ආකල්ප වෙනස් කරන්නේ නැතිව සිස්ටම් වෙනස් කරන්න බැහැ | Page 2 | සිළුමිණ

ආකල්ප වෙනස් කරන්නේ නැතිව සිස්ටම් වෙනස් කරන්න බැහැ

ඔබ සාහිත්‍යයට පිවිසුණේ කොහොමද?

මගේ උපන් ගම ගල්ගමුව. අප්පච්චි උඩරටට සම්බන්ධයි. මම හැදී වැඩුණේ ගමේ. උසස් පෙළ දක්වාම කලා විෂයයන් හැදෑරුවා. කොළඹට පැමිණි පසු ගුවන්විදුලි සේවාවලට සම්බන්ධ වුණා. කලක් ශ්‍රී එෆ් එම් හි ප්‍රවර්ධන හා පර්යේෂණ අංශයේ සේවය කළා. මම පුවත්පත් කලාවට මුලින්ම සම්බන්ධ වුණේ සුජීව ප්‍රසන්න ආරච්චිගේ යොවුන් පුවත්පත් සංස්කෘතිය තුළින්.

සුජීව ප්‍රසන්න ආරච්චිගේ ඔය කියන පුවත්පත් කලාව ප්‍රදීප් කුමාර බාලසූරිය වැනි අය ආරම්භ කළ ඒ සම්ප්‍රදායේ අවසාන නියෝජනය ලෙසින් ගත හැකියි නේද?

සමහරු උපහාසයට මෙන් කියනවා ඒ පත්‍ර කලාව අවසන් කළෙත් ඔහුයි කියලා. ඒ කොහොම නමුත් පසුව මම ටෙලිනාට්‍ය පිටපත් ලිවීම, ගීත රචනය ආදී වශයෙන් ටෙලි නාට්‍යය ක්ෂේත්‍රයට සම්බන්ධ වෙනවා. සිරස ටෙලිවිෂන් ආයතනයේදී හැරල්ඩ් විජේසිංහගේ සහාය අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ මම ඒ ඔස්සේත් බොහෝ දුරක් ගමන් කරනවා.

කොටින්ම මගේ බිරියට පළමු දරුවා ලැබුණෙත් ටෙලි නාට්‍යය ලොකේෂන් එකකදීයි.ස්ථිර වෘත්තීය පැවැත්මක් වෙනුවෙන් විදේශගත වෙන්නට මට සිදු වෙනවා. මා කිසිදාක පය ගසා නොතිබුණු තරු පහේ හෝටල් සංකීර්ණයක නේවාසික මානව සම්පත් කළමනාකරුවකු හැටියට සේවය කරන්නට මට සිදු වන්නේ ඒ අනුවයි.

අන්තර්ජාලයේ බස්සා නමින් පිටුවක් ආරම්භ කොට ලිවීම කරගෙන ගිය මට පසුව ලේක්හවුස් ආයතනයේ පුවත්පතක් වෙනුවෙන් කොලමක් ලියන්න ආරාධනාවක් ලැබුණා. ලංකාවේ සමාජ දේශපාලන සංසිද්ධීන් විදේශයන්ට පෙනෙන ආකාරයත් විදේශගතව සිටින අයකු ලංකාව දකින ආකාරයත් තුලනාත්මකව සංසන්දනය කරමින් ලිවීමට ලැබුණු අවස්ථාව තුළයි මට “බකුසුවත” නමින් ඒ කොලම් එක ලියන්න අවස්ථාව ලැබුණේ.

ඔබ කොහොමද එතකොට ලංකාවේ සමාජ දේශපාලන පරිසරය දුටුවේ?

අපේ රට සම්බන්ධයෙන් ගත්තාම පැහැදිලිවම දකින්න පුළුවන් තත්ත්වයක් තමයි සම්පත් කළමනාකරණයේ පවත්නා දුර්වලකම. ඒ වගේම ඊට අවශ්‍ය නායකත්වයක් නැතිකම.

ඒ වගේම ජනතාව ගැනත් මෙතැනදී කතා කරන්න වෙනවා. ඒ මොකද නායකයකුට විතරක් තනිවම හැම දෙයක්ම කරන්න බැහැ. එතැනදී ජනතාවටත් වැඩ කොටසක් තියෙනවා. ඒ අනුව රටට කලින් හැදෙන්න ඕනෙ පුද්ගලයායි. මගේ මේ ලිවීම තුළ පොදුවේ ඉස්මතු කළ අදහසත් ඒකම තමයි. සිස්ටම් වෙනස් කරන්න බැහැ මිනිසුන් හිතන හැටි, ඒ වගේම ඔවුන්ගේ ආකල්ප වෙනස් කරන්නේ නැතිව. මෙන්න මේ කාරණය මගේ ලිවීම තුළ පැහැදිලිවම දකින්න පුළුවන්.

මා සිටින ඩුබායි දේශයේ ජනතාව මහාමාර්ගයේ ගමන් කරන විට ටොෆී කොළයක් තරම් දෙයක්වත් පාරට විසි කරන්නේ නෑ. පාරේ කෙළ ගහන්නේ නෑ. වැරදි තැනකින් පාර හරහා ගමන් කරන්නේ නෑ. වැරදි තැනක වාහන නවත්වන්නේත් නෑ. ඒ ඇයි? එතැනදී නීති රෙගුලාසි තියෙනවා. මිනිස්සු ඒ තත්ත්වයට හුරු කරන්න අවශ්‍ය පළමු පියවර තමයි ඒ. දැන් බලන්න අපිට කිසිම විනයක් තියෙනවද කියලා. පෝලිමක ඉන්න කොට අපේ සිරිත තමයි කොහෙන්ද පනින්නෙ කියලා හොයන එක. ඒ ගැන අපි ලැජ්ජ වෙන්නෙ නෑ. ඒත් සංවර්ධිත ලෝකයේ මිනිසුන් එහෙම කරන්නෙ නෑ. වැරදි කිරීම ගැන ඔවුන් ලැජ්ජ වෙනවා. ඔවුන් දන්නවා තමන් සිටිය යුතු තැන. ඒ වගේම කවුන්ටරයේ සිටින මනුෂ්‍යයාත් පෝළිමේ අනුපිළිවෙළ අනුව තමන්ගේ සේවය ලබාදීමට කටයුතු කරනවා. මේ නිසා ඉක්මනින් කටයුතු කරන්නත් පුළුවන් වෙනවා. මම ලබපු අත්දැකීම්වලට අනුව ඒ රටවල ආයතනගතවත් වැඩ කටයුතු සිද්ද වෙන්නෙ විධිමත් ක්‍රමානුකූල තත්වයක් අනුවයි. ආයතනයක දෙපාර්තමේන්තු තියෙනවා. ඒ දෙපාර්තමේන්තුවල ප්‍රධානියාගේ සිට පහළම සේවකයා දක්වා ගත්තම ඔවුන්ගෙන් සිදුවිය යුතු කාර්යභාරයක් තියෙනවා. එදා දවස තුළ ඔවුන් එය අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු වෙනවා. ඒ විතරක් නෙවෙයි උදෑසන හමුවේදී තමන් පෙර දවසේ කළ කාර්යයන් වගේම අද දවසේ කිරීමට බලාපොරොත්තු වන කාර්යයන් ගැනද වාර්තා කළ යුතුව තිබෙනවා.

මේ කියන සමාජගත කරුණු ඒ වගේම නිරීක්ෂණ ඔබේ තීරු ලිපිය ලිවීමට මොනවගේ බලපෑමක්ද සිදු කළේ?

ඒ සමාජගත කරුණු ලංකාවට අදාළ නොවන්නේ ඇයි කියන කාරණය වගේම ඊට අමතරව ඒ පසුබිමේම කලාව ගැනත් මගේ නිරීක්ෂණ සහ අදහස් ඉදිරිපත් කරන්න මම කටයුතු කළා. කලාව ගැන අදහස් ප්‍රකාශ කිරීමේදී ලංකාවට අදාළ මගේ නිරීක්ෂණය මෙහෙමයි. නිර්මාණාත්මක කටයුතුවලදී අපි දන්නවා ඊට අවශ්‍ය සංයමයක් තියෙන්න ඕනෑය කියන කාරණය. නමුත් මේ රටේ බොහෝ කලාකරුවන් තුළ ඒ සංයමය මා දකින්නේ නෑ. නිර්මාණය අවසන් කිරීමට පෙර සිටම අපි කල්පනා කරන්නේ ඒක විකුණගන්නේ කොහොමද කියලයි. එහෙම නැතුව අපේ නිර්මාණය රස විඳින්න ජනතාව පොලඹවා ගන්නේ කොහොමද කියන එක ගැන අපි කල්පනා කරන්නේ නෑ. රැල්ල තියෙන අතට නිර්මාණ කරනවා මිසක් අපේ නිර්මාණයත් සමඟ නව රැල්ලක් ඇති කරලා එතනට ජනතාව ගෙන්වා ගන්න අපි උත්සාහ කරන්නේ නෑ. ඒ විදිහට හරිම උදාසීන විදිහටයි අපි කටයුතු කරන්නේ.

සුදුසු තැන ඊට අවශ්‍ය පුද්ගලයන් නොසිටීමත් මෙතනදී අදාළ වෙනවා. සෑම මට්ටමකදීම මෙම තත්ත්වය දකින්න ලැබෙනවා. මං කියන්නෙ, යම්කිසි කාර්යයක් කරන අයකුට ඒ සම්බන්ධයෙන් විෂය අවබෝධයක් තියෙන්න ඕනෑ කියන එකයි.

බකුසුවත නමැති නමින් පළ කරන මෙම තීරු ලිපි සංග්‍රහයේදී ඔබ විශේෂ බස් වහරක් අනුගමනය කළාද?

ඇත්ත වශයෙන්ම නෑ. නිදහස් ශෛලියක් මත තමයි මෙය ලියවුණේ. සම්මත ව්‍යාකරණය අනුව මෙය කියවුවහොත් එවැන්නක් පවා දැකිය නොහැකි විය හැකියි. කොටින්ම කියනවා නම් මම ලියුවේ මට දැනෙන දේ. මට හැඟෙන දේ. එතනදී මම මෙහෙම දෙයකුත් කළා. උදාහරණයක් විදිහට උණුසුම් පිළිගැනීම කියා යෙදුමක් අප අතර තියෙනවා. මම මේ වචන දෙක ගැන විමසීමක යෙදුණා. උණුසුම් පිළිගැනීම කියන්නේ මොකක්ද? උණුසුම් නම් වදන විශේෂයෙන්ම යොදන්න හේතුවක් තියෙනවද? ඒ සතිය තුළදී රට තුළ සිදුවුණා වූ සමාජ සංසිද්ධීන් සමඟ ගළපමින් මම ඒ විමසීම සිදු කළා. මෙවැනි ගළපා ගැනීම් සහ විමසීම් සමඟ ලියවුණු මේ තීරු ලිපි සංග්‍රහය මගේම නිරීක්ෂණයක් වශයෙන් ඉදිරිපත් කරන්නයි මම කටයුතු කරලා තියෙන්නේ.

Comments