- අවි ගබඩාව පිපිරී වසර 6කට ආසන්න වුවත් සාලාවේ වින්දිතයෝ තවමත් අසරණයි
- යහපාලන ආණ්ඩුවේ තවත් කඩවුණු පොරොන්දුවක්
- නිවෙසේ තබාගත් මෝටාර් උණ්ඩය මෙම ජනවාරි 27 වැනිදා පිපිරී සාලාවේ සිසුෙවක් තවමත් රෝහලේ
බස්නාහිර පළාතේ කොස්ගම, සාලාව නගරයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාව සතුවූ විශාලතම ආයුධ ගබඩාව පිපිරී ගොස් ලබන ජුනි මාසයට වසර හයක් සපිරේ. එය සිදුවූයේ පසුගිය ‘යහපාලන’ ආණ්ඩු සමයේදීය. ඉකුත් 27 වැනිදා කොස්ගම සාලාව නගරයේ යුද හමුදා කඳවුරට මීටර් 100ක් පමණ දුරින් පිහිටි නිවෙසක මිදුලක තිබූ බර අවි උණ්ඩයක් පුපුරා ගියේ පහළොස් හැවිරිදි පාසල් ශිෂ්‍යයකු බරපතළ තුවාල ලබමිනි. ඒ පිපිරීම සිදුව තිබුණේ එදින සවස 6.00ට පමණ කොස්ගම, සාලාව නගරයේ අංක 44 දරන නිවෙසේය. ප්‍රදේශවාසීන් පැවසුවේ 2016 වසරේ ජුනි 5 වැනිදා සාලාව යුද හමුදා අවි ගබඩාව පුපුරා යෑමේදී අවට නිවෙස්වලට පතිත වූ බර අවි උණ්ඩ ඇතැම් නිවැසියන් විසින් නිවෙස්වලම තබාගැනීමට කටයුතු කළ බවයි. පසුගියදා දා පුපුරා ගිය බර මෝටාර් උණ්ඩය ද එම නිවෙසේ ගෙහිමියා විසින් මිදුලේ උද්‍යාන අලංකරණයට අසුරා තිබූවකැයි පැවසේ. කෙසේ වෙතත් එය පුපුරා යෑමෙන් බරපතළ තුවාල ලැබූ සමීර අතපත්තු දරුවා මේ ලිපිය ලියන මොහොත වන විටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
එම සිදුවීමත් සමඟ තවත් පිපිරීම් සිදුවේදැයි සාලාව ජනතාව අතර ඇතිවූ බිය, සැක දුරුකිරීමට කොස්ගම පොලිසිය වහා පියවර ගනු ලැබිණ. ඒ අනුව කොස්ගම පොලිසිය විසින් ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර පිපිරීම සිදුවූ නිවෙසේ ඇති සෙසු උණ්ඩ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් නිෂ්ක්‍රීය කිරීමට පියවර ගනු ලැබිණ. සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ.එස්. දිල්හානි විසින් එකී සිදුවීම සම්බන්ධයෙන් 427-ඒ සාලාව ග්‍රාම නිලධාරීනී එස්.පී. වීරසේකරගෙන් වාර්තාවක් ද ලබාගෙන ඇති අතර, පොලිසිය සහ සාලාව යුද හමුදා කඳවුරේ සහභාගීත්වයෙන් ක්ෂේත්‍රය පුරා කඩිනමින් නිරීක්ෂණයක් සිදුකර එවැනි උණ්ඩ ඇත්නම් ඒවා විනාශ කර හෝ සුදුසු ආකාරයට ඉවත් කර ප්‍රදේශයේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා බව ද ප්‍රාදේශීය ලේකම්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
වසර පහකුත් මාස අටකට පෙර එදා සාලාව යුද හමුදා අවි ගබඩාවේ සිදුවූ පිපිරීම හේතුවෙන් සාලාව අවට ග්‍රාමසේවා වසම් 13ක පදිංචිව සිටි පවුල් 2,100ක් පමණ එහි ඍජු බලපෑමට ලක්වූ බව වාර්තා විය. ඒ ඔවුන් සතුව තිබූ නිවාස, ව්‍යාපාරික ස්ථාන ඇතුළු නිශ්චල සහ චංචල දේපළ රැසකට හානි කරමිනි. හමුදා කඳවුර ආසන්නයේ පිහිටි සාලාව, කොස්ගම (බටහිර), මුරුතගම, සුදුවැල්ල ආදී ග්‍රාමසේවා වසම්වල ජනතාවට එයින් වැඩි බලපෑමක් සිදුවූ අතර, කඩාවැටුණු ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත්කරන බව එවකට පැවති යහපාලන රජය ජනතාවට ප්‍රතිඥා දුන්නේය. ඒ අනුව හානියට පත් සියලු නිවාස හා දේපළ පිළිබඳ සංගණනයක් පවත්වා වන්දි මුදල් ලබාදීමටත් රජයේ අනුග්‍රහයෙන් හා යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් විනාශ වූ නිවාස කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බවත් එදා රජය පැවසීය.
එහෙත් ඒවා කඩවූ පොරොන්දු බවට පත්වී ඇති බවට එකී වින්දිතයෝ මැසිවිලි නඟති. සාලාවේ අවි ගබඩාව පිපිරීමෙන් හටගත් ගින්න නිවා දැමුවද එහි වින්දිතයන්ගේ හදවත්වල තවමත් එහි ගිනි පුපුරු ඉතිරිව ඇතැයි පසක් වූයේ ‘සිළුමිණ’ වෙනුවෙන් අප ඒ වින්දිතයන් සොයා ගිය ගමනේදීය. එදා ගින්නෙන් දැවී අළු ගොඩක් බවට පත්වූ සාලාව හන්දියේ කඩමණ්ඩිය වෙනුවට දැන් ඇත්තේ අලුතින් ඉදිවූ කඩපේළියකි. බාහිරින් එසේ පෙනුණද සාලාව අවි ගබඩවා පිපිරීමෙන් විපතට පත් ජනතාවගේ ජීවිත බොහොමයක් එසේ අලුතින් ගොඩනැඟී නැතැයි ඔවුන්ගේ කතාවෙන් පසක් විය. අවි ගබඩාව පුපුරා යෑමෙන් වැඩි පීඩාවටට ලක්වූ සාලාව, කොස්ගම (බටහිර), මුරුතගම, සුදුවැල්ල ඇතුළු ග්‍රාමසේවා වසම් 07ක ජනතාව එක්වී ‘සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත් ජනතා එකමුතුව’ නමින් සංවිධානයක් පිහිටුවා ගන්නේ පැවති රජය විසින් ඔවුන්ට දුන් පොරොන්දු පුස්සක් බවට පත්වන ලකුණු දැක දැකය. ජාතික එකමුතුව සංවිධානයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චිගෙන් අප විමසුවේ එම කටයුතුවල වත්මන් තත්ත්වය පිළිබඳවයි.
“සාධාරණ වන්දි නොලැබීම, ව්‍යාපාරික භාණ්ඩ වන්දි නොලැබීම සම්බන්ධයෙන් අභියාචානා ඉදිරිපත් කළ වින්දිතයන් රැසක් සිටිනවා. ඒ වගේම අවිස්සාවේල්ල දිසා අධිකරණයේ ගොනුකළ නඩු කටයුතුත් තවම සිදුවෙමින් තිබෙනවා. එයින් නඩු 5ක පසුගිය නඩු වාරයේදී අවසන් වුණේ නැවත වන්දි ලබාදීමේ නියෝගය ඇතිවයි. එයින් පැහැදිලි වෙනවා පෙර වතාවේ තක්සේරු ක්‍රියාවලියේ යම් ගැටලුවක් තිබෙන බව. ඊට අමතරව සියලු වින්දිතයන්ට සාධාරණය අපේක්ෂාවෙන් අපේ ජනතා එකමුතුව විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පිළිබඳ නඩුවත් පසුගිය ජනවාරි 18 වැනිදා කැඳවනු ලැබුවා. අපි ඉල්ලා සිටින්නේ වින්දිතයන්ගේ ගැටලු පිළිබඳ සලකා බැලීමට අදාළ ආයතනවලට නියෝග ලබාදෙන්න කියලයි. ඊට අමතරව මේ වන තුරු සාලාව අවි ගබඩාවේ පිපිරීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන කිසිදු වාර්තාවක් නිකුත් කර නැතිවීම ගැනත් ප්‍රදේශවාසින් වගේම පුරවැසියන් විදිහටත් අප තුළ කනගාටුවක් තිබෙනවා. රටේ ආරක්ෂාවට බලපාන එබඳු සිදුවීම් ගැන පාර්ලිමේන්තුවට හෝ වගකිව යුතු බව අපේ විශ්වාසයයි. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ යම්කිසි සාධාරණ කාලයක් තුළ වින්දිතයන්ගේ ගැටලුවලට විසඳුම් ලබාදෙන ලෙසයි.”
අවි ගබඩාව පුපුරා යෑමෙන් විනාශයට පත්වූ සාලාව නගරයත් ජනජීවිත යළි ගොඩනැඟීමේ අරමුණින් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් සාලාව යුද හමුදා කඳවුරට ඉදිරියෙන් ඇති අක්කර 5ක් ඉඩමක් මිලදී ගනු ලැබීය. ක්‍රීඩා පිටියක්, වෙළෙඳ සංකීර්ණයක් ඇතුළු සියලු පහසුකම් සහිතව එය ගොඩනැඟීමේ සැලසුමක් ද ඊට අයත් විය. අවි ගබඩාව පුපුරන අවස්ථාවේදී නගරයේ කඩමණ්ඩියේ පවත්වාගෙන ගිය සියලු ව්‍යාපාරික ස්ථාන විනාශ වූ අතර, එයින් වඩාත් අසරණ වූයේ කුලී පදනම මත ව්‍යාපාරික ආයතන පවත්වාගෙන ගිය පුද්ගලයන්ය. ඊට හේතුව පිපිරීම හේතුවෙන් විනාශ වූ ව්‍යාපාරික ස්ථාන නැවත ගොඩනැඟුවද ඒවායේ අයිතිකරුවන් කුලී පදනම මත සිටි ව්‍යාපාරිකයන්ට පැරණි කුලී මුදලට ඒවා ලබාදීමට අකමැති වීමය. ඒ අනුව ඔවුන්ට තාවකාලික ව්‍යාපාරික ස්ථාන ලබාදීමට එවකට පැවති රජය කටයුතු කර ඇත්තේ පසුව ඉදිකිරීමට යෝජිත නව නගර සැලසුම තුළ ඔවුන්ට ස්ථිර වෙළෙඳසැල් ලබාදෙන ප්‍රතිඥාව මතය.
“දැන් අවුරුදු හයක් ළංවෙළත් ඒ තවම ස්ථිර ගොඩනැඟිලි ඉදිවුණේ නැහැ වගේම මේ තාවකාලික කඩවලට අප ජලය සහ කසළ බැහැර කිරීමේ පහසුකම් නැහැ. ඒ නිසාම වෙළෙඳසැල් හිමියන්ට වගේම පාරිභෝගිකයන්ටත් අපහසුතා රැසක් ඇතිවෙලා තිබෙනවා. කඩවල් ඇරගෙන ඉන්නවට අපිට සිදුවෙලා තියෙන්නේ ඒවා වහගෙන ඉන්නයි. පහසුකම් නැති නිසා මේවට මිනිස්සු එන්නෙ නැහැ. අපි රජයෙන් ඉල්ලා සිටින්නේ යෝජිත නගර සැලසුම ඉක්මනින් ක්‍රියාත්මක කරලා වෙළෙඳ ප්‍රජාවට සහනයක් ලබාදෙන්න කියලයි”
එසේ කීවේ සාලාව ව්‍යාපාරික සංගමයේ සභාපති ටී.ඒ. විජයකුමාර ය. එම සංගමයේ භාණ්ඩාගාරික මෙන්ම ජාතික එකමුතුව සංවිධානයේ සභාපති ලෙස කටයුතු කරන හේමන්ත ප්‍රියංකර ද මේ ගැටලුව නිසා පීඩා විඳින්නෙකි. සාලාව අවි ගබඩාව පුපුරා යෑමෙන් හටගත් ගින්නෙන් නගරයේ පවත්වාගෙන ගිය ඔහුගේ ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි සැල සම්පූර්ණයෙන්ම ගිනිබත් විය. ඒ සඳහා තමාට ලැබුණු තක්සේරු මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවූ බවත් එයින් පසු ඔහුගේ ව්‍යාපාරය මුළුමනින්ම විනාශ වූ බවත් ඔහු පැවසුවේ සංවේගයෙනි.
“අපි නඩු දැම්මේ වෙන කරන්න කිසිම දෙයක් නැති තැනයි. අපි කාටවත් ඕන නැහැ රජයට විරුද්ධව නඩු කියන්න. අපේ ගැටලුවලට සාධාරණ විසඳුමක් දෙනවා නම් නඩු ඉවත් කරගෙන සමථයකට එන්න අපි සූදානම්.”
අංක 22/ඒ, අත්කම් නිවාස, සාලාව ලිපිනයේ පදිංචිව සිටි විශ්‍රාමික හමුදා සෙබළ ධම්මික වික්‍රමසේකර ටද අවි ගබඩාවේ ගින්නෙන් ඔහුගේ නිවෙස සම්පූර්ණයෙන්ම විනාශ විය. එම නිවෙස යුද හමුදාවෙන් ඉදිකර දීමට පොරොන්දු වුවත් එම ඉදිකිරීම් සිදු වූයේ කිසිදු ප්‍රමිතියකින් තොරව බවට ඔහු චෝදනා කරයි. තැනින් තැන පුපුරා ඇති නිවෙස දරුවන් තිදෙනාටත් තමා සහ බිරියටත් ජීවත් වීමට ආරක්ෂිත ස්ථානයක් නොවන බව ඔහු කීවේ කනගාටුවෙනි. රජයේ තක්සේරු නිලධාරින් විසින් මුලින් පූර්ණ හානි නිවෙසක් ලෙස නිර්දේශ කළද නිවෙස ඉදිකර දීමට පොරොන්දු වුවද අද ඔහුට ඇත්තේ ගල් ගොඩක් සහිත බාගෙට තැනූ නිවෙසකි.
“වසර 22ක් යුද හමුදාවේ සේවය කළ අයකු විදිහට මට මේ සිදුවීම ගැන විශාල හිත් වේදනාවක් තියෙනවා. අපි රට වෙනුවෙන් දිවි නොතකා සේවය කළා. මේ සිදුවීමෙන් අපිට රජයෙන් සාධාරණයක් වෙයි කියන විශ්වාසය ඇතිව අපි කාලයක් බලාගෙන ඉඳලයි නඩු මඟට යොමු වුණේ. දරුවන් තුන්දෙනෙක්ගේ අධ්‍යාපන කටයුතු එක්ක ජීවත් වෙන්න තියෙන මුදල් අද නඩු කියන්න වියදම් කරන්න සිදුවෙලා. මම රජයෙන් ඉල්ලන්නේ අපිට වන්දි එපා. මගේ ගේ ගින්නට කලින් තිබුණු විදිහට හදලා දෙන්න කියලයි.” ඒ, ධම්මික වික්‍රමසේකරගේ හඬයි.
සාලාවේ වී.සී නිවාස හි අංක 6 නිවෙසේ පදිංචි කේ. නිමල්සිරි සාලාව අවි ගබඩාව පිපිරී යෑමට පෙර වෙළෙඳ දැන්වීම් ආයතනයක් පවත්වාගෙන ගිය ව්‍යාපාරිකයෙකි. එහෙත් ගින්න ඔහුට ඒ සියල්ල අහිමි කර ඇත. ව්‍යාපාරික ස්ථානය පමණක් නොව ඔහුගේ අංගසම්පූර්ණ නිවෙස ද විනාශ විය. එපමණක් නොව උණ්ඩයක් වැදීමෙන් තුවාල ලැබූ නිමල්සිරිට මාස දෙකකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නට සිදුවිය. ඒ තුවාලය සුව වුවද අද ඔහු හදවත් රෝගය ඇතුළු තවත් බෝ නොවන රෝග රැසකින් ද පීඩා විඳින්නෙකි
“මහත්තයාගේ ව්‍යාපාරයෙන් වගේම මමත් රැකියාවක් කරලා දුක් මහන්සියෙන් ගොඩනඟාගත්ත දේවල් ඒ ගින්නෙන් විනාශ වුණා. ඒ ගැන හිතේ අමාරුව නිසා මහත්තයාට හතර පාරක් හාට් ඇටෑක් ආවා. අසනීප නිසා මහත්තයාට දැන් රැකියාවක් කරන්නත් බැහැ. අපි ජීවත් වෙන්නෙ දුවගේ රැකියාවෙන්. ඒ පිපිරීමෙන් අපේ පුතාගේ ගෙදරටත් හානි වුණා. එයාලා පොඩි දරුවොත් එක්ක ජීවත් වෙන්නේ යන්තම් ගේ කෑල්ලක් අටවගෙන. ඇත්තටම අපි දැන් ජීවත් වෙනවට ජීවත් වෙනවා විතරයි. ඒ පිපිරීම එක්ක අපේ ජීවිතත් පිපිරුවා.”
ඇය කීවාක් මෙන් ඒ නිවෙසේ බොහෝ ස්ථානවල පිපිරීම හේතුවෙන් ඇතිවූ විශාල වළවල් සහ බිඳීම් තවමත් දැකගන්නට ඇත. අඩුමතරමින් ඒ නිවෙස නැවත පිළිසකර දීමටවත් බලධාරින් කාරුණික වන්නේ නම් ඔවුන්ට එය සැනසීමකි. සාලාව, අත්කම් නිවාස හි අංක 4/බී දරන නිවෙසේ පදිංචි ආර්.එන්.ඩී. කරුණාවතී ද අපට කීවේ එවැනිම කඳුළු කතාවකි.
“ඒ පිපිරීම හින්දා අපේ ගෙදර වහලේ බිමටම කඩාගෙන වැටුණා. ගෙදර බඩුමුට්ටු සේරම විනාශ වුණා. තක්සේරුවට ආව නිලධාරින්ට ගේ ඇතුළටවත් යන්න විදිහක් තිබුණේ නැහැ. ගේ දොරකඩ ඉඳගෙන තමයි තක්සේරු කළේ. ගේ ඇතුළේ බිත්ති තැනින් තැන පුපුරලා. ලැබුණු වන්දිය ගේ හදාගන්න ප්‍රමාණවත් නැති නිසා නිවාස ණයක් අරගෙනයි මේ තත්ත්වෙට ගේ හදාගත්තේ. අපි ජීවත් වෙන්නෙ අමාරුවෙන්. කරගෙන ආව කඩෙත් ගින්නෙන් විනාශ වුණාට පස්සේ ඒක හදාගන්න බැරිවුණ නිසා අපට දැන් ආදායමකුත් නැහැ. ජීවන වියදම වගේම නඩුවටත් වියදම් කරන්න අමාරුයි.”
මේ, ඇයගේ හඬ පමණක් නොව සාලාව අවි ගබඩාව පිපිරීමෙන් වින්දිතයන් බවට පත්වූ බහුතර පිරිසකගේ හඬයි. මේ පිළිබඳව අප කළ විමසීමේදී සීතාවක ප්‍රාදේශීය ලේකම් කේ.එස්. දිල්හානි පැවසුවේ සාලාව අවි ගබඩාව පිපිරීමෙන් පසු පළමුවරට සිදුකළ තක්සේරු කිරීම්වලින් ලැබුණු වන්දි මුදල් ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අදාළ වින්දිතයන් විසින් අවිස්සාවේල්ල දිසා අධිකරණයේ පවත්වාගෙන යන නඩු මේ වන විට එකින් එක සමථකරණය වෙමින් පවතින බවයි.
“මේ ගැටලුව ඉතා සංවේදියි. ඔවුන්ට අහිමි වුණේ එතෙක් ඔවුන් දුක් මහන්සියෙන් උපයාගත් දේපළ. වින්දිතයෝ හැටියට ඒවා නැවත තිබුණු තත්ත්වයෙන්ම බලාපොරොත්තු වීම ගැන වරදක් කියන්න බැහැ. රජයේ නිලධාරින් විදිහට අපට කටයුතු කරන්න වෙන්නේ රජයේ නීතිරීති සහ ප්‍රතිපාදන අනුවයි. ඒ කටයුතුවලදී ප්‍රාදේශීය ලේකම් ලෙස අවශ්‍ය සියලුම මැදිහත්වීම් කරමින් අවශ්‍ය උපරිම සහයෝගය ලබාදීමට කටයුතු කර තිබෙනවා වගේම ඉදිරියටත් අවශ්‍ය වන පරිපාලන සහයෝගය ලබාදෙනවා”
මේ අතර ඉදිකිරීමට යෝජිතව තිබූ සාලාව නගර ව්‍යාපෘතියට සිදුවූයේ කුමක්ද යන්න පිළිබඳ අප ඒ ඉඩමේ අයිතිය සතු නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීරගෙන් ද විමසීමක් කළෙමු. දැනට එහි සිදුකර ඇත්තේ තාවකාලික ඉදිකිරීම් පමණක් බවත් නගර සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපාදන නොමැති වීමේ ගැටලුවක් තිබෙන බව ඔහු පැවසීය. එහෙත් ඒ සැලසුම ක්‍රියාත්මක කිරීම අත්හැර දමා නැති බවත් පෞද්ගලික අංශය සමඟ සම්බන්ධ වී හෝ එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලමින් සිටින බවත් හෙතෙම අවධාරණය කළේය.
“ගමේ ජනතාවගේ නිෂ්පාදන නගරයට ගෙන ආ හැකි, අලෙවි කරගත හැකි, මූලිකවම ගමට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘතියක් ලෙස සාලාව නගරය ගොඩනැඟීම පිළිබඳ අපගේ අවධානය යොමුකර තිබෙනවා. ඒ පිළිබඳ කටයුතු කඩිනම් කිරීම අපේත් බලාපොරොත්තුවයි.”
ඔහු පැවසුවේ ගිනිගත් සාලවේ වින්දිතයන්ගේ හදවත් මත සිසිල් දිය දහරාවක් පතිත කරමිනි. එවදන් යථාර්ථයක් වේ නම් සාලාව යළි නැඟිටින දිනය බොහෝ දුර නොවනු ඇත.
ඡායාරූප - රුවන් ද සිල්වා