සාහිත්‍යයේ සභ්‍යත්වය හා අසභ්‍යත්වය | Page 2 | සිළුමිණ

සාහිත්‍යයේ සභ්‍යත්වය හා අසභ්‍යත්වය

සාහිත්‍යයට සභ්‍යත්වයක් අවශ්‍ය ම නෑ.  සභ්‍ය කරලා දෙන්න නම් මොකටද සාහිත්‍යයක්? කේ. කේ. සමන් කුමාර

අපි හිටියෙ මේවට ප්‍රතිවිරුද්ධ තැනක. ඒක වැරදි මායිමක් සුජිත් අක්කරවත්ත

මම ඉන්නෙ අරාජික තැනක.  ඇත්තටම මේ ප්‍රශ්නෙදි  මම ආන්තිකයි කේ. කේ. සමන් කුමාර

මම සභ්‍යවාදය වගේම  අසභ්‍යවාදයත් පුද්ගලිකව  පිළිගන්නෙ නෑ  සුජිත් අක්කරවත්ත

 

සභ්‍ය අසභ්‍ය මතවාදය ගැන කරලියට එන්නේ අද ඊයෙක නොවේ. එය හතළිහේ දශකයේ අගභාගය දක්වා දිවෙයි. මොරටුවේ එගොඩ උයනේ ටී.එස්. ධර්මබන්ධු ලේඛකයා ලියන පොතකට එවකට පොලිස්පතිව සිටි ඩව්බිගින් කතුවරයාට විරුද්ධ ව නඩුවක් ගොනු කොට තිබුණි. පොතේ නම විවාහය හා රති සැපත ය. නඩුව නිසා ධර්මබන්ධු ලේඛකයාට රුපියල් 20ක දඩයක් උසාවිය ගැසුවේ ය. ඒ කාලේ හැටියට රුපියල් විස්සක් යනු ලොකු ගණනකි.

 

ඒ දඩයෙන් පසු යළිත් දැඩි කතාබහට එන වාදයක් ගොඩ නැඟෙන්නේ 1961 දී ය. ඒ ගුණදාස අමරසේකර ලියූ “යළි උපන්නෙමි” නවකතාවට ය. එකල ලේක්හවුසියෙන් ගැසූ නවයුගය සඟරාවට හික්කඩුවේ ශ්‍රී ලාල් ලියනගේ ප්‍රධාන සංස්කාරකවරයා කතුවැකියේ ශීර්ෂයට ලියන්නේ ‘යළි උපන්නෙමි’ රඟ පා බලමුද කියා ය. එතැනින් නොනැවතෙන මේ මතවාදය 1963 සැප්තැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ද යන්නේ ය. මේ ගැන බොහෝ වේගවත් හා දීර්ඝ කතාවක් කරමින් වැලිමඩ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ‍.එම්.පී. රාජරත්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයට කෙළින් ම ඇඟිල්ල දිගු කරන්නේ ය.

“මා කියා සිටින්නේ මේ රටේ බාල පරම්පරාව විනාශ මුඛයට හරවන කුණුහරුප පොත්පත්, අසභ්‍යවාදයේ අන්තිම කෙළවරට ගොස් තිබෙන පොත්පත්. මේවා බිහි කර තිබෙන්නේ සාමාන්‍ය පුද්ගලයින් නොවෙයි. මේ රටේ හැම තැනම උදන් අනන උසස් පීඨයන්ගෙන් උසස් ම විද්‍යා පීඨය හැටියට පෙන්නුම් කරන්ට හදන පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ සිංහල අංශය මඟිනුයි මේ කාර්ය කරගෙන යන්නේ. ඒ අංශයේ මහාචාර්යවරයෙක් ඉන්නවා එදිරිවීර සරච්චන්ද්‍ර කියා. ඒ මහත්තයාගේ ප්‍රධානත්වයෙන් සිරි ගුනසිංහ, ගුණදාස අමරසේකර යනාදී වශයෙන් සිටින ඒ මහත්මයාගේ ගෝල පිරිසයි ඕක කරන්නේ‘

මේ එකී කතාවේ සුළු කොටසක් පමණකි.

මේ වාදය පුවත්පත්වල දිගු කාලීන මතවාදී ගැටුමක් වෙන්නේ මෙකී පසුබිමේ ප්‍රතිඵලයක් ලෙසිනි.

මේ සංවාදයට පිළිතුරක් 1961 සැප්තැම්බර් 01 වැනිදා දිනමිණ පුවත්පතට ලියන ගුණදාස අමරසේකර අසභ්‍යවාදයේ උපත ගැන දීර්ඝ විස්තරයක් කර තිබිණි. එ් අනුව සභ්‍ය හෝ අසභ්‍ය යන්න සාහිත්‍යයේදී අපට ආගන්තුක වූවක් නොවන බව හේ සනිදර්ශිත ව දක්වා තිබිණි.

මේ පිළිබඳ මතවාදය කලින් කලට පැනෙන්නේ ඒ අනුව ය. අද ද ඒ ගැන අඩු වැඩි වශයෙන් කතා වෙනු පෙනේ. සභ්‍යත්වය හෝ අසභ්‍යත්වය ගැනත් ඒවායේ සාහිත්යික කියැවීම ගැනත් පැනෙන මතවාද එක් මණ්ඩපයකට ඒකරාශී කරන්නට අප පෙලඹුණේ, මෙකී ඉතිහාසයත් එයින් පැනුණු වර්තමානයත් ඔස්සේ මේ මතවාදයට නව අරුතක් සම්පාදනය කිරීමට ය.

සුජිත් අක්කරවත්ත දශක කිහිපයක් තිස්සේ අනවරත වෑයමක නිරත වෙන්නේ සම්භාව්‍ය සාහිත්‍යයේ රසමුසු හා ගැඹුරු තැන් පාඨක සමාජය වෙත තිළිණ කිරීමේ ආධ්‍යාශයෙනි. හේ ඒ වෙනුවෙන් විවිධ ග්‍රන්ථයික කාර්ය සේ ම සංවාද හා මැදිහත් වීම් ද කරන්නේ ය. මේ වාදයට සම්මුඛ වන අනෙක් සාහිත්‍යකරුවා කේ. කේ. සමන් කුමාර ය. හේ කාලයක් තිස්සේ විචාර ක්‍රමවේදවල වෙනසක් හා වෙනස් ආකාරයේ සාහිත්‍යයික කියැවීමක අවැසි බව වෙනුවෙන් කැපවෙන්නෙකි. සයිමන් නවගත්තේගම ගැන කේ. කේ. ගේ කියැවීම ලොව පුරා වන සාහිත්යික ප්‍රභේද ගැන අපට වෙනස් මානයක් ඉදිරිපත් කළේ ය; ඔහු ඒ වෙනුවෙන් පෙනී සිටියේ ය. ඒ නිසාම පොදු සදාචාරවාදී සමාජය ඔහුට විවිධ බලපෑම් හා ගල් මුල් එල්ල කළේ ය. එහෙත් ඒ කිසිවකින් ඔහු තම මතය වෙනස් කරගන්නට සිතුවේ නැත.

සභ්‍යත්වය හා අසභ්‍යත්වය ගැන සුජිත් අක්කරවත්තගේ කියැවීම මෙපරිදි ය. ඔහු සභ්‍යවාදය හෝ අසභ්‍යවාදය පිළිගන්නේ නැත.

‘මම සභ්‍යවාදය වගේම අසභ්‍යවාදයත් පුද්ගලිකව පිළිගන්නෙ නෑ. ඒක වැරදි මායිමක්. 50 දශකයේ අගභාගයේ බිහිවෙලා 70 දශකය වෙනකම් මේක කතිකාව බවට පත් වෙලා තිබුණා.

අපි ගත්තොතින් අපේ සාහිත්‍යයේ තිබුණෙ සභ්‍ය අසභ්‍යවාදයක් නොවෙයි. සභ්‍යවාදය ගණන් ගත්තෙත් නෑ, අසභ්‍යවාදය ගණන් ගත්තෙත් නෑ. අපි හිටියෙ මේවට ප්‍රතිවිරුද්ධ තැනක‘

කේ. කේ සමන් කුමාර ඒ පිළිබඳ දරන අදහස මේ වැනි ය.

මම ඇත්තට ම ගත්තොත් සමාජය බැලන්ස් කරන කෙනෙක් නොවෙයි. මම ඉන්නෙ අරාජික තැනක. මට සමාජය ඇත්තටම ඇති වැඩක් ම නෑ. ඇත්තට ම මම මේ ප්‍රශ්නෙදි ආන්තිකයි. ඒක එක්තරා විදියක ප්‍රතික්‍රියාවක්, විරෝධය දැක්වීමක්. මේ තියෙන වික්ටෝරියානු සංස්කෘතිය ගැන මගේ එළැඹුම කැත්තට පොල්ල වගේ එකක්. එ් නිසා මේ මතවාද ම පිස්සුවක්‘

කෑගල්ලේ උපදිසාපති ව සිට සාහිත්‍යයට ද නොමැකෙන නාමයක් එක් කළ ලීල් ගුණසේකර 1964 දී සරසවිය පුවත්පතට පවසා ඇත්තේ මනෝ විද්‍යාත්මක යැයි කියන පුද්ගලයකුගේ හැසිරීම විග්‍රහ කළ තාත්විකත්වයක් නිසා සභ්‍ය අසභ්‍යවාදය ද පැන නැඟුණු බව ය. කලබල වූ පාඨක ලෝකයා කළ ඒ උද්ඝෝෂණය සිංහල නවකතාවේ අනාගතයට බලපා ඇති බවක් ය.

සුජිත් අක්කරවත්ත සභ්‍ය අසභ්‍යවාදය පැමිණි ආකාරය මෙසේ පවසයි.

‘මම හිතන්නේ යුරෝපීය පුනරුද යුගයේ විශාල ආගමික ගැටුම්වලට මුහුණ දෙන්න වුණා. අපිට වගේ නෙවෙයි ඒ සමාජයට විශාල සටනක් කරන්න වුණා, අපි ලෞකිකත්වය කියලා හඳුනාගත්ත දේ ඒ අය අසභ්‍යයයි කියලා හැඳින්වුවා. ඒක සභ්‍ය කරගන්න ඒ අය ලොකු අරගලයක් කළා.ඒ අරගලයේ ප්‍රතිඵලයක් විදියට ගොඩනැඟුණා සර්වබලධාරී ආගමික මතවාද ඇතුළෙ ඊට ප්‍රතිවිරුද්ධ දේ. දැඩි ආගමික මතවාද නිසා මේ වැනි හැඟීම් ඒ සමාජයේ ඇතිවීම ස්වභාවිකයි. අදත් දැඩි ආන්තික ආගමික හිරහැරවලට ලක්වෙන්නේ යුරෝපයේ සාහිත්‍යකරුවන් මිසක් මෙහේ අය නොවෙයි‘

‘කේ. කේ. සමන් කුමාරගේ ආස්ථානය මෙවැන්නකි.

බටහිර ජීවන ශෛලීන් අපට එනවා නම්, ඒ බඩු භාණ්ඩ අපට එනවා නම් සාහිත්‍ය මතවාද ඒමත් සාමාන්‍යයයි. ඒනිසා මේ වැනි මතවාද ඒමත් සාමාන්‍ය දෙයක්. අමරසේකරගේ සාහිත්‍යය මොන විදියෙන් විවේචනය කළත්, අපිට ලංකාවේ නූතන සාහිත්‍යයෙන් ඒ කෑල්ල අයින් කරලා කතා කරන්න බෑනෙ. සමහරවිට අමරසේකර බිහි නොවුණා නම් සයිමන් බිහි නොවන්නත් තිබුණා. උදාහරණයක් විදියට පියදාස සිරිසේනගේ සාහිත්‍යයට මම විරුද්ධ වුණා කියලා පියදාස සිරිසේන වගේ චරිතයක් බිහි නොවෙන්න මම වගේ චරිතයක් බිහි නොවෙන්න තිබුණා කියන එක මම පිළිගන්න ඕන. ඉතිහාසය මකන්න බෑ. ඒකට ක්‍රෙඩිට් එක දෙනවද නැද්ද; ඒක වුණේ දැනුම්වත්ව ද නැතුව ද කියලා නැහැ ඒක සමස්ත සමාජ සංස්කෘතික විකාශනයක්‘

සුජිත් අක්කරවත්ත ලේඛකයා යම් චෝදනාවක් ඉදිරිපත් කරන්නේ විශ්වවිද්‍යාල පද්ධතියට ය. ඔහු පවසන ආකාරයට මේ විචාර ක්‍රමවේදවල ගැටලු නිසා ඇති වූවකි.

‘යුරෝපය හා ඉස්ලාමීය රටවල මුහුණ දෙන ප්‍රශ්න, විභේදන අපට එන්නෙ විශ්වවිද්‍යාල ඇතුළට මේ විචාර ක්‍රමවේද එන්න පටන් ගත්තට පස්සෙ. 1956 පැන නඟින ලංකාවේ ජාතික කතිකාව සම්පූර්ණ මුල්කාලීන ස්වදේශීය චින්තනයෙන් බැහැර එකක්. ඒක නිර්මාණය වෙන්නෙ වෙන අදහසකින්. ඒකත් මෙතනට ඇතුළත් වුණා.

මම දකින්නෙ කරුමක්කාරයෝ කෘතිය එනකොට පේරාදෙණි සාහිත්‍යයේ හැඩගැසුණු විසංවාදයේ ම ප්‍රතිඵලයක් ලංකාවෙ සමාජයෙන් එළියට එනවා. ඒ වෙනකොට ලංකාවේ ජාතිකවාදය කියලා එකක් ඇතිවෙලා තිබුණෙ. ඒක ලංකාවෙ ස්වභාවික ජාතිකවාදය නොවෙයි. ඒක ඇත්තටම විකෘති දෙයක්. ඒක ගැන වෙනම කතා කරන්න ඕන. හැමෝම කියන්නෙ 56 පුනරුදයක් කියලනේ. ඒක පුනරුදයක් කියන්න බෑ. 56 තිබුණු සමාජ දැක්ම යම් තැනකට පටු වුණා. ලංකාවෙ පැළ වුණේ ලෞකිකවාදය. සරසවි පද්ධතිය ඇතුළෙ සංස්කෘත සාහිත්‍ය හැදෑරුවේ නැති එකේ ඵලයයි මේ පෙනෙන්නේ. මේක හරියට ම තේරුම් ගත්තේ ජයසේන ජයකොඩියි, නවගත්තේගමයි. නවගත්තේගම අන්තිමට අසභ්‍යවාදයෙන් මුළු සමාජය ම නන්නත්තාර කරලනෙ ගියේ.‘

ඒ ගැන කේ. කේ. සමන් කුමාර පවසන අදහස මේ අදහස හා යම් සමානුපාතිත්වයක් දරයි. ඔහුගෙන් මේ මතු වූ ගැටලු අනුව පැනෙන ප්‍රශ්නය වෙන වික්ටෝරියානු සදාචාරයේ වන දැවැන්ත සෙවණැල්ල ගැන අප කළ විමසීමට ලැබුණු පිළිතුර මේ වැනි ය.

‘වික්ටෝරියානු කතෝලික පල්ලියේ සෙවණැල්ල තමයි ඒ එන්නේ. ඒක අපේ එකක් නොවෙයි. සභ්‍ය අසභ්‍ය කියන එකේ මූලයන්ට යමු. අපේ ජනනාට්‍යය, සොකරි, දහඅට සන්නිය වගේ ඒව ගත්තත් අනික් අතින් අපේ ජනකවි සාහිත්‍යය ගත්තත් ඒවා ඇතුළෙ කොච්චර ශුංගාරයක් තියෙනවාද? ඒවා යටපත් කරපු වික්ටෝරියානු සාහිත්‍යයට එරෙහිව ම තමයි ඒවා අමුවෙන් එන්නෙ. ඇත්තටම එදිනෙදා ජිවිතයේ විරෝධය දැක්වීමක් වශයෙන් කුණුහරුපයක් කියන අවස්ථා තියෙන්නෙ.

ඒවගේ අර පැත්ත දැඩි වෙන්න වෙන්න මේ පැත්තෙන් අනික් ප්‍රතික්‍රියාව වැඩි වෙනවා. ඒ වික්ටෝරියානු සදාචාරයට විරුද්ධව තමයි කොළඹ කවියෙත් විවිධ ප්‍රවණතා එන්නෙ. ශෘංගාරය, සෞන්දර්යය මර්දනය කරලා තිබුණු තැනක අනික් පැත්තෙන් සාහිත්‍යමය ශික්ෂණයක් හෝ සම්ප්‍රදාය කියන එක අහෝසි වෙලා යනවා; අධ්‍යාපනය හා ඒ වෙනකොට තිබුණු වෙළෙඳ සංස්කෘතිය ආදිය එක්ක. අර වගේ අමු ත්‍රාඩ ඒවා මතු වෙන්නෙ එහෙම‘

ලංකාවේ සභ්‍ය අසභ්‍යවාදය මතුවෙන්නටත් ඇවිස්සෙන්ටත් මූලික වූයේ ආචාර්ය ගුණදාස අමරසේකරගේ නිර්මාණ භාවිතය ය. ඒ පිළිබඳ සුජිත් අක්කරවත්ත ලේඛකයා සිය අදහස අප වෙත මෙසේ දැක්වූයේ ය. ඔහු පවසන්නේ අමරසේකර මුහුණ දුන් ගැටලුවට ජයසේන ජයකොඩි හෝ සයිමන් නවගත්තේගම මුහුණ නොදුන් බව ය.

අමරසේකරත් තමන්ගෙ කෘති ප්‍රතික්ෂේප කළා. ඒකෙන් තවදුරටත් තහවුරු කරනවා, ලිංගිකත්වය ගැන රාගය ගැන කතා කරන එක එයා බැහැර කළේ නෑ. ඒක අපේ විධික්‍රමය නෙවෙයි කියලා එයා තේරුම් ගත්තා.

මේක බොහොම ලස්සනට ජයගත්තෙ ජයසේන ජයකොඩි සහ සයිමන් නවගත්තේගම. නවගත්තේගමගේ මුල්කාලීන නවකතාවක් වෙන සුද්දිලාගේ කතාව පවා ඊට වඩා බෙහෙවින් ඉදිරිගාමියි. අසභ්‍ය කියලා කවුරුහරි රාමුවක් හැදුවා නම් මේවා ඒකට අයිති වුණෙත් නෑ.

නවගත්තේගමගෙ පහුකාලීන නිර්මාණ අසභ්‍ය යැයි කියන අයගේ කෝණයට දාලා බැලුවම උපරිම අසභ්‍යයයිනෙ.

මම දකින්නෙ යළි උපන්නෙමි කෘතිය එනකොට පේරාදෙණි සාහිත්‍යයේ හැඩගැසුණු විසංවාදයේ ම ප්‍රතිඵලයක් ලංකාවෙ සමාජයෙන් එළියට එනවා. ඒ වෙනකොට ලංකාවේ ජාතිකවාදය කියලා එකක් ඇතිවෙලා තිබුණෙ. ඒක ලංකාවෙ ස්වභාවික ජාතිකවාදය නොවෙයි. ඒක ඇත්තටම විකෘති දෙයක්. ඒක ගැන වෙනම කතා කරන්න ඕන. හැමෝම කියන්නෙ 56 පුනරුදයක් කියලනේ. ඒක පුනරුදයක් කියන්න බෑ. 56 තිබුණු සමාජ දැක්ම යම් තැනකට පටු වුණා. ලංකාවේ සාහිත්‍ය කතිකාවටත් අර නිර්මාණවාදී දේවවාදී හා තහංචිවලට මුල්වුණු ප්‍රශ්නෙ ම එනවා

ඊළඟ එක තමයි ලංකාවට ශෘංගාරය හඳුන්වා දෙන්න ගත්තු උත්සාහයක් විදියට සාකච්ඡා වෙච්ච පතපොතත් අපේ ලෞකික සාහිත්‍යයෙන් බැහැරට ගිය විදියටයි මම දකින්නෙ. හරියට ස්ථානගත වෙන්න බැරි වුණා‘

අමරසේකරගේ මැදිහත් වීමට බලපෑ මාර්ටින් වික්‍රමසිංහ සාධකය ගැන කේ. කේ. සමන් කුමාර දකින්නේ මේ ආකාරයෙනි.

‘මාර්ටින් වික්‍රමසිංහ විසින් ගෙනාපු සාහිත්‍ය අධිකාරයක් තිබුණානෙ. මමයි රජා වගේ හැඟීමක් මේ සාහිත්‍යකාරයන්ගෙ හිත ඇතුළෙ තිබුණනෙ. එදත් තිබුණා; අදත් තියෙනවා. අනික් අය තමන්ගෙ මතය මුළුමනින් ම පිළිගන්න ඕන වගේ එකක් මේ අයට තිබුණා. විශේෂයෙන් මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍ය කලාවේ කළ වර්ධනය ගැන කිසි ගැටලුවක් නැහැ. නමුත් අධිකාරියත් එහෙමයි. වික්‍රමසිංහ ඕල්කට් බුදු දහමට එරෙහි ව ගැමි සිංහල බුදු දහම ගෙනල්ලා ඒකෙ තියෙන නිර්මලත්වය, සංකීර්ණකම කතා කළා. ඒක ඉතා හොඳ කතිකාවක්.

හැබැයි එයා ඒක ඇතුළටත් ප්‍රක්ෂේපණය කරනවා වික්ටෝරියානු එළැඹීම. ඒක සියුම් විදියකට දකින්න පුළුවන් ගැමි සංස්කෘතිය ඇතුළෙ වික්‍රමසිංහ කියන දේවල්වලින්‘

මේ සියල්ල අතර ගුණදාස අමරසේකර සිය කෘති ගැන ස්ව පාපොච්ඡාරණයක් කරන්නේ ය. ඒ තමා ද ඒවා ප්‍රතික්ෂේප කරන බව පවසමිනි. කේ. කේ. සමන් කුමාරට අනුව ඒක තමා විසින් තමාගේ බෙල්ල දංගෙඩියට තබා ගැනීමක් වැනි ය.

‘අමරසේකර ගොදුරක් වෙනවා. තමන්ගෙ හතුරන්ට විවර වෙලා දංගෙඩියට බෙල්ල තියලා මෙන්න කපපන් කිව්වා වගේ එකක්. හතුරා එන්නෙ තමන්ගෙ ඇතුළෙන්. සතුරු බලවේගවලට තමන්ම ගොදුරක් වෙනවා. අපි නොසලකා හරින්න ඕන ඔහුගේ සාහිත්‍ය කෘති නොවෙයි අමරසේකරගේ පාපොච්ඡාරණය. එහෙම එකක් වුණේ නෑ කියලා එතැනින් එහාට මකලා දැම්මා නම් අමරසේකර ව ඉවරයි කියලයි මට හිතෙන්නෙ‘

සුජිත් අක්කරවත්ත ලේඛකයා අමරසේකර ආගමනය හා මේ මැදිහත් වීම ගැන මෙසේ පවසයි.

‘ලෝරන්ස්ගෙ චැටර්ලි ආර්යාවගේ පෙම්වතා නවකතාව අපි ගමුකො. එ් දෙස හෝ ඒ මාර්ගයේ ලියපු නවකතා මිසක් ලෞකික නවකතා අපේ නෑ. උදාහරණයක් විදියට බැද්දේගෙදර නවකතාව එහෙම අභියෝගයකට මුහුණ දුන්නෙ නෑනෙ. ජයසේන ජයකොඩි ඇත්තටම අතිශය සංකීර්ණ විෂයක් ඒ නවකතාවේ සාකච්ඡා කරන්නෙ. ඒක ඇත්තටම තුන් ඈඳුතු රාගාලයක් ගැන නවකතාවක් වගේනේ. ජයසේන ජයකොඩිගෙ කෘතිය අසභ්‍ය ගණයට ලක්වෙන්නේ නෑ. තහනමට ලක්වෙන්නෙත් නෑ‘

මේ සියල්ල ගැන කතාව එන්නට කලින් පැවතුණු රති සාහිත්‍යයේ පෘථූල බව ගැන කේ. කේ. සමන් කුමාර ලේඛකයා පවසන්නේ අවධාරණයෙනි.

‘ගජමන් නෝනාගෙ සාහිත්‍ය භාවිතය බටහිරින්වත්, ජපන් කාම කතාවලින්වත් ආව එකක් නොවෙයිනෙ. ඒක මාතර රති සාහිත්‍යය. එතැනින් එහාට ගියාම කව්සිළුමිණ, ජාතක පොත, සන්දේශ කාව්‍යය වගේ නිර්මාණවල මොනතරම් දේවල් තිියෙනවද? ජාතක කතා සහ විනය පිටකය ගත්තොත් ඒවායෙහි තියෙන සමහර දේවල් හිතා ගන්නත් බෑ. විපරීතයි.’

පැවතුණු ශුංගාරාත්මක සාහිත්‍ය ගැන වන පුරාතන ගද්‍ය පද්‍ය හැදෑරීම් පිළිබඳ වන අවධාරණයෙන් යුතු ව සුජිත් ලේඛකයා මේ පදනම ගැන මෙසේ පවසයි.

‘අසභ්‍ය කියලා සමහරු පසුකාලීනව හඳුනාගන්න සියල්ල අපේ සාහිත්‍යයේ ඊට කලින් තිබුණා. ජාතක පොතේ ඉඳන් ඊට එහා මෙහා තිබුණු සාහිත්‍ය කෘතිවල මේවා බහුලව තිබුණා.

ලංකාවේ ශෘංගාර සාහිත්‍යයට, රති සාහිත්‍යයට නායකත්වය දෙන්නෙ දඹදෙණියෙ ඉඳන් කෝට්ටේ යුගයට එනකම් ම ස්වාමීන් වහන්සේලා. තොටගමුවේ හාමුදුරුවො තමයි ලෞකික සාහිත්‍යයට නායකත්වය දෙන්නෙ. ලොව්තුරු ධාරාවට නායකත්වය දුන්නෙ වීදාගම හාමුදුරුවො.

ලංකාවෙ සභ්‍ය අසභ්‍ය කියලා සාහිත්‍යයක් නෑ. ඒක තනිකර ම මවාපෑමක් විතරයි. මොකද ලංකාව ලෞකිකත්වය පිළිගත්ත, කාමභෝගීබව පිළිගත්ත සමාජයක්. නිර්මාණවාදී දෙවියන්ගෙන් වියුක්ත සමාජයක්. එහෙම වුණා ම මිනිසුන්ට නිදහස ලැබෙනවා. උත්තරීත්තර නිදහස තියෙන්නෙ මිනිසුන්ට රාග නිදහස ලැබුණ ම. ඒ රාග නිදහස තමයි පසුකාලීනව ජාති නිදහස බවට පත්වෙන්නෙ. ජාතිය බිහිවෙන්නේ අවසාන වශයෙන් රාගයේ ප්‍රතිඵලයක් විදයටනේ. රාග නිදහස අපිට ඉබේම ලැබුණු දෙයක්. අපේ ලෝක වියමන ඇතුළෙ අපි හරිම නිදහස් චින්තනයක් සහිත පුද්ගලයන්‘

කේ. කේ. සමන් කුමාර කියන්නේ සාහිත්‍යයට සභ්‍යත්වයක් අවැසි ම නැති බවකි.

සාහිත්‍යයට සභ්‍යත්වයක් අවශ්‍ය ම නෑ. සභ්‍ය කරලා දෙන්න නම් මොකටද සාහිත්‍යයක්. ඒක ඒකට ඕන විදියට ගොඩනැඟෙන්න ඕන. ඒකට සභ්‍ය ද අසභ්‍ය ද කියලා දෙයක් වැඩක් නෑ. මේ මතවාදය පැනනැඟුණු කාලවකවානුව වන විට එනම් 1958 සිට 1960 දක්වා ප්‍රකාශිත සිංහල පොත් නාමාවලියේ ලිංගික පොත් යටතේ රාජ්‍ය ලේඛනාගාරයේ ලියා පදිංචි වී ඇති ග්‍රන්ථ සංඛ්‍යාව 17ක් බව වාර්තා වෙයි. ඉන්පසුත් තවත් බොහෝ පොත්පත් බිහිවිණි. ගැටලු ද මතු විණි. නඩු හබ ද පැනවිණි. සභ්‍ය අසභ්‍යවාදය ආගමික පසුබිමක් නිසා බිහි වූවක් බවත් නිදහස් චින්තනයක් හා ආගමක් ඇති ලංකාව වැනි රටකට එය වැදගත් නොවන බවත් මේ විචාරකයන් ගේ මතු කිරීමයි.

Comments