විශ්ව සාහිත්‍යය ඇතැඹුලක් සේ අපට රැගෙන ආ අමරණීය පරිවර්තකයා | Page 2 | සිළුමිණ

විශ්ව සාහිත්‍යය ඇතැඹුලක් සේ අපට රැගෙන ආ අමරණීය පරිවර්තකයා

 

මනුෂ්‍ය වර්ගයාගේ සිතිවිලි අතැඹුලක් සේ කියවා ගත් ලේඛකයකුගේ දිනපොතක තිබුණු වැකියක් මට කියවන්නට ලැබිණි. ඒ පුද්ගලයා ඔබට මට වඩා බෙහෙවින් වෙනස් ය. මේ ලෝකය ගැන ඔහුගේ කියවීම අබියස අපි කුහුඹුවන් වැනි ‍වෙමු. එහෙත් කොතරම් පෘථුල ලෙස සිතුවත්, ලියුවත්, කතා කළත් හෘදය සාක්ෂියේ හඬ ගෑම අබියස මේ සියල්ලෝම නොදරුවෝ ය.

“ලියෝ තෝල්ස්තෝයි, නුඹ ජීවත් වන්නේ නුඹේ ධර්මයට අනුවද?

නැත. මට ලජ්ජාව දරා ගැනීමට බැරි ය. මම වැරදි කාරයෙක්මි. මම ගර්හාවට ලක් විය යුතු මිනිසෙක්මි.”

‘හතර රියන’ ඔස්සේ මුළු මහත් මනුෂ්‍ය සංහතියම කියැවූ යුද්ධය හා සාමය ඔස්සේ අප සැමගේ යටි සිතේ ඝට්ටනය මනාව විවරණය කළ මහ ගත්කරු ලියෝ තෝල්ස්තෝයිගේ දිනපොතේ එසේ සටහන්ව තිබීම ම සිතට අදහාගත නොහැකි විණි. ඒ සටහන් කියවන්නට පාර කැපෙන්නේ රුසියන් සාහිත්‍ය මාවත විවර කළ අපූරු පරිවර්තකයකු නිසා ය. හේ නමින් කළුබෝවිල සිරිල් සී. පෙරේරා ය. රුසියාවේ පාරක් පාරක් ගානේ මනෝමයෙන් කරක් ගසන්නට මඟ විවර කළ පරිවර්තකයන් අතර සිරිල් සී. පෙරේරාට ද හිමි වන්නේ සුවිශේෂී ස්ථානයකි. පරිවර්තන සාහිත්‍යයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙක් ලෙස ඔහු ලාංකේය පාඨක ප්‍රජාව අතර ප්‍රශංසාවට ලක් වූයේ ය. ඔහු අද්‍යතනයෙහි මෙන් සන්නිවේදන මාධ්‍යවල ප්‍රගමනය ඔස්සේ විශ්වය මෙතරම් සමීප නොවුණු සමයක හා අතේ ඇඟිලි ගණනට අල්ප වූ විශ්ව සාහිත්‍ය කෘති සිංහලට නැඟුණු යුගයක ලෝක සාහිත්‍ය රසෝඝයේ උල්පත් පාදා දෙමින් අනුවාද සාහිත්‍යයට පිවිසුණේ ය.

හෙක්ටයාර් දහස් ගණනක ඉඩකඩම් තම දරුවන්ටවත් පවරා නොදී ගොවි ජනතාවටත්, ප්‍රවේණි දාසයන්ටත් බෙදා දීමට මේ මහා ගත් කතුවරයා ගත් තීරණයේ විසල් මානව හිතවාදීත්වය අප තිගස්සන සුලු ය. තොල්ස්තෝයිගේ කෘතිවල නිරූපිත ජීවිතයේ ප්‍රතිවිරෝධතා තත්කාලීන සමාජයේ ම ඇති වූ ප්‍රතිවිරෝධතා වෙතැයි ලෙනින් ප්‍රකාශ කර ඇත්තේ ඒ නිසා විය යුතුය. ඒ මුල් කෘතියේ රස නුසුන් නොකොට අපට දුන් පරිවර්තක සිරිල් සී. පෙරේරා ලාංකේය පරිවර්තන සාහිත්‍යයේ නොමැකෙන නාමයක් ව දිදුලන්නේ ය.

මේ අපූරු ලේඛකයාගේ දිනපොතට එබී බැලීමෙන් පසු ඔහුගේ නිර්මාණ ගැන අලුතින් සිතන්න මාවතක් විවර විණි. ඒ හැම නිර්මාණයක ම ඇත්තේ හද කකියවන මිනිස් සන්තානයේ පුපුරු ගසන වේදනාබරිත සංවේදනා ය. සංකීර්ණත්වය යටි පෙළේ බහා ඔහු විසින් නිර්මාණය කළ මනුෂ්‍යත්වය අපූර්ව විය; අසමසම විය; සුන්දර විය. ඒවා සැබෑ අරුතින් ම අපේ ම කතා වූයේය.

තොල්ස්තොයි ගැන කතා කරන්නට, කරන්නට ඔහු කියැවූ ඔබේ මගේ ජීවිත ගැන මතයට ඒම වැළැක්විය ‍නොහේ. කළුබෝවිල සිරිල් සී. පෙරේරා, අපේ ජ්‍යෙෂ්ඨ පරිවර්තකයා තොල්ස්තෝයි කියවා ගැන්මට හොඳ ම පාර අපට පෙන්වන්නේ යුද්ධය හා සාමය පරිවර්තනය කරමිනි. ඒ සා මහා ග්‍රන්ථයක් ලියන්නට තොල්ස්තෝයි කොතරම් විසල් චින්තනයක් සහිත ලේඛකයකු වන්නට ඇත් ද? යුද්ධයේ විශාලත්වයත් කාලයේ අල්පත්වයත් එක්තැන් කර නිමැවූ මේ සාහිත්‍ය ගංගාවේ සිහිල් පැන් රිසි සේ විඳින්නට නම් නිවි සැනහිල්ලේ ඉවසිලිවන්ව එය කියැවිය යුතුය.

මේ මහා නවකතාවෙන් තොල්ස්තෝයි ලියා දක්වන්නේ නැපෝලියන් බොනපාට්ගේ රුසියානු ආක්‍රමණය පිළිබඳ කතා පුවත ය. ඒ කතාව විවරණය කරන්න ඔහු රුසියාවේ රාජකීය හා රදල පවුල් හතරක තොරතුරු විශ්ලේෂණය කරයි. ඒ ඔවුන්ගේ කතාව වුවද ඇන්ඩ්‍රි වොල්කොන්ස්කි හා පියෙරි ඔස්සේ තොල්ස්තෝයි කියන්නේ වර්තමාන කතාව වැනිම කතාවකි. මේ සියල්ලේ චරිත පමණක් වෙනස් වී අනෙක් සියල්ල සමාන වෙයි. ඒවා අපේ කතාව ද කියන්නට පටන් ගනී. ලෝකයේ හැටි එහෙම ය. ඕනෑ ම දෙයක් වන ස්වරූපය මිස අන් කිසිවක් වෙනස් වන්නේ නැත. ක්‍රියාව එක ම ය; විඳින්නේ එක ලෙස ය; එන වේශය පමණක් වෙනස් වේ.

මේ සියල්ල අපට අපේ කතාවක් සේ සමීප කරන පරිවර්තකයා සිරිල් සී ය. සෝවියට් සාහිත්‍ය කෘති මෙරටට සමීප කිරීමේ ලා ප්‍රමුඛතම කාර්යයක් කරන ඔහු හුදෙක් පදානුගත පරිවර්තකයෙක් නොවී ය. තමා පරිවර්තනය කරන කෘතියට අදාළ පසුබිම් පරිසරය පිළිබඳ බෙහෙවින් සවිඥානික හේ ඒ පිළිබඳ පාඨක අපද ඥාණනය කරන්නේ දීර්ඝ පෙරවදන් ඔස්සේ ය. යුද්ධය හා සාමය කෘතිය පරිවර්තනය කරද්දි ලියෝ තෝල්ස්තෝයිගේ යස්යානා පොල්යානාහි නිවෙස පිහිටි ස්ථානයට ගොස් එහි ලැබූ අත්දැකීම් පාඨක අපට පෙරවදන ඔස්සේ කියන්නේ පරිවර්තනය පිළිබඳ විශ්වාසයක් ගොඩනඟමිනි. කෘති කියවා රස විඳීමෙන් ඔබ්බට යන ඔහු ඒ පිළිබඳ හදාරා යටි අරුත් හා පෙළ පිළිබඳ අවබෝධයෙන් යුතුව පරිවර්තනයේ නිරත වීය. මුල් කෘතියට හානියක් නොවන සේ කලාත්මක, ව්‍යාකරණානුකූල හා සුදුසු බසක් යෙදීමේ ලා හේ ප්‍රවීණයකු විය. කර්මසෝ සහෝදරයෝ, ඇනා කැරනිනා, පෙරළු නැවුම් පස, මළ මිනිස්සු, එමා බොවාරි වැනි විශ්ව සාහිත්‍යයේ සම්භාවනාවට පත් දැවැන්ත කෘති රාශියක් සිංහලයට පරිවර්තනය කරන්නේ සිරිල් සී ය. 50 දශකයේ ආරම්භ කරන ඔහුගේ පරිවර්තන කාර්යය දශක හතක් තිස්සේ ඒකභාෂික පාඨකයාට ආනන්දයක් ගෙන ආවේය.

සිරිල් සී. පරිවර්තන කාර්යයේ නිරත වෙන්නේ සිය හදවතේ නැඟෙන ආශ්වාදයෙන් යුතු ව ය. හේ සිය කාර්යයෙන් තුටු වූ පරිවර්තකයෙකි; තමන් කරන කාර්යය කෙරෙහි අවංක ආශාවකින් යුතු වූවෙකි. ස්වකීය පරිවර්තනයට අවංක වෙන ඔහු ඒ පිළිබඳ ව බොහෝ තොරතුරු ඒකරාශී කරන්නේ ස්වතන්ත්‍ර නිර්මාණකරුවකු තරමට ම පරිශ්‍රමයෙනි. ගුස්ටාව් ෆ්ලෝබෙයාර්ගේ එමා බෝවාරි පරිවර්තනයේ පෙරවදනෙහි ඔහුගේ පරිවර්තන පිළිබඳ දැක්ම සටහන් කර ඇත්තේ මෙසේ ය.

“විදේශික නවකතාවක සිංහල පරිවර්තනය, විදේශික කතාවක් වස්තු කොට සිංහල බසින් රචිත නවකතාවක ස්වරූපය ගත යුතු යැයි සිතමි. පැරණි සිංහල ගද්‍ය සාහිත්‍යයෙහි ඇතැම් පරිවර්තන කෘති මීට හොඳ නිදසුනකි. එවන් පරිවර්තනයක් කිරීමට පරිවර්තකයා තුළ නිර්මාණ ශක්තිය පමණක් නොව උසස් පරිකල්පන ශක්තියක් සමඟ ස්වාධීනත්වයක්ද තිබිය යුතුය. මුල් කෘතියට වහල් වී එය වචනයෙන් වචනය, පදයෙන් පදය, වැකියෙන් වැකිය පරිවර්තනය කිරීමෙන් සාර්ථක පරිවර්තනයක් කළ නොහැකිය. පරිවර්තනය තම බසින් කරන ලද නව නිර්මාණයක් විය යුතුය. තම මවු බස තරම් තම හදවතට ළං වන, කනට මිහිරි, රස වඩවන, හැඟීම් පුබුදු කරවන වෙනත් බසක් නැත. පරිවර්තනය වනාහි, අන් බසකින් කියන කතාවක් තම මවු බසින් තම පාඨකයන්ට කීමය. එහෙයින් දක්ෂ පරිවර්තකයකු විසින් කරන ලද පරිවර්තනය ඇතැම් විට මුල් කෘතියට වඩා රසවත් විය හැකිය.''

බොහෝ පරිවර්තකයෝ පරිවර්තන කාර්යය සම්බන්ධ විවිධ ආස්ථානවල සිටිති. සමහරු ඡේද පිටින් අතහරිති. තවත් සමහරු සිංහල පාඨකයන්ට නුහුරු දෑ ඉවත් කරති. තවත් සමහරු පදයෙන් පදය සිංහලට නඟති. සිංහල පරිසරයට උචිත ලෙස සකස් කරන පරිවර්තන ද වෙති. මේ කිසිවක් විශිෂ්ට පරිවර්තකයකුගේ ලක්ෂණ නොවේ. සිරිල් සී. මේ කිසිදු කුලකයකට අයත් වූ පරිවර්තකයෙක් නොවේ. ඔහු සිය කාර්යයට හැකි උපරිමයටත් එහා ගිය කැපවීමකින් හා සාධාරණයක් ඉටු කිරීමේ පිපාසාවෙන් යුතු වූවෙකි.

අර්නස්ට් හෙමින්ග්වේ ලියූ ලෝක ප්‍රකට The Old Man and the Sea කෘතිය ලංකාවේ පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය ය. මිනිසා විනාශ කළ හැකි වුවත් පරාජය කළ නොහැකියි යන මතය වැටෙන හැම තැනකදී ම ආප්තෝපදේශයක් සේ සැමට සිහි ගැන්වෙන්නේ ය. එය ඒ තරමට සමීප වෙන්නට සිරිල් සීගේ පර්වර්තන සුඛනම්‍ය බව බලපාන්නට ඇත. මුල් ලේඛකයාගේ භාෂාවේ අනන්‍යතාව රැකෙන පරිදිත් එය ලාංකේය පාඨකයන්ට සමීප අයුරිනුත් ගොඩනඟන්නට ඔහු ගත් වෙහෙස එහි පෙරවදනෙහි මෙසේ සඳහන් වෙන්නේ ය.

“මෙම නවකතාව සිංහල බසට නැඟීමේදී මම හැකි තරම් දුරට ධීවරයන් මුහුදේ පාවිච්චි කරන බස යොදා ගැනීමට වෑයම් කෙළෙමි. එහෙත් ලංකාවේ මුහුදුබඩ පෙදෙස්වල වෙසෙන ධීවරයෝ එකිනෙකට වෙනස් වචන පාවිච්චි කරති. බලපිටිය පෙදෙස් ධීවරයන් පිළිබඳ තොරතුරු සමඟ අවශ්‍ය වචන මට සපයා දුන්නේ මගේ මිත්‍රයකු වන බලපිටියේ ඩබ්ලිව්. ජෝ. සිල්වා මහතා විසිනි. මා සමඟ එකම කාර්යාලයෙහි සේවය කරන සිල්වා මහතා අවශ්‍ය අත්දැකීම් ලබාගැනීම පිණිස මුහුදු යාමටද මට ආරාධනා කළේය. එකල දිවයිනේ පැවති දේශපාලන නොසන්සුන්කම නිසා අපට ඒ ගමන යා නොහැකි විය. මෙයින් සිදු වූයේ මීට විසි වසරකට පමණ පෙරය. අපි පැය ගණන් ධීවරයන් සමඟ මුහුදු වෙරළේ ගත කළ සැටි මතක් වෙන විට දැන් මා තුළ මහත් සතුටක් ඇති වෙයි.“

තමන් කරන කාර්යය කෙරෙහි වන අවංක කැපවීම සිරිල් සීගේ විශේෂත්වයකි. පරිවර්තන පොතක මහිමය කවරාකාර විය යුතු ද යන්නට ඔහුගේ පරිවර්තන නිදර්ශන ය. අරමුණක්, දෘෂ්ටියක් හා දැක්මක් ඇතිව පරිවර්තන කාර්යයේ නිරත හේ ස්වතන්ත්‍ර නිර්මාණකරුවකු තම නිර්මාණය ගැන වධ වනවාටත් වඩා තම පරිවර්තනය ගැන සැලකිලිමත් වූවෙකි. සිය පරිවර්තන සාහිත්‍ය අස්වැන්නට මිනිස්කම ස්පර්ශ කළ හොඳ කෘති තෝරා ගන්නට හේ පරිස්සම් විය. බොහෝ දෙනෙක් අසීරු යැයි කියා පරිවර්තනයට අත නොගැසූ පරිවර්තන ඔහු සිංහල පාඨකයන් වෙනුවෙන් හඳුන්වා දෙන්නේ දෙවරක් නොසිතා ය. අසීරු බවට වඩා ඔහුට වැදගත් වෙන්නේ එය කෙතරම් ලාංකේය පාඨක ප්‍රජාවට අවශ්‍ය ද යන්න පමණකි.

ඔහු පරිවර්තන ක්ෂේත්‍රයට එන්නේ සහ නියැළෙන්නේ සමාජවාදය ගොඩනැඟෙමින් පවතින වකවානුවක ය. සමාජවාදීන් පෙන්වා දුන් මානව බන්ධූත්වය ලෝකය පුරා ප්‍රචලිත කරන්නට ඔහුට අවැසි විණි. ආචාර්ය ගුණදාස අමරසේකර හා රෙජී සිරිවර්ධන අතර Daily News පුවත්පත සඳහා ඇතිවුණු පුවත්පත් සංවාදයකදී වරක් ආචාර්ය ගුණදාස අමරසේකර පැවසුවේ ‘යුද්ධය හා සාමය‘ සිංහල බසට පරිවර්තනය කළ නොහැකි බව ය. හරියට ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට හෝ බැරි පරිවර්තකයන් ඉන්නා රටක තෝලස්ටෝයිගේ “War and Peace” වැනි කෘතියක් සිංහලට පරිවර්තනය කිරීම සිහිනයක් බව මෙහිදී පවසා තිබිණි. මේ අදහසට විරුද්ධ වූ රෙජී සිරිවර්ධන කියා ඇත්තේ ඒ මහාර්ඝ කෘතිය අසීරු වුවත් පරිවර්තනය කළ හැකි බවෙකි. ඒ කරන්නට නොහැකි යැයි කියූ කාර්යය කළේ සිරිල් සී ය. එතැනින් නොනවතින ඔහු තවත් බොහෝ කළ නොහැකි යැයි හෝ අසීරු යැයි කී පරිවර්තන කරමින් ලෝකය සිංහල පාඨකයාට සමීප කළේ ය.

ලෝක සාහිත්‍යයේ දුක මෙන්ම සතුට ද දුක් දෝමනස්ස ද අප කියැව්වේ විඳෙව්වේ ඔහුගේ පොත් වලිනි. තිමිංගලයා ලුහුබැඳ ගිය මහල්ලාගේ අසීමිත ධෛර්යයත්, චිචිකොෆ්ගේ නම්බුකාර සටකපටකමුත් අප දැන ගත්තේ සිරිල් සී නිසා ය. බුකන්වයිල්ඩ් කඳවුරේ භීතියත්, කර්මසෝ සොයුරන්ගේ හා ඇන්ඩ්රි කුමරුගේ දුක් අදෝනාවනුත් අප වින්දේ ඔහුගේ පරිවර්තන ඔස්සේ ය. මකරාක්ෂයාගේ ඔළු තුන ම කපා දැමුව ද මිනිසුන් තමා ඇතුළාන්තයේ වෙසෙන මකරුන් පරාජය කරනතාක් මකරුන්ගෙන් නම් ගැලවිල්ලක් නැති බැව් හේ අපට සිහිපත් කළේ ය. ජීවිතය අසීරු බවත් ජීවිතය දැනෙන්නට නම් මානව හිතවාදී විය යුතු බවත් ඔහු නිරන්තර අපට මතක් කළේ ය.

සිරිල් සී සිතුවම් ශිල්පියෙකි. ජේ. ඒ. ඩී. පෙරේරාගෙන් චිත්‍ර කලාව හැදෑරූ හේ දක්ෂ තෙල් සායම් සිත්තරකු විය. එහෙත් ඔහු වඩාත් ප්‍රිය කළේ ගෘහ නිර්මාණ ශිල්පියකු වීමට ය. රජයේ කාර්මික විද්‍යාලයට ඇතුළත් වුණු සිරිල් සී ඕස්ට්‍රේලියාවට ශිෂ්‍යත්වයක් ලැබ ගිය ද එය අවසන් වූ වහා ලංකාවට ආවේ ය. කුමක් කළත් සාහිත්‍යයට ඇති කැමැත්ත ඔහුගෙන් නික්ම ගියේ නැත. චාල්ස් ඩිකන්ස්ගේ ක්‍රිස්මස් කැරොල් කෘතිය ’නත්තල් ගීතය’ ලෙසින් කළ පරිවර්තනය පරිවර්තකයකු ලෙස සිරිල් සීගේ නාමය ජනගත වෙන්නට බලපෑම් කළේ ය. ඔහුගේ ජීවිත කාලය පුරා විදේශීය ලේඛකයන් එකසිය පහළොස්දෙනකුගේ නවකතා දහ අටක්, කෙටි කතා එකසිය හැත්තෑ දෙකක් හා නාට්‍ය තුනක් සිංහල බසට පෙරළා ඇත. ජාතික සහ අන්තර්ජාතික සම්මාන 31 කින් පිදුම් ලැබූ හේ පරිවර්තන සාහිත්‍ය ලාංකේය ප්‍රජාව අතර ජනප්‍රිය කරන්නට බෙහෙවින් බලපෑවේ ය.

දරුවන්ගේ මනස සාහිත්‍යයෙන් පෝෂණය කරන්නට සිරිල් සීට තිබුණේ දැඩි වුවමනාවකි. ඔහු කෙටි ළමා නාට්‍ය දහ අටක් සිංහලට පරිවර්තනය කළ අතර ප්‍රධාන ධාරාවේ වේදිකා නාට්‍ය තුනක්ද සිංහලට නැඟුවේ ය. 1950 දී ’තෝල්ස්තෝයිගේ කෙටිකතා’ හා කෙටි ළමා නාට්‍ය වන ’දරුවන්ගේ නුවණ’ පරිවර්තනය කරමින් දරුවන්ට සාහිත්‍යය ඔස්සේ විප්ලවීය අරමුණු සාධනයට මඟ පෙන්වූයේ ය. සමාජ විප්ලවයක් සඳහා කුළු ගැන්විය යුතු වන්නේ දරුවන් බව හේ මනාව දැන සිටියේ ය. වේළුණු ඉරටු නවන්නට නොහැකි බවත් නැවූ පසු කැඩෙන බවත් දැන සිටි හේ උත්සාහ කළේ ළපටි ඉරටු දැනුමෙන් සන්නද්ධ කිරීමට උත්සාහ කිරීම ය. සිරිල් සී. ප්‍රකට නාට්‍ය පරිවර්තකයෙකි. ඒවා ලෝක සාහිත්‍යය ඇතුළත බිහි වූ විශිෂ්ටත ම පරිවර්තන නාට්‍ය වෙති.

සිරිල් සීගේ බොහෝවිට යෙදුවේ අනුවාදය යන වදන ය. හේ සාමාන්‍ය පරිවර්තනයට වෙසෙස් අගයක් එක් කළේ ය. සිය ජීවිත කාලය පුරාම ස්වතන්ත්‍ර නිර්මාණයක් කිරීමට හේ නොපෙලඹුණේ ඇයි යන්න ගැටලුවකි. ඔහුගේ පරිවර්තන බස මටසිලිටි ය; සුගම ය. ළඟන්නා සුලු ය. එහෙත් හේ ස්වතන්ත්‍ර නිර්මාණකරණයට පෙලඹුණේ නැත. ඒ පිළිබඳ කිසිසේත්ම කනගාටු නොවූ ඔහු ඒ සම්බන්ධයෙන් දැරුවේ ද වෙනස් මතවාදයකි. තමන්ගේ ජීවිත කාලය පුරාම කිසිකලෙකත් සිංහල විතරක් දන්නා පාඨකයන්ට කියවා ගත නොහැකි මහරු වන් පොත් පෙළක් හඳුන්වා දී කියවන්නට අවස්ථාව සැලසීම ස්වතන්ත්‍ර කෘතියක් ලියනවාට වඩා වැදගත් බව හේ ඇදහුවේ ය. ඔහු අපට තිළිණ කළ පරිවර්තන සාහිත්‍ය අස්වැන්න දෙස බලන විට එය සත්‍යයක් බැව් අපට ද දැනේ. මුල් කෘතියේ ජීවත් වෙමින් එහි ජීව ගුණයට හානියක් නොවන්නට ඔහු පරිවර්තනය කළ කෘති පරම්පරා ගණනකට ජීවය සපයන්නේ ය.

තෝලස්තෝයිගේ සහ දොස්තයෙවුස්කිගේ වෙනස සම්බන්ධයෙන් ගැඹුරු කියැවීමක් කරන ඔහු පවසන්නේ තෝලස්තෝයිගේ කෘතිවල දුක්, කම්කටොලු සහ සතුට එකසේ විඳිමින් ජීවිතය ජයගන්නා මිනිසුන් ජීවත්වන බවත්, දොස්තයෙවුස්කිගේ කෘතිවල කටුක බව සහ දුක මනෝභාවාත්මකවම පාඨකයාගේ මනසට කැඳවීමට සමත් මිනිසුන් ජීවත්වන බවත් ය. ඒ විශ්ලේෂණවලින් පැහැදිලි වන්නේ ඔහු සැබෑ ලෙසම මේ පරිවර්තන කෘති ගැඹුරින් පරිශීලනය කර ඇති බවයි.

සිංහල සාහිත්‍ය හා කලාව ගැන කතා කරද්දී අපට මතක් වෙන සිරිල් ලා තිදෙනෙකි. එක් අයෙක් සිරිල් ඒ සීලවිමල ය. දෙවැන්නා සිරිල් බී. පෙරේරා ය. තෙවැන්නා සිරිල් සී. පෙරේරා ය. මේ තිදෙනාම ලාංකේය කලාව සම්බන්ධයෙන් විවිධ කෝණවලින් සිය දායකත්වය සැපයුවෝ ය. සියලු සිරිල්ලා අතර පරම්පරා ගණනක් සාහිත්‍යයෙන් පෝෂණය කළ සිරිල් සී පෙරේරා අමතක නොවන දායාද රැසක් තිළිණ කර නික්ම ගිය අයෙකි. ජීවිතයේ සෑම දුක් දෝමනස්සයක් ම හා සතුටක් ම අතර මතක් වෙන මතක රැසක අරුම පරිවර්තන හේ අපට තිළිණ කළේ ය. මිනිසා විනාශ කළ හැකිය; එහෙත් පරාජය කළ නොහැකිය යන්න සනාතන සත්‍යයක් ව මනසේ තැන්පත් කළ අරුම පරිවර්තකයා ඔහු ය. අප විශ්ව සාහිත්‍යය ඇතුළත කැටයම් කළ ඔහු නික්ම ගියේ එහි බර සේ ම මානව දයාව ද අපට කාන්දු කිරීමෙන් අනතුරුවය.

මට ඉණිමඟක් දෙන්න... මට ඉණිමඟක් දෙන්න කියා කෑගැසුවේ ගොගොල් ය. ගොගොල් ට ඉණිමඟක් දෙන්නට කෙනෙක් හිටියේ නැත. එහෙත් ලෝක සාහිත්‍යය අපට සමීප කළ සිරිල් සී. අපට ඉණිමඟක් දුන්නේ ය. ඒ ඉණිමඟේ ඉහළ නැඟි බොහෝ දන අතර අප ද සිටින බැව් ලියා තැබිය යුතු ම ය.

Comments