෙද්දී නළු නිළියන් දෙස බලන්නේවත් නැති නිෂ්පාදකයෙක් වෙයි. හේ බොහෝවිට පුහුණු වීම් කටයුතු කරද්දී සිටින්නේ වේදිකාවට පිටුපා ඈත කෙළවරට වී බිම බලාගෙන ඇහුම්කන් දෙමිනි. තවත් විටෙක හේ පුහුණුවීම් කරන ශාලාවේ පිටත බිත්තියට කන තබාගෙන දෑස පියාගෙනය. බොහෝ විට හේ නළු නිළියන්ගේ රංගනය නිරීක්ෂණය කරන්නේ ඔවුන්ගේ හඬ හා පාදවල රිද්මයට ඇහුම්කන් දෙමිනි. කිසිදා ප්‍රේක්ෂකයන් සමඟ එකට හිඳ ප්‍රේක්ෂකාගාරයේ තමන්ගේ නාට්‍යයක් නොබැලූ ඔහු නාට්‍ය රඟ දක්වන හැමවිටම එක්කෝ ශාලාවෙන් පිට සිටියි. නැත්නම් වේදිකාව පසුපස කාමරයේ සිටියි. එවැනි අවස්ථාවල තනියම සිනාසෙමින් තමන්ගේ ම ලෝකයක සිට නාට්‍ය විඳින ඔහු විටෙක ඔළුවේ අත ගසා ගනියි; තවත් විටෙක දෑතින් ම බිත්තියට පහර දෙයි. එහේ මෙහේ ඔහේ ඇවිදියි. අපේ ජාතියේ කතාව අව්‍යාජව හා කලාත්මකව ලියා තැබූ මේ අපූර්ව කලාකරුවාගේ ජීවිතය ම එක්තරා රඟ මඬලක් වැනි ය. නම කියූ පමණින් කලාවේ නන් ඉසව් එකවර ස්මරණය වෙන ඔහු දයානන්ද ගුණවර්ධන ය. තමන්ගේ නාට්‍ය නොබැලුවත් වෙන නිර්මාණකරුවන්ගේ නාට්‍ය බලා කිසිදු මතවාදී ගුරුකුලකයකට හසු නොවී ඒවා සම්බන්ධයෙන් තම අව්‍යාජ අදහස පළ කරන්නට හේ කිසිවිටෙකත් පැකිළුණේ නැත.
ඔහු මුළුමනින් ම ජීවත් වූයේ තමා නිරත කලාව ඇතුළත ය. කලාකරුවන් එහෙමය. ඔවුන්ගේ ලෝකය මුළුමනින්ම පාහේ ගොඩනැඟෙන්නේ පරිකල්පනය ඇසුරේ ය. එවිට අවට ලෝකය අමතක වෙයි. ඒ ලෝකයේ නොයෙක් ශිෂ්ට අශිෂ්ට දෑ ගැන සවිඥානිකව ඒවා සිය පාඨක ලෝකයට තිළිණ කරනු වස් හේ නිර්මාණ බිහි කරයි. දයානන්ද ගුණවර්ධන කියූ පමණින් ඔහු ඇසුරු කළ අයට මතක බොහොමයක් වෙයි. ඒ ඔහුට වූ සුන්දර අමතක වීම් ගැන ය. ඒ අතපසු වීම් ඔහු ගැන දන්නා කිසිවකු හෝ ගණන් ගන්නේ නැත. එය ඔහුගේ ස්වභාවය බව දනියි. මේ අමතක වීම ඔහුගේ දුර්වලකමක් ලෙස දැකීමටවත් බොහෝදෙනා අකමැති වූහ. ඔහුගේ මනසේ වැඩි ඉඩක් වෙන් වූයේ සාහිත්‍යයට, ඉතිහාසයට හා දර්ශනයට ය. එහෙයින් අනෙක් ඒවා ගැන ඔහුගේ වන අමතක වීම් හුදෙක් සිද්ධි සේ ගෙන අමතක කරන්නට ඔහුට ආදරය කරන්නෝ අමතක නොකළහ. එහෙයින් මේ අමතක වීම් ගැන ඔහුට කිසිවකු හෝ උසුළු විසුළු කළේ නැත. එවැනි සිද්ධියක් ඔබට සිහිපත් කරන්නේ එය අනෙක් අය කෙතරම් ආදරයෙන් ගත්තා ද යන්න කීමටත්, ඒ ආදරය ඔහුට ලැබෙන්නේ ඇයි කියා කීමටත් ය.
දයානන්ද ගුණවර්ධන හමුවෙන්නට අවැසි බොහෝ අය එන්නේ ගුවන් විදුලි සංස්ථාවට ය. ඔහුට ඒ එන අය ප්‍රකට ද අප්‍රකට ද කියා වගක් නැත. එන්නේ තමා හමු වීමට නම් ඒ පුද්ගලයාගේ නිර්මාණ හෝ දැනුම් අවැසිතාව පූර්ණය කරන්නට හේ නිරන්තරයෙන් සැදී පැහැදී සිටියේ ය. දිනක් ඔහු හමුවීමට ආවේ ප්‍රකට පුද්ගලයෙකි. දෙදෙනාගේ කතාබහ කෙතරම් දුර දිග ගියේ ද යත් දිවා ආහාර ගන්නා වේලාවට ද පැමිණ තිබිණි. තමන්ගේ විෂයය ගැන කතා කරද්දී වෙලාව හෝ ස්ථානය ගැන ඇති මතකය දයානන්දගේ මොලෙන් සම්පූර්ණයෙන් ම බැහැර වෙන බව ඔහු ඇසුරු කරන්නෝ දනිති. මේ ද එවන් අවස්ථාවකි. දෙන්නා කතාවෙන් කතාව ගුවන් විදුලි සංස්ථාවේ ආපණ ශාලාවට ඇවිද ගියහ. එහි මේසයක් අසලට ගිය ඔවුහු ඉඳ ගත්හ. තවමත් කතාව ඒ විදියට ම කෙරීගෙන යයි. දයානන්ද හිටිවනම මිතුරාගේ බත්මුල ගෙන ලිහා කතාව මැදම කන්නට පටන් ගත්තේ ය. පුද්ගලයාගේ හැටි දන්නා බැවින් මිතුරා ඔහුගේ කතාවට බාධා කළේ නැත. පසුව ඔහු ආපණ ශාලාවෙන් කෑම පාර්සලයක් මිලදී ගෙන කෑවේය. කතාබහෙන් පසු දයානන්දත් මිතුරාත් විසිර ගියහ. ඊට පසු දින අර මිතුරාට දයානන්දගෙන් දුරකතන ඇමතුමක් ලැබෙන්නේ ය. ඔහු දුරකතනයෙන් කියන්නේ මෙවැන්නකි.
‘හරි වැඩක්නෙ වෙලා තියෙන්නෙ, කතාවෙන් කතාවෙන් ඊයේ මම දවල්ට කාල නෑනේ. මගෙ බත්මුල ගෙදර ගෙනත් තිබුණා‘
ඔහු ගැන හොඳට ම දන්නා මිතුරා ඇත්ත ද කියා විමසා නිහඬ විය. තම මිතුරාගේ ස්වභාවය ගැන හරියට ම දන්නා මිතුරා සිදු වූ දේ කියන්නට ගියේ නැත. එකිනෙකා ගැන වන අවබෝධය සේම අනෙකාට වන ගෞරවය ගැනත් ඒ පුංචි සිද්ධියේ කියැවෙන කතාව, කතාව තරම් පුංචි නැත. ඔහුගේ දැනුම පිළිබඳවත් සද්භාවය පිළිබඳවත් සවිඥානික කිසිවකුට ඔහුගේ මේ පුංචි අතපසු වීම් ලොකුවට දැනුණේ නැත. ඒවායෙන් තමන්ට වෙන හානි ද කිසිවක් ම නොසිතා නොතකා හරින්නට තරම් ඔවුහු ඔහුට ගරු කළහ. ඒවා සුන්දර සිද්ධි සේ අදත් ශේෂව පවතින්නේ ඒ නිසා ය.
කලිසම සහ කමිසය හැඳ ඔප දැමූ සපත්තු පැලඳ එක්තරා ලීලාවකට ගුවන් විදුලියේ ඇවිදින ව්‍යක්ත ලෙස ඉංග්‍රීසියෙන් කතා කරන දයානන්ද ගුණවර්ධන සිය නිවෙසේ සිටින්නේ හද්දා පිටිසර ගැමියකු සේ ය. ඔහු දැනුමෙන් සද්දන්තයෙක් විය. ප්‍රතිභාවෙන් සේම ඒවා ජනගත කිරීමේදී ද ඒ පළට නිසර්ග හැකියාව පුදුම සහගත තරම් ය. සරල හා අව්‍යාජත්වය විසින් ඔහුට විසල් ආදරයක් රසික සමාජයෙන් උරුම වූයේය. හේ කතා කරන විට එක දිගට කතා කරන, උගන්වන විට එක දිගට උගන්වන, කියැවීම්, හැදෑරීම්, ලිවීම් ඇසුරේ ද එකසේ ආලෝලනයෙන් එහි ම නිරත වන අපූර්ව මිනිසෙකි. තමා සිය ජීවිත කාලය කැප කරමින් සෙවූ ඉතිහාසයික කතා සියල්ල සිය පාඨක රසික ප්‍රජාවට තිළිණ කළ හැක්කේ කලාව ඔස්සේ බව ඔහුගේ විශ්වාසය විණි. ඒ විශ්වාසය සනාථ කළ හැකි නිර්මාණ ගොන්නක් ද හේ සමාජයට තිළිණ කළේ ය.
හේ විධිමත් අධ්‍යාපනයට පිළිපන් වන්නේ 1954 වර්ෂයේ දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙමිනි. ඒ වකවානුව පේරාදෙණිය විශ්වවිද්‍යාලය උගතුන්ගේ ආලෝකයෙන් බැබළුණු කාලයකි. මහාචාර්ය ලින් ලුඩොවික් හා එදිරිවීර සරත්චන්ද්‍ර සිංහල නාට්‍ය කලාව සම්බන්ධව සිදු කළ පර්යේෂණ ආදියට දයානන්ද දැක්වූයේ දැඩි උනන්දුවකි. 1957 වසරේදී භූගෝල විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් ලබා ගන්නා දයානන්ද ගුණවර්ධන සිය වෘත්තීය ජීවිතය අරඹන්නේ කෑගල්ල විද්‍යාලයේ ගුරුවරයකු ලෙසිනි. සිය ජිවිතයේ තමා වඩාත් ම ඇළුම් කරන විෂයය ක්ෂේත්‍රයට එන්නට ඔහුට හැකියාව ලැබෙන්නේ 1961 දීය. ඒ ලංකා ගුවන්විදුලියේ වැඩසටහන් සම්පාදකවරයකු ලෙස ය.
ඒ අනුව දයානන්ද ගුණවර්ධන පේරාදෙණි නිමැවුමකි. විශ්වවිද්‍යාලයෙන් බිහිවුණු නාට්‍යකරුවෙකි. නාට්‍ය නිෂ්පාදකයෙක් වෙන්නට පෙර ඔහු නළුවෙකි. නාට්‍ය කලාව ඉගැන්වීම සඳහා මෙරටට පැමිණි ඔස්ත්‍රියානු ජාතික ඇන් නිව්මන් ජුබාල් සිංහලෙන් නිෂ්පාදනය කළ 'වෙද හටනේ' දයානන්ද රඟපෑවේ ය. නාට්‍ය යනු අධ්‍යක්ෂවරයාගේ මාධ්‍යයක් ය යන්න ජුබාල් තරයේ පිළිගත් මතවාදය විය. දයානන්ද කෙරෙහි ජුබාල් කොයි තරම් බලපෑවේ ද කිවහොත් හා ඔහු කොයි තරම් ජුබාල්වාදියකු වී ද කිවහොත් ඔහුගේ මිතුරන් කලක් ඔහු අමතා ඇත්තේ 'ජුබාල්' යන නමිනි. දයානන්ද මහාචාර්ය සරච්චන්ද්‍රගේ 'වඳින්න ගිය දේවාලේ' නාට්‍යයේ ද රඟපා ඇත.
දයානන්ද ගුණවර්ධන නාට්‍ය ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වන්නේ 1958 වර්ෂයේ කෑගලු විද්‍යාලයීය රංග සභාව විසින් නිෂ්පාදනය කරන ලද ස්වර්ණතිලකා නාට්‍යය අධ්‍යක්ෂණයෙනි. මනමේ නැරඹීමෙන් ලත් ආවේශයෙන් ඔහු එය නිර්මාණය කර තිබේ. 'ස්වර්ණතිලකා ද මනමේ මෙන්ම නාඩගමකි. සින්දු තාල සැපයුවේ කෑගල්ල මීපිටිය හෙන්ද්‍රික් ගුරුන්නාන්සේ ය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ 'ප්‍රේමතො ජායති සෝකො' නාට්‍යයට වස්තු වූ උද්දාල ජාතකයත්, පාලි රසවාහිනී සහ එහි සිංහල පරිවර්තනය වන සද්ධර්මාලංකාරයත් යන කෘතිවල එන ස්වර්ණතිලකා කතා පුවතත් මේ නාට්‍යයට පාදක වූයේය. 1959 වර්ෂයේ පරාස්ස නාට්‍යය වේදිකාගත කෙරිණ. තොවිල් සම්ප්‍රදාය මත පිහිටා කළ එය යකුන් මෙල්ල කරන හෙවත් පරාස්සයන් පිළිබඳ කතාවකි. ඔහුගේ නාට්‍ය ජීවිතයේ සන්ධිස්ථානයක් සලකුණු වන්නේ 1960 වර්ෂයේ නරි බෑනා නිර්මාණය කිරීමත් සමඟ ය. නරි බෑනා නාට්‍යයට මෙරට ප්‍රකට ජන කතා දෙකක් පාදක වෙයි. එකක් හිවලා සහ ගම දුවය. අනෙක කළ හොඳ පස්සෙන් එලවීමය. රබන් පද, සවුදම් හා බම්බු නැටුම් මෙහි අගය හා රසය තීව්‍ර කළේ ය. එකල නරි බෑනා කොතෙක් ජනප්‍රිය වී ද යත් එවකට සිටි ජනගහනයෙන් සෑම 125කට කෙනකු ම නරි බෑනා බලා ඇතැයි කුමන හෝ දත්ත දර්ශකයක මා කියෙව්වා මතක ය.
1961දී කොළඹ විශ්වවිද්‍යාල සිසුන් හා එක්ව දයානන්ද ගුණවර්ධන නාට්‍යයක් නිෂ්පාදනය කළේය. බෞද්ධ සාහිත්‍යයේ අතිශය ජනප්‍රිය පිංගුත්තර චරිතය පාදක කරගනිමින් මනස පිළිබඳ ෆොයිඩ් මතවාද ද සැලකිල්ලට ගෙන නිමැවූ ඒ නාට්‍යයේ නම වූයේද ‘පිංගුත්තර‘ය. ස්වකීය නිර්මාණ විෂයයෙහි ලා ජන සාහිත්‍යය, බෞද්ධ සාහිත්‍යය ඇතුළු පුරාතන සාහිත්‍ය කෘති පරිශීලනය කිරීම දයානන්ද ගුණවර්ධන සම්ප්‍රදායේ කැපී පෙනෙන ලක්ෂණයකි. ඒ පුරාතන විෂයය කරුණු හා නූතන විද්‍යාත්මක සංකල්ප ද හේ මැනවින් හදාරා තිබීම නිසා එකී නිර්මාණ වඩාත් පොහොසත් වීමේ පදනම සැකසිණි.
1965 වර්ෂයේදී ජසයා සහ ලෙන්චිනා නාට්‍යය නිර්මාණය පාරම්පරික ජන විඥානයේ ගැබ් වූ නිර්මාණාත්මක ලක්ෂණ නාට්‍යානුරූපී ලෙස වර්ධනය කොට ප්‍රේක්ෂක රස වින්දනයට ගෝචර වන අයුරෙන් රංගගත කිරීමකි. ස්වකීය නාට්‍ය කලා භාවිතය ස්ථිරසාර සංස්කෘතික පසුබිමක ස්ථානගත කිරීමෙන් ඇරඹුණු ඔහුගේ නිර්මාණ චාරිකාව ජගත් නාට්‍ය සම්ප්‍රදාය ඇසුරෙන් පෝෂණ කර ගැනීම ද විශේෂත්වයකි. කාමරේ පොරේ (1960), ඇමති පට්ටම (1960), බක්මහ අකුණු (1963) යන නාට්‍ය අනුවර්තන දයානන්ද ගුණවර්ධන විශ්ව නාට්‍ය ප්‍රවේශයේ මං සලකුණු ය. බක්මහ අකුණු ෆියෙර් ඔගස්ටින් කැරන් ඩී බොමාෂේගේ ‘ෆිගාරෝගේ විවාහය‘ නැමැති සුුප්‍රසිද්ධ ප්‍රංශ නාට්‍යය ඇසුරින් ලියවුණ සිංහල නාට්‍යයකි. වියානා නගරයේදී 1786 මැයි 1 වැනි දින ප්‍රථම වරට රඟ දැක්වූ ‘ෆිගාරෝගේ විවාහය’ ගීත නාටකය ලොව වැඩිම වාර ගණනක් රඟ දැක්වූ ගීත නාටකය වෙයි. මෙය ලෝකයේ බොහෝ භාෂාවලට පරිවර්තනය කොට ඇත. දයානන්ද ගුණවර්ධනට මැරේජ් ෆිගාරෝ නරඹන්න ලැබෙන්නේ බුකාරෙස්ට් නගරයේදී බුකරෙස්ට් ඔපෙරා ශාලාවේදී ය. ඔහු අතිශය ආනන්දයට පත් කරන ලද මේ නාට්‍යය සිංහලට නැඟීමේ පිපාසාවකින් පෙළෙන්නේ ය. බක්මහ අකුණු වේදිකා නාට්‍ය බිහි වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ඉන් අනතුරුව ඔහු බොක්ස් ඇන්ඩ් කොක්ස් ඉංග්‍රීසි නාට්‍යයේ ආභාසය ලත් කාමරේ පොරේ වේදිකා නාට්‍යය ද බල්ගේරියන් නාට්‍යයක අනුසාරයෙන් ඇමති පට්ටම වේදිකා නාට්‍යය ද නිෂ්පාදනය කළේය. මේවා විශ්ව නාට්‍ය සම්ප්‍රදාය පිළිබඳ ඔහුගේ පැවැති අධ්‍යයනමය ලාලාසාව ප්‍රකට කරන නිර්මාණ ය.
දයානන්ද ගුණවර්ධන නාට්‍ය සම්ප්‍රදාය සුවිසෙස් වීමට ඔහුගේ නාට්‍ය භාවිතය බලපෑම් කරනු ලබයි. හේ සාමාන්‍යයෙන් නාට්‍ය නිෂ්පාදකයන් එතරම් ප්‍රිය නොකරන ප්‍රවර්ගගත නාට්‍ය කලාවක් ස්පර්ශ කරන්නේ ය. ඔහු නාට්‍ය කලාව ඇතුළට ඉතිහාසය ගෙන එන්නේ ය. සාමාන්‍යයෙන් එවැනි විෂයගත නාට්‍ය නීරස විය හැකි යැයි උපකල්පනයක් සමාජයේ තිබුණ ද එය ඔහුට කිසිසේත් බල නොපෑ බව ඔහුගේ නාට්‍ය විමර්ශනයෙන් පැහැදිලි වෙයි. ඔහු අතින් නිර්මිත වාර්තා රංගන නව නළු රසයෙන් පිරිපුන් ය. දේශීය ඉතිහාසය වෘත්තාන්තයක් සේ ජනමූලාශ්‍ර ඇසුරු කරමින් මධුර ජවනිකා ලෙසින් වේදිකා ගත කරමින් හේ සිංහල වේදිකා නාට්‍ය ඉතිහාසයට එක් කළ ගැඹුරු සංස්කෘතික විඥානය පුදුම සහගත තරම් සාර්ථකව බිම් ගත වූයේය. එය ඔහුගේ ගැඹුරු චින්තනයත්, පරිකල්පනය සේම වෙහෙසකර හැදෑරීමත් මොනවට පළට කරන්නකි. මධුර ජවනිකා නාට්‍යය 1984 දී සාම ත්‍යාගයත්, 1986 දී සාහිත්‍ය ත්‍යාගයත් දිනා ගත්තේ ය. කොළඹ ආනන්ද විද්‍යාලයේ සියවස වෙනුවෙන් 1986 දී නිෂ්පාදනය කළ ආනන්ද ජවනිකා නාට්‍යය 1986 හා 1987 වර්ෂවල පවත්වන ලද රාජ්‍ය නාට්‍ය උත්සවයේ හොඳ ම ස්වීය නාට්‍ය අධ්‍යක්ෂණයට හිමි සම්මානයත්, පිටපත සඳහා විශේෂ සම්මාන සහතිකයත්, හොඳම සංගීතය හා වේදිකා පාලනයට හිමි සම්මානයත් ඇතුළු සම්මාන රැසක් දිනා ගත්තේ ය.
ගජමන් නෝනාගේ අපූර්ව කතාව නාට්‍යයක් බවට පරිවර්තනය කිරීමේ ආයාසකර ව්‍යායාමයට බය නැතිව අත ගැසුවේ දයානන්ද ගුණවර්ධනය. ගජමන් පුවත නම් අපූර්ව නාට්‍ය නිර්මාණය කිරීම සඳහා ඔහු දීර්ඝ කාලයක් තිස්සේ ගජමන් නෝනා ගැනත්, ඇගේ නිර්මාණ භාවිතයත්, සමාජ ජීවිතයත් සේම ඇය වටා බැඳුණු ජනශ්‍රැතික කාරණාත් හැදෑරුවේ ය. එකී ආයාසකර ප්‍රයත්නයේ පුළුල් බව එහි පෙළ පිරික්සන ඕනෑ ම අයකුට වැටහෙනු නොඅනුමාන ය. ලන්දේසිවරුන්ට සේවය කළ මුදලිවරුන්ගේ වුව ද කෝට් කබා අස්සේ කවිකම හා ආදරය සැඟවී තිබිණි. ඒ වුව ද යටත් වීම හා යටත් නොවීම යන දෙක අතර වෙන රේඛාවේදී හදවත ද බුද්ධිය ද යන කරුණු ද්විත්වයෙන් ජයගන්නේ කුමක් ද යන සදාකාලික ප්‍රශ්නය තවදුරටත් නිර්මාණකරුවා ප්‍රශ්නයක් කර ඉතිරි කරන්නේ ය. නිර්මාණකරුවන්ගේ ප්‍රභාවය ඉදිරියේ අප තවමත් පුදුම වන්නේ එකී ගුණය නිසා ය. සරල කතා ඇසුරේ තිබූ උපහාසය දයානන්ද ගුණවර්ධන නාට්‍යාවලිය ම අර්ථවත් මෙන් ම ප්‍රේක්ෂක ආකර්ෂණය දිනීමේ මාර්ගය ද පෑදුවේ ය.
නාට්‍යකරණයට අමතරව හේ ග්‍රන්ථකරණයේ ද නිරත විය. මූලික සිතියම් විද්‍යාව, මද්දහනේ ගින්දර කාව්‍ය සංග්‍රහය හා සකල කලා වල්ලභ කෘති ත්‍රිත්තවය ද ඔහු අතින් නිමැවුණු කෘති ගණයට වැටේ. ගුවන් විදුලියේ සේවය කරන කාලයේ ඔහු රංග විද්‍යා පීඨයේ නාට්‍ය කලාව පිළිබඳ කථිකාචාර්ය ධූරයත්, රජයේ ලලිත කලායතනයේ බාහිර නාට්‍ය කථිකාචාර්ය වශයෙනුත්, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ නාට්‍ය අනුමණ්ඩලයේ සාමාජිකයකු ලෙස හා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ සාමාජිකත්වය ද දැරීය.
දයානන්ද ගුණවර්ධනගේ රංගන කුසලතාව සේ ම කවිත්වය ද නිසි පමණින් ඇගයුමට ලක් නොවිණැ යි කිවහොත් ඊට කිසිවකු හෝ විරුද්ධ නොවනු ඇත. ඔහු ලියූ ගී පදවැල් අතළොස්ස අතරෙන් සොඳුරිය ඔබගේ වුවන මලක් නම් ගී පද වැල මුලින් ම පළ වූයේ මද්දහනේ ගින්දර කාව්‍ය සංග්‍රයේ ය. බක් මහ අකුණු පරිවර්තිත නාට්‍යයේ එන දියට නැමුණු මල්, ආදර හැඟුම්, මලකින් මලකට ගොස් පැණි බොන්න ද ගී පද වැල් අතළොස්ස පමණක් ම වුව ද දයානන්ද ගුණවර්ධනගේ ප්‍රතිභා පූර්ණ කවිත්වයට මනා නිදසුන් ය. එහෙත් ඔහුගේ නාට්‍යකරණයේ වූ සූක්ෂතාව හා නිපුණත්වය ඔහුගේ අන් සියලු හැකියා අබිබවූ බැව් නම් සත්‍යයකි.
සිය සෑම නිර්මාණයක් ඔස්සේ ම දයානන්ද ගුණවර්ධන කලාකරුවා සමාජයට යමක් දායාද කිරීමට යත්න දැරීය. එය ජනගත කිරීමට හොඳම මාර්ගය කුමක්ද යන්න ගැන හේ නිතරම අත්හදාබැලීම් කළේ ය. සරල චාම් ප්‍රතිපත්තිගරුක කලාකරුවකු වූ ඔහු ලේසියෙන් තීරණයක් නොගන්නා සේම ගන්නා තීරණයක් වෙනස් කිරීමට ද කැමැත්තක් දැක්වූවේ නැත. එය කලාකරුවකුගේ අදීනත්වය ගැන වන සලකුණක් විනා අන් යමක් නොවේ. අසීමිත රසික ආකර්ෂණයක් ලද ඔහුගේ සමුගැන්මේ හිඩැස පිරවීමට සමත් අයෙක් ගැන තවමත් රසික පාඨක සමාජයේ විචිකිච්ඡාවක් පවතින්නේ ඒ නිසා ය.
lසුමුදු චතුරාණී ජයවර්ධන