හෙළයේ මහා කවියා රැයිපියෙල් තෙන්නකෝන් | Page 2 | සිළුමිණ

හෙළයේ මහා කවියා රැයිපියෙල් තෙන්නකෝන්

සිංහල නවකතාව හා ජපන් කාමකතා හෙවණැල්ල කෘතියේ ලංකාවේ කවි සක්විත්තකු ගැන මහග ත්කරු මාර්ටින් වික්‍රමසිංහ සටහනක් තබයි. එය ඒ කවියා සම්බන්ධයෙන් වන මහරු වදනෙකි.

“හෙළ හවුලේ නායකයා වූයේ කුමාරතුංගයි. ඔහු උසස් නිර්මාණ සාහිත්‍යකාරයෙකි. විචාරකයකු ලෙස ඔහුට ළං නොවූ රැයිපියෙල් තෙන්නකෝන් පද්‍ය කවියකු වශයෙන් ඔහු ඉක්මවූවෙකි.”

කවිය නැමැති ඕඝය

ආපදාවෙකින් තොරව නොව සවියත් ව හා රසෝඝයෙන් යුතුව තරණය කිරීමටත්; ඒ හා සමානව එය පාඨක රසික දන මන රංජනය කිරීමට තරම් සුවියත් කිරීමටත් හැකි කවීහු සුලබ නොවෙති. කාව්‍යත්වය වාසනා ගුණයෙකි. ඒ වාසනා ගුණයෙන් හෙබි වූයේ ද, ඒ හා සමාන ව අධ්‍යයනයෙන් හා සතතාභ්‍යාසයෙන් යුතු වූ ද කවියකු ලෙස ජනාදරයට පාත්‍ර වූ කාව්‍ය සක්විති වන්නේ

රැයිපියෙල් තෙන්නකෝන් ය.

1954 වසරේදී ලංකාදීපය අපූරු තරගයක් ආරම්භ කරයි. ඒ ජාතියේ මහා කවියා තේරීමේ තරගයයි. ජාතික මහා කවියා බවට සුදුසු යැයි ඔබට හැ‍ඟෙන කවියකුගේ නම සඳහන් කර මේ තරගයට එවන මෙන් එකල ප්‍රධාන කර්තෘ ව සිටි ඩී. බී. ධනපාල හා නියෝජ්‍ය කර්තෘ මහානාම දිසානායක ජනතාවට ඇරයුම් කළහ. මේ තරගය පැවැත්වූයේ 1954 වර්ෂයේ සිංහල අවුරුද්දට ජාතියේ ඉතිහාසය කවියෙන් ලිවිය හැකි කවියකු තෝරා ගැනීමට ය. මේ තරගයෙන් මුල්තැන දිනාගත්තේ රැයිපියෙල් තෙන්නකෝන් කවියා ය. ඒ අනුව ඔහුට විජය කුමරු තම්මැන්නා වෙරළින් ලංකාවට පැමිණි දා සිට ශ්‍රීමත් ජෝන් කොතලාවල අගමැතිතුමාගේ කාලය තෙක් අපේ රටේ ඉතිහාස කතාව පද්‍ය 2500කින් ලිවීමේ අවස්ථාව හිමි විය. සිංහල වංශය නමින් ලියූ මේ කාව්‍යය සමන් ප්‍රකාශනයක් සේ පළ වූයේ 1956 දී ය.

තම්මැන්නා වෙරළ වර්ණනයෙන් රැයිපියෙල් කවියා සිංහල වංශයට ප්‍රවේශය ගනියි. ඒ ප්‍රවේශය පරිසර වර්ණනයකි. එහි ලංකා අසිරිය මැනවින් අන්තර්ගත ය.

සල් මල් කැන් නැ‍ඟෙන බැසැ බැස සුළං වැදී 
වැල් ගොල්ලෙන් සැදුණු වන හිස නුවන් අදී 
මල් වැල් වන් මුහුදු රළ දිවෙන බිඳි බිඳී 
දුල් වැල්ලෙන් වෙරළ පිරිසුදුවට අමදී

සිංහල වංශය අවසන් කරන්නේ පරිසර වර්ණනයෙන් නොව දේශපාලනය විසින් ඇති කරන ලද සමාජ තත්ත්වයක් විසින් නිර්මිත සමාජ ගැටලුවක් පිළිබඳ සවිඥානිකත්වයෙනි. නිර්මාණකරුවා එවැන්නෙකි. ඔහු තමන් ජීවත් වෙන සමාජයේ ඇති ගැටලුවලින් පීඩනයට පත් වෙන්නේ ය. පෙරළා ඒවා සමාජ සවිඥානිකත්වය වෙනුවෙන් ලියා තබන්නේ ය.

නිදහස සමඟ නැති වී ගිය ඇමැ යළිදු 
එ-ලැබුණු විගසැ පතමින් සත නැගැ එතුදු 
කිසිවක් තවමැ උන් රිසි සේ නොවී සිදු 
විසැ‍ඳෙනු එ-ඇම නැණ පමණිනි අගමැතිඳු

සිය සමාජ වගකීම කෙරෙහි හේ බෙහෙවින් දැනුම්වත් ය. කවියා ජනතාවගෙන් ඔබ්බෙහි සිට කුරුලු ඇසින් බලන්නකු පමණක් නොවී එකී ගැටලුවලට සක්‍රිය ව එකතු වෙන්නේ කෙසේ දැයි යන්නට හේ නිරදර්ශිත කවියෙකි. තමා ආදරයෙන් ඇති කරන කුකුළෙක් හොරකම් කරනු ලැබූ හොරකු ගැන කාන්තාවකගේ මනෝභාව ඉතාමත් අව්‍යාජ ලෙස සටහන් කරන කුකුළු හැවිල්ල බොහෝ රසිකයන් අතර ජනප්‍රිය වූවකි. ග්‍රාමීය මට්ටමේදී මෙවැනි හොරකම් සිදු වු විට සිදුවන ක්‍රියාදාමය එහිදී වඩාත් සිතට දැනවෙන සේ නිමවන්නට කවියා සමත් වෙයි. සාප කිරීම්, දෙස්දෙවොල් ලාංකේය ගැමි සමාජයට ආගන්තුක ඒවා නොවේ. හෙළ බසෙන් පෝෂිත බස් වහරක් එනම් නුමුසු සිංහල භාවිතයක් උපයෝගී කරගනිමින් ඇ කාරය පද්‍ය පුරා ඒකාත්මික හා ශබ්ද රසය ජනනය වෙන අයුරෙන් කවියා එහි යොදා ඇත්තේ හෙළ හවුලෙන් ලද පෝෂණයෙන් යුතු ව ය. 

දුදනො’ද බිඳ 
ලද තෙද කඳ 
කඳ දෙව් රද 
සාමිනේ

මගෙ කුකුළා නැසූ එකා 
දදය ඔබගෙ පාළු යකා 
තව එක බුද දිනක් තකා 
ඉන්නට ඉඩ නොදී මකා 
බලා එල්ල 
හෙළුව හෙල්ල 
මුලැ මැ බෙල්ල 
මරු තැනේ

කතරගම දෙවියන් ගැන වන භක්තියෙන් හා විශ්වාසයෙන් ඔද වැඩෙන රැයිපියෙල් කවියා පතන්නේ සොරාගේ මරණය ය. දේව භක්තිය පිළිබඳ උපහාසයකින් යුතුව බලන ඔහු දෙවියන් කරන්නේ ද ගනුදෙනුවක් බව නොකියා කියන්නේ ය.

මට කළ මෙ-විපත අනේ 
බලා ගන්නැ දෙවියනේ 
වැජැඹෙන නා මෙ-විමනේ 
බලන්නැ නා සාමිනේ

මේ කවි පන්තිය ආශ්‍රයෙන් සුනිල් ශාන්තයන් විසින් සංගීතවත් කර ගායනා කරන ගීතය ජනමන හද බැඳ ගත්තක් විණි. 1966 වසරේදී මහගමසේකර විසින් කරනු ලැබූ දේශනයකදී ඒ පිළිබඳ වඩාත් සාරගර්භ සටහනක් ඉදිරිපත් කර තිබිණි.

“දුදනොද බිඳ - ලද තෙද කඳ - කඳ දෙවිරද’ කියන පදයේ ‘ද’ කාරයෙන් යොදා ඇති අනුප‍්‍රාසයත් ගුරු අකුරු නොමැති වීමත් නිසා කතරගම දෙවියන්ගේ තේජස ගැන හැඟීමක් ඇති කිරීමට ඒ පදය සමර්ථයි. ‘සාමිනේ - මරු තැනේ - දෙවියනේ’ යන වචනවලින් අපේ සිත්වල මැවෙන්නේ දෑත් ඔසවා ගෙන මහ හඬින් විලාප දෙන ගැහැනියකගේ රූපයකි. ඇගේ සිතේ ඇති කෝපය ‘එකා - මකා’ යන යෙදුම්වලින් පෙනෙයි. ‘බලා එල්ල - හෙලූව හෙල්ල - මුලම බෙල්ල’ යන වදන්වලින් ධ්වනිත වන්නේ සොරාගෙන් පළිගැනීමට ඈ තුළ ඇති බලවත් අධිෂ්ඨානයයි.”

රෞද්‍ර රසය, භයංකර රසය මෙන් ම හාස්‍ය රසය ද එකසේ කලතන්නට කවියාට ශක්තිමත් පදනමක් උත්පාදනය කරන්නේ ඔහුගේ භාෂාත්මක පරිචය ය. සාම්ප්‍රදායිකත්වයට සේ ම ඇදහීම්වලට ද හේ තියුණු උපහාසයකින් යුතු ව සියුම් ලෙස පහර ගසන්නේ අපූරු කවිත්වයකිනි.

රැයිපියෙල් තෙන්නකෝන් කවියාගේ නිසර්ග කවිත්වයට මං පෑදූ ආලෝකය කුමාරතුංග මුනිදාසයන්ගේ ඇසුර ය. ඔහුගේ භාෂාව සේ ම චින්තනය ද එළි පෙහෙළි වීමේ ලා පදනම වැටෙන්නේ එනයිනි. ඉතිහාසය කෙරෙහි ආශක්ත ව සිටි රැපියෙල්ගේ භාෂා ප්‍රේමය දල්වාලන්නේ කුමරතුඟු චින්තනය විසිනි. භාෂා කිහිපයක් හැදෑරීමෙන් හා භාවිතයෙන් සන්නද්ධ ව සිටි රැයිපියෙල් කවියාට සිංහල භාෂාවෙහි ගද්‍ය පද්‍ය ඉතිහාසය හැදෑරීමේ ආශාව දැල්වෙනුයේ ඒ අනුව ය. ඉංග්‍රීසි, ග්‍රීක, ලතින්, හීබ්රූ සහ ජර්මන් ආදී භාෂා ගැන පරිචයකින් යුතු හේ ඒ අනුව සිංහල බසට පෙම් බඳින්නට පටන් ගන්නේ ය. පද්‍ය කාව්‍යකරණය කෙරෙහි ඔහුගේ ඇල්ම වඩාලන්නේ ද කුමරතුඟුවන් විසිනි. සිංහල පද්‍ය සාහිත්‍යය වෙනම තලයක ලා පිහිටු වූ වවුලුව පද්‍ය පන්සිය පනස් හතකින් යුතු කාව්‍යයකි. සංවාද ස්වරූපයෙන් රචනා කර ඇති වවුලුවෙන් කියැවුණේ කැවිඩියක හා වවුලකු අතර කතාවකි. මේ කාව්‍යයට පෙරවදනක් ලියන කුමාරතුංග මුනිදාස පවසන්නේ මෙවැන්නකි.

“සාහිත්‍ය පක්ෂයෙන් ඒ ඒ අවුරුද්දෙහි උසස් මැ සේවාව ලෝකයට කළහුට නෝබල් නම් මහාර්ඝ ත්‍යාගයෙක් වේ. ඉදින් ඉංග්‍රීසියෙන් හෝ අන් කිසි උසස් යෞරෝපීය භාෂාවෙකින් හෝ කැරිණි නම් ඒකාන්තයෙන්මැ මේ අවුරුද්දේ ඒ ත්‍යාගය වවුලුකරුවාණන් සොයාගෙනැ එන්නේ යැ.”

ඔහු එතරම් ම වවුලුව කාව්‍යය ගැන උනන්දු විණි. එනිසා ම රැයිපියෙල් තෙන්නකෝන් කවියා වරක් කියූයේ තමන් පද්‍ය කාව්‍යය කෙරෙහි වැඩියෙන් ආසක්ත වෙන්නට හේතුවක් වූයේ තමන්ගේ පද්‍ය කවක් රස විඳින්නට රැගෙන එනතෙක් මඟ බලා සිටින කුමරතුඟුවන් නිසා බවකි.

කාව්‍යකරණයෙහි රැයිපියෙල් ගමන් මඟ ඔහුට ම අනන්‍ය වූවකි. තමන්ට අනන්‍ය වූ භාෂා රටාවක් හේ ගොඩනඟා ගත්තේ ය. ඔහුගේ ස්වාධීන රීතිය සම්මත භාෂා විලාසය ඉක්මවන්නක් වීය. එහෙත් අබැටකිනිදු භාෂාවට හානියක් නොකරන්ට හේ අතිශය පරෙස්සම් විය. ගැඹුරු කාව්‍යෝක්තිවලින් යුතු එකී නිර්මාණ ආඛ්‍යානය බොහෝ දුරට උපලක්ෂිත වූයේ කවි කතා ලෙසිනි. මේ බොහෝ කාව්‍ය ඔහුගේ පරිකල්පනයේ නිර්මිත කතා ය. විසල් පරිකල්පන ශක්තියකින් හෙඹි ඔහු කාව්‍ය ඇතුළෙහි පවා අතුරු කාව්‍යවලට යන්නේ තමන්ට කිව යුතුව ඇති දෑ වඩාත් හොඳට කීම වෙනුවෙනි. අර්ථය රැක ගනිමින් ඒ අර්ථය වෙනුවෙන් සිය භාෂා ප්‍රාගුණ්‍ය නිසි පරිදි සුලලිත ව යෙදූ හේ භාෂාව තමන්ට අවැසි පරිදි මෙහෙයවා ගැන්මේ ලා පරිචයක් දැක්වූ කවියෙකි.

සිය ඉතිහාස ඥානය ද, ලෝකය හා  
බස්වහර සම්බන්ධ ඥානය ද කවියකු 
වශයෙන් ඔහු බෙහෙවින් සිය නිර්මාණ 
කෙරේ යොදා ගත්තේය.

සම්භාව්‍ය භාෂා රීතියට අනුකූල වුව ද හේ නිර්මාණකරණයේදී භාවිත කළේ අනන්‍ය සාධාරණ බසකි. ප්‍රායෝගික ව ගී විරිත යොදා ගැන්මෙහි ලා ඔහු වෙසෙස් බුහුටි බවක් දැරීය. ගැමි ගීවලින් නඟාගත් විරිත් ඇසුරෙන් නව විරිත් මැවූ ඔහු ගැමි බස් වහර මෙන්ම ගැමි සිරිත් විරිත් ද සිය කාව්‍ය සඳහා යොදා ගත්තේ ය. තමාගේ ම ශෛලියකට අනුව නිර්මාණකරණයේ යෙදුණු ඔහුගේ නිර්මාණ පෙරදිග හෝ අපරදිග විචාර රීති අනුව මැනිය හැක්කක් නොවේ. ඔහුගේ කාව්‍ය හුදු අලංකරණය ඉක්මවා ගිය සමාජ මෙහෙයක් ඉටු කළ ඒවා වේ.

රැයිපියෙල් තෙන්නකෝන් සමකාලීන සමාජයෙහි වන බොරු මවා පෑම්වලට පහර දුන්නේ ස්වකීය තියුණු කවීත්වයෙනි. ඔහු උපහාසය සිය කාව්‍ය සඳහා ගුරු කර ගත්තේ ය. හාස්‍ය මිස අන්‍යයන් හෙළා දකින අපහාසය එහි නොවීය. ගුරුවරයකු වශයෙන් සිය ශිෂ්‍ය පරම්පරාවට හේ මඟ පෙන්වූ ගුරු නාමය බබළවන්නෙක් විය. පතළ දේශකයෙක් ලෙස ද ඔහු බුහුමනට ලක්වේ.

රැයිපියෙල් තෙන්නකෝන් නිර්මාණ අස්වැන්න අනල්ප ය. එය මෙරට කාව්‍ය පෝෂණයේ ලා බෙහෙවින් ඉවහල් විණි. 50 දශකය ඔහුගේ පද්‍යකරණයේ ස්වර්ණමය අවදියකි. ඔහුගේ කාව්‍ය විශාල ප්‍රමාණයක් මුද්‍රණයෙන් නිකුත් වූයේ ඒ අවදියේ ය. අනුරාධපුර බැසීම හා වැටීම, යටගිය දවස, පින්දීම, රුප්පේ අන්දරය, මුළුතැනැ අන්දරය, තොටු අන්දරය, බැතිමත, ගමායනය, මහ මෙත් බවුන, සක් පුබුදුව, කුවේණී වත, අමුණ, පස් මං දොරැ අන්දරය, පරංගි සමය, සිංහල වංසය හා වළලල්ලාවිටිගලු වැනුම ඒ අතර වෙති.

කාව්‍යකරණයට සේම ඔහු ඉතිහාස ග්‍රන්ථකරණයට බෙහෙවින් පෙළඹවීමක් ඇතිව සිටියේ ය. සිංහල වංශය මෙන්ම පරංගි සමය ද, අනුරපුර පිරිහීම ද එකී ආසක්ත බවට උදාහරණ වෙති. විශේෂයෙන් ලංකා සිංහල වංශය ඉතිහාස කාව්‍යය බෙහෙවින් ඇගැයුමට පාත්‍ර වූ විසෙස් කෘතියකි. විෂයය ගණනක පතළ දැනුමැති රැයිපියෙල් තෙන්නකෝන් සම්භාව්‍ය සිංහලල විචාර ග්‍රන්ථකරණයෙහි ද නිමග්න විය. අපේ කව් කෘතිය ඊට උදාහරණයකි. සන්දේශාවලිය අළලා පිටු දහසදු ඉක්ම වූ අපේ පැරණි අසුන් කව් නමින් ලියූ ග්‍රන්ථය බොහෝ විචාරයකයන්ගේ ප්‍රසංශාවට ලක් වූවකි. පුරාණ සම්භාව්‍ය ග්‍රන්ථ රාශියක් විස්තර විවේචන සහිත ව හේ පළ කළේ අනාගත පරම්පරාව උදෙසා ය. එළු අත්තනගලු වංශය, කෝකිල සන්දේශය, ගිරා සන්දේශය, සැවුල් සන්දේශය හා සිදත් සඟරාව එසේ සකස් කරන ලද පුරාතන සම්භාව්‍ය කෘති වෙති. එය පුරාතන සාහිත්‍යයට කරන ලද මහඟු මෙහෙවරකි. පද්‍යකරණය සේම ගද්‍යකරණය ද ඔහුට මඟ හැරුණේ නැත. බස්පාර, කවුඩුව, ගිය කල ආදිය ඊට නිදසුන් වෙති.

කුමරතුඟු මඟ ආසාවෙන් හා චින්තනමය බරකින් ගමන් කළ හේ හෙළ හවුලේ නයු පදවියට පත් වෙන්නේ 1949 දී ය. ජයන්ත වීරසේකරගේ අභාවයෙන් පසු එකී පදවියට පත්වෙන ඔහු 1965 දී දිවියෙන් සමුගන්නා තෙක් ම එකී ධූරය හෙබවූහ.

සිංහල කාව්‍යකරණය පිළිබඳ කතා කරන අවධානය යොමු කරන ඕනෑම විටකදී රැයිපියෙල් තෙන්නකෝන් නාමය මතකයට ඒම වැළැක්විය නොහේ. කාව්‍ය හෝ සාහිත්‍ය නිර්මාණ කරන්නට හැමෝට ම බැරි බව කියන්නේ අලගියවන්න මුකවෙටි ය. ඔහු එය ගොනු කරන්නේ ද කවියකට ය.

කිවි පද බැඳුම් ගුණ දොස් කිවිදුන් ම මිස 
නැණ මඳ කුකවි දැන ගත හැකි කවර ලෙස

පුරාණ ඉන්දියාවේ ද කාව්‍යකරණය කෙතරම් අසිරු කාර්යයක් ද කවියා කෙතරම් විශේෂිත පුද්ගලයකු ද යන්න ගැන මේ වැනි ශ්ලෝකයක් තිබේ.

ශතේෂු ජායතේ ශූරඃ 
සහස්‍රේෂු ච පණ්ඩිතඃ 
වක්තා ශතසහස්‍රේෂු 
කවිස්තත්‍ර සුදුර්ලභඃ

මෙහි සිංහල තේරුම විමසූ කල රැයිපියෙල් තෙන්නකෝන් කවියාට එය කෙතෙක් ගැළපේ ද යන්න ඔබට ම තේරෙනු නොඅනුමාන ය.

ශූරයකු උපදින්නේ සිය ගණනකට එකෙකි. පණ්ඩිතයකු උපදින්නේ දහස් ගණනකට එකෙකි. කථිකයකු උපදින්නේ ලක්ෂ ගණනකට එකෙකි. කවියකු ඉපදීම නම් ඊටත් වඩා දුර්ලභ ය.

Comments