දිවිමඟ සටහන්
උපන් දිනය - 1902 - 01- 07
ගිහි නම - රන් බණ්ඩා
ගම - හිරියාල උඩකැන්දවල
1916 - පැවිදි වීම ( වයස අවුරුදු 13 දී)
1921 අප්‍රේල් - ධර්ම ප්‍රචාරය සඳහා අනගාරික ධර්මපාලතුමා සමඟ ඉන්දියාවට යාම
1921 - ශාන්ති නිකේතනයට ඇතුළු වීම.
1930 - ලංකාවට පැමිණ අපේ ගම පොත ලිවීම
1931 - ලන්ඩන් මැට්රික්‍යුලේෂන් විභාගය සමත්වීම
1932 - ඉන්දීය නිදහස් සටන වෙනුවෙන් සිර භාරයට පත්වෙයි. වසර හතරක් අඳුරු කාමරයක සිරකර තැබීම නිසා ඇස් දුර්වල වී බැරිබැරියාව රෝගයෙන් පෙළීම
1936 - සිරෙන් නිදහස් කර නැවත ඉන්දියාවට නොඑන ලෙස අණකර ලංකාවට එවීම
1936 - ලංකා සමසමාජ පක්ෂය සමඟ එක්වීම
1937 - සමසමාජ ක්‍රමය ලංකාවට වුවමනා මන්ද පොත ලිවීම
1942 - මහරජුට අපහාස කිරීම සහ ලංකාවේ යටත් වැසියන් නොමඟ යැවීම චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන සිරභාරයට පත්කිරීම. වසර දෙකක් සිරභාරයේ සිටි අතර, සිරභාරයේ සිටින කාලයේදීත් චීවරය ඉවත් කරන්නට ඉඩ නොදීම
944 - සිරභාරයෙන් නිදහස් වීම
1957 - ලෙනින් සාම ත්‍යාගයෙන් පුදනු ලැබීම
අපවත්වීම - 1966 නොවැම්බර් 13
නවලෝකය නැමැති සඟරාවේ කතුවරයා කොළඹ ට්‍රැප්‍රොබෝන් හෝටලයට විත් මා හමු විය. හෝටලයේ සේවකයන් කහ සිවුරක් පොරවා ගෙන සිටි උන්වහන්සේට දැක්වූයේ මහත් ගෞරවයකි. ඔවුහු උන්වහන්සේට හාමුදුරුවෝ යනුවෙන් ඇමතූහ.කහ සිරුරක් පොරවා ගත් මේ ශාන්ත පුද්ගලයා පොලිස් හිරිහැරවලට ලක්ව හිරේ වැටුණු කෙනෙකැයි කෙෙනකුට නොසිතෙයි. මේ ස්වාමීන් වහන්සේ තම මුළු ජීවිත කාලයෙහි ම සාධාරණ මිනිස් සමාජයක් ගොඩනැඟීමේ මඟ සොයමින් සිටියහ.
සෝවියට ලේඛක වී. කොච්ටොවා මේ කියන්නේ වාම සන්නිවේදනය වෙනුවෙන් දිවිහිමියෙන් කැප වුණු පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමියන් පිළිබඳ ව ය.
20 වන සියවස මුලදී උපත ලබන උඩකැන්දවල සිරි සරණංකර හිමි සිය තරුණ වියට එළඹෙන්නේ ධර්මපාලතුමන්ගේ සිංහල ජාතික ප්‍රබෝධයෙන් ලද උත්තේජනයත් සමඟිනි. උන්වහන්සේගේ දේශපාලන ක්‍රියාකාරීත්වය අධිරාජ්‍ය විරෝධී වාම දේශපාලනය ගුරු කර ගත්තක් විණි. එබැවින් උන්වහන්සේගේ දිවිසැරිය බෞද්ධ ශාසන ඉතිහාසයේ මෙන් ම භික්ෂූ දේශපාලන ඉතිහාසයේ ද වෙසෙස් ලකුණකි.
උන්වහන්සේ භික්ෂු ජීවිතයේ සිට අපවත් වනතෙක් ම උපසම්පදාව නොලද භික්ෂූ නමකි. කුඩා කාලයේ සිට ම කුල භේදය පදනම් කරගනිමින් කරන උපසම්පදාව ගැන උනවහන්සේට විරෝධයක් තිබිණි. සමාජවාදී නැඹුරුව නිසා මේ විරෝධය බලවත් පිළිකුලක් දක්වා වර්ධනය වීමට වැඩි කල් ගියේ නැත. එනිසා උන්වහන්සේ අසමත් වන්නේ උපසම්පදාව නොලත් භික්ෂූන් වහන්සේ නමක් ලෙසිනි.
සාමාන්‍ය ජනතාව අතර සමාජවාදී පක්ෂ ගැන පැවැති අපැහැදීම නැති කරන්නට පූජ්‍ය උඩකැන්දවල සරණංකර හිමි නිරන්තර පෙරමුණ ගත්තේ ය. සාමාන්‍ය ජනතාව සිතන්නේ සමාජවාදී අදහස් දරන්නන් බෞද්ධාගම පිළිබඳ පැහැදීමක් නැති බවෙකි. නිදහස් සටන ජාතික ව්‍යාපාරයක් ව ක්‍රියාත්මක වෙද්දී එකල සූරිය මල් ව්‍යාපාරය සමසමාජය හරහා සක්‍රිය වෙමින් පැවැති අවදියකි. සාම්ප්‍රදායික භික්ෂුවක් ලෙස මේ කොටස් දෙකෙන් භික්ෂුවක් තෝරා ගන්නේ ජාතික ව්‍යාපාරය වුවත් සරණංකර හිමියන් තෝරා ගන්නේ සමාජවාදී ප්‍රවාහයයි. එයට හේතු වන ලද්දේ උන්වහන්සේ සාමාන්‍ය භික්ෂූත්වයෙන් ඔබ්බට ගොස් ජාත්‍යන්තරවාදියකු ලෙස ඉස්මතු වීම බව විචාරයන්ගේ මතයයි.
උන්වහන්සේගේ දිවිසැරිය රැඩිකල් හා අධිරාජ්‍ය විරෝධි ප්‍රවේශයකින් යුතු විය. කිසිදු වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී අරගලයේ නිරත වූ උන්වහන්සේගේ ජීවිතය ම අරගලයක් විණි. පැවිදි දිවියට ඇතුළත් වීමට පෙර සිට ම සරසවි සඳරැස ආදී පුවත්පත්වලට අධිරාජ්‍ය විරෝධී ලිපි සැපැයූ උන්වහන්සේ සන්නිවේදනයේ පෙරටුගාමී චරිතයකි. අනතුරුව ඉන්දියාවට යන සරණංකර හිමියෝ එකල ලංකාවේ තිබූ පළවැනි දේශපාලන සඟරාව වෙන My magazine සඳහා ලිපි සම්පාදනයෙන් දායක වේ. එකී සඟරාව නතර වීමෙන් අනතුරුව උන්වහන්සේ ලෝකය නමින් සඟරාවක් ආරම්භ කරයි. අනතුරුව 1941 අප්‍රේල් මාසයේදී නවලෝකය සඟරාව ආරම්භ කරන උන්වහන්සේ තරුණ ලේඛක පරම්පරාවක් ඇති කිරීමේ ලා මූලිකත්වය ගනු ලබයි. එය සරණංකර හිමියන්ගේ වාම සන්නිවේදනයේ ආරම්භයයි.
සරණංකර හිමියන්ගේ ජීවිතයේ ආලෝකය සටහන් වෙන්නේ අනගාරික ධර්මපාලතුමන් හා ආශ්‍රයෙනි. ඉන්දියාවේ ධර්ම ප්‍රචාරණ කටයුතු සඳහා පුරුදු පුහුණු කරවීමට අනගාරික ධර්මපාලතුමා විසින් උන්වහන්සේ කුඩා කාලයේදී ම ඉන්දියාවට රැගෙන යන ලදී. ධර්මපාලතුමන්ගේ මැදිහත්වීමෙන් වැඩිපුර අධ්‍යාපනය ලැබීමේ මාර්ගය උන්වහන්සේට ලැබෙන්නේ ඒ අයුරෙනි. ඒ ගමනෙන් පසු සරණංකර හිමියන්ට ඉන්දීය නිදහස් සටනට සම්බන්ධ වීමට අවස්ථාව ලැබෙන අතර ඉන්දීය නිදහස් සටනේ දැඩි හා ශක්තිමත් දායකත්වයක් ඒ අනුව උන්වහන්සේ දරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස සිරගත වීමට පවා සිදුවන උන්වහන්සේ ඒ පිළිබඳව සිය ස්වයං ලිඛිත අපදානය වන සටනක සටහන් කෘතියේ මෙසේ සඳහන් කරයි.
“අපට වෙන්කර තිබූ සුවිසල් දෙමහල් මැඳුරේ උඩු මහලට වී දිවා රෑ ඕනෑම සාකච්ඡාවක් පැවැත්වීමට අවකාශ තිබිණි. සවස් යාමයේ හිර ගෙදර උයනේ තිබුණු මහ බෝ රුක මුලට එළැඹ මම භාවනා කළෙමි. මේ කාලයේ කොමියුනිස්ට්කාරයන් සමඟ මට අදහස්වලින් ගැටෙන්නට සිදු විය. කොමියුනිස්ට් මත මගේ සිතේ කාවැදුණු නමුත් මට එකඟ වීමට බැරි වුණේ ඔවුන්ගේ ජාත්‍යන්තර අදහස් සමඟය. ඔවුහු ජාතිවාදය හෙළා දුටහ. ජාතික හැඟීමෙන් තොර වූ, තම ජාතිය ගැන සිතා, ආඩම්බර නොවන්නා වූ තැනැත්තා කෙබඳු පුද්ගලයකු වුව ද ඔහු ගැන මගේ ප්‍රසාදයක් නොවීය. තම ජාතිය නිසා දිවි දී ක්‍රියා කරන්නා අති ශ්‍රේෂ්ඨ පුද්ගලයකු යැයි මම සිතීමි. මේ අදහස් ඉදිරිපත් කොට බන්ධනාගාර ගත ව සිටි නා නා දේශපාලන මතධාරීන් සමඟ සාකච්ඡා කිරීමේ අවස්ථා මට නිතර ලැබිණි. එසේම ආගමික අදහස් ගැන ද කතා කළෙමි. බොහෝ දෙනා මගෙන් බුදු සමය ගැන නා නා ප්‍රශ්න ඇසූහ. ආත්මය, පුනරුත්පත්තිය, නිර්වාණය, මැවීම, කුල බේදය ආදිය ඒ ප්‍රශ්නවල මාතෘකා විය. ඒ සමඟ කොමියුනිස්ට්වාදීන් සමඟ ද සාකච්ඡා කළෙමි.“
හිරගෙදරත් එක්තරා විශ්වවිද්‍යාලයකි. ඉන්දියානු බන්ධනාගාරයක දේශපාලන සිරකරුවකු ලෙස රඳවා සිටි සරණංකර හිමි කොමියුනිස්ට්වාදියකු බවට පත්වූයේ බන්ධනාගාරගතව සිටි බොහෝ විප්ලවවාදී නායකයන්ගේ ආභාසය ලැබීම නිසා ය. සිරගෙදර සිටියදී පවා තම සිවුරට අත තැබීමට බන්ධනාගාර නිලධාරීන්ට ඉඩ දුන්නේ නැත. හිරගෙදර වසර කීපයක් ගත කිරීමේදී උන් වහන්සේගේ ඇස් පෙනීම දුර්වල විය. අවසානයේදී විශේෂ පොලිස් බළ ඇණියක රැකවරණය ඇතිව කල්කටාවට ගෙන ආ සරණංකර හිමියෝ නැවත ඉන්දියාවට නොඑන ලෙස තරයේ අවවාද කර ලංකාවට එවනු ලැබූහ.
1932 සිට 1936 දක්වා ඉන්දියාවේ සිරගත ව සිටි උන්වහන්සේට ලංකාවට පැමිණිය ද නිදහසක් ලැබුණේ නැත. සරණංකර හිමි පිළිබඳ අවධානයෙන් සිටි ලංකා ආණ්ඩුව මහරජුට අපහාස කිරීම සහ යටත් වැසියන් නොමඟ යැවීම යන චෝදනා නඟා 1942 ජුනි 30 දා සිට නැවතත් ලංකාවේදි වසර දෙකක කාලයකට සිරගත කරනු ලැබී ය. ඒ කුමක් කළත් ජනතා ආදරය නිරන්තරයෙන් උන්වහන්සේ සතු වූහ.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ පළමු සභාපතිවරයා වූයේ සරණංකර හිමියෝ ය. කම්කරු සටන් මෙහෙයවීමේ පුරෝගාමී මෙහෙවරක් කළ උන්වහන්සේ ලංකා වෘත්තීය සමිති සම්මේලනයේ ආරම්භක සමුළුවේ මුලසුන දැරුවේය. උන්වහන්සේගේ දිවි එකලු කරන්නටත්, දේශපාලන ජීවිතයේ දිශානතිය තීරණය වෙන්නටත් සුධීමත් ඇසුර බලපෑම් කරන්නට ඇත. අනගාරික ධර්මපාලතුමා, මහත්මා ගාන්ධිතුමා, සුභාස් චන්ද්‍රබෝස්, රවීන්ද්‍රනාත් තාගෝර් සහ ඉන්දීය කොමියුනිස්ට් නායකයන්ගෙන් උන් වහන්සේට ලැබුණු ආභාසය සහ සටන් පරිචය පොත් දහසකින් හෝ ලබාගත නොහැක්කක් වන්නට ඇත. සාමණේර භික්ෂූන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ නිදහස් අරගලය වෙනුවෙන් කරන ලද කැපවීම හා දායකත්වය කිසිසේත් ලඝු කළ නොහැක්කකි. ස්වරාජ්‍යයක් වෙනුවෙන් සටන් කිරීම තම උපන්බිම වෙනුවෙන් කරන යුතුකමක් හා වගකීමක් බැව් උන්වහන්සේ නිරන්තරයෙන් සිතූහ.
භාරතීය නිදහස් සටනේ පෙරමුණේ සිටියෝ කලාකරුවන්, ලේඛකයන් ආදීහු ය. එහෙත් ලංකාවේ එවැනි තත්ත්වයක් නොවිණි. එහි අඩුවක් දුටු සරණංකර හිමියෝ 30 දශකයේ අගභාගයේ සිට අධිරාජ්‍ය විරෝධී සාහිත්‍යයක් මෙරට ඇති කිරීමේ පුරෝගාමී මෙහෙවරක් කළහ. නවලෝකය සඟරාව ආරම්භ වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. ලංකාව පුරා විසිරී සිටි ප්‍රගතිශීලි ලේඛකයන්, කලාකරුවන් ට මේ සඟරාව අධිරාජ්‍ය විරෝධි දෘෂ්ටිය සපයන වේදිකාවක් විණි. නවලෝකය සඟරාව ඇසුරේ තරුණ ලේඛක හා මතවාදීමය පරම්පරාවක් බිහි වෙන්නේ ඒ ආකාරයෙනි. ඕනෑ ම සටනක ඉදිරියෙන් සිටිය යුත්තේ බුද්ධිමත් ප්‍රජාව බවත්, එය වෙන ඕනෑ ම දෙයකට වඩා ශක්තිමත් ප්‍රවාහයක් බවත් උන්වහන්සේ මනාව දැන සිටියහ.
1957 නොවැම්බර් මාසයේ උඩකැන්දවල සිරි සරණංකර හිමියෝ ලෝක සාමය උදෙසා කළ උදාර අමිල සේවය වෙනුවෙන් රුසියාවේ ලෙනින් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූහ. ලෝක සාමය වෙනුවෙන් ලොව පුරා සාම මණ්ඩල පිහිටවූ අතර, ලංකාවේ සාම මණ්ඩලය පිහිටුවන ලද්දේ සරණංකර හිමියන්ගේ ප්‍රධානත්වයෙනි. උන්වහන්සේ අනෙක් රටවල සාම මණ්ඩල හා එක් ව ලෝක සාමය වෙනුවෙන් වැඩපිළිවළක් දියත් කළ අතර, මහා බ්‍රිතාන්‍යයේ පරමාණුක අත්හදාබැලීම්වලට විරුද්ධ ව ක්‍රිස්මස් දූපතට යෑමට පවා සූදානම් වූහ. මේ ඉදිරිපත් වීම අන්තර්ජාතික වශයෙන් කැලඹීමක් ඇති කරනු ලැබූවක් විණි. ලෝක සාමය වෙනුවෙන් උන්වහන්සේගේ මැදිහත් වීම කෙරෙහි ලොව පුරා වූ අවධානයේ ප්‍රතිඵලය වූයේ ලෙනින් සාම ත්‍යාගයෙන් උන්වහන්සේ පිදුම් ලැබීමයි. එය ලංකාවට ලැබුණු අතිමහත් ගෞරවයකි. කොළඹ නගරසභා ශාලාවේ පවත්වන විශේෂ උත්සවයකදී සාමය පිළිබඳ මොස්කොව් කමිටුවේ සභාපති ටී. නිකොලයි සෙමිනොරිච් විසින් එම ත්‍යාගය සරණංකර හිමියන්ට පිරිනමන ලදී.
රුසියන් ලෙනින්ගේ නාමයෙන් හඳුන්වනු ලබන ජාත්‍යන්තර සාම ත්‍යාග මණ්ඩලය විසින් ලෝක සාමයත්, ජාතීන් අතර මිත්‍රත්වයත් වෙනුවෙන් යුද ඇතිවීමට විරුද්ධව කුමන ජාතියක හෝ දේශපාලන භේදයකින් තොරව ජීවිත පූජාවෙන් කටයුතු කරන, කැපවන පුද්ගලයන් වෙනුවෙන් වසරක් පාසා පිරිනමනු ලබන ත්‍යාගය ලෙනින් සාම ත්‍යාගයයි. මෙකී සාම ත්‍යාගය 1957 වසරේදී රටවල් හතකට පිරිනමා තිබේ. ජාතීන් අතර මිත්‍රත්වයත්, සාමදානයත් සඳහා ජීවිත පූජාවෙන් ක්‍රියා කරනු ලැබූ වීරයන් උදෙසා පිරිනමනු ලැබූ ජාත්‍යන්තර ශ්‍රේෂ්ඨ ලෙනින් ත්‍යාගය සරණංකර හිමියන්ට හිමිවූ වසරේ පහත සඳහන් හයදෙනා ද එකී සම්මානයෙන් සම්මානිත විණි. ඉන්දියාවේ චන්ද්‍රසේකර වෙන්කතරාමන්, ප්‍රංශයේ එමානුවෙල් දස්තීර් ද ලා විජෙරි, අර්ජන්ටිනාවේ මරියා රෝසා, රුසියාවේ නිකොලායි සෙමනෝවිඩ්, ඉතාලියේ දනිලෝ ඩෙල්චි, සහ අවුස්ත්‍රියාවේ මහාචාර්ය හෙයින් රික් බ්‍රෑනර් යනු ඉතිරි හය දෙනා වෙති.
සරණංකර හිමියන්ට පිරිනැමූ ලෙනින් සාම ත්‍යාගයේ හේතු පාඨය වූයේ මෙවැන්නකි.
පරමාණුක අත්හදා බැලීම්වලට විරුද්ධ ව ක්‍රිස්මස් දූපතට ගොස් ජපන් පෙළපාළිකරුවන්ට එක්වීමට තීරණය කරමින් ලෝක සාමය වෙනුවෙන් කළ කැපවීම සම්බන්ධයෙන් මෙකී සාම ත්‍යාගය පිරිනැමේ. සරණංකර හිමි ලංකා සාම මණ්ඩලයේ ජ්‍යේෂ්ඨ සාමාජිකයෙකි.
1957 වසරේ කොළඹ පවත්වන ලද ලෝක සාම සම්මේලනය සංවිධානය කිරීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ මූලිකත්වය ගත්හ. මේ සම්මේලනය ආසියාවේ පවත්වන ලද පළමු අවස්ථාව ද මෙයයි. රටවල් 69කින් නියෝජිතයන් 400ක් පමණ ඉදිරියේ උන්වහන්සේ න්‍යෂ්ටික අත්හදා බැලීම ගැන කළ අගනා දේශනය ලංකාවට ඉමහත් කීර්තියක් අත්කර දුන්හ.
උන්වහන්සේ ලෝක පූජිත කෘති දෙකක් පරිවර්තනය කළහ. ගුණසේන සමාගමේ ලිහිණි පොත් ලෙස නිකුත් වූ මේ පොත් යුගල වූයේ මැක්සිම් ගෝර්කිගේ මදර් කෘතිය අම්මා ලෙසත්, වික්ටර් හියුගේ ගේ ද මිසරාබ්ලේ කෘතිය දීන දුක ලෙසත් කරන ලද පරිවර්තන ය. ඉන්දියාවේ දී වංග භාෂාව මනාසේ ප්‍රගුණ කළ උන්වහන්සේ සරච්චන්ද්‍ර චතෝපාධ්‍යයගේ පල්ලි සමාජ් කෘතිය ගැමි සමාජය නමින් ද මානව සමාජයේ ඓතිහාසික විකාශනය කරන සමාජ පරිණාමය කෘතිය ද පරිවර්තනය කළහ.
මුල්කාලයේ අනගාරික ධර්මපාලතුමන් වීරයෙක් ලෙස සැලකූ උන්වහන්සේ අධ්‍යයන පරාස පුළුල් වෙත් ම, ජීවන පරිඥානය වර්ධනය වෙත් ම එකී වීරත්වය සවිඥානික ව කියවා ගැන්මට පටන් ගනියි. අනතුරු ව උන්වහන්සේගේ නිගමනය වෙන්නේ අනගාරික ධර්මපාලතුමන් සංස්කෘතික මෙවලමක් පමණක් ය කියා ය. අධිරාජ්‍යවාදී සටන්කාමී ක්‍රියාමාර්ග සමඟ එකපෙළට සිටගන්නට අනගාරික ධර්මපාලතුමන් මැළිකමක් දැක් වූ බව උන්වහන්සේ වරෙක පවසා තිබේ. ඒ අනුව උන්වහන්සේ එක්තරා අන්දමක අන්තර්ජාතිකත්වයත් සමඟ අත්වැල් බැඳ ගත්තෙකි. සිංහල බෞද්ධ සංස්කෘතිකවාදියකුට වඩා උන්වහන්සේ මාක්ස්වාදී නැඹුරුවකින් යුතුව ක්‍රියා කළ හිමිපාණන් වහන්සේ නමකි. උන්වහන්සේ විසින් වරක් කළ ප්‍රකාශ කර තිබුණේ ඉන්දියානු නිදහස් සටන වේගවත් වන තරමට ලංකාවට නිදහස ලබා ගැනීම ඉක්මන් වන බවකි. නායකයෙක් නම් සටන් කරන්නට අවශ්‍ය බවත් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් උන්වහන්සේ සිතූහ. උන්වහන්සේ සංස්කෘතික වාදියෙක් නොවී මාක්ස්වාදී භූමිකාවක් නියෝජනය කළේ ඒ දැක්ම හා නියෝජනය අනුව ය.
ලංකාවේ අධිරාජ්‍ය විරෝධි අරගලයේදී මෙන් ම ලෝක සාම ව්‍යාපාරයට ආසියානු අප්‍රිකානු සහයෝගීතා මණ්ඩලයට විශිෂ්ට නායකත්වයක් දුන් උඩකැන්දවල සරණංකර මාහිමිපාණන් වහන්සේගේ සමාජ ක්‍රියාකාරීත්වය පිළිබඳ සමාජයේ දැනුම්වත් භාවය අවම යැයි සිතේ. ජාතික විමුක්තිය, සමාජ විමුක්තිය හා මානව විමුක්තිය වෙනුවෙන් උන්වහන්සේ කළ මෙහෙය ඇගැයුම් කටයුතු ය. මේ පිළිබඳ ව චන්දන විජේකෝන් ලේඛකයා රචනා කළ අනගි ග්‍රන්ථයක් වන නවලෝකය – වාම සන්නිවේදනයේ පූජ්‍ය උඩකැන්දවල සිරි සරණංකර හිමි භූමිකාව නොසලකා හැරුණු ඉතිහාසයකට එල්ල කෙරුණු ආලෝක දහරාවකි.
නව පරපුරක් නිර්මාණය කිරීමේ ලා නොතිත් ආශාවකින් යුතු ව කිසිදු වරප්‍රසාදයක නාමයකින් හෝ තොරව සරණංකර හිමි කළ ජාතික, ආගමික මෙහෙවර වෙසෙස් වටිනාකමකින් යුතුව අප ඉදිරියේ අද වඩාත් ඇගයුම් කටයුතු ව සිහිපත් වේ. තමන් ගැන මිස අනුන් ගැන නොසිතන පරම්පරාවකට උන්වහන්සේ ප්‍රදීපස්ථම්භයකි.
සටනක සටහන් කෘතියේ සරණංකර හිමියන් තමන් හඳුන්වන මේ වැකි කිහිපයෙන් ලිපිය නිමා කරන්නේ පූජ්‍ය උඩකැන්දවල සරණංකර හිමියන්ගේ වෙසෙස් කාර්යභාරය තවදුරටත් හඳුනා ගැන්ම පහසු කිරීම පිණිස ය.
බුදුන් වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ අවවාදය (කාලාම සූත්‍රය) අනුව ජීවත් වීමට හැකි තරම් උත්සාහ කළ මා එසේ තේරුම් ගත් දෙය බුද්ධියෙන් පරීක්ෂා කොට පිළිගතිමි. අනුන්ගේ රැවුම් ෙගරවුම් නොතකා ඒ අනුව ජීවත් වූයෙමි.