ඉන්දියාවේ සුර්ජිත් ගිය මඟම ගිය මොරොක්කෝවේ රයන් | සිළුමිණ

ඉන්දියාවේ සුර්ජිත් ගිය මඟම ගිය මොරොක්කෝවේ රයන්

ඛේදවාචක අකුරු කිරීම අපහසුය. එමෙන්ම වරක් ලොවම හැඬවූ ඛේදවාචකයක් යළිත් එපරිද්දෙන්ම සිදුවී යළිත් මුළු ලොවම හඬවයි නම් එයම යළිත් වරක් අකුරු කිරීම වඩාත් අපහසුය.

එහෙත් කළ යුතු අන් කිසිවක් නැත. 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී ඉන්දියාවේ සුර්ජිත්ගේ මරණය අකුරු කළ පරිද්දෙන්ම ගෙවී ගිය දින කිහිපයේදී ලොවම හැඬවූ මොරොක්කෝවේ රයන් ගැන ලියා තැබිය යුතුව ඇත. කනගාටුව වන්නේ මේ සිදුවීම් දෙකම එකිනෙකට අතිශයින් සමාන වීමය. විකල්පයක් නැත. ඒ කනගාටුදායක පෙබරවාරි පළමුවැනිදාව වෙත යළිත් යා යුතුය.

මොරොක්කෝවේ චෙෆ්චවුන් ප්‍රාන්තයේ ඉග්රාන් නම් වන කුඩා ගම්මානයේ ජීවත් වු කුඩා පවුලකි. මව, පියා සමඟ පස් හැවිරිදි රයන් එම පවුලේ සාමාජිකයෝ වූහ. බොහෝ මොරොක්කෝ ගොවියන් සේම රයන්ගේ පියා ද මොරොක්කෝවේ නිසරු පස සමඟ ගැටුණේ වගාවට අවශ්‍ය ජලය ලබා ගැනීම සම්බන්ධ මූලික ගැටලුවට ද මුහුණ දෙමිනි. වගාවට මෙන්ම එදිනෙදා කටයුතු සඳහාද අවශ්‍ය වන ජලය පොළවෙ අභ්‍යන්තරයේ සිට ලබා ගත යුතු වූයේ අසීරුවෙනි. ඒ සඳහා මේ ශුෂ්ක භූමියේ තැනින් තැන ඉතා ගැඹුරට ළිං හාරා තිබුණි. ඒවායේ කුහරයේ ආරම්භය ඉතා කුඩා වුවද ගැඹුර අඩි සිය ගණනක් විය. මෙසේ හාරන ලද බොහෝ ළිංවලින් ජලය හමු නොවූ අතර ඒවා අත්හැර දමා තිබිණි. භාවිතයට ගන්නා ළිං මෙන්ම අත්හැර දමන ලද ළිං ද එකසේ අනාරක්ෂිතව තිබුණේ ඒවාට කුඩා ජීවීන් හැර වැඩුණු මිනිසුන් ඇද වැටීමේ ඉඩක් නොතිබූ බැවින් විය හැකිය. මිනිසුන් බොහෝ විට සිතන්නේ ඔවුන් ගැන පමණක්මය. අඩු තරමින් ඔවුන්ට ඔවුන්ගේම කුඩා වුන් ගැන වුවද සිතීමට කාලයක් නැතිය. එසේ නොවන්නට මේ අනාරක්ෂිත ළිං මුව වසා දමන්නට වැඩිහිටියන් කටයුතු කරන්නට තිබිණි. එසේ වූයේ නම් පියාගේ අවධානයෙන් මොහොතකට මිදුණු කුඩා රයන් මේ එක් ළිං මුවකට ඇද නොවැටෙන්නට තිබිණී.

පස් හැවිරිදි කුඩා රයන් ළිං මුවකට ඇද වැටුණු බව දැනගත් වහාම රයන්ගේ මවුපියෝ උදව් ඉල්ලා දිව ගියහ. දරුවා මුදා ගැනීම පහසු කරුණක් වූයේ නැත. රයන් ඇද වැටී තිබූ විවරය මීටර් 45ක් පමණ ගැඹුරු වූ අතර එහි මුව විට සෙන්ටිමීටර් 25ක් තරම් කුඩා විය. එය රයන්ගේ කුඩා සිරුර නොනවත්වා මීටර් 32ක් පමණ ගැඹුර දක්වා ගෙන ගොස් තිබුණේ ඔහු එතරම්ම කුඩා නිසාය. මීටර් 35කට පමණ පසු ළිං විවරය තවත් පටු වූ බැවින් ඒ ආසන්නයේ රයන් සිරවී තිබිණි. මේ ගැඹුරට හිරු එළිය පොදක් හෝ නොවීය. හාත්පස තිබූ දූහුවිලි මිශ්‍ර පස දරුවාට යහපත් වාතාශ්‍රයක් ලබා දුන්නේ ද නැත. ඒ මදිවාට ඔහු ඕනෑම මොහොතක තවත් ගැඹුරට ඇද වැටීමේ සම්භාවිතාවක් ද විය. දෙපා යටින් පතුලක් නොපෙනෙන විවරයක් උරහිස් දෙකෙන් සිරවී සිටි මේ පුංචි පැටවා ජීවිතය වෙනුවෙන් සටන් කරමින් සිටියේය.

ඒ අතර පොළොව මතුපිට රයන්ගේ දෙමවුපියෝ තම දරුවා බේරා ගැනීමට මහ පොළොව සමඟ සටන් වදිමින් සිටියහ. එහෙත් ඒ රයන් මෙන් තනිවම නොවේ. ඔවුන් සමඟ දරු සෙනෙහස දැණුනු තවත් දහස් ගණනක් රයන් මුදා ගැනීමට පොළොව සමඟ සටන් වදිමින් සිටියහ. වඩාත්ම හැඟීම්බර දෙය වූයේ ඒ සමඟ මහ පොළොව මතු වෙසෙන සියලුම මිනිසුන් පාහේ මේ දරුවා බේරා ගැනීමට සටන් වදින මිනිසුන් සමඟ හදවතින් ඒකාත්මික වී සිටීමය. එහෙත් මේ සටන හිතූ තරම් පහසු වූයේ නැත. පුරා දින පහක් දරුවා බේරා ගැනීමට පොළොව හෑරීමට මොරොක්කෝ මුදා ගැනීමේ කණ්ඩායම්වලට සිදු විය. දරුවා රැඳී සිටි ස්ථානය වෙතට යොමු කරන ලද කැමරාවක් මඟින් දරුවා මුහුණෙහි තුවාල ද සමඟ නිරුපද්‍රිතව සිටින අන්දම ඔහුගේ චලනයන් ද සමඟ දැක ගත හැකි විය. දරුවා වෙත ආහාර, ජලය සමඟ ඔක්සිජන් ද යොමු කර සිටියද මේ බියපත් කුඩා දරුවාට ඒවා පරිහරණය කිරීමේ සිහියක් නොවුණු බවට සැක නැත. හිරු එළිය බිඳකුදු නොමැතිව අඳුරු සීතල විවරයක හුදෙකලා වී සිටින මේ පැටවාට ආහාර රුචියක් තිබෙන්නට නැත. වෙනදාට මවගේ පෙරැත්තය නිසාම කෑම කටක් බඩට දා ගන්නා මේ පුංචි පැටවාට තමා වෙත යොමු කළ බඳුන් විවර කර ආහාර ගන්නට සිහියක් හෝ අවබෝධයක් තිබෙන්නට නැත.

මේ අතර ලොව පුරා ජනමාධ්‍ය රයන් මුදා ගැනීමේ සටනට එක් වූයේ ඔහු සම්බන්ධව මුළු ලොවම සජීවීව දැනුම්වත් කරමිනි. ඒ සමඟින් මිලියන ගණන් මිනිසුන්ගේ පැතුම් රයන් සමඟ එක්විය. ලොව බොහෝ දෙනා රයන් වෙනුවෙන් දෙවියන් යදින්නට වූහ. මොරොක්කෝවේ ඈත නගරවල වැසියන් පවා දූර්ග තරණය කරමින් රයන් මුදා ගැනීමේ මෙහෙයුම් සිදුවෙමින් තිබූ ප්‍රදේශය වෙත පැමිණියේ හැකි සහායක් ලබා දීම අපේක්ෂාවෙන් ද යුතුවය.

එහෙත් රයන් මුදා ගැනීම සිතූ තරම් පහසු වූයේ නැත. ඔහු රැඳී සිටි විවරය ආසන්නයෙන් බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් කැණීම් සිදු කළේ දරුවාට ද පීඩාවක් නොවන අන්දමිනි. එහෙත් රයන් මතට මෙන්ම මුදා ගැනීමේ කටයුතුවල යෙදෙන පුද්ගලයන් මතට ද පස් කඳු ඇද වැටීමේ අවදානමක් මතු වූයෙන් කටයුතු වඩාත් අපහසු විය.

අවසානයේ ලොවම සජීවීව එදෙස බලමින් සිටියදී රයන් සිටි ස්ථානයට ළඟා වීමට පසුගිය පස්වැනිදා මුදා ගැනීමේ නිලධාරින් සමත් විය. ඒ වන විටත් ඇතැම් මාධ්‍ය රයන් තවදුරටත් ජීවතුන් අතර නොසිටින බව වාර්තා කර තිබිණි. රෙදි කඩක ඔතමින් ආවරණයක් කර ගනිමින් කුඩා රයන් පොළොව මතුපිටට ගෙන එනු දැක ගත හැකි වුවද ඒ මුදා ගැනීමේ නිලධාරින්ගේ මුහුණේ සිනාවක් දැක ගැනීමට හැකියාවක් ලැබුණේ නැත. එහෙත් රැස්ව සිටි පිරිස රයන් දකිත්ම ඔල්වරසන් නැඟූහ. සජීවීව මාධ්‍ය ඔස්සේ ඒ දෙස බලමින් සිටි බොහෝ දෙනෙක් ද ඒ සමඟ එක් වූහ. එහෙත් රයන්ගේ මවුපියන් ද බලාපොරාත්තු විරහිතව රයන් ගෙන ගොස් දමනු ලැබූ ගිලන්රථය පසුපසින් ගමන් කරනු දැක ගත හැකි විය. පසුව නිල වශයෙන් නිවේදනය කර තිබුණේ කුඩා රයන් මෙලොව හැර ගොස් ඇති බවය.

රයන්ගේ ඛේදවාචකය අවසන් වූයේ එලෙසිනි. පසුගිය හත් වැනිදා රයන්ගේ කුඩා සිරුර පෙට්ටියක බහා ලූ මොරොක්කෝ වැසියෝ ඔහු ජීවත් වූ කඳුකර ගම්මානයට කිලෝමීටර් හයක් එපිටින් වූ කනත්තක ඔහු මිහිදන් කළහ. ඔහු අනාරක්ෂිතව ළිං විවරයකට ඇද වැටී අවාසනාවන්ත ලෙස මියගිය බව සැබෑය. එහෙත් ඔහුගේ ජීවිතය රැක ගැනීමට අති විශාල මුදලක් ද වැය කරමින් මිනිසුන් රාශියක් දිවා රෑ නොබලමින් වෙහෙස වූ බවත් මනුෂ්‍යත්වය හඳුනන මිනිසුන් මිලියන ගණනක් සිතින් ඔවුන් සමඟ රැඳී සිටි බවත් අමතක කළ නොහැකිය. ඉන්දියාවේ සුර්ජිත් මියගොස් වසර දෙකකට පසු යළිත් මොරොක්කෝවේ රයන් ගැන එවැනිම ඛේදවාචකයක් අකුරු කරන අවස්ථාවේදී එදා පැවසූ දේම යළිත් සිහිපත් කළ යුතුය. මවුපියනි, ඒ ඔබේ ලෙයයි. ඔබේ ලෙය ගැන වඩාත් සැලකිලිමත් වන්න. අවධානය දෙන්න.

 

************************

ඉන්දියාවේ සුර්ජිත් විල්සන්

රයන් හා සමානම ඛේදවාචකයක් සනිටුහන් කරමින් අවසන් ගමන් ගිය සුර්ජිත් විල්සන් වාසය කළේ ඉන්දියාවේ තමිල්නාඩුවේය.

2019 ඔක්තෝබර් මස 25වැනිදා සවස් කාලයේදී ඔහු පටු ළිං විවරයකට ඇද වැටෙන්නේ තම සහෝදරයන් සමඟ සෙල්ලම් කරමින් සිටියදීය. ඒ වන විට ඔහු දෙහැවිරිදි වියේ පසුවිය. පසුව අනාවරණය වූයේ සුර්ජිත් පොළොවේ සිට මීට් 26ක දුරින් ළිං විවරයේ පටු ස්ථානයක සිරවී සිටින බවයි. සුර්ජිත් මුදා ගැනීමට විශාල මෙහෙයුමක් දියත් වූ අතර බැකෝ යන්ත්‍ර යොදමින් කැණීම් සිදු කරමින් දරුවා රැඳී සිටි ස්ථානය වෙත තවත් මඟකින් ගමන් කිරීම මුදාගැනීමේ මෙහෙයුම සිදු කළ නිලධාරීන්ගේ අපේක්ෂාව විය.

එහෙත් මුදා ගැනීම් ඇරඹී දින දෙකක් ඉක්ම යන විට සුර්ජිත් රැඳී සිටි විවරය ඔස්සේ කිසියම් ගන්ධයක් නිකුත් වන බව මුදාගැනීමේ නිලධාරීන් දන්වා සිටියහ. අවසානයේ සුර්ජිත් රැඳී සිටි ස්ථානය වෙත ළඟා වූ මුදාගැනීමේ කණ්ඩායම්වලට ප්‍රාණය නිරුද්ධව සිටි කුඩා දරුවාගේ සිරුර හමු විය. අද වන විටත් තමිල්නාඩුව පුරා මෙවැනි අනාරක්ෂිත ළිං විවර දැක ගත හැකි වන අතර දුගී ගොවීන් විසින් තවත් එවැනි ළිං විවර ස්ථාපිත කෙරමින් පවතින බව ද කිව යුතුමය.

*******************

වාසනාවන්ත වූ තායිලන්ත සිසුන්

මේ සිදුවීම වාර්තා වූයේ 2018 වසරේ ජූනි මාසයේ 23වැනිදාය. තායිලන්තයේ පාසල් සිසුන් පිරිසක් තම ගුරුවරයා ද සමඟ ගුහා තරණයේ යෙදුණේ අත්දැකීම් ලබා ගැනීම අරමුණු කර ගනිමිනි.

මේ දරුවන් සහ ගුරුවරයා ගුහාවට ඇතුළු වූ පසුව මේ කඳුකර ප්‍රදේශයට මහා වැසි ඇද වැටීමට පටන් ගත් අතර ගුහාවට ඇතුළු වන ගමන් මඟෙහි ඇතැම් ගැඹුරු තැන් සම්පූර්ණයෙන් ජලයෙන් යටවී ගියේ ඔවුන්ට නැවත ඉවතට පැමිණීමට නොහැකි වන ලෙස මඟ අවුරමිනි. මේ දරුවන් පිරිස ගුහාව තුළ කොටුවී සිටින බව දැනගත් සැණින් තායිලන්ත බලධාරීන් ක්‍රියාත්මකවී ඔවුන් බේරා ගැනීමට මහා මෙහෙයුමක් දියත් කළහ. එහෙත් අවාසනාවට මෙන් තායිලන්තයට තනිව මේ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට තරම් පහසුකම් තිබුණේ නැත. මුළු ලෝකයම එවිට ඔවුන්ගේ උපකාරයට පැමිණි අතර, රටවල් ගණනාවක ස්වේච්ඡා සේවකයන්, රටවල් ගණනාවක රාජ්‍ය ආධාර මේ දරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් දායක විය.

අවසානයේ දරුවන් සියලුම දෙනා ගුරුවරයා ද සමඟින් නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත් වූයේ මුළු ලොවටම සැනසුම් සුසුමක් හෙළීමේ අවස්ථාව ලබා දෙමිනි.

 

 

 

Comments