පිටරැටියන් දසලක්ෂ ගණනකට භාවනාව ඉගැන්වූ හේනේපොල හිමියන්ගේ රුව ගුණ වරුණ | සිළුමිණ

පිටරැටියන් දසලක්ෂ ගණනකට භාවනාව ඉගැන්වූ හේනේපොල හිමියන්ගේ රුව ගුණ වරුණ

භික්ෂුවක් විසින් භාවනාව ඉගැන්වීම සඳහා භාවිත කළ කටු සටහන් එකතු කර සැකසූ කෘතියක් නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් ලෝකයේ භාවනාව පිළිබඳ ලියැවුණු විශිෂ්ටතම ග්‍රන්ථය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඉකුත් අප්‍රේල් මාසයේදීය. එම කෘතිය එසේ ලෝක සම්භාවනාවට පාත්‍ර වන්නේ බුදු දහම සහ භාවනාව පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් සහ විද්වතුන් රැසක් එක්ව කරන ලද පර්යේෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ විශිෂ්ටතම කෘතියේ කතුවරයා වන්නේ හේනේපොළ ගුණරතන හිමියෝය. 

දැනට ලෝකයේ වැඩ සිටින ගුණවත්, නැණවත්, වයෝවෘද්ධ හා තපෝවෘද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් ලෝක පූජිත භික්ෂුන් වහන්සේලා කිහිප දෙනා අතර හේනේපොළ ගුණරතන හිමියෝ ප්‍රමුඛස්ථානයක් උසුලති. ලෝ ප්‍රකට ‘ලයන් රෝ’ සහ ‘විස්ඩම්’ සඟරාවලට අනුව උන්වහන්සේ ලොව සිටින බුද්ධිමතුන් කිහිපදෙනා අතරෙන් කෙනෙකි. ලොව වැඩිම රටවල් සංඛ්‍යාවකට ධර්ම ප්‍රචාරය සඳහා වැඩම කළ භික්ෂුන් වහන්සේ ලෙසත් ලොව පුරා වැඩිම විශ්වවිද්‍යාල ප්‍රමාණයක දේශන පැවැත්වූ භික්ෂුන් වහන්සේ ලෙසත් හේනේපොල ගුණරතන හිමිගේ නාමය ප්‍රචලිතය. ඇමරිකා එක්සත් ජනපදය කේන්ද්‍ර කරගනිමින් බටහිර ලෝකයට නිර්මල බුදු දහම හඳුන්වා දීමේ අරමුණින් උන්වහන්සේ විසින් ස්ථාපිත කළ ‘වෙස්ට් වර්ජිනියා’ භාවනා මධ්‍යස්ථානය “නැෂනල් ජෝග්‍රොෆි’ සඟරාව විසින් 2012 වසරේදී නම් කරන ලද ලොව සුවිශේෂී ආගමික මධ්‍යස්ථාන 500 අතරින් එකකි.

උන්වහන්සේ සිය පැවැත්මෙන්, භාෂණයෙන්, ලේඛනයෙන් සහ ජීවිත දර්ශයෙන් බුදු දහමේ සැබෑ සදහම් පණිවිඩය ලොවට ගෙන යන අග්‍රගණයේ යතිවරයෙකි. මේ වන විට 96 වැනි විය ගෙවමින් සිටින ආචාර්ය හේනේපොල ගුණරතන නාහිමිපාණන්ගේ දිවි සැරිය වර්ණවත් වී ඇත්තේ බෞද්ධ ශික්ෂණය, පෙර අපර දෙදිග භාෂා ඥානය හා මානව ගුණය සමඟ ආසියාවෙන් බටහිරට ගලා ගිය පරමාදර්ශයත් හේතුවෙනි. උන්වහන්සේගේ දිවි සැරිය සරලය; අව්‍යාජය;නිර්මලය. ඒ බව මනාව පසක් වන්නේ ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හිමියන් සහ මාධ්‍යවේදී තරංග රත්නවීර විසින් සම්පාදිත ‘තුම්පනෙන් ඇමෙරිකාවට වැඩි සඟරජ’ කෘතියේ ඇතුළත් හේනේපොල ගුණරතන හිමියන්ගේ වචනවලින්ම කියැවුණු ජීවිත කතාවෙනි.

මහනුවර ගලගෙදර හේනේපොල සුන්දර ග්‍රාමයේදී උපන් උන්වහන්සේගේ ගිහි කල නම ඒ. එම්. කුඩා බණ්ඩාය. ඒ. එම්. පුංචිබණ්ඩා සහ එච්. එම්. ලොකු මැණිකේ යුවළගේ දරුවන් සත්දෙනා අතර හයවැන්නා කුඩා බණ්ඩාය. සුන්දර පරිසරයක දිවි ගෙවුවද අඟහිඟකම් සහ විවිධ දුෂ්කරතා පැටිවියේ සිට කුඩා බණ්ඩාටත් නොඅඩුව අත්විඳින්නට ලැබිණ.

මැදගම කතෝලික පාසලින් මුලකුරු කී කුඩා බණ්ඩාගේ ජීවිතය මවුපියන්ගේ සෙනෙහස මැද කෙළිදෙළෙන් ගත වුව ද අවුරුදු හතේදී පමණ ඔහුට මුහුණ දෙන්නට වෙන්නේ නෙසිතු විරූ අලකලංචියකටය.

“අවුරුදු හතක් විතර වෙනකොට මට රෑට ඇස් පේන්නෙ නැතිව ගියා. සම්පූර්ණයෙන්ම අන්ධයි. අපේ පුංචි අයියා, අක්කලා හිතුවේ අම්මගේ අවධානය ගන්න ඕනෙ නිසා මම බොරු කරනවා කියලා. අපි සේරම කුස්සියෙ වාඩිවෙලා බත් කනකොට අම්මා එහාට මෙහාට වෙනකම් ඉඳලා අක්කා කෙනෙක් හරි පුංචි අයියා හරි මගෙ බත් පිඟාන අහක් කරලා පොල්කුඩු පිඟානත් මා ළඟින් තියෙනවා. මම පොල් කුඩු අහුරක් කාලා “ඇයි මට පොල්කුඩු දෙන්නෙ කියලා අඬනවා” මගෙ ළතෝනියට අම්මා ඇවිත් අක්කලා අයියලාට කෑ ගහලා මගෙ බත් පිඟාන දෙනවා. රෑට මගෙ ඇස් නොපෙනීම ගැන අම්මා, තාත්තා නොසෑහෙන්න දුක් වුණා”.

වෙදකම් කරන අතරේ මවුපියන් අපමණ ස්නේහයෙන් සහ ඉවසීමෙන් සිය දරුවාගේ ඇස්වල පෙනීම යළි උපදවා ගත්තේ මහත් වැර වෑයමිනි.

“අපි පුංචි කාලේ පන්සලේ හාමුදුරුවෝ බණට වැඩැම්මුවේ අත්පුටුවේ තියාගෙන. ඒක හරි අපූරු පුටුවක්. දෙන්නෙක් දෙපැත්තෙන් හිඳගෙන එකිනෙකාගේ දෑත් පටලවගෙන ඒ මත හාමුදුරුවෝ අසුන්ගෙන ඒ දෙදෙනාගේම කරට හාමුදුරු‍වෝ අත දාගෙන වැඩම කරනවා. පන්සලේදී හිතට දැනුණු නිදහස් බවත් හාමුදුරුවන්ගේ කරුණාව හා හාමුදුරුවන්ට ගිහියන්ගෙන් ලැබෙන ගෞරවය දක්කාම මට හිතුණෙ මහණ වෙන්නමයි. හාමුදුරුවො අත්පුටුවේ වඩම්වනවා දැක්කම මම නළියනවා. මට මහණ වෙන්න ඕනේ කිය කිය මම නිතරම අම්මට ඇවටිලි කළා. ඔය කාලෙදි අපේ ගෙදරට අඩි විස්සක් විතර දුරින් ගමේ මාමා කෙනෙක් ගෙයක් හැදුවා. ඒ මාමගේ ඥාති වෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් එහි වස් වාසය කළා. භික්ෂුන් වහන්සේලා දකින්න, කතා කරන්න හරිම කැමති නිසා මම නිතරම ඒ ගෙදරට දිව්වා. එක දවසක් මම ඒ හාමුදුරුවෝ ළඟට ගිහින් මටත් මහණ වෙන්න ඕනෑ කියලා කිව්වා. “අපි ඔය කළු කොල්ලො මහණ කරන්නෙ නෑ” ඒ හාමුදුරුවො ගත්කටටම එහෙම කිව්වා. ඒ කතාව මගෙ හිතට වාවගන්න බැරි වුණා. මම අඬාගෙන ගෙදර දිව්වා. ඒ සිද්ධිය මගේ හිතට දැඩිව කා වැදුණා. වයස අවුරුදු දහය විතර වෙනකොට මහණ වීමේ සිතිවිලි දැඩිව දැනෙන්න ගත්තා. මහණ වෙන්න යන්න ඕනේ කියල නිතරම මම අම්මට ඇවටිලි කළා.”

ඒ ඇවටිල්ල නිමා වන්නේ මවුපියන් විසින් කුඩා බණ්ඩා පුතු රඹුක්කන බුලුගල පන්සලට කැටුව ගොස් එහි නායක හිමියන්ට බාරදීමෙන් පසුවය. එහෙත් පන්සලේ සිටි වැඩිමහල් ළමුන්ගේ අරියාදුකම් ඉවසා ගත නොහැකිව යළිත් නිවෙසට එන ඔහුගේ ඊළඟ නැවතුම වන්නේ මලන්දෙණිය පන්සලයි.

“මගෙ කල්කිරියාවයි දහම් දැනුමයි හොඳ හින්දා පන්සලට ඇවිත් මාස තුනක් යනකොට හොඳ නැකතක් බලලා මහණ පින්කම සිද්ධ කළා. මට නම තිබ්බේ හේනේපොල ගුණරතන කියලා.

නායක හාමුදුරුවන්ගේ දැඩි පාලනය නොරිස්සූ සාමණේර වැඩි දවසක් යන්නට පෙර පන්සලෙන් පලා ගියද කලකට පසු නැවතත් මලන්දෙණිය පන්සලට පැමිණෙන්නේ මහණකමටම බැඳුණු සිතැතිවය.

“ටික දවසකට පස්සේ පුංචි උත්සවයක් අරගෙන, පරණ විදිහටම පැවිදිකමට ඕනෑකරන දේවල් කියලා හේනේපොල ගුණරතන නමින්ම නැවත මාව මහණ කළා. සිවුරු දැම්මට පස්සේ උදේ හවස බුදුන් වැඳගෙන පන්සලේ වැඩ ටික කරගෙන පාඩුවේ හිටියා. ලොකු හාමුදුරුවොත් නිස්කාරණේ බණින්න ගහන්න ආවේ නෑ, හරිම ළෙන්ගතු විදිහට කතාබහ කළා. මහණ වෙලා මාස දෙකක් විතර ගියාට පස්සේ ලොකු හාමුදුරුවො මාව බැණ්ඩියමුල්ල විද්‍යාසේකර පිරිවෙනට ඇතුළත් කළා.”

පිරිවෙනේදී සියලු විෂයයන් මනාව හැදෑරූ ගුණරතන පොඩි හාමුදුරුවෝ පාලි, සංස්කෘත, සිංහල පමණක් නොව ඉංග්‍රීසි, දෙමළ භාෂා ද ප්‍රගුණ කළහ. පිරිවෙනට ඇතුළු වූ දා සිටම අවසාන වාර විභාගයේදී පන්තියේ පළමු වැනියා වූ උන්වහන්සේ පිරිවෙනේ සිටි දක්ෂතම ශිෂ්‍ය හාමුදුරුවෝ වූහ. එහෙත් උන්වහන්සේට අඟහිඟකම් බොහෝ විය. වේගයෙන් කියැවීමටත් කියවූ සියල්ල මතකයේ ගබඩා කරගැනීමටත් උන්වහන්සේට තිබුණේ අපූරු හැකියාවකි. ඒ අපූරු හැකියාවම ඇතැමකුගේ ඊර්ෂ්‍යාවට ද බඳුන් විය.

“මගේ දක්ෂකම්වලට පිරිවෙනේ ඉගෙන ගත්ත ඇතැම් පොඩිහාමුදුරුවරු ඊර්ෂ්‍යා කළා. දවසක් මම පිණ්ඩපාතය වැඩම කරන්න ගිය අවස්ථාවක එක පොඩිනමක් මගෙ කාමරයට ගිහින් අතට අහුවෙච්ච අහුවෙච්ච සේරම පොත්පත් ඉරාදාලා තිබුණා. මම කියව කියව හිටපු ඉංග්‍රීසි පොත කීතු කීතු වෙන්නම ඉරා දාලා තියෙන හැටි දැක්කම මට කෑගැහිලා ඇඬුණා. ගොඩක්ම ඇඬුණේ ඒ පොත මම අනුන්ගෙන් ඉල්ල ගත්ත වටිනා පොතක් නිසයි. ඒත් පොත ඉරපු හාමුදුරුවො එක්ක මම මොහොතකටවත් තරහා වුණේ නෑ. උන්වහන්සේ කෙරෙහි මගෙ හිතේ ඇති වුණේ අනුකම්පාවක්. ඒ හාමුදුරුවන්ට ඉගෙන ගන්න බෑ. මේ කියන දේ මේ මතක නෑ. මගේ දක්ෂතා දැකලා උන්වහන්සේට දුක හිතෙන්න ඇති කියලා මම හිත හදා ගත්තා.”

විසි වැනි වියේදී උපසම්පදාව ලබන ගුණරතන හිමියන් වඩාත් ප්‍රිය කළේ පිරිත් පින්කම් සඳහා සහභාගි වීමටය. වරක් මිතුරු හිමිනමක සමඟ දින හතක් එක දිගට පිරිත් සඡ්ඣායනා කළ උන්වහන්සේට නොසිතූ විරූ අනතුරකට මුහුණ දීමට සිදු විය.

“දවස් හතක් එක දිගට පිරිත් කියපු මමයි ධම්මරංසි හාමුදුරුවොයි අසනීප වුණා. දින ගණනක් අසනීප තත්ත්වය තිබුණා. ඒ දින කිහිපයේදී මගෙ මතකය සම්පූර්ණයෙන්ම නැති­‍ෙවලා ගියා. සිංහල අකුරු අඳුනන්නෙ නැතිව ගියා. එකම සිංහල වචනයක්වත් ගළපලා ලියන්න බැරිව ගියා. දෙමළ, ඉංග්‍රීසි අකුරු අමතක වුණා. එතකොට මම සිංහල, දෙමළ, ඉංග්‍රීසි, පාලි, සංස්කෘත භාෂා පහම හොඳට ඉගෙනගෙන හිටියේ. ඒත් ඒ සේරම අමතක වුණාම මට හරියට දුක හිතුණා. දුක වැඩිකමට මම නිතරම ඇඬුවා. ඒත් මගේ අසනීපයට හරියට ප්‍රතිකාරයක් ලැබුණේ නැහැ. බාහිරින් කිසිදු අසනීපයක් නොපෙනෙන නිසා අසනීපේ ගැන කොච්චර කිව්වත් කවුරුත් පිළිගත්තෙ නැහැ. ඒ අවුරුද්දෙ පිරිවෙනේ තිබුණු සංස්කෘත විභාගයෙන් මම ෆේල් වුණා. මගේ ප්‍රතිඵල දැකල එතකොට හිටපු පරිවේණාධිපති ගස්පේ ධීරානන්ද හාමුදුරුවෝ පුදුම වුණා. හොඳට අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන යන නිසා උන්වහන්සේ මට බොහොම ආදරෙන් හිටියෙ”

ඒ ආදරය නිසාම පරිවේණාධිපති හිමියෝ ගුණරතන හිමියන් මලන්දෙණිය විහාරාධිපති හිමියන් වෙත යොමු කිරීමෙන් පසු උන්වහන්සේ සිය ශිෂ්‍ය හිමියන් සුවපත් කරගැනීමට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කළ ද ඒ කිසිවකින් සුවයක් නොලද තැන ගුණරතන හිමියෝ යොමු වන්නේ භාවනාවටය. විවේකයක් ලැබුණු හැම

අවස්ථාවකම භාවනා කළ උන්වහන්සේ කෙමෙන් සුවය ලබන්නට වූහ.

1950 වසරේදී උන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් විය. එකල මෙරට සිටි විදෙස් රටකින් ආචාර්ය උපාධියක් ලබාගත් ප්‍රථම ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ වූ පරවාහැර වජිරඥාන හිමියෝ විසින් පවත්වා ගෙන ගිය දෙමටගොඩ ධර්මදූත විද්‍යාලය නම් පිරිවෙනට සම්බන්ධ වීමට ගුණරතන හිමියන්ට අවස්ථාව ලැබෙන්නේ ඒ අතරේය. විදේශ ධර්මදූතයන් පුහුණු කිරීමේ පාඨමාලාව නිම කොට ඉන්දියාවට වැඩම කළ ගුණරතන හිමියෝ වසර 3ක කාලයක් එහි ගතකළහ. පසුව කිරින්දේ ධම්මානන්ද නාහිමියන්ගේ ආරාධනාව මත මැලේසියාවට වැඩම කළ උන්වහන්සේ වසර 10ක් එහි ගත කරමින් මනා ශාසනික සේවයක් ඉටු කළහ. 

උන්වහන්සේගේ ශාසනික මෙහෙවරට වැඩි වටිනාකමක් එක් වන්නේ අතිගරු මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන් විසින් ආරම්භ කළ පළමු ථේරවාදී බෞද්ධ විහාරයට වැඩම කිරීමට ලැබුණු අවස්ථාවත් සමඟය. ගුණරතන හිමියන්ගේ කුසලතා ගැන පැහැදීමට පත් මඩිහේ පඤ්ඥාසීහ හිමියෝ එක්සත් ජනපදයේ වොෂින්ටන් බෞද්ධ විහාරයට වැඩම කර එහි ධර්ම ප්‍රචාරක කටයුතු කරන්නට ආරාධනා කළහ. වොෂින්ටන් බෞද්ධ විහාරයේ ලේකම්වරයා ලෙස 1968දී ඇමෙරිකාවට වැඩම කළ උන්වහන්සේ දශක දෙකකට අධික කාලයක් සුවිශේෂී ශාසනික මෙහෙයක් ඉටු කළේය.

චතුර බෞද්ධ දේශකයකු පමණක් නොව ඉංග්‍රීසි බසින් ලේඛනයේ යෙදීමට ද උන්වහන්සේට ඇත්තේ අසීමිත ප්‍රතිභාවකි. සතිමත් බව, ධ්‍යාන, ආර්ය අෂ්ටාංගික මාර්ගය, දස සංඥා, මෛත්‍රී භාවනාව, සමථ - විදර්ශනා ආදී බුදුදහමේ ඉගැන්වීම් සම්බන්ධයෙන් උන්වහන්සේ ග්‍රන්ථ රැසක් සම්පාදනය කර ඇති අතර, ඒවා බොහොමයක් ජාත්‍යන්තර භාෂා රැසකට පරිවර්තනය වී ඇත. උන්වහන්සේගේ Mindfulness in Plain English කෘතිය පමණක් භාෂා 25කට පමණ පරිවර්තනය වී ඇති අතර, එය තායිලන්තයේ පෙළපොතක් ලෙස පාසල් විෂය මාලාවට ඇතුළත්ව ඇත.

ධර්ම දූතයකු ලෙස ආසියාව පුරාම සංචාරය කර ඇති හේනේපොල ගුණරතන හිමියෝ වියට්නාමයට යන්නේ ඇමෙරිකන් වියට්නාම යුද ගිනි ඇවිළෙමින් තිබූ අවදියකදීය. 1975 වසරේදී වියට්නාම් යුද්ධය නිසා සරණාගතයන් ලෙස ඇමෙරිකාවට පැමිණි දහස් සංඛ්‍යාත වියට්නාම වැසියන් පිළිගැනීමටත් ඔවුන්ට උපදේශනය සැපයීමටත් කර්නල්වරයකු ලෙස ඇමෙරිකානු රජය විසින් ගුණරතන හිමියන් පත් කරනු ලැබීය. ලෝක ඉතිහාසයේ භික්ෂූන් වහන්සේ නමකට අමෙරිකානු ගුවන් හමුදාව එවැනි තනතුරක් පිරිනැමූ පළමු අවස්ථාව වන්නේ ද එයයි.

අඛණ්ඩ ධර්මදූත සේවාවේ නිරතව සිටිය ද උන්වහන්සේ කිසිවිටෙක අධ්‍යාපන කටයුතු අත්නෑරියහ. ඇමෙරිකා විශ්වවිද්‍යාලයකින් ශාස්ත්‍රවේදී, ශාස්ත්‍රපති උපාධි ලබාගත් ශ්‍රී ලාංකේය භික්ෂුව වන්නේ ගුණරතන හිමියන්ය. එම උපාධි පාඨමාලා දෙකම සාර්ථකව අවසන් කළ නිසා ආචාර්ය උපාධිය හැදෑරීමට උන්වහන්සේට ඇමෙරිකා විශ්වවිද්‍යාලය මඟින් ශිෂ්‍යත්ව දෙකක් පිරිනැමිණ. 1980දී ආචාර්ය උපාධිය ලබාගන්නා විට උන්වහන්සේගේ වයස අවුරුදු 53කි.

“මම වයසට ගිහිල්ලත් ඉ‍ෙගන ගන්න උනන්දු වුණේ ඇමෙරිකන් ජාතික උගත් බුද්ධිමත් මිනිසුන් අතරට යන්න ඕන නිසයි. ධර්මය හොඳින් ඉගෙන ගෙන ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්කම තිබුණා නම් මගේ වැඩ කටයුතු කරගෙන යන්න හොඳටම ප්‍රමාණවත්. ඒත් ඇමෙරිකාව තුළ බුදු දහම ව්‍යාප්ත කිරීමට සහ බෞද්ධ විහාරස්ථාන ආරම්භ කිරීමට නම් ඇමෙරිකානු උගත් බුද්ධිමත් මිනිසුන් හඳුනා ගැනීම අමතර වාසියක් බව මට වැටහුණා. ආචාර්ය උපාධිය දක්වා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට මම තීරණය කළේ ඒ නිසයි. මගේ අධ්‍යාපන චාරිකාව ඉතා කටුක ගමනක් වුණත් ඒ දුෂ්කර ගමන අවසානයේ මම ඒ ඉලක්කයට ගියා. ආචාර්ය උපාධියට මම කළේ ථේරවාදී බෞද්ධ ධ්‍යාන පිළිබද විචාරාත්මක නිබන්ධනය පිටු හාරසිය තිස්හයක්. මගේ විශ්වාසය අනුව ලෝකයේ කිසිදු භික්ෂුන් වහන්සේ නමක් ධ්‍යාන පිළිබඳ පී.එච්.ඩී විචාරාත්මක නිබන්ධනයක් ලියලා නෑ. ඔය කාලේ ඇමෙරිකාවේ භාවනාව පුරුදු පුහුණු කළ බුරුම හාමුදුරුවෝ, “අපි කරන්නේ විපස්සනාව, ඒකට ඔය භාවනාවේ කිසිම සම්බන්ධයක් නෑ” කියලා ධ්‍යාන සමාධිය ගැන කතා කරන්නවත් ඉඩ දුන්නෙ නැහැ. ධ්‍යාන වැඩීමෙන් කිසිම පලක් නෑ කියලා තමයි විපස්සනා භාවනා ගුරුවරු කිව්වේ. මම ඒ මතය වෙනස් කළා. සමාධියක් නැතිව ආර්ය අෂ්ටාංග මාර්ග සම්පූර්ණ වෙන්නෙ නෑ. සමථ, විපස්සනා භාවනා දෙකම එකට කරන්න ඕනෑ. එතකොට තමයි භාවනාව සම්පූර්ණ වෙන්නේ.”

වරක් උන්වහන්සේ ගමන් ගත් ගුවන් යානයේ හදිසි ගින්නක් ඇති වූ විට උන්වහන්සේ භාවනාවේ මහිමය අත්දැක්කේය. “ගුවන්යානය ගමන් කරමින් තිබුණේ අඩි තිස්අට දාහක් පමණ ඉහළ අහසේ. යානය පහළට කඩා වැටුණොත් ඇතුළත සිටින සියලු මගීන්ට සිහිය නැතිවෙනවා. ඒ නිසා හොඳ සිහියෙන් ඉන්න ඕනෑ කියලා මම හිතට ගත්තා. පණ යනකොට හොඳ සිහියෙන් ඉන්න ඕනෑ. හිත කලබල කරගෙන දුක් වෙලා මැරෙන්න හොඳ නෑ, සතුටින් මැරෙන්න ඕනෑ කියලා හිත හදාගෙන මම එක ඇසකින් ගිනි දැල් දිහා බලාගෙන අනිත් ඇසින් මගීන්ගේ මරණ බය දකිමින් ආනාපාන සති භාවනාව වඩමින් හිටියා. අපි නොහිතූ මොහොතක ගුවන්යානය හවායි ගුවන්තොටුපළට බැස්සුවා.”

උන්වහන්සේගේ ධර්මදූත සේවාවේ ස්වර්ණමය අවස්ථාව සටහන් වන්නේ 1982දී එක්සත් ජනපදයේ වෙස්ට් වර්ජිනියා ප්‍රාන්තයේ හයි වීච් නගරයේ ආරම්භ කරන ලද වෙස්ට් වර්ජිනියා භාවනා මධ්‍යස්ථානයයි. ථේරවාදී බෞද්ධ ධර්මය ලොව ප්‍රචලිත කිරීම සඳහා බටහිර ලෝකයේ ආගමික ස්ථාන අතර මෙම භාවනා මධ්‍යස්ථානයට හිමි වන්නේ ප්‍රමුඛ ස්ථානයකි. භික්ෂුන් වහ්සේලා සහ ගිහියන්ට ධර්මය අධ්‍යයන කිරීමටත් විනයානුකූලව ශාසනානුලෝම පරිසරයක සිට ධර්මය ප්‍රගුණ කිරීමට අවශ්‍ය සියලු පහසුකම් එහි වේ.

මේ වන විට උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක ධුරන්දර ආචාර්ය අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය හේනේපොල ගුණරතන නාහිමියෝ උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, යුරෝපයේ සහ ආසියාවේ බොහෝ දියුණු රටවල් ඇතුළු විශ්වවිද්‍යාල වැඩිම සංඛ්‍යාවක දේශන පැවැත් වූ බෞද්ධ භික්ෂුන් වහන්සේ ලෙස හඳුන්වා දිය හැකිය. එහෙත් අවාසනාවකට මෙන් මේ වන තෙක් ලංකාවේ කිසිදු විශ්වවිද්‍යාලයකින් උන්වහන්සේට දේශනයකට ආරාධනා කර නැති බව උන්වහන්සේ පිළිබඳ ලියූ 'තුම්පනෙන් ඇමරිකාවට වැඩි සඟරජ' කෘතියේ කර්තෘ ආචාර්ය ඇත්කඳවක සද්ධාජීව හිමියෝ පැවසූහ.

දශක ගණනාවක් ඇමෙරිකාවේ වැඩ වසමින් බටහිර රටවල බුදු දහම ප්‍රචලිත කිරීමෙහි හා භාවනා ක්‍රම පිළිබඳ උපදෙස් දෙමින් දෙස් විදෙස් සම්භාවනාවට පත් උන්වහන්සේ අගයමින් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් හෝමාගම හරිත සරසවි ශ්‍රවණාගාරයේදී ඉකුත් ජුනි 4 වැනිදා සිදු කෙරිණි. ඊට සමඟාමීව උන්වහන්සේගේ අපදාන ග්‍රන්ථය එළිදැක්වීම ද සිදු විය.

Comments