තෙලිඟු ජනයාගේ අඳෝනාව | සිළුමිණ

තෙලිඟු ජනයාගේ අඳෝනාව

යි නැටවීම රිළා නැටවීම ශාස්ත්‍ර කීම ඔවුන් ගේ සාම්ප්‍රදායික රැකියාවය. කොළඹට ආසන්න ලුනාව කලපුව, අත්තිඩිය, කැස්බෑව අදී ජලාශ්‍රිත ස්ථානවල කුප්පායම් ඉදිකර මොවුන් රැඳී සිටිනු දැකීම එකල සුලබ දසුනක් විය. නමුත් අද ඔවුන් පෙනෙන්නට නැත.

අද ඔවුන් දැකීමට නම් අනුරාධපුර,පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, සීගිරිය, දඹුල්ල, අම්ඹුළුවාව ආදී ස්ථාන වෙත ගමන් කළ යුතුය. එදා දින හතක් එක ස්ථානයක රැඳී අල්පේච්ඡ ජීවිතයක් ගත කර රටවටා ඇවිද යන ඔවුන් අද ස්ථීර වාසස්ථාන සහිත ගම්බිම්වල පදිංචි කරුවෝය. මේ ඔවුන්ගේ වත්මන් කතාවය.

පසුගිය 11 වැනිදා සමස්ත ලංකා තෙලිඟු ශිල්පීන්ගේ සංස්කෘතික සංගමය නියෝජනය කරමින් පැමිණි නායකයින් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන් හමුවුහ. එහිදී තෙලිඟු නායක කේ.ආර් අනවත්තු ප්‍රකාශ කර සිටියේ “අගමැතිතුමා එදා ධීවර අමාත්‍යතුමා විදියට සිටි කාලයේ අපට නිවාස 125ක් හදලා දුන්නා. දැන් අපේ ජනගහනය ඉහළ ගිහිං. දැනට අපේ ගම්මාන හතක් තිබෙනවා. ඔබතුමා ජනාධිපතිවරයාව සිටි කාලයේ සිට 2015 දක්වා අපි ගැන සොයා බැලුවා. ඒ ගැන අපි ඔබතුමාට ස්තූතිවන්ත වෙනවා. එහෙත් පසුගිය ආණ්ඩුව අපි ගැන සොයා බැලුවේ නැහැ. දැනටත් අපි පදිංචි ස්ථාන සඳහා ඉඩම් ඔප්පු නොමැතිවීම විශාල ගැටලුවක් ඇති වී තිබෙන බවයි”.

සාවදානව ඔවුන්ට ඇහුම්කන් දුන් අග්‍රාමාත්‍යවරයා “තෙලිඟු ජනතාවගේ සංස්කෘතික අනන්‍යතාව රැකෙන පරිදි ඔවුන්ගේ ජීවනෝපායට පවතින බාධාවන් ඉවත් කරමින් නිවාස, පානීය ජලය ඇතුළු අනෙකුත් අවශ්‍යතා මාස තුනක් ඇතුළත විසඳීමට පියවර ගන්නැයි” අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු අදාළ විෂයන් භාර අමාත්‍යාංශ ලේකම්වරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියමානුකූල කිරීමේ එකඟතාව මත ප්‍රාදේශිය ලේකම් මාර්ගයෙන් මොවුන්ගේ දෙවැනි පරම්පරාවට අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමට අදාළ පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සඳහන් කළේය.

තෙලිඟු ජනතාව මුහුණ පා සිටින නිවාස ගැටලුව සම්බන්ධයෙන් අදාළ ප්‍රදේශවලට ගොස් සොයා බලා නිසි ක්‍රියාමාර්ග ගන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙහි දී නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වාට උපදෙස් දුන්නේය. මීට අමතරව ප්‍රාදේශීය ලේකම් මාර්ගයෙන් නිවාස ආධාර මුදල් ලබා දීමට කටයුතු කරන බව ද අග්‍රාමාත්‍යත්‍යවරයා තෙළිඟු ජනතා නියෝජිතයන්ට පැවසීය. තෙලිඟු ගම්මානවල මං මාවත් ඉදිකිරීම, අඩු ආදායම් ලාභීන්ට සමෘද්ධි සහන පිරිනැමීම මෙන්ම විදේශ සංචාරකයන් වෙනුවෙන් තෙලිඟු සංස්කෘතික අංග ඉදිරිපත් කරන්නන් සඳහා හැඳුනුම්පතක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ද මෙහි දී අවධානය යොමු විය. 

තෙලිඟු ජනතාවගේ සංස්කෘතික අංග දෙස් විදෙස් සංචාරකයන්ට ඉදිරිපත් කිරීමේ දී අදාළ ස්ථානවල දැනට පවතින බාධාවන් ඉවත්කිරීමට කටයුතු කරන්නැයි ද අග්‍රාමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ වෙසෙන ‘තෙලිඟු’ ජනතාව දකුණු ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ පිරිසක් බව බොහෝ විද්වතුන්ගේ පිළිගැනීම වේ. මොවුන් දකුණු ඉන්දීය කෝවර් නැති නම් කූවර් ගෝත්‍රයට සමාන කමක් දක්වන අතර ඔවුන්ගේ භාෂාව වන තෙලිඟු බස වහරනු ලැබීම ද ඊට හේතුවයි.‍ මෙරට වෙසෙන ‘තෙලිඟු ජනතාව’ විජයබාහු රජුගේ කාලයේ සිට මේ දක්වා පැවත එන ජන කණ්ඩායමක් බව ද මතයකි. මොවුන් අතීතියේදී ‘කුණ්ඩික’, ‘අහිකුණ්ඨික’, අහිගුණ්ඨික’,‘අහිතුණ්ඩික’,‘පුල්ලරුවෝ’, ‘කූටානියෝ’ ආදී විවිධ නම්වලින් හඳුන්වා ඇත. වර්තමානයේ ඔවුන් භාවිතා කරන භාෂාව පදනම් කරගෙන තෙලුඟු නැතිනම් තෙලිඟු ජනයා යනුවෙන් හඳුන්වති.

අතීතයේ සංචාරක දිවියක් ගත කළ ද වර්තමානය වන විට ඔවුන්ගේ ම වූ ස්ථීර වාසස්ථානවල වාසය කරන අතර, මින් වයස්ත බොහෝදෙනා නයි, පිඹුරන් හා රිළවුන් සමඟ විවිධ අභිනයන් දක්වමින්, සාස්තර කියමින් සාම්ප්‍රදායික ජීවන වෘත්තීන් හී නියැළී සිටිති. මේ වන විට පහළොස් දහසකට ආසන්න තෙළිඟු ජන ප්‍රජාවක් ශ්‍රී ලංකාව තුළ වාසය කරන අතර මින් වැඩි ජන ප්‍රජාවක් ජීවත් වන්නේ තඹුත්තේගම කුඩාගම තෙළිඟු ගම්මානයේය. මීට අමතරව අක්කරෙයිපත්තුව (අලිගම්බේ), සිරිවල්ලිපුරම් (තිරුක්කෝවිල්), ගල්ගමුව(අන්දරබැද්ද ), වව්නියාව (ඉරට්ටෙයි, ඖෂධපිටිය), මිහින්තලේ (සියඹලාගස්වැව) සහ විජිතපුර (කොමාරිකා යාය, කලා වැව ධීවර ගම්මානය) යන ගම්මාන තුළ තෙළිඟු ජනයා ජීවත් වේ. තෙළිගු ජනයාගෙන සමහරක් පෙර මෙන් නිශ්චිතව එක ස්ථානයක නොරැඳී ලංකාව පුරා ගමන් කරමින් ජීවත් වෙති. බුද්ධාගම හා ක්‍රිස්තියානි ආගම මොවුන්ගේ ප්‍රධාන ආගම් වන අතර පත්තිනි ඇදහිල්ල පොදුවේ සියලු දෙනාම සිදු කරති.

වැඩි ජන ප්‍රජාවක් ජීවත් වන තඹුත්තේගම කුඩාගම තෙළිඟු ගම්මානයේ පවුල් 630ක් පමණ ඇති අතර මුළු ජනගහනය 2598කි. ඉතාම දිළිඳු පවුල් සංඛ්‍යාව 180කි. මෙම ගම්මානයේ නායකයා ලෙස කටයුතු කරන කේ. ආර්. ඒ. පොඩිමහත්තයා නැමැත්තෙකි. මීළඟට වැඩිම පවුල් සංඛ්‍යාවක් ජීවත්වන තෙලිඟු ගම්මානය වන්නේ අක්කරෙයිපත්තුව අලිගම්බේ ගම්මානයයි. මෙය තෙලිඟු ගම්මාන දෙකකින් යුක්තය. මෙහි වෙසෙන තෙලිඟු පවුල් සංඛ්‍යාව 580ක් වන අතර, ජන සංඛ්‍යාව 2452 කි. මෙහි ඉතා අඩු ආදායම්ලාභී පවුල් ගණන 20කි. එහි නායකයා ලෙස කටයුතු කරන්නේ ඒ නිරෝෂන්ය. සිරිවල්ලිපුරම්, තිරුක්කෝවිල් හි තෙලිඟු පවුල් 102ක් පමණ ඇති අතර සාමාජික සංඛ්‍යාව 440ක් පමණවේ. අඩු ආද­ායම්ලාභී පවුල් ගණන 50කි. නායකයා ලෙස කටයුතු කරන්නේ එස්. සිංහරාසාය. ගල්ගමුව අන්දරබැද්ද තෙලිඟු ගම්මානයේ පවුල් 84 පමණ වෙසෙන අතර සාමාජික සංඛ්‍යාව 335කි. මෙහි නායකයා ලෙස කටයුතු කරන්නේ සිංගසාමීගේ මසන්නාය. විජිතපුර කොමාරිකා යාය, කලා වැව ධීවර ගම්මානයේ තෙලිඟු පවුල් 83ක් සිටින අතර, සමාජිකයින් 285ක් පමණ එහි නිවසති. මෙහි අඩු ආදායම්ලාභී පවුල් සංඛ්‍යාව 16කි. එහි නායකයා ලෙස කටයුතු කරන්නේ සමස්ත තෙලිඟු ප්‍රජාවේම නායකයා ලෙස කටයුතු කරන කේ. ආර් අනවත්තුය. වව්නියාව නොච්චිකුලමේ ඖෂධපිටිය ග්‍රාමසේවා කොට්ඨාසයේ තෙලිඟු පවුල් 78ක් පමණ සිටින අතර එහි සාමාජික සංඛ්‍යාව 320කි. අඩු ආදායම්ලාභී පවුල් සංඛ්‍යාව 25කි. මෙහි නායකයා වන්නේ ටිමන්නාගේ එංගටන්නාය. මිහින්තලේ සියඹලාගස්වැව තෙලිඟු පවුල් 74ක් ඇති අතර, එහි සාමාජිකයින් සංඛ්‍යාව 290කි. මෙහි සිටින අඩු ආදයම් ලාභී පවුල් සංඛ්‍යාව 25කි. තෙළිගු ජනගහනයෙන් සියයට හැටකට ආසන්න ප්‍රමාණයක් එනම් 8080 පමණ දෙනා රටපුරා විසිරි සිටිති.

සමස්ත ලංකා තෙළිඟු ශිල්පීන්ගේ සංස්කෘතික සංගමයේ සභාපති සහ තෙළිඟු ජනතාවගේ ප්‍රධාන නායකයා වන කේ. ආර් අනවත්තු සිළුමිණ සමඟ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ තෙලිඟු ජන ප්‍රජාව ම සාම්ප්‍රදායික උරුමයන් රැක ගනිමින් කාටවත් කරදරයක් නොවන පරිදි ජීවත්වන පිරිසක් බවයි. නයි නැටවීම, පිඹුරන් සමඟ කරන විවිධ ක්‍රියාකාරකම්, රිලා නැටවීම හා සාස්තර කීම ඒ අතර ප්‍රධාන බව හෙතෙම පෙන්වාදෙයි. මේවනවිට තඹුත්තේගම ජනප්‍රජාව අතරින් පවුල් විසිපහක් තිහක් පමණ රැකෙන්නේ මෙම සාම්ප්‍රදායික වෘත්තියෙනි. ජනගහනය ඉහළ යාමත් සමඟ නිවාස ප්‍රශ්නය තදින්ම බලපා ඇති බව පෙන්වාදෙන අනවත්තු, පසුගිය රජය විසින් අත්තිවාරම් වලට පමණක් සීමා කර ඇති නිවාස ඉක්මණින් පිළිසකර කර; අබලන් වී තිබෙන මාර්ග අලුත්වැඩියා කරදෙන මෙන් ඉල්ලා සිටිති. එසේම අතීතයේ පටන් මෙරට ජීවත්වන තම පරපුරට අහිගුණ්ඨක කියා ආමන්ත්‍රණය නොකර ‘තෙලිඟු ජනතාව’ ලෙස හැඳින්වීම ශිෂ්ට සමාජයේ කාගේ වගකීම බව පෙන්වාදෙයි. මේවනවිට තෙලිඟු ජන සමාජයේ නූතන පරපුර සාම්ප්‍රදායික ක්‍රියාවන් හී ඉතා සුලු වශයෙන් නරතවන බවත්, ඔවුන් පාසල් අධ්‍යාපනය ලබා වෙනත් වෘත්තියන්ට යොමු වීමට කටයුතු කරති. ඇතුමුන් විශ්වවිද්‍යාල වරම්ලබා ඇත. ගුරුවර ගුරුවරියන්, රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන්, ගොවියන්, ධීවරයින් සහ කුලී වැඩ කරන උදවියද මේ තරුණ පිරිස අතර සිටිති. කුඩාගම තෙලිඟු පවුල් 52ක පමණ තරුණයින් බස්වලට නැඟ පොත් විකුණා තම පවුල් නඩත්තු කිරීමට වෙහෙසෙන අතර 60 දෙනකු පමණ ධීවර රැකියාවේ නිරතව සිටිති. සමෘද්ධි ලාබී පවුල් 90කි. කුඩාගම තෙලිඟු පවුල් 180ක් පමණ ඉතාම අඩු ආද­ායම්ලාභී පවුල් වන අතර ඔවුන් සමෘද්ධිය අපෙක්ෂාවෙන් සිටිති. අතිවාරම් දැමූ නිවාස 80 පමණ ඇති අතර එවා පිළිසකර ගැනීමද ඔවුන්ගේ තවත් අපෙක්ෂාවකි. මෙහි වෙසෙන ළමයින් 450 ට ආසන්න පිරිසක් කුඩාගම විද්‍යාලයේ ඉගෙනුම ලබති. “අපි වව්නියාව නොච්චිකුලය ඖෂධපිටිය ග්‍රාමසේවා වසමට ආවේ 1969 දි; ඒ එන කොට පවුල් 64ක් ආවා. 1985 කලබල ඇති වුණාම අපි ආයිත් තඹුත්තේගමට ගියා. නැවත නොච්චිකුලමට ආවේ 2012 දි.

ඒ එද්දි මුලින්ම ආවේ පවුල් 12 යි. 2013 දි තවත් පවුල් 48 ක් ආවා. දැන් පවුල් 78 ක් ඉන්නවා. සමෘද්ධිලාබී පවුල් 52ක් විතර තියෙනවා තව 25කට සමෘද්ධිය නෑ. මේ අයගෙන් පවුල් 15ක් සාම්ප්‍රදායික රැකියාවල නිරත වනවා. බොහෝ අය පාරවල්වල, ගොඩනැඟිලි හදන තැන්වල කුලීවැඩ කරනවා. තරුණ ළමයි විසිපහක් තිහක් විතර බස්වල නැඟලා පොත් විකුණනවා. මේ හැමෝම පුළුවන් විදියට වී හා උඳු ගොවිතැන් කරනවා. මහකන්නයට විතරයි වැඩ කරන්න පුළුවන්. වතුර නෑ. වගා ළිං දෙක තුනක් හදල දෙනව නම් යල මහ කන්න දෙකේම වගාකරන්න පුළුවන්. මහින්ද මහත්තයගෙ කාලේ අපට ගෙවල් හතළිස්පහක් විතර හදල දුන්නා. තව පවුල් විසිතුනකට විතර නිවාස නැහැ. පසුගිය රජය කාලේ ගෙවල් විසිදෙකකට අතිවාරම් දැම්මා; ඒවා එහෙම්ම කැලෑවෙලා. සමහරු කෑල්ලක් බිත්ති බැඳගෙන පදිංචිවෙලා ඉන්නවා. මේ ගෙවල්ටික ඉක්මණින් හදල දීලා; කැඩුණු පාරට තාරටිකක් දාල දෙන්න. කියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව නොච්චිකුලය ඖෂධපිටිය ග්‍රාමසේවා වසමේ තෙලිඟු ප්‍රජා නායකයා වන 78 වියැති ටිමන්නාගේ එංගටන්නා පවසයි.

ඔවුන්ට රැස්වී කතාබහ කිරීමට හා සංස්කෘතික කටයුතු කිරීමට ස්ථානයක් නොමැති බැවින් එවැනි ස්ථානයක් ඉදිකරදීමට කටයුතු කරනමෙන් හෙතෙම ඉල්ලා සිටිති.

1997 දී ගල්ගමුව අන්දරබැද්ද තෙලිඟු ගම්මානයට තමන් ඇතුළු පිරිස පැමිණි බවත්, මේවනවිට පවුල් 84 පමණ වෙසෙන බවත් එහි නායක ආරච්චිල සිංගසාමීගේ මසන්නා පවසයි. මේවනවි බීමට සුදුසු ජලය නොමැතිව ගම්වාසීන් මහත් අසීරුතාවකට පත්ව ඇති බව හෙතෙම පෙන්වාදෙයි. සියලුදෙනා සඳහා ඇත්තේ එක් නළ ළිඳක් පමණක් බවත්, සාම්ප්‍රදායික රැකියාවෙන්,ධීවර රැකියාවෙන් හා ගොවිතැනින් ජීවිතය සරිකරගන්න මේ පිරිසට අලින්ගෙන් එල්ල වී තිබෙන තර්ජනය ඉතාම සෝචනීය බව ඔහු පෙන්වාදෙයි.

වර්තමානය වන විට සාම්ප්‍රදායික තෙළිඟු ජන සංස්කෘතිය හා ජීවන පැවැත්ම අභියෝග රාශියකට මුහුණ පාසිටිති.

මීට හේතු වී ඇත්තේ නූතන වෙළෙඳපොළ විසින් ඇති කර තිබෙන පාරිභෝජන ජීවන රටාව හා ආර්ථික අපහසුතාවයන්ය. එනිසා සිය සාම්ප්‍රදායක දේ රකිනු වෙනුවට ඔවුන් වෙනත් ජීවන පැවැත්මවල් සංස්කෘතීන් වෙත ගමන්කරති. මීට බලපා ඇති ප්‍රදානතම හේතුව වී ඇත්තේ ඔවුන්ගේ ජනප්‍රජාව පිළිබඳව මහ සමාජය විසින් දක්වන ආකල්පයයි. අනෙක් අතට ඔවුන්ගේ සුපුරුදු රැකියාවේ නිරත වීමට එල්ල වී තිබෙන අභියෝගයන්ය. අනුරාධපුරය පූජානගරය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, නුවර දළදා මාළිගාව, අම්බුලුවාව, පේරාදෙණිය උද්භිද උද්‍යානය, හග්ගල උද්භිද උද්‍යානය ආදී ස්ථානයන් හී තමන්ට සිය සාම්ප්‍රදායික රැකියාවන් හී නිරත වීමට ලබාදී තිබූ ඉඩ කෙමෙන් ඇහිරී යන තත්ත්වයක් උදා වී ඇති බව සමස්ත ලංකා තෙළිඟු ශිල්පීන්ගේ සංස්කෘතික සංගමයේ ලේකම් ධර්මදාසගේ නිමල් පෙන්වාදෙයි.

ඇතැම් උදවිය සමාජ විරෝධී ක්‍රියාවන් සිදු කර තෙලිඟු වැසියන් ලෙස පෙනී සිටීමට කටයුතු කරන බව පෙන්වා දෙන හෙතෙම මෙය තම ජනතාවට සිය සාම්ප්‍රදායික රැකියාව කරගෙන යාමට බාධාවක්ව තිබේ. එනිසා ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමුකර තම ජනතාවට නිදහසේ තම සාම්ප්‍රදායික රැකියාව කරගෙනයාමට ඉඩහසර සලසා දෙන ලෙස ඉල්ලා සිටිති. එමඟින් මෙරටට පැමිණෙන සංචාරකයන් තෘප්තිමත් කර විදේශ විනිමය උපයා දීමට තම ජනතාවට හැකියාව ලැබෙන බව ඔහු පෙන්වාදෙයි. ඇතැම් විද්‍යාර්ථීන් තම ජන සමාජය ගැන උනන්දු වන නිසා ඇතැමුන් මුදල් ලබාගැනීමේ චේතනාවෙන් වැරදි තොරතුරු ලබාදෙන බවත් ඒ වැනි අයට උදව් කිරීමට තම සංගමය සූදානම් බවත් නිමල් පවසයි.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Comments