අපායට හෙණ ගැසීම හෙවත් හයිටියේ භූමි කම්පාව | Page 8 | සිළුමිණ

අපායට හෙණ ගැසීම හෙවත් හයිටියේ භූමි කම්පාව

ස්වභාවික විපත් සිදු වන්නේ කලින් දැනුම් දීමකින් නොවේ. එමෙන්ම කුමන ස්ථානයක, කිනම් අවස්ථාවකදී ස්වභාවික විපත් සිදුවේදැයි අනාවැකි පැවසීමට කිසිවකුට හැකියාවක් නැත. එහෙත් දැනටමත් ඛේදවාචකයකට මුහුණ දී සිටින රටක් ක්ෂණිකව සිදුවන ස්වභාවික විපතකට මුහුණ දීම යනු අපායට හෙණ ගැසීමක් හා සමානය. සැබවින්ම හයිටියේ අද තත්ත්වයද ඒ හා සමානය.

 

හයිටි ජනාධිපතිවරයා පසුගිය ජූලි මාසයේදී ඝාතනයට ලක් වූ අතර ඒ සමඟ රට තුළ අස්ථාවර තත්ත්වයක් උද්ගත විය. ලබන ජනවාරි මාසයේදී ජනාධිපතිවරණයක් පවත්වන බව වැඩබලන ජනාධිපතිවරයා ප්‍රකාශයට පත් කර සිටියේය. එහෙත් ජනාධිපතිවරයා ඝාතනයට ලක්වීමට පෙර වුවද හයිටියේ පැවතියේ යහපත් දේශපාලන තත්ත්වයක් හෝ ආර්ථික තත්ත්වයක් නොවේ. පසුගිය සතියේ මැග්නිටියුඩ් ඒකක 7.2ක භූමි කම්පාවක් සිදුවන්නේ එවන් වූ හයිටියේය.

එම භූමි කම්පාව හේතුවෙන් මේ වන විට අහිමි වී ඇති ජීවිත සංඛ්‍යාව 1500 ඉක්මවා තිබේ. ඇතිවූ දරුණු කම්පාව හේතුවෙන් නගර බිමට සමතලා වී ඇත්තේ පාසල්, නිවාස ඇතුළු ගොඩනැගිලි කොක්ක්‍රිට් දුහුවිලි බවට පත් කරමිනි. එමෙන්ම අබලන් වූ ගොඩනැගිලිවල එලසින්ම ක්‍රියාත්මක වන රෝහල් තුවාල ලැබූවන්ගෙන් පිරීගොස් තිබේ.

සාමාන්‍යයෙන් භූමිකම්පාවකට පසු සිදුවන අන්දමන් හයිටිට පුරා මහා වැසි ඇද හැ‌ෙලමින් පැවති අතර එය තත්ත්වය තවත් බැරෑරුම් කිරීමට සමත් විය. මරණ සංඛ්‍යාවද තවතවත් ඉහළ යා හැකි බවට තොරතුරු ලැබෙමින් පවතින අතර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව මේ වන විට 6000 ඉක්මවා තිබේ.

රෝහල් සඳහා ප්‍රමාණවත් ඉඩ පහසුකම් නොමැති වීමෙන් සහ භූමිකම්පාව හේතුවෙන් රෝහල් ගොඩනැගිලි කඩා වැටීම හේතුවෙන් ඉඩකඩ සහිත ස්ථානවල කූඩාරම් අටවා ඒවායේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමට වෛද්‍යවරු කටයුතු කරමින් සිටිති.

මරණයට පත් නොවීමෙන් හෝ තුවාල නොලැබීමෙන් ඉතිරි වූ බොහෝදෙනා තම නිවාස තිබූ තැන්වල සුන්බුන් හැකි පමණ ඉවත් කරමින් තම පවුල්වල සාමාජිකයන් පිළිබඳ තොරතුරක් සෙවීමට වෙහෙස දරමින් සිටිති. ඇතැම් තැන්වල තම මිය ගිය පවුලේ සාමාජිකයන් සොහොන් බිම් කරා තනිවම රැගෙන යන පුද්ගලයන් දැක ගත හැකි වී ඇත්තේ ඔවුන්ගේ පවුලේ වෙනත් කිසිවකු ඉතිරිව නොසිටින බැවිනි.

මේ අතර ඇමරිකාවේ හරිකේන් පිළිබඳ තොරතුරු මධ්‍යස්ථානය පවසා සිටින්නේ ඉදිරි දිනවලදී අඛණ්ඩව අඟල් 15ක පමණ වර්ෂාපතනයක් අඛණ්ඩව හයිටියට ලැබෙනු ඇති බවයි. මේ සමඟින් තවත් නායයෑම් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත්තේ භූමිකම්පාව හේතුවෙන් අස්ථාවර වූ භූමිය මතට අධික වර්ෂාව ලැබීම අහිතකර වන බැවිනි.

මේ වන විටත් හයිටියේ අගනුවරට සැතපුම් 80ක දුරින් පිහිටා ඇති නගරයක් සම්පූර්ණයෙන් පස් කන්දකින් වැසී ගොස් ඇතැයි වාර්තා වේ. එම නගරයේ දිවි ගලවා ගත් වැසියන් දිගින් දිගටම තම පවුල්වල සාමාජිකයන් සොයමින් සිටින අතර මේ දක්වා දිවි ගලවා ගත් කිසිවකු ඇතියි විශ්වාස කිරීමට අපහසුය.

කෙසේ වුවද හයිටියේ මේ අවාසනාවන්ත තත්ත්වය පදනම් කර ගනිමින් ඇමරිකාව ඇතුළු රටවල් රැසක් ආධාර එවීමට කටයුතු කර ඇති අතර එම ආධාර භූමි කම්පාවෙන් දිවි ගලවා ගත් ජනතාවගේ ජිවිත පහසු කිරීමට බෙහෙවින් උපකාර වනු ඇති බවට සැකයක් නැත.

Comments