ජීවිතය වෙනස් කරන්නේ ක්‍රීඩාව | Page 5 | සිළුමිණ

ජීවිතය වෙනස් කරන්නේ ක්‍රීඩාව

 

‘ඈ ළමා සොල්දාදුවෙක් වූයේ රටක් බෙදන්නට නොව කුසට ආහාර වේලක් ලබා ගැනීමට ඇති මානව අයිතිවාසිකම සුරක්ෂණය කරන්නට ය. එය සමස්ත සමාජයට පෙර ඈ තම මාපියන් වෙත දිනා දීමට උත්සුක විණි. එහෙත් දැන් ඈ ධාවනය තුළින් ජීවිතය වෙනස් කර ගන්නා ආකාරය කියාදෙන ගුරුවරියකි. මේ ඇගේ කතාව ඇසුරින් තැබෙන සටහනකි.’

මීරා රායි නේපාල ජාතික තරුණයකි. ඈ උපන්නේ නැඟෙනහිර නේපාලයේ ගොවි නිවසකය. අන්ත දරිද්‍රතාවයෙන් පිරුණු සිය ළමා ජීවිතය තුළ ආහාර වේලක් වෙනුවෙන් ඈ අනන්ත දුක් වින්දා ය. එසේ කුඩා කල අනුභව කළ දුක් කන්දේ පීඩනය ඇයට කීවේ තම මාපියන් ඉන් මුදා ගත යුතු බව ය.

‘මගේ පවුලේ සාමාජිකයෝ ආහාර වේලක් වෙනුවෙන් පවා සෑහෙන්න දුක් වින්දා. මේ තත්ත්වය දැනෙද්දී, විඳිද්දී මට මගේ මාපියෝ රැකගන්න මොනවා හරි කරන්න අවශ්‍ය වුණා.’ රායි අතීතය සිහිපත් කර අද පවසන්නී ය.

එහෙයින් ඈ කළේ යන්තමින් අවුරුදු 14 වද්දී නේපාල ආණ්ඩුවට එරෙහිව සටන් කළ ගරිල්ලා සටන්කාමීන් හා එක්වීම ය. ඒ තම පවුල් සාමාජිකයන්ට යම් සහනයක් සලසා දෙන්නට හැකි වෙතැයි ඇති වූ හැඟීම ඉවහල් කර ගනිමිනි.

‘ඔවුන් එදා අපට අවස්ථාවක් දෙන්න කැමති වුණා. ඒ නිසා මම මේ විමුක්තිකාමීන් එක්ක ජීවත් වෙලා බොහෝ දේ ඉගෙන ගත්තා.’ ඈ පවසන්නී ය.

ඈ ගරිල්ලා ඇසුරේ වෙඩි තැබීමට අමතරව ප්‍රතිවාදීන් නිරායුධ කිරීමටත් පසුබැසීම හා හඹා යෑම වෙනුවෙන් පුහුණුවක් ලෙස ධාවනය වෙනුවෙනුත් පුහුණු කරනු ලැබිණි. එය ඇයට පසුකාලීනව ජීවිතය ජය ගැනීමට උපයෝගී වූයේ පුදුමාකාර ලෙස ය.

මෙලෙස සැඟවී සටන් වදිමින් නේපාල කැරැලිකරුවන් දශක දෙකකට අධික කාලයක් රාජ්‍ය බලය අල්වා ගැනීමට උත්සාහ කළ හ. එහෙත් අවසානයේ ඔවුහු රජයට එරෙහි සටන අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පිවිසීමට තීරණය කළේ ය. ඒ 2006 වසරේ දී ය. ගරිල්ලා හමුදාවේ සිටි බොහෝ දෙනෙක් නේපාල හමුදාවට බැඳිණි. නමුත් රායි ඊට සුදුසුකම් ලැබුවේ නැත.

ඒ අනුව ඈ ජීවත්වීම සඳහා සොච්චම් මුදලකට හෝ වෘත්තීය අවස්ථාවක් නිර්මාණය කර ගැනීමේ අරමුණෙන් මැලේසියානු ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තශාලාවක සේවයට යෑමට තීරණය කළා ය. එහෙත් ඇගේ කරාටේ උපදේශකයා ඊට එකඟතාවයක් දැක්වූයේ නැත.

ක්‍රීඩාවට එක්වෙයි

ඒ අනුව ඈ මැරතන් ධාවනයට එක් වන්නට උත්සාහ කළා ය. ඒ වෙනුවෙන් පුහුණුවීම සඳහා ආසන්න ම ක්‍රීඩාංගණයට යෑමටවත් ඈ සතුව මුදල් තිබුණේ නැත. ඊට අවශ්‍ය බස් ගාස්තු වශයෙන් ශත පහළොවක් සොයා ගැනීම පවා ඇයට දුෂ්කර කාර්යයක් විණි. එහෙයින් ඈ සිදු කළේ නගරයේ ජනාකීර්ණ මාවත් ඔස්සේ ක්‍රීඩාංගණය තෙක් ඇති දුර ප්‍රමාණය ධාවනයේ නියැලී ගමන් පහසුව සලසා ගැනීමය. ඉන් ඈ ධාවිකාවක ලෙස තවදුරටත් ඔපමට්ටම් විණි. පුදුමයකට මෙන් ඈ එසේ තමන් සහභාගි වූ පළමු තරගයම ජය ගත්තා ය.

‘අපි පුංචි කාලේ ඉඳලාම දුවන්න පුරුදු වුණු අය. අපේ ගම්වල කඳු වැටිවල ඉහළ ඉඳං හැමදාම අපි පහළට දිවගෙනයි ආවේ. ඒ වගේම දිවගෙන ගියා. ඒ නිසා ධාවනය කියන එක මට අලුත් දෙයක් වුණේ නෑ.’ ඈ ඒ සම්බන්ධයෙන් සිහිපත් කරමින් පවසන්නීය.

එයින් පසු ඈ දිගින් දිගටම ධාවනයේ නියැළුණාය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ලෝක මට්ටමේ දිගු දුර ධාවන තරග ජය ගන්නට ඇයට අවස්ථාව උදාවුණේ ය. දැන් රායි යනු ලොව පිළිගත් ධාවිකාව

කි.

කිලෝ මීටර් 120 ක් දුරැති බෙන් නෙවිස් අල්ට්‍රා ධාවන තරගය වෙනුවෙන් ඈ 2017 වසරේ දී ස්කොට්ලන්තයට ගියා ය. නැෂනල් ජියොග්‍රැපික් සඟරාව විසින් අභියෝගාත්මක ක්‍රීඩා ධාවනයේ නියැළෙන වසරේ ක්‍රීඩිකාව ලෙස ඇයව නම් කරනු ලැබුවේ ද එම වසරේ දී ම ය.

‘මට මගේ ජීවිතය දිනාගන්න උපකාර ලැබුණා. එසේ නොවුණා නම් අද මම කොහෙද ඉන්නේ කියලා හිතාගන්නවත් බෑ.’ ඈ පවසන්නීය.

‘ක්‍රීඩාව මගේ ජීවිතය වෙනස් කළා. ක්‍රීඩාවෙන් සෙසු අයගේ ජීවිතත් වෙනස් කරන්න පිළිවන්.’ ඈ පවසන්නී ය.

නේපාල දැරිවියන් වෙනුවෙන්

ධාවනය නේපාල දැරිවියනට අරුමයක් නොවේ. ඒ ධාවනයේ නියැළීම ග්‍රාමීය ප්‍රදේශයන්හි ජීවත් වන ජනතාවගේ ජීවිතයේ සුපුරුදු අංගයක් වන හෙයිනි. එහෙත් ඔවුන් පැටි වියේ දී ම යුග දිවියට එළඹීමට සිදුවීම අනිත් ගැටලුව ය. ඊට විසඳුම් දෙමින් කාන්තාවන් බල ගැන්වීමට මීරා රායි දැන් ඉදිරියට පැමිණ සිටී.

‘මේ වගේ තත්ත්වයක් උඩ කාන්තාවන් ක්‍රීඩාවට ගෙන්වා ගන්න එක අමාරු වැඩක්. ඒත් මම ඒ වෙනුවෙන් ඔවුන් බල ගන්වන්න ඉදිරිපත් වෙනවා.’ රායි පවසන්නීය.

‘නේපාල තරුණියන්ගේ ජීවිත ඇතුළේ පිරුණු ශක්තිය, හැකියාව නිකරුණේ අපතේ යනවා. ඔවුන් ඔහේ ජීවත් වෙනවා. ඒක හරියට නිර්නාමිකව අවසන් වන ජීවිත බවට පත්වෙලා. මට ඕනෑ එය වෙනස් කරන්නයි.’ ඈ පවසන්නීය.

‘මම දන්න දේවල් මාත් එක්ක පුහුණුවට පැමිණෙන ක්‍රීඩිකාවන් හා බෙදා ගන්නවා. ඔවුන් අනාගතයේ ධාවිකාවන් නොවුණත් මට උවමනා ඔවුන්ගේ ජීවිත ස්වාධීන භාවයට පත්කරන්න යි. ‘රායි වැඩිදුරටත් පවසන්නී ය.

‘ක්‍රීඩාව තුළින් ජීවිත වෙනස් කරන්න පුළුවන්. ඒ සඳහා මාව නිදර්ශනයක් කර ගන්න.’ රායි නේපාල තරුණියන්ට පවසන්නේ එහෙයින් ය.

 

Comments