මිණි­පු­රය කැලඹූ විදු­ලි­සැ­රෙන් අව­සන් වූ වාස­නාවේ අවා­ස­නාව | සිළුමිණ

මිණි­පු­රය කැලඹූ විදු­ලි­සැ­රෙන් අව­සන් වූ වාස­නාවේ අවා­ස­නාව

මියගිය දිනේෂ් මධුශංඛ සහ මියගිය පුන්සිරි පුෂ්පකුමාර

වාස­නාව සහ අවා­ස­නාව යනු අසුරු සැණින් වෙනස් විය හැකි දෙයකි. ඒ නිසා­මදෝ වාස­නාව උරගා බැලී­මට බොහෝ දෙනකු තුළ ඇත්තේ පුදු­මා­කාර උන­න්දු­වකි. ඒ අත­රි­නුත් හදි­සියේ පහළ වන වාස­නාව උරගා බැලී­මට වැඩි දෙනකු කැමැ­ත්තක් දක්වති. ‘මැණික්’ ගැන පතළ රත්න­පු­රයේ පැල්ම­ඬුල්ලෙන් ඉකුත් 11 වැනිදා වාර්තා වූයේ වාස­නාව සොයා ගිය ගම­නක් අවා­ස­නා­වන්ත ඉර­ණ­ම­කින් අව­සන් වීමේ ශෝච­නීය පුව­තකි.

ඒ අවා­ස­නා­වන්ත ඉර­ණ­මට ලක්වූයේ, පැල්ම­ඬුල්ල පොලිස් වස­මට අයත් බට­ලන්ද සිංහ­පුර ප්‍රදේ­ශයේ පදිංචි රම්පටි මන­න්න­ලාගේ පුන්සිරි පුෂ්ප­කු­මාර නැමති (39) තිදරු පියෙකු සහ ඊරි­ය­මුල්ල කට්ට­ඩිගේ දිනේෂ් මධු­ශංඛ (31) නැමති එක්දරු පියෙකි. පුන්සිරි පුෂ්ප­කු­මාර, ලංකා විදුලි බල මණ්ඩ­ලයේ බළං­ගොඩ ඩිපෝ­වට අනු­යු­ක්තව සේවය කළ අතර, දිනේෂ් මධු­ශංඛ පැල්ම­ඬුල්ල මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ සේවය කර­මින් සිටි ‘රැකියා ලක්ෂයේ’ බහු­කාර්ය සංව­ර්ධන නිල­ධා­රි­යෙකි. පුන්සිරි සහ දිනේෂ් සමීප මිතු­රන් වූ අතර ඔවුන් අතර වූයේ සහෝ­ද­ර­තා­ත්මක බැඳී­මකි. ඒ නිසාම ඔවු­නො­වුන් එකි­නෙ­කාගේ දුක, සැප මනාව හැඳින සිටි­යහ. අදට වඩා පැහැ­බර ඉසු­රු­මත් හෙට දව­සක් ගැන අපේ­ක්ෂා­වෙන් සිටි දෙමි­තුරෝ ඒ සඳහා තෝරා­ගත්තේ රත්න­පුර ප්‍රදේ­ශයේ කාටත් හුරු පුරුදු කට­යු­ත්තකි. ඒ පත­ලක් කපා වාස­නාව උරගා බැලී­ම­ටය. ඉකුත් 11 වැනිදා රාත්‍රී 8.30ත් 9.00ත් අතර පුන්සිරි සහ දිනේෂ් තවත් දෙනෙකු සමඟ සිය නිවෙ­ස්ව­ලින් පිටත් වූයේ ඒ තීර­ණා­ත්මක ගමන යෑම­ටයි. එහෙත් වාස­නා­වට පෙර අවා­ස­නාව ඔවුහු සොයා පැමි­ණි­යේය. පතල කරා ගමන් මඟ වැටී තිබූ ඊරි­ය­මුල්ල කුඹුරේ අටවා තිබූ වල් ඌරන් මැරී­මට භාවිත කරන විදුලි රැහැ­න­කට හසු­වී­මෙන් ඔවුන් දෙදෙ­නාට සිය ජීවිත අහිමි විය. මිය­ගිය දිනේෂ්ගේ සහ පුන්සි­රිගේ නිවෙස් අතර ඇත්තේ මීටර් සිය­යක පමණ දුරකි. එකට ජීවිත ගම­නට සමු­දුන් දෙමි­තු­රන් අව­සන් ගමන් ගියේ ද එක­ට­මය. ඉකුත් 12 වැනිදා සවස බට­ලන්ද සිංහ­පුර මුළු ගම්මා­න­යම හඬ­ව­මින් ගොඩ­ගම සුසාන භූමි­යේදී ඔවුන්ගේ අව­සන් කට­යුතු සිදු­කෙ­රුණු අතර, මිය­ගිය මිතු­රන්ගේ දේහ­යන් මිහි­දන් කරනු ලැබුවේ එකම වළක ය. 

සිය දයා­බර සැමි­යාට සිදුවූ විපත දිනේෂ් මධු­ශං­ඛගේ බිරිය ඩබ්.එම්.දිනේෂා තරං­ගනී ජය­වීර (30) සිහි කළේ නිමක් නැති කඳුළු අත­රිනි.

“මගේ ගම මොන­රා­ගල, දඹ­ගල්ල. අපි දෙන්නා විවාහ වුණේ ප්‍රේම සම්බ­න්ධ­ය­කින්. අපට දුවෙක් ඉන්නවා. අපි ගොඩක් ආර්ථික අමා­රු­කම් මැද්දේ ඉන්න වෙලාවෙ සෙනෙ­වි­රත්න ඇම­ති­තුමා දිනේෂ්ට රස්සා­වක් දුන්නා. ඒකත් කර­ගෙන අපි ජීවිතේ පිළි­වෙ­ළක් වේගෙන එද්දි තමයි මේ සිද්ධිය වුණේ. එදා මම එයාට ඔය ගමන යන්න එපාම කිව්වා. එයා ඒ වෙලාවෙ කියන දේ ඇහුව නම් මෙහෙම දෙයක් වෙන්නෙ නෑ. මමයි දරු­වයි මේ ලෝකෙ තනි­ක­රලා එයා ගියා. මම කොහොම මේ දුක දරා ගන්නද?”

එලෙස අඳුරු වී ඇත්තේ ඇයගේ ලෝකය පම­ණක් නොවේ. දිනේෂ් සමඟ අව­සන් ගමන් ගිය ඔහුගේ මිතුරා පුන්සිරි පුෂ්ප­කු­මා­රගේ කැඳැල්ල ද අද වියෝ දුකෙන් ඇවි­ළෙයි. මේ, ඔහුගේ බිරිය ජය­සේ­කර මුදි­ය­න්සේ­ලාගේ ගංගා නිලන්ති ජය­සේ­කර (36)ගේ බිඳුණු හඬයි.

“අපට දූලා දෙන්නෙ­කුයි පුතෙ­කුයි ඉන්නවා. පුන්සිරි විදු­ලි­බල මණ්ඩ­ලයේ රුව­න්වැල්ල ඩිපෝවේ වැඩ­ක­රලා මීට මාස කීප­ය­කට පෙර බළං­ගො­ඩට මාරු­වෙලා ආවා. අපි ගොඩක් දුක් වින්දා. දරු­වන්ට උග­න්වන්න වැඩි බරක් දෙන්න ඕන කිය­ලයි එයා බලං­ගො­ඩට මාරුව හදා ගත්තෙ. එදා පත­ල­කට යනව කිව්වම එයාට ඕවා හුරු නැති නිසා මම යන්න එපා කිව්වා. ඒත් ගියා. පැය භාග­යක් යද්දි ආරංචි වුණා යාළු­වෙක් බේර ගන්න ගිහින් එයාට කරන්ට් එක වැදිලා කියලා. යාළුවා බේර­ගන්න නොගියා නම් එයාට නොමැරී බේරෙන්න තිබුණා. ඒත් එයා අනුන් වෙනු­වෙන් පණ ඇරලා උදව් කරන, හිත හොඳ කෙනෙක්. දැන් අපි හරිම අස­ර­ණයි. ගේ හැදුවෙ ණය මුද­ලක් අරන්. අපිට වෙන කිසිම ආදා­ය­මක් නෑ. දරු­වන්ට උග­න්ව­න්නයි ණය ගෙව­න්නයි ජීවත් වෙනව කියන එකයි දැන් මට හිතා ගන්න බැරි දෙයක්. ආයෙ­මත් කාට­වත් මේ වගේ දෙයක් නොවෙන්න විදු­ලිය දාපු අයට නිසි දඬු­වම් ලබා දෙනවා නම් අපි වගේ කවු­රු­වත් අස­රණ වෙන එකක් නෑ.”

පුන්සිරි, දරු­වන් පස් දෙන­කු­ගෙන් යුතු පවුලේ වැඩි­ම­හල් දරුවා ය. තමා ජීවත්ව සිටි­ය­දීම තම දරු­වාගේ මර­ණය දෑසින් දකි­න්නට සිදු­වීමේ වේද­නාව දරා­ගත නොහැ­කිව පුන්සි­රිගේ මව ගල්ලෙන වත්තේ පේම­ලතා (59) හඬා වැල­පෙ­න්නීය.

“දරු­වන්ගේ තාත්තා අවු­රුදු විසි නව­ය­කට කලින් මිය­ගියා. එදා ඉඳලා මම පුදුම දුකක් විඳ­ලයි මේ දරුවො ලොකු මහත් කර­ගත්තෙ. තමන්ගේ දරු­වගෙ මර­ණය දකින්න අම්මා කෙනෙක් විදි­හට මම කොච්චර පාප­යක් කරල තියෙ­න­වද කියලා හිතෙ­නවා. මේ වගේ ඉර­ණ­මක් සතෙ­කු­ට­වත් වෙන්න එපා කිය­ලයි මම කියන්නෙ”

ඇය මෙන්ම මිය­ගිය දිනේෂ් මධු­ශංඛ ගේ මව ජේ.එම්.සෝම­රත්න මැණිකේ (68)ගේ හද තුළ ඇවි­ළෙන්නේ ද නිවා දැමිය නොහැකි වියෝ ගින්නකි. මිය­ගිය දිනේෂ් ඇයගේ දරු­වන් පස් දෙනා­ගෙන් බාල පුතුය. “අපිව බලා ගත්තෙ මගේ රත්ත­රන් පුතා. එයා එදා වැඩ ඇරිලා ඇවිත් හිටි ගමන්ම කිව්වා පත­ල­කට යනවා කියලා. මම කිව්වා එහෙම පත­ල්ව­ලට යන­වද කියලා. ඒත් කියන දේ ඇහුවෙ නැතුව එයාගේ මත­යට ගිය ගම­නක් ඒක. මගේ පුතා අපිට නැති­වුණා. මේ වේද­නාව කොහොම දරා­ග­න්නද?”

පුන්සි­රි­ටත් දිනේ­ෂ්ටත් මර­ණය කැඳවූ ඒ අවා­ස­නා­වන්ත සිදු­වීම සිදුවූ දා ඔවුන් සමඟ ඒ ගම­නට එක්ව සිටි සෙසු සග­යන් දෙදෙනා වන වැලි­හිඳ කංකා­න­ම­ලාගේ සුගත් පුෂ්ප­කු­මාර (36) සහ නාඔ­ටුන්න බඩල්ගේ ඉන්ද්‍ර­ජිත් නාඔ­ටුන්න (36) ඒ සිදු­වීම අප සමඟ සිහි­පත් කළේ තව­මත් පහ නොවූ කම්ප­න­යෙනි.

“අපි දෙන්නම කරන්නෙ මේසන් වැඩ. මිය­ගිය පුන්සි­රියි දිනේ­ෂුයි කතා කරලා ඇහුවා හොඳ පොට් එකක් තියෙ­නවා, පත­ල­යක් දාමුද කියලා. අපි ඇහුවා තැන බැලු­වද කියලා. එයාලා දවල් ගිහින් බැලුවා කියලා අපි දෙන්නට හවස 7.30 ඉඳලා කෝල් කරලා කිව්වා යමු කියලා. මුලින් අපි කැමති වුණේ නෑ. ඒත් යාළුවො නිසා ගියා. අපි දෙන්න යන­කොට මහ තුන්මං­හ­න්දියෙ ඒ දෙන්නා හිටියා. ෆෝන් එකේ එළි­යෙන් තමයි ගියෙ. ඉස්ස­ර­හම හිටියෙ දිනේෂ්.එයා කුඹුරේ නිය­රට අඩිය තිබ්බා විත­රයි "අයියෝ අම්මා" කියල කෑගැ­හුවා. ඒ එක්කම දඩස් ගාලා කුඹු­රට වැටුණා. පුන්සිරි කෑග­හ­ගෙන ළඟ ගෙද­ර­කට ගිහින් වේළිච්ච ලීයක් ගෙනත් කම්බිය තළලා තළලා අයින් කරලා දිනේෂ් ළඟට පැනල කටින් හුස්ම දුන්නා. “මෙයාට පණ තියෙ­නවා. වරෙල්ලා ඉක්ම­නට” කියලා, පුන්සිරි මඩේ එරිලා ඉන්න ගමන්ම දිනේෂ්ව නියර උඩින් තිබ්බා, අපට අල්ලන්න කියලා. අපි අල්ලන්න හද­න­කො­ටම කරන්ට් එක වැදුනා. අපි කිව්වා අල්ලන්න එපා කියලා. ඒත් පුන්සිරි ඇල්ලුවා. එත­කො­ටම එයාත් විසි­වෙලා ගිහින් වැටුණා. පුන්සිරි කෑගැ­හුවා,

“අනේ චූටි අප්පෝ මට අමා­රුයි“ කියලා. අපි කෑ ගැහුවා ගම­ටම ඇහෙන්න. ඒත් කවු­රුත් ආවෙ නෑ. පොලී­සි­යට කෝල් කරලා විනාඩි පහ­ළො­වක් යන­කොට විදු­ලි­බල මණ්ඩ­ලයේ කට්ටි­යක් එක්ක ඇවිත් දිනේෂ් සහ පුන්සි­රිව පොලී­සියේ මහ­ත්තු­රුයි විදුලි බල මණ්ඩ­ලයේ කට්ටි­යයි ගොඩක් දුර කර තියා­ගෙන ආවා. කහ­වත්ත රෝහ­ලට ගෙනා­වම කිව්වා මිය ගිහින් කියලා. අප­රාදේ හොඳ යාළුවෝ දෙන්නෙක් වගේම වටිනා ජීවිත දෙකක් අපිට නැති­වුණේ”

පැල්ම­ඬුල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ධම්මික නව­රත්න ප්‍රකාශ කළේ පුන්සි­රි­ටත් දිනේ­ෂ්ටත් මරු කැඳවූ අන­ව­සර විදුලි රැහැන් ඇද, වල් ඌරන් මැරී­මට තැත් කිරීම සම්බ­න්ධ­යෙන් වයස අවු­රුදු 55ක් වන එම ප්‍රදේ­ශ­යේම පුද්ග­ල­යකු අත්අ­ඩං­ගු­වට ගත් බවයි.

මෙවැනි නීති විරෝධී ක්‍රියා­ව­ලට සම්බන්ධ පුද්ග­ල­යන්ට ලබා­දිය හැකි දඬු­වම් මොන­වා­දැයි අප ලංකා විදුලි බල මණ්ඩ­ලයේ පැල්ම­ඬුල්ල විදුලි ඉංජි­නේරු කාර්යා­ල­යෙන් විම­සී­මක් කළෙමු. එහි ප්‍රකා­ශ­යකු සඳ­හන් කළේ මෙය පැල්ම­ඩුල්ල විදුලි ඉංජි­නේරු බල­ප්‍ර­දේ­ශයේ සිදු වූ එකම සිදු­වීම නොවන බවයි. 

“මේක ඉතාම බර­ප­තළ වර­දක්. මණ්ඩ­ල­යෙන් ලබා­දෙන විදුලි රැහැ­නක් මඟින් පම­ණයි නිවෙ­ස­කට හෝ ආය­ත­න­ය­කට විදුලි සම්බ­න්ධ­තා­වක් ලබා­දෙන්නේ. මෙවැනි අනා­ර­ක්ෂිත ක්‍රියා නිසා විදු­ලිය දාන කෙනාව වුණත් විනාශ වෙන්න පුළු­වන්. ගම්වල හුඟ දෙනෙක් මේ වැඩේ කර­නවා. අඩු­ම­ ත­රමේ ගම්වල ඉන්න මිනිස්සු මේවා කරන්නෙ කවුද කියල දැන දැනත් අපිව දැනු­ම්වත් කරන්නෙ නැහැ. මේ තත්ත්වය යම් ප්‍රමා­ණ­ය­කින් හෝ මැඬ පවත්වා ගැනී­මට විදුලි මාර්ග ආව­රණ කේබල් යෙදීම මේ වන විට ආරම්භ කර තිබෙ­නවා. කෙනෙක් මැරු­ණත් ජන­තාව එහි වර­ද­කරු හඳුනා ගන්න උදව් කරන්නෙ නෑ. නමුත් ඒ ගම්වල මිනිස්සු දන්නවා මෙවැනි ක්‍රියා­වල යෙදෙන අය ගැන. මේක හරිම අව­දා­න­මක්.”

ගම ම හඬ­මින් අව­සන් ගමන් ගිය මිතු­රන් දෙදෙනා වෙනු­වෙන් ආග­මික වතා­වත් ඉටු­කළ ගොඩ­ගම ශ්‍රී රත්න­සිං­හා­රාම විහා­රා­ධි­පති, කහ­වත්ත සෘෂි­නි­කේ­තන පිරි­වෙනේ පරි­වේ­ණා­ධි­පති ශ්‍රාස්ත්‍ර­පති කොස්ගම ධම්ම­සිරි හිමි­පා­ණන් වහන්සේ ඒ අනු­වේ­ද­නීය සිදු­වීම පිළි­බඳ මෙසේ පැව­සූහ.

“බුදු­ර­ජා­ණන් වහන්සේ සිඟා­ලෝ­වාද සූත්‍රයේ දේශනා කළේ අවේ­ලාවේ වීථි සංචා­රය නිසා තමන් නොකළ වර­ද­කට හසු­වීම වළක්වා ගන්න බැරි බවයි. අන­තු­රු­දා­යක බවක් වැට­හෙන්නෙ නෑ. මේවා නිසා තමන් සහ­මු­ලින්ම විනාශ වෙන්න පුළු­වන්. ඒ වගේ ම ප්‍රාණ­ඝා­තය විශාල අකු­ස­ල­යක්. හිතක් පපු­වක් නැති විදි­හට විදු­ලිය යෙදීම නිසා වටිනා මිනිස් ජීවිත දෙකක් අහිමි වුණා. මේක ම්ලේච්ඡ මිනිස් ඝාත­න­යක්. මෙවැනි නීති­වි­රෝධී ක්‍රියා­වල යෙදෙන මිනිස්සු කොයි වෙලාවෙ මේ විදි­හ­ටම ජීවි­ත­යෙන් වන්දි ගෙව­යිද කියන්න බෑ. ඔවුන්ට නීති­යෙන් දඬු­වම් ලැබෙ­න්නත් පුළු­වන්, නැති­වෙ­න්නත් පුළු­වන්. නමුත් ධර්මා­නු­කූ­ලව නම් මෙවැනි පහත් අම­නුෂ්‍ය ක්‍රියා­වල යෙදෙන අයට සංසා­රයේ කිසිදු ගැල­වී­මක් ලැබෙන්නෙ නැහැ. ඒ නිසා මිනිස් ජීවි­ත­යක වටි­නා­කම අව­බෝධ කර ගෙන යහ­පත් ලෙස ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕන. දුෂ්ච­රි­ත­යෙන් ඈත් වෙන්න හිතා­ගන්න මේක හොඳම අව­ස්ථා­වක් කර ගත යුතුයි.”

පාපී සිතු­විලි සහිත පුද්ග­ල­යකු සත­කුගේ මස් බුදීමේ තෘෂ්ණා­වෙන් ඇටවූ විදුලි උගුල හේතු­වෙන් බිරි­යන් දෙනෙ­කුට සැමි­ය­කුගේ රැක­ව­ර­ණ­යත් අහිං­සක දරු­වන් සිවු දෙන­කුට පිය සෙනෙ­හ­සත් සද­හ­ටම අහිමි විය. ඔවුන්ගේ හදිසි නික්ම යෑමෙන් අස­රණ මවු­පි­යන්ට සදා­ත­නික වේද­නා­වක් උරුම වූවා පම­ණක් නොව ගමට, රටට වැඩ­දායී පුද්ග­ල­යන් දෙදෙ­නකු අකා­ලයේ අහිමි විය. පුන්සි­රි­ටත් දිනේ­ෂ්ටත් වූ විපත හෙට තවත් අය­කුට උරුම නොව­න්නට නම් නීති­වි­රෝධී මෙවැනි ක්‍රියා­ව­ලට තිත තබ­න්නට නීතියේ පිළි­ස­රණ මෙන්ම ජන­තා­වගේ විම­සිල්ල සහ දැනු­වත් භාවය ද නැති­වම බැරිය.

පැල්ම­ඬුල්ල වැඩ බලන මහේ­ස්ත්‍රාත් හවුපෙ එම්. ජය­සිරි විසින් ස්ථානීය පරී­ක්ෂ­ණය සිදු කරන ලද අතර, රත්න­පුර පළාත් මහ රෝහ­ලේදී මෘත­දේහ පිළි­බඳ පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය පැවැ­ත්විණි.

සබ­ර­ග­මුව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලි­ස්පති මහින්ද ගුණ­රත්න පළාත් භාර නියෝජ්‍ය පොලි­ස්පති වීර­සේ­කර, සහ­කාර පොලිස් අධි­කාරී පී.ඩබ්.එස්. සුම­න­පාල සහ පොලිස් අධි­කාරී සේනක වීර­සිංහ ගේ උප­දෙස් පරිදි පැල්ම­ඬුල්ල පොලිස් ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක ධම්මික නව­ර­ත්නගේ මෙහෙ­ය­වී­මෙන් අප­රාධ අංශයේ ස්ථානා­ධි­පති පොලිස් පරී­ක්ෂක ඩබ්.ජී.ජය­සිංහ, පොලිස් සැර­යන් (36126) මාධව, (30170)සෙනෙ­වි­රත්න සහ පොලිස් කොස්තා­පල් (77146) මුණ­සිංහ යන නිල­ධා­රීහූ සිද්ධිය සම්බ­න්ධ­යෙන් වැඩි­දුර පරී­ක්ෂණ පව­ත්වන ලදී.


සටහන සහ ඡායාරූප 
තුෂාර හෙට්ටි­ආ­රච්චි, පැල්මඬුල්ල සංචාරයකින් පසුව

Comments