ගුරු සිත් තුටු කරවා අනාවැකි බොරු කරවූ වෝල්කොට් | Page 5 | සිළුමිණ

ගුරු සිත් තුටු කරවා අනාවැකි බොරු කරවූ වෝල්කොට්

 

කාලය මීට වසර 82 කට පමණ පෙර වර්ෂයකි. හරියට ම කියන්නේ නම් 1940 වසරයි. ස්ථානය බටහිර ඉන්දීය කොදෙව් හි බාර්බෙඩෝස් ය. මෙම සිදුවීම සිදු වූයේ එහි පිහිටි පාසලක ය. එය හැරිසන් පාසල නම් විණි. 'කුයිරි' එහි ඉගැන් වූ සුදු ජාතික ගුරුවරයෙකි. හෙතෙම දිනක් තමන් යටතේ ඉගෙන ගන්නා සිසුවෙක් තමා වෙත කැඳවූයේ ය.

මේ සිසුවා කළු ජාතිකයෙකි. ගෙවා දමමින් සිටියේ 14 හැවිරිදි විය යි. එසේම මෙම ගැටවරයා ක්‍රිකට් ක්‍රීඩාවේ ද නිරත විණි. ගුරුවරයා මෙලෙස සිසුවා තමන් ඉදිරියට කැඳවා තිබුණේ අවවාදයක් දීමට ය. එහි දී ගුරුතුමා කීවේ තම ගෝලයා තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වීම නිෂ්ඵල ක්‍රියාවක් බව ය.

“ක්‍රිකට්වලින් ජීවත් වෙන්න ඔයාට බැහැ. ඒ නිසා පාසලේ වැඩ ගැන මීට වඩා උනන්දු වෙන්න. ඒවා හොඳින් කරන්න” ගුරුවරයා සිසුවාට කීවේ ය. එය උපදෙසකි. මෙහි දී ගුරුවරයා නිවැරැදි ය. ගුරුවරයා එසේ කීවේ ඒ වන විටත් මෙම සිසුවා කිසිම දිනක විභාගයක් සමත්ව නොතිබුණු හෙයිනි.

“එදා ගුරුතුමා පැවසූ දේ නිවැරැදියි. මම ඉගෙනීමට දක්ෂයෙක් වුණේ නැහැ. ඒ නිසයි ඔහු මට එවැනි උපදෙසක් ලබා දුන්නේ. ඒ වුණාට මගේ ක්‍රිකට් ක්‍රීඩා හැකියාව ගැනත් මගේ ගුරුතුමාට නිවැරැදි අවබෝධයක් තිබුණේ නැහැ. ඒ වුනත් මගේ ක්‍රීඩා හැකියාව ගැන නම් මට හොඳ විශ්වාසයක් තිබුණා” පසුව මෙම සිසුවා පැවසුවේ ය.

අවසානයේ දී සිදු වූයේ සිසුවා විසින් සිය ගුරුවරයාගේ අනාවැකිය බොරු කිරීමයි. ඒ ක්‍රිකට් ඉතිහාසයේ බිහි වූ විශිෂ්ටත ම පිතිකරුවෙක් බවට පත් වෙමිනි. ඒ අන් කවරෙක් හෝ නොව ශ්‍රීමත් ක්ලයිඩ් ලියෝපෝල්ඩ් වෝල්කොට් ය.

හෙතෙම කොදෙව් දූපත්වලින් බිහි වූ විශිෂ්ටත ම පිතිකරුවන් තිදෙනෙක් වූ සුප්‍රකට 'ඩබ්ලිව්' වරුන් තිදෙනාගෙන් කෙනෙකි. අනික් දෙදෙනා වූයේ ශ්‍රීමත් ෆ්‍රෑන්ක් වොරල් සහ ශ්‍රීමත් එවර්ටන් වීක්ස් ය. ඔවුන් තිදෙනා ම දකුණත් පිතිකරුවෝ වූ හ. වෝල්කොට් දක්ෂ කඩුලු රකින්නකු ලෙසත් දස්කම් දැක්වූයේ ය.

ටෙස්ට් තරග 44 ක ට ක්‍රීඩා කර ඇති වෝල්කට් එහි දී ලකුණු 3798 ක් රැස් කර තිබේ. ඊට ශතක 15 ක් හා අර්ධ ශතක 14 ක් ඇතුළත් කොට ඇත. එහි සාමාන්‍යය 56.68 කි. ඔහු රැක ගත් මුළු උඩපන්දු ගණන 53 කි. කඩුල්ල බිඳදැමීම් 11 කි. සාර්ථක ක්‍රීඩා දිවියකින් පසුව ඔහු පරිපාලනයට සම්බන්ධ වූයේ ය.

1975 සහ 1979 එක්දින ලෝක කුසලාන ශූරයන් වූ කොදෙව් පිලේ කළමනාකරු වූයේත් ඔහුම ය. එමෙන්ම 1993 වසරේ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) සභාපතිවරයා ලෙසත් මේ වෝල්කට් කටයුතු කළේ ය. ක්ලයිව් වෝල්කට් විසින් ක්‍රිකට් ක්‍රීඩාවට සිදු කළ සේවය වෙනුවෙන් පසු කලෙක හේ නයිට් නම්බු නාමයකින් ද පිදුම් ලැබී ය.

මේ අපූරු කතාවේ නිමාව සුන්දර වූයේ ය. 'කුයිරි' ගුරුවරයා වෝල්කොට් සිසුවාට උපදෙස් ලබා දී තවත් වසර 06 ක් ගත වූ පසු ඔවුන් දෙදෙනා යළිත් හමු වූහ. ඒ 1946 වසරේ දී ය. ඒ කොදෙව් පළමු පෙළ තරගයක දී වෝල්කොට් බාර්බෙඩෝස් පිල වෙනුවෙන් නොදැවී ත්‍රිත්ව ශතකයක් රැස් කළ පසුව ය.

“ඔහු මාව පිළිගත්තේ විශාල හිනාවකින්” වෝල්කොට් පසුව කීවේ ය. “ඔබ මගේ තොප්පිය මටම කන්න සැලැස්සුවා නේද?” 'කුයිරි' ගුරුතුමා සිනාසෙමින් වෝල්කොට් හට පවසා තිබිණි.

 

Comments