දශක තුනකට වැඩි කාලයක් පාඨක ආදරය විඳිමින් සිටින්නී | Page 2 | සිළුමිණ

දශක තුනකට වැඩි කාලයක් පාඨක ආදරය විඳිමින් සිටින්නී

ප්‍රබන්ධය අපට සහකම්පනය ලබා දෙයි. එය අප ව අනෙක් මිනිසුන්ගේ මනස ඇතුළට කැඳවා ගෙන ගොස් ඔවුන්ගේ ඇස්වලින් ලෝකය දැකීමට ඉඩ සලස්වයි. ප්‍රබන්ධය මායාවකි. නමුත් එයින් නැවත නැවතත් අපට පෙන්වා දෙනු ලබන්නේ සැබෑ කරුණු බව කියන්නේ නීල් ගේමන් නැමැති විචාරයකයා ය. ප්‍රබන්ධය මුළුමනින් ම මායාවක් වන අවස්ථා මෙන් ම එය යතාර්තයේ තබා අර්ධ මායාමය ස්වරූපයෙන් නිර්මාණය ගොඩනඟන අවස්ථා ද තිබේ. එය තීරණය වෙන්නේ නිර්මාණකරුවා යොදා ගන්නා ප්‍රස්තුතය, වස්තුබීජය හා ආකෘතිය මත ය. බොහෝ නිර්මාණකරුවෝ අර්ධ ම ය ප්‍රබන්ධ ස්වරූපයකින් පරිකල්පනයේ දවටා නිර්මාණ කරති. ඒවා පොදු ප්‍රවාහය ඇතුළත පාඨක වපසරියට ගැනෙන්නේ ස්වකීය ජීවිත විවිධාකාරයෙන් කියවාගත් නිර්මාණ ලෙසිනි. මේවා හා පාඨකයෝ ආදරයෙන් බැඳෙති.

සමහර නිර්මාණ කෘති කියවා අඬන, සුසුම්ලන, තනියම සිනාසෙන පාඨකයන් අපට මුණ ගැසෙන්නේ ඒ නිසා ය. නවකතාවක් අතට ගත් පාඨකයෙක් මේ ලියා ඇත්තේ මා ගැන ම යි කියා කියැවෙන්නේ අප පෙරකී අත්දැකීම් හි සාම්‍යය නිසා ය. කල්ප කාලාන්තරයක් එක ම සිද්ධි සිද්ධ වෙමින් පවතින අතරේ අප ඒවාට මුහුණ දෙන ආකාරය පමණක් වෙනස් වී ඇති බව ඔබ මේ වනවිටත් දන්නා බව මම දනිමි. මේ එක ම සිද්ධි දාමයට අප මුුහුණ දෙන්නේ තම තම නැණ පමණිනි. විඳීම්, විඳවීම් පරාසවල පරිමාව අනුව ය. එනයින් බලන කල ලේඛකයන් මේ කරමින් සිටින්නේ අප ජීවිත කියවා ගැනීමක් යැයි මම ඔබට කිවහොත් ඔබ විරුද්ධ නොවනු ඇතැයි සිතමි.

චන්දි කොඩිකාර ලේඛිකාව දශක තුනකට වැඩි කාලයක් තිස්සේ මෙකී පාඨක ආදරය විඳිමින් සිටින්නී ය. ඒ ඇය අතින් අඩුවැඩි වශයෙන් පාඨක සිත් සතන් කියැවෙන නිසා ය. මේ වනවිට ඇය නවකතා 136ක් ලියා තිබේ. එ්වා අතර අතිශය ජනප්‍රිය වූ නවකතා 10කට වැඩි ප්‍රමාණයක් ටෙලිනාට්‍යයටත් නැඟී තිබේ. රන්දෝලි, තරු පබා, රන්මසු වැස්ස, පිච්ච මල් බිසව්, චතුරිකා වැනි නවකතාවලින් නැඟුණු රූපමය වපසරියට ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලැබුණු බව අප මතකයේ වෙයි. ඒ අතරිනුත් රන්දෝලි ඇයට විශේෂ ය. ඇය රන්දෝලි අත්දැකීම අප ඉදිරියේ පැවසුවේ මෙලෙසිනි.

‘ ඩයනා ස්පෙන්සර්ගේ මතකය මට මේ සඳහා බලපෑවා. එක කාලයක් ඇය නැනී කෙනෙක් විදියට වැඩ කරලා තියෙනවා. දැන් ලංකාවේ වෘත්තීය වශයෙන් ගත්තොත් ගෘහ සේවිකාවන්ට ඕනෑතරම් රැකියා තියෙනවා. හැබැයි කිසිම කෙනෙක් ගෘහ සේවිකාවක් විදියට යන්න කැමැත්තක් දක්වන්නෙ නෑ. සාමාන්‍ය ඉගෙනුමක් තියෙන කාන්තාවක් කො‍ෙහාමටවත් කැමැති නෑ එහෙම යන්න. මේ කාරණය මගේ ඔළුවෙ තිබුණා. ඉතින් මම රන්දෝලි ලිව්වෙ මේ අදහසට වෙනස් අදහසක් ගැන කියන්න. මම අවශ්‍ය වුණා හොඳ උගත් ගැහැනු කෙනෙක් ගෘහ සේවිකාවක් විදියට රස්සාවකට යන කතාවක් කියන්න.

උදාහරණයක් විදියට මම ගත්තොත් මට හිතෙනවා නවකතාවක් ලියන්න වලව්වක් ගැන කියලා හිතන්න. මට ඒක නිකම්ම ලියන්න බැහැනෙ. ඉතින් මට වලව්ව එක්ක ගැවසෙන්න වෙනවා. ඒකට හොඳ ම ක්‍රමය තමයි ඒ වලව්වෙ කුමන හෝ රැකියාවකට යන එක. මෙහි එන දේවින්දි කියන චරිතයට ගෘහ සේවිකාවක් විදියට රස්සාවකට යන්න හම්බු වුණා. හැබැයි මෙයා ඇත්තට ම හොඳට සල්ලි තියෙන පවුලක එක්කෙනෙක්. මේ කතාව කොච්චර ජනප්‍රිය වුණා ද කියනවා නම් ටෙලිනාට්‍යයටත් නැඟුණා. මගේ නිර්මාණ ජීවිතෙත් රන්දෝලි හැරවුම් ලක්ෂ්‍යයක්‘

ලේඛකයන් ජීවිත දිහා බලන්නේ අනෙක් පුද්ගලයන්ට වඩා සියුම් ආකාරයකිනි. ජිවිත නිර්මාණය වෙන්නේ එකිනෙකට වෙනස් පරස්පර කාරණා බොහොමයක එකතුවෙනි. එහි ජීවිත ලාලාසාවේ සියල්ල අන්තර්ගත ය. බලාපොරොත්තු, සිහින, විවිධ අරමුණු, ආදරය, විරහව, දුක හා වේදනාව මේ සියල්ල ම මෙහි අඩු වැඩි වශයෙන් අන්තර්ගත ය. මේ සියලු දෑ ඔස්සේ ගොඩනැඟෙන අත්දැකීම් සියල්ල පොදු ඒවා සේ සියල්ලෝ ම ජීවිත කාලය පුරා විඳිති. ඒ අත්දැකීම් තමාට දැනෙන පරිද්දෙන් විඳීම් ලෙස අපේ ජීවිතවල එකතු වේ. මේවා එකකට එකක් සමාන වෙන්නේ නැත. එහෙත් මේවායේ යම් යම් දේවල් අපට ජීවිතයේ අනුපාන වශයෙන් එකතු වේ. බැඳීම්, වෙන් වීම් හා පශ්චාත්තාප වීම් අබියස අපි රිදුණු තැළුණු හිත් නිවා ගන්නට දේවල් සොයන්නෙමු. ඒ සඳහා අනුපාන සපයන්නේ නිර්මාණ කෘති ය.

ඉසිදිය මංගල්‍යය ලියමින් චන්දි ලේඛිකාව ද සිය අත්දැකීම් පාඨක ඥානණය සඳහා ලියා තබන්නට උත්සුක වෙයි.

‘මේ නිර්මාණයේදී මම උත්සාහ කළේ ළාබාල වයසෙදි ම වැඩිහිටි අත්දැකීම් ලබා ගන්න උත්සුක වුණු ගැහැනු ළමයෙක් ගැන ලියන්නයි. ජීවිත ඛේදවාචක වෙන්නෙ යන්නෙ සුළු මොහොතයි. මේක මගේ යෙහෙළියකට සිදුවුණු දෙයක්. ඉස්කෝලෙ යන කාලෙ ම ලිංගික අත්දැකීම් ලබා ගැනීමට ගොස් සිය ජීවිතයෙන් වන්දි ගෙවන ආකාරය තමයි මෙහි නිරූපිත වෙන්නෙ. එයා ඒක තේරුම් අරන් ජීවිතේ ගොඩනඟා ගන්නවා. හැබැයි ඒ වෙනකොට ගොඩක් දුක් වේදනාවලට මුහුණ දෙන්න ඇයට සිදු වෙනවා. ඒ කතාව තමයි මම අන්තිමට ම ලියපු නවකතාව‘

ලේඛකයා තම අවට සමාජයේ සිදුවෙන බොහෝ දෑ ගැන සවිඥානික ය. ඒවා සිය නිර්මාණවලට අන්තර්ගත කිරීමෙන් ලේඛකයා බලාපොරොත්තු වෙන්නේ යම් ආකාරයක දැනුම්වත් කිරීමකි. නවකතාකරණය යනු අවවාද අනුශාසනා දෙන මාර්ගයක් නොවූව ද ඒ ඔස්සේ යම් සාධනීය මතවාද සමාජගත වීම වැළැක්විය නොහැකිය. අප ප්‍රේමය, ආදරය වශයෙන් හඳුනා ගන්නේ තම පැවැත්ම උදෙසා කරනු ලබන ජීවන විධික්‍රමයක් ලෙස ය. ගැහැනිය බොහෝවිට ප්‍රේමයේදී අවංක ය. ඇය ප්‍රේමයක් උපදින විට ඕනෑ ම දෙයක් පරිත්‍යාග කිරීමට නොපසුබට වෙන්නේ ය. ඒ පොදු සාම්‍යය චන්දි ලේඛිකාව ද සිය අත්දැකීම ඔස්සේ විදාරණය කරන්නේ ය. සිය යෙහෙළිය වැඩිහිටි අත්දැකීම් ළමා වියේදී ලබා ගත්තා යනුවෙන් ඇය ස්වකීය අත්දැකීම අනාගත ගැහැනු දරුවන් වෙනුවෙන් ලියා තබන්නේ ඒනිසා ය.

කුල ගැටලුව විසින් පීඩිතත්වයට පත් සමාජ අතර ලාංකේය සමාජය ද ඉදිරියෙන් ම සිටින්නේ ය. ස්පර්ශිත, අස්පර්ශිත සීමා ගැන කතා කරන කමලා දාස් ලේඛිකාව කියන්නේ ස්පර්ශ කිරීමට අවශ්‍ය වූ විට කුලබේද නැති බවකි. දහවල අස්පර්ශිත දෑ රාත්‍රියේ කිසිවකුටත් නොපෙනෙන්නට ස්පර්ශිත කාරණයක් වෙන අයුරු ඈ ලිව්වේ අපට වඩා කුල බේදයෙන් බොහෝ බැටකන ඉන්දියාවේ සිට ය. කුලය බලය කෙතරම් සමාජය වෙළාගෙන සිටින්නේ ද යන්නට ලිඛිත සාක්ෂියක් වන්නේ පත්තරවල මංගල දැන්වීම් ය. තවත් දුරට ගියහොත් නම් වෙනස් කිරීමේ නිවේදන ය. චන්දි ලේඛිකාව ද මේ ගැටලුවෙන් සිය හදවත බර වූ අත්දැකීමක් පාඨක අප වෙනුවෙන් ලියා තබන්නේ ය. ඇය ම පවසන එකී අත්දැකීම මෙසේ ය. නවකතාව හීන කුලහීන ය.

‘මේ අත්දැකීම මගේ හිතේ ගොඩක් කාලයක් තිස්සෙ තිබුණා. ටෙලිනාට්‍යයක් වෙනුවෙන් වලව්වක් හොයන්න අපි ගියා. අපට හරි ලස්සන, ප්‍රෞඪ වලව්වක් හම්බ වුණා. ඊට පස්සෙ අපි ඒ වලව්වෙ අයිතිකාරයා එක්ක කතා කළා ම ඔහු කිව්වා මම උපතින් වලව්කාරයෙක් නොවෙයි; කුල පීඩනය නිසා ජීවිතයෙන් හුඟක් බැට කාපු කෙනෙක්. ඇත්තම කියනවා නම් තමා වලව්වක් තියා ගමේ උසස් ගෙදරක ඉදිරිපස දොරටුවෙන් ඇතුළු වෙන්නවත් පුළුවන් කමක් තිබුණු තැනක කෙනෙක් නොවන බව ඔහු පැවසුවා. ඔහු දවසක් සිය පියා එක්ක මේ වලව්වට කුඩා කාලයේ ගිහින් තියෙනවා. ඉතින් ඔහු වලව්ව දිහා හොඳට බලද්දි වලව්ව අයිතිකාරයා ඇහුවලු මොකද උඹ ඔච්චර වලව්ව දිහා බලන්නෙ සල්ලි දීලා ගන්නද කියලා. ඉතින් තාත්තා එක්ක ගෙදර වැඩ කරන්න ගිය මේ පොඩි කොලුවා කිව්වලු කවදහරි සල්ලි හම්බ කරගත්ත දවසක මම මේ වලව්ව ගන්නවා කියලා. ඒ කතාව නිසා ලොකු නිලමෙ එක්ක කතාවකුත් ගිහින් තියෙනවා. මේ ළමයා ව්‍යාපාර කරලා දියුණු වෙලා මේ වලව්ව ඇත්තට ම සල්ලි දීලා ගන්නවා. මට මේ කතාව කිව්වෙ ඇත්තට ම එහෙම කළ කෙනා. මගේ ඔළුවේ කාලයක් තිස්සෙ මේ කතාව තිබුණා. පරිකල්පනීය දේවල් සමඟ මුසු කරලා මම මේ කතාවයි හීන කුලහීන ලෙස ලිව්වෙ‘

මිනිසුන් ජීවත් වෙන්නේ හීන ඔස්සේ ය. ඒ හීන හැබෑ කරගන්නට අවැසි බොහෝ දෑ ඔවුහු ගොඩ නඟති. එයට කුලවත් හෝ කුලහීන කියා දෙයක් නැත. මේවා පොදු මානව හැඟීම් ය. කෙසේ කොහොම කළත්, කොහොම ලැබුණත් බොහෝ අය කිසි දෙයකින් සෑහීමකට පත් නොවෙති. දිළින්දන් පොහොසත් වීමටත්, පොහොසතුන් තව පොහොසත් වීමටත් උත්සාහ කරති. එහෙත් මේ සියල්ල අවසානයේ පහන් සිළක් සුළඟින් නිවී යන්නා සේ මේ සියල්ල ම මොහොතකින් නැතිවී යා හැකිය. ලේඛකයන් ලියන්නේ මේ පොදු ජීවන විලාසාව ය. මනෝමූලික කාරණා වුව පොදු අත්දැකීම් බවට පත් කරන්නට නිර්මාණකරුවන් සමත් ය. කලක් දකින, විඳින දෑ තවතවත් පෝෂණය වී නිසි තැනට නිසි ලෙස යොදන්නට කතුවරයාගේ මැදිහත් වීම අත්‍යවශ්‍ය ය. අත්දැකීම් නමැති ගබඩාවෙන් අදාළ දෑ අදාළ තැනට යොදා පාඨක ඥානණය වෙනුවෙන් නිර්මාණකරුවා යම් දිනෙක ලියා තබන්නේ ය.

චන්දි කොඩිකාර ලේඛිකාව ද සුවහසක් පාඨක ආකර්ෂණය දිනන්නේ තම තමන් ද විවිධ අවස්ථාවල විඳි දෑ ඒ නිර්මාණ අතර ගෙත්තම් වී ඇති බවට පාඨකයාට දැනෙන නිසා ය. නිරවුල්, පැහැදිලි හා සරල ලේඛනය විසින් ඇගේ නිර්මාණකරණය ඔවපත් කර ඇති බැව් නොකියා බැරි ය.

Comments