පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළට ගිය 11 කල්ලිය පැන්නේ කලින් සැලසුමකට... | Page 2 | සිළුමිණ

පොදු රද මඬුලු ක්‍රීඩා උලෙළට ගිය 11 කල්ලිය පැන්නේ කලින් සැලසුමකට...

- ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 31 වැනි ස්ථානයට
- කළමනාකරුවකු, ක්‍රීඩකයන් 7ක් හා ක්‍රීඩිකාවන් 2ක් සහ ක්‍රීඩා උලෙළ ආවරණය කිරීමට ගිය ඡායාරූප ශිල්පියකු ගල්වෙයි
- ශ්‍රී ලංකා ක්‍රීඩක අතුරුදහන් වීම් අතර ඉහළින්ම සඳහන් වන්නේ 2004 වසරේදී ජර්මනියේ සිදුවූ ක්‍රීඩක අතුරුදහන් වීමයි
- සියලු බාධා මැද ලංකාවට පදක්කම් හතරක්
- ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට යුරෝපීය රටවල සංචාරය තහනම් වෙයි ද?

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් 4ක් දිනා ගෙන පදක්කම් සටහනේ 31 වැනි ස්ථානයට පත්වූ නමුත් 11දෙනකු කළු පැල්ලම් ඇතිකරමින් අතුරුදන් වීම සම්බන්ධයෙන් බර්මින්හැම්හි දැඩි කතාබහක් හටගෙන තිබේ.1950 නවසීලන්තයේ පැවති සිවුවැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී රන් පදක්කමක්, රිදී පදක්කම් 2ක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් පදක්කම් 4ක් දිනා ගත්තාට පසු සමස්ත පදක්කම් හතරක් දිනාගත් දෙවැනි අවස්ථාව ලෙස මෙය ඉතිහාසයට එක් විය.

ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළෙක වැඩිම පදක්කම් ප්‍රමාණයක් හිමිකර ගන්නේ 2018 ඕස්ට්‍රේලියාවේ පැවැති 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදීය. එහිදී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 5ක් සමඟින් පදක්කමක් 6ක් දිනා ගැනීමට සමත් විය.

වර්තමානය වන විට ලාංකේය ක්‍රීඩා පරිපාලනය මුහුණ දෙන විශාල ගැටලුවක් වන්නේ විදෙස් සංචාරයන්හිඳී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරුදහන් වීමය. බර්මින්හැම් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී අතුරුදහන් වූ ලාංකේයන් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍යයන් ද වැඩි අවධානයක් යොමුව පවතින බව පෙනේ. මෙවැනි තරගවල නිල සම්බන්ධිකරණ කටයුතු සිදු කරන ජාතික ඔලිම්පික් කමිටුව මෙවැනි අතුරුදහන්වීම් සඳහා අනුබල, ආධාර උපකාර කරන්නේ ද යන්න ද බොහෝ දෙනාගේ සැක සංකාවලට හේතු වී තිබේ.

ක්‍රීඩක අතුරුදහන් වීම් අතර මෑතකදී වාර්තා වන සමීපතම සිදුවීම නම් එංගලන්තයේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ සඳහා සහභාගි වූ සාමාජිකයන් එකසිය හැට එක්දෙනකු අතරින් ක්‍රීඩා උලෙළට ශ්‍රී ලංකාවෙන් ගිය කණ්ඩායමෙන් අතුරුදන්වූ පිරිස 11ක් දක්වා ඉහළ යෑමයි. මේ ක්‍රීඩා උලෙළට පැමිණි කළමනාකරුවකු, ක්‍රීඩකයන් 7ක් හා ක්‍රීඩිකාවන් 2ක් ශ්‍රී ලංකා කණ්ඩායමෙන් අතුරුදන් වූහ. එමෙන් ම ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩා උලෙළ ආවරණය කිරීමට බර්මින්හැම් පැමිණි ඡායාරූප ශිල්පියකු ද අතුරුදන්වූවන් අතර වේ.

ජූඩෝ කළමනාකරු අසේල ද සිල්වා, ජූඩෝ ක්‍රීඩිකා චමිලා දිලානී මාරප්පුලි, බීච් වොලිබෝල් ක්‍රීඩකයන් වන මලින්ත යාපා , අශේන් රෂ්මික, මල්ලවපොර ක්‍රීඩකයන් වන සනිත් චතුරංග, සුරේෂ් චානක ප්‍රනාන්දු, මල්ලවපොර ක්‍රීඩිකා ශ්‍රියන්තිකා නිරෝෂණී, බොක්සිං ක්‍රීඩකයන් වන නිකලස් විටාලස්, ජීවන්ත විමුක්ති කුමාර, සංජීව රාජකරුණා මෙසේ අතුරුදන්වූවෝ වෙති. ඊට අමතරව ක්‍රීඩා උලෙළ ආවරණය කිරීමට ශ්‍රී ලංකාවෙන් පැමිණි නිදහස් ඡායාරූප ශිල්පී කණ්ඩුල යටවර ද අතුරුදන්ව ඇති අතර ඔහු තම සමීප මිතුරකුට කෙටි පණිවුඩයක් එවීමෙන් මේ බව සනාථ කර ඇත.

බ්‍රිතාන්‍ය පොලිසිය අතුරුදන් වූ පළමු තිදෙනා සොයා ගත් නමුත් ඔවුන් එරට දේශීය නීති උල්ලංඝනය නොකළ නිසාත් ඔවුන්ට මාස හයක් වලංගු වීසා බලපත්‍ර ඇති නිසාත් ඔවුන්ට එරෙහිව කිසිදු පියවරක් නොගත් බව එරට පොලීසිය පැවසූ බව ජාතික ඔලිම්පික් කමිටුවේ ඉහළ නිලධාරියකු බීබීසී යට පවසා තිබේ. ඔහු පවසා ඇත්තේ මුලින්ම අතුරුදහන් වු තිදෙනා ඉතාමත් හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් කරදරයකින් තොරව සිටින බවට පොලීසිය තමන්ට දැනුම් දුන්නත් ඔවුන් සිටින ස්ථානය පිළිබඳ පොලිසිය කිසිවක් නොපැවසූ බවයි. එමෙන්ම මේ සියලුම සාමාජිකයන්ට මාස හයකට වලංගු වීසා ඇති නිසාත් ඔවුන් සියලු දෙනා වයස 18 ට වැඩි වැඩිහිටියන් නිසාත් ඔවුන්ට තමන් පිළිබඳ තීරණ ගැනීමේ හැකියාවක් ඇති නිසා ශ්‍රී ලංකා බලධාරීන්ට ඔවුන්ව කුඩා ළමුන් සේ සේ සලකා කටයුතු කළ නොහැකි බවද හෙතෙම වැඩිදුරටත් කීවේය.

“ඔවුන් රැකියාවක් කිරීමට එක්සත් රාජධානියේ රැඳී සිටීයි කියලා අපි සැක කරනවා. ඔවුන් නීති විරෝධී ක්‍රියාවක් සිදු කළහොත් අපිට පුළුවන් ඔවුන්ට විරුද්ධව කටයුතු කරන්න. මෙතැනදී අපිට පුළුවන් ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න, බලධාරීන්ගේ අවසරයකින් තොරව බලධාරීන්ට නොදන්වා ක්‍රීඩා ගම්මානයෙන් එළියට යෑම පිළිබඳ. ඉන්එහාට දෙයක් අපිට කරන්න බෑ” යනුවෙන් ද ඔහු පැවසීය.

පොදුරාජය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලියට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතුරුදන්වීම වළක්වා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ගුවන් ගමන් බලපත්‍ර තමන් සන්තකයට ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධානි මේජර් ජෙනරාල් (විශ්‍රාමික) දම්පත් ප්‍රනාන්දු කටයුතු කර තිබුණි. එහෙත් කණ්ඩායමේ තවත් සාමාජිකයන් හත් දෙනකු ඔවුන්ගේ බෑග් දමා ගොස් අතුරුදහන් වී ඇති බව හෙළි කර තිබෙන අතර ඔවුන්ගෙන් දස දෙනකු තම ගමන් මලු තබා ලිපි ලේඛන රැගෙන ගොස් ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ අතරතුර අතුරුදන් වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරියාට එරෙහිව දැඩි පියවර ගැනීමට යෞවන හා ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙන බව අමාත්‍යාංශ ලේකම් ආචාර්ය අමල් හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේය.

“මෙය රට සහ එහි කීර්තිය ගැන ප්‍රශ්නයක්. අපි ඔවුන්ව වීසා බලපත්‍රයක් සඳහා නිර්දේශ කරලා අපි එයත් අත්හිටුවනවා. එක්සත් රාජධානියේ ආගමන කාර්යාලයට තවමත් ඒ සම්බන්ධයෙන් කිසිදු ගැටලුවක් නැහැ, ඔවුන්ට මාස හයකට වලංගු වීසා බලපත්‍රයක් ඇති නිසා. ඉදිරියේදී වීසා අයදුම් කරන අයට ද මෙය ප්‍රශ්නයක් විය හැකියි. ඒවායින් දෙකක් මෙට්‍රොපොලිටන් පොලිසිය විසින් සොයාගෙන ඇති බවට ද අපට තොරතුරු තිබෙනවා” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.

අනූව දශකය මුල කැනඩාවේ පැවති මල්ලවපොර ක්‍රීඩා ඉසව්වක් අතරතුර, ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ සාමාජිකයන් 11 දෙනාගෙන් එක් අයකු පමණක් නැවත පැමිණ තිබෙන අතර, ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ සාමාජිකයන් ගණනාවක් ඇතුළු ඉතිරි දසදෙනාම අතුරුදහන් වුහ. ඉන් අනතුරුව 2007 වර්ෂයේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව මඟින් සංවිධානය කරනු ලැබු පුහුණු සැසියක් සඳහා ඉතාලියට ගොස් සිටි පුහුණුකරුවකු ද මේ ආකාරයෙන්ම අතුරුදහන් විය.

2014 දී දකුණු කොරියාවේ දී පැවති ආසියානු ක්‍රීඩා උලෙළ සඳහා සහභාගි වූ හොකි ක්‍රීඩකයකු සහ වෙරළ වොලිබෝල් ක්‍රීඩකයකු ද අතුරුදහන් වූහ.

2021 වසරේදී නෝර්වේ, ඔස්ලෝහී දී පැවැත්වූ ලෝක ශූරතා මල්ලවපොර තරගාවලිය සඳහා සහභාගී වූ කණ්ඩායමේ ආරක්ෂාව බාරව සිටි කණ්ඩායම් කළමනාකාරවරයා ද අතුරුදන් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩක අතුරුදහන් වීම් අතර ඉහළින්ම සඳහන් වන්නේ 2004 වසරේදී ජර්මනියේ සිදුවූ ක්‍රීඩක අතුරුදහන් වීමයි. 2003 ජර්මානු -ආසියානු ක්‍රීඩා දැනුම හුවමාරු කරගැනීමේ වැඩසටහන යටතේ යුරෝපීය දැනුම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අතර බෙදාගැනීම වෙනුවෙන් ජර්මානු හෑන්ඩ් බෝල් ජාතික කණ්ඩායම සමඟ ප්‍රදර්ශනාත්මක පුහුණු සැසියක් මිනුවන්ගොඩ දී පැවැත්වූ අතර ඉන් පසුව ජර්මනියේදී කණ්ඩායම් 10 ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත හෑන්ඩ් බෝල්ඩ් තරගාවලියක් සඳහා ශ්‍රී ලංකාවට ද ඇරයුම් ලැබුණි.මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් සහභාගි වූ සමාජිකයන් 23 දෙනකු ජර්මනියේ දී අතුරුදහන් වී ඇති අතර, මේ සඳහා එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු ගේ සහාය ලැබෙන්නට ඇති බව ද සැලකෙයි. මෙම සත්‍ය සිදුවීම පාදක කරගෙන පසුකාලීනව ‘මචං’ නමින් චිත්‍රපටයක් පවා නිර්මාණය විය.

මෙවර අතුරුදහන් වූ සාමාජිකයන් පිළිබඳ එරට පොලීසියට මේ වන විටත් පැමිණිලි කර ඇති නමුත් අතුරුදහන් වූ සාමාජිකයන් මේ වන තෙක් එරට කිසිදු නීතියක් උල්ලංඝනය කර නොමැති නිසාත් ක්‍රීඩකයන් සතුව මාස 6 ක කාලයක් සඳහා වලංගු වන වීසා තිබෙන නිසාත් පොලීසිය කිසිදු නිත්‍යානුකූල ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර ක්‍රීඩකයන් සිටින ස්ථානයක් පිළිබඳ හෝ තොරතුරක් අප රටේ කළමණාකාරිත්වය වෙත ලබා දී නොමැත.

2004 වසරේ හෑන්ඩ් බොල් සිදුවීමේදී මෙන්ම මෙම ක්‍රීඩක අතුරුදහන් වීමේදී ද මෙරට පවතින ආර්ථික සහ දේශපාලනික අස්ථාවරත්වය මත අප රටේ ක්‍රීඩකයන්ට යුරෝපීය රටවල් තුළ සංචාරය තහනම් වීමේ අවදානමක් පවතී.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීම සඳහා මෙරටින් එංගලන්තය බලා ගිය 161 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමෙන් 10 දෙනකු අතුරුදන් වී ඇති බවට කණ්ඩායම බාර උසස් නිලධාරියකු AFP පුවත් සේවයට පවසා තිබේ.

“දැනට විදේශ මාධ්‍යයක පළ වූ වාර්තාවක තොරතුරු තමයි අපටත් තියෙන්නෙ, ජාතික ඔලිම්පික් කමිටුවේ තමයි සියලු විස්තර තියෙන්නේ. තවමත් කිසිම නිලධාරියෙක් අපට මේ ගැන පැමිණිලි කරලා නැහැ. ශ්‍රී ලංකා කණ්ඩායම, ජාතික ඔලිම්පික් කමිටුව , කණ්ඩායම් බාර නිලධාරින් සියලු දෙනා ආවම මේ ගැන විමසීමක් කරලා පරීක්ෂණයක් කරනවා.” යැයි අප කළ විමසීමේදී ක්‍රීඩා අමාත්‍යාංශ නිලධාරියකු පැවසීය. ඒ අතරින් ජූඩෝ ක්‍රීඩිකාවක වන චමිලා දිලානි සහ ඇයගේ කළමනාකරු වන අසේල ද සිල්වා සහ මල්ලවපොර ක්‍රීඩකයකු වන ශනිත් චතුරංග යන සාමාජිකයන් තිදෙනා අතුරුදන් වී සතියක් වැනි කාලයක් තුළ නැවත සාමාජිකයන් හත්දෙනකු මෙලෙස අතුරුදන්ව තිබෙන බව AFP පුවත් සේවය සඳහන් කර තිබේ.

බර්මින්හැම් හි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී අභිරහස් ලෙස අතුරුදන් වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු මේ වන විට සොයා ගෙන ඇති බව එක්සත් රාජධානියේ වෙස්ට් මිඩ්ලන්ඩ්ස් පොලිසිය තහවුරු කර ඇති නමුත් තුන්වැන්නා තවමත් අතුරුදන්ව සිටින බව එක්සත් රාජධානියේ සමාජ මාධ්‍යක් වාර්තා කර තිබේ.

මෙම තිදෙනාට මීට පෙර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර භාර දී ඇති බැවින් එක්සත් රාජධානියෙන් පිටවීමට නොහැකි වී තිබේ. ඔවුන් අතුරුදහන් වීමෙන් පසු, නිලධාරීන් විසින් බර්මින්හැම් හි ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉතිරිව සිටි සියලුම සාමාජිකයන්ගේ ලිපි ලේඛන ඉවත් කර ඇත.

දෙදෙනකු සොයාගෙන ඇති බවත්, බටහිර මිඩ්ලන්ඩ්ස් පොලිසිය ප්‍රකාශයක් මඟින් සනාථ කර ඇති අතර පුද්ගලයන් දෙදෙනකු, අවුරුදු 30 ක කාන්තාවක් සහ 40 හැවිරිදි පිරිමියෙක්, අගෝස්තු 1 වැනිදා අතුරුදහන් වූ බව වාර්තා විය. දෙදෙනාම දැන් සොයාගෙන ඇති අතර, ඔවුන් තවදුරටත් අතුරුදහන් වී නොමැත. ඉකුත් අගෝස්තු 4 වැනිදා අතුරුදන් වූ 20 හැවිරිදි පුද්ගලයා සොයා ගැනීම සඳහා පරීක්ෂණ සිදුවෙමින් පවතී. ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරින් 161 දෙනකුගෙන් සමන්විත වූ අතර ඔවුන් එක් අයකුට ක්‍රීඩා උලෙළට පෙර රජය විසින් සම්මත දින 180 වීසා බලපත්‍ර ලබා දෙන ලදී. පොලිසිය යාවත්කාලීනය තහවුරු කිරීමට පෙර, ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රකාශයකු පවසා ඇත්තේ සිද්ධියෙන් පසු සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ නිලධාරීන්ට ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර සියලුම ගම්වල පිහිටි ස්ථාන නිලධාරීන්ට ඉදිරිපත් කරන ලෙසය. පොලිසිය පරීක්‍ෂණ පවත්වමින් සිටින අතර තිදෙනාට එක්සත් රාජධානියේ දේශසීමා තරණය කළ නොහැකිය.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ විදේශ ගමන් බලපත්‍ර කණ්ඩායම් ප්‍රධානින් විසින් ලබා ගැනීම සහතික කර තිබු නමුත් ඇතැමුන් පිටව යෑම වැළැක්වීමට එය අපොහොසත් විය. බ්‍රිතාන්‍ය පොලිසිය අතුරුදන් වූ පළමු තිදෙනා සොයා ගත් නමුත් ඔවුන් දේශීය නීති උල්ලංඝනය නොකළ නිසාත් මාස හයක් වලංගු වීසා බලපත්‍ර රඳවාගෙන නොතිබූ නිසාත් කිසිදු පියවරක් නොගත් බව ශ්‍රී ලංකා නිලධාරියා AFP වෙත පැවසීය. ජූඩෝ කණ්ඩායමේ කළමනාකරු, ක්‍රීඩිකාවක්, බොක්සිං ක්‍රීඩකයෙක් හා මල්ලවපොර ක්‍රීඩකයෙක් අතුරුදන් වීමත් සමඟ, බර්මින්හැම්හි සිටින ඉතිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් නවාතැන්ගෙන සිටින කාමර දොරටු අසල දැඩි රැකවල් යෙදීමට පියවර ගෙන තිබුණ ද එකී ආරක්ෂාව ප්‍රමාණවත් නොවූ බව පැහැදිළිය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පදක්කම් 4ක් දිනා ගෙන පදක්කම් සටහනේ 31 වැනි ස්ථානයට පත්වූ නමුත් 11 දෙනකු කළු පැල්ලම් ඇති කරමින් අතුරුදන් වීම සම්බන්ධයෙන් බර්මින්හැම්හි දැඩි කතාබහක් හටගෙන තිබේ. බීච් වොලිබෝල් ක්‍රීඩකයන් දෙදෙනා ඔස්ට්‍රේලියාව සමඟ තරගය නිමා වී පැමිණ සිටින නිලධාරීන්ට අතට අත දී ක්‍රීඩා ගම්මානයට ගොස් මිනිත්තු කිහිපයකදී අතුරුදන්ව ඇතැයි අනාවරණය විණි.

මොවුන් දෙදෙනා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ බීච් වොලිබෝල් අවසන් පූර්ව වටය දක්වා පැමිණ ඔස්ට්‍රේලියාවට පරාජය වූ තරගය ශ්‍රී ලංකාව නියෝජනය කළ අවසන් තරගය වේ.

මුලින්ම පලාගිය තිදෙනකු සොයා ගැනීමට එංගලන්තයේ පොලිසිය කටයුතු කර ඇතත් ඔවුන්ට විරුද්ධව නීතිමය පියවර ගැනීමට නොහැකි වී ඇත්තේ ඔවුන්ට මාස හයකට වීසා තිබීම සහ නීති විරෝධී කිසිවක් සිදුකර නැති වීමයි.

Comments