පොලිසිය නිහඬ බව පවසා ගම්මු පාරට බසිති
සිවු දෙනෙක් පොලිස් අත්අඩංගුවේ
කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් වැසීයාමත් සමඟ කුඩා දරුවන්ට පවා ඔන් ලයින් ඉගෙනුම් ක්‍රමයට අනුගත වන්නට සිදු විය. මවුපියෝ වත්කමක් තිබුණත් නැතත් ජංගම දුරකතනයක් මිලදී ගෙන දරුවන්ගේ නැණස පෑදීමට ගත්තේ මහ වෙහෙසකි. හවස් කාලයේ දියණියක තම පාසල් ගුරුතුමන්ගේ පාඩමට යොමුවන්නේ මහත් බලාපොරොත්තු ඇතිවය. යාබද නිවසේ සොහොයුරන් මත්පැනින් සන්තර්පනය වී පරුෂ වචන පිට කරන්නේ මේ අතරය. අසල්වැසියන්ගේ කුණුහරුප දුරකතනයෙන් ගුරුවරයාගේ ද සවන් වැකෙද්දී, “දුවේ තාත්තා බීලා ඇවිත් කෑගහනවාද?”යැයි ඇසීය. දියණිය හඬා වැටෙමින් “අනේ සර් මගේ රත්තරන් තාත්තා බීලා කරදර කරන්නේ නැහැ” යැයි මොර දුන්නේ පියා කෙරෙහි ගුරුතුමන්ගේ ඇතිවූ සැකය දුරු කරන්නටය. එවැනි පසුබිමක් අතර කාලය ගෙවී ගියේය. මොනවා ඇසුණත් ගුරුතුමා ඒ ගැන විමසා තම සිසුවිය වෙහෙස නොකරන්නට පරෙස්සම් වූයේ සියල්ල සොයා බලා දැනගත් පසුය. ඉකුත් පෙබරවාරි 15 වැනිදා රාත්‍රි අට පසුවූවා පමණි. පෙරකී නිවෙසේ දරුවන් සිවුදෙනකු එකී දියණියගේ නිවසට කඩා වැදුණේ “ලොකු කෙල්ල කපා මරන්නට ඕනෑ” කියමිනි.
එසේ ඒ නිවෙසට කඩා පැන්නේ වත්තෙමුල්ල ගම්මානයේ වෙසෙන එකම පවුලක සාමාජිකයන්ගෙන් සමන්විත මැර කල්ලියකි. එකී නිවෙසේ සිටි වයස අවුරුදු තුනක් හා හයක් වූ දූවරුන් දෙදෙනා කොටා මරා දමන්නට සැරසෙද්දී එය වැළැක්වීමට තම ජීවිත පරදුවට තබමින් ඉදිරිපත් වූ වැඩිහිටි යුවළක කපා කොටා දැමීමත් සමඟ ගමම භීතියෙන් ඇලළී ගියේය. ඒ කලකට පසු යළිත් වරක් කොටදෙනියාව පොලිස් වසම ගැන රට පුරා උණුසුම් කතාබහක් ඇතිකරමිනි.
එසේ කොටදෙනියාවේ මතක අලුත් කළේ, කොටදෙනියාව පොලිස් වසමේ වත්තෙමුල්ල ගම්මානයේ මඩිතියවල කොටබෝලේ මාර්ගයට යාබදව පිහිටි රජයේ රක්ෂිත බිම් කොටසක පදිංචි ‘අල්කයිඩා පවුල ’යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන නිවෙසක දරුවන් නව දෙනෙකු හා දිවි ගෙවන මවකගේ ක්රියාකලාපයයි. ඔවුහු බාදුරාගොඩ වත්තෙමුල්ල හා අවට ගම්වාසීන්ට වසර ගණනාවක් තිස්සේ මහත් කරදරයක් බවට පත්ව සිටින අතර, ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කළත් පොලිසිය එද්දී සැකකරුවන් අතුරුදන් වන්නේ සොයාගත නොහැකි ලෙසටය. ඔවුන්ගේ ඒ හැසිරීම නිසා එම පවුලට ‘අල්කයිඩා පවුල’ ලෙස අන්වර්ථ නාමයක් පටබැදීම ද ඔවුන්ගේ මැරකම් ඉහළ යෑමට හේතුවක් වී ඇති බව ද ප්රදේශවාසිහු පවසති.
එම නිවෙසේ වෙසෙන 49 හැවිරිදි කාන්තාවගේ විවාහක සැමියා මීට වසර පහළොවකට පමණ ඉහතදී මියගොස් ඇති අතර, ඒ වනවිට ඇය දරුවන් තිදෙනකුගේ මවකි. අනතුරුව විවිධ පුද්ගලයන් හා ජීවිතය ගෙන ගිය එම කාන්තාව මේ වන විට දරුවන් නව දෙනකුගේ මවකි. පිරිමි දරුවන් පස්දෙනෙක් හා ගැහැනු දරුවන් තිදෙනෙකුගෙන් සමන්විත මෙම පවුල කලක සිටම ගම්වැසියන්ට හිසරදයක් වී ඇත.
ඉකුත් වසර අගදී රට පුරා ප්‍රසිද්ධ වූ කොටදෙනියාවේ දරු දෙදෙනකු අතුරුදන්වීමේ සිද්ධියට පාදක වූයේ ද මෙම පවුලය. ඉහත කී කාන්තාවගේ බාල දරුවකු හා ඇගේ දියණියකගේ සැමියාගේ පෙර විවාහයේ දරුවකු එසේ අතුරුදන්ව මාස එකහමාරකට පසු මීරිගම නිවසක සිට හමු විය. එම අතුරුදන්වීම හා ඔවුන් යළි හමුවීම ගැන අනාවරණය වී ඇති කරුණු අනුව එය එම මවගේ ප්‍රබන්ධයක් බවට ප්රදේශවාසිහු සැක පළ කරති. අසල්වාසීන් පීඩාවට පත් කර කිසියම් අභිලාෂයක් ඉටු කර ගැනීමේ කූට උපක්‍රමයක් ලෙස ඇය දරුවන් සඟවා තැබූ බවට ඔවුන් තුළ ඇත්තේ දැඩි සැකයකි. එකී සිදුවීම දඩමීමා කරගෙන අසල්වාසීන් විශාල පිරිසක් ගැන සැක උපදවන බවට පවසමින් ඔවුන් පොලිසියට කැඳවීමට කටයුතු කරමින් පීඩාවට පත් කරන ලද්දේ මේ උපක්‍රමයේ පියවරක් අනුව බව තවමත් ගම්වැසියන්ගේ විශ්වාසයයි. එසේ සැක ඇති බවට කී කිසිවකු හෝ දරුවන් අතුරුදන්වීමට සම්බන්ධ වූ බවට පොලිස් හා රහස් පොලිස් පරීක්ෂණවලදී හෝ හෙළිවී නැති වීම ඊට හේතුවයි. එසේ අතුරුදන්වූ බව කියූ දරුවා මේ වනවිට පරිවාස භාරයේ පසුවේ.
යාබද ඉඩම්වලට පැන මසකට දෙවතාවක් පමණ ඒවායේ පොල් කඩා තොග පිටින් අලෙවි කිරීම මේ මව ඇතුළු දරුවන්ගේ සිරිත බවත් එසේ ආදායම් ලබා ගන්නා දිනවලදී අසල්වැසියන්ට කරදර හිරිහැර වැඩිවන බවත් අසල්වාසීහු පෙන්වා දෙති. එසේ සොරකම් කිරීම මෙන්ම කසිප්පු මුදලාලිලාගේ සහායකයන් සේ කටයුතු කිරීම ද මෙම පවුලේ වැඩිමල් දරුවන්ගේ ක්රියාකලාපයයි. කලකට ඉහත පාතාලය හා සම්බන්ධ බවට පැවසුණු පුද්ගලයකු සමීපයේ ඔවුන් කල්ගත කර ඇතැයි ද තමන් එම පුද්ගලයාගේ සහායකයන් බවට හඳුන්වා දෙමින් ජනතාව බියපත් කර ඇති බවට ද තොරතුරු අනාවරණය වී ඇත. එක් දරුවකු කලක සිට සිවුරු පොරවා ගෙන භික්ෂුවක් සේ නිවසේ දහවල් කාලය ගත කරන අතර මළ හිරු බැස යද්දී මෙම පුත්‍රයා කලිසමෙන් කමිසයෙන් සැරසී ගමන් බිමන්වල යෙදෙමින් මත්පැනින් සන්තර්පනය වී පවුලේ සෙසු අය හා එක්ව පාරේ යන එන්නන්ට මෙන්ම අසල්වාසීන්ට තියුණු කැපුම් තුවාල සිදු කළ අවස්ථා රැසක් ඇති බව ද ගම්වාසීහු කියති. මෙම පවුලේ අයට එරෙහිව මේ වනවිට පොලිස් පැමිණිලි රැසක් ඇතද ඒවාට නීතිය ක්‍රියාත්මකවීම ප්‍රමාද වන නමුත් මෙම පවුලේ අයගේ පැමිණිලි පිළිබඳ ඉක්මන් පියවර ගන්නා තත්ත්වයක් ඇති බවට ද ඔවුහු චෝදනා කරති.
ජැන්ඩියට හැඳ පැලඳගෙන නිවෙසින් පිටව යන මව, හවසට යළි නිවෙසට එන්නේ දරුවන් පිනවීම සඳහා මත්වතුර සහ කටගැස්ම රැගෙනය. දරුවන් බමන මතින් පසු වෙද්දී “අරූට ගහපන්, කපපන්” කියමින් මව ඔවුන්ට අණ දෙන අයුරු තමන්ට බොහෝ වාරයක් ඇසී ඇති බව ද අසල්වැසියෝ පවසති.
එවැනි වාතාවරණයක් තිබියදී දරුවන් දෙදෙනා අතුරුදන් වීමේ සිද්ධියෙන් මාසයක් ගතවන අවස්ථාවේදී එම පවුලේ සිවුරු පොරවාගෙන සිටින පුත්‍රයා ඇතුළු පිරිස දිවුලපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු පිළිබඳ සමායෝජක කලුඅග්ගල සරණසිරි හිමි ගමන් ගත් වාහනයට ද ගල් ප්‍රහාරයක් එල්ල කර බැණ වැද තිබේ. උන්වහන්සේ මේ සිද්ධිය ඒ අවස්ථාවේදීම කොටදෙනියාව පොලිසියට දැනුම් දී ඇති අතර, පොලිස් කණ්ඩායමක් පැමිණ ඇත්තේ ඒ පිළිබඳ සොයා බලන්නටය. එහෙත් පොලිසිය එද්දී මාර පුත්‍රයන් සිවුදෙනා නිවෙසින් පැන ගොස් සැඟවී අවසන්ය. පොලිස් පිරිස හා අසල්වැසියන් හා එක්ව අවට පිරික්සමින් ඔවුන් ගැන සොයා බැලීමේ යෙදී සිටින අතරතුරදී එකී කාන්තාවගේ දරුවන් තිදෙනකු හා සිවුරකින් සැරසී සිටි තවත් පුද්ගලයකු ඉකුත් 15 වැනිදා රාත්‍රි 8.00ට පමණ යාබද නිවෙසට කඩා වැද තිබේ. එම නිවෙසේ ජීවත් වන වයස අවුරුදු තුනක් හා හයක් වන දරුවන් දෙදෙනා සාලයේ සිටියදී මැර පවුලේ වැඩිමහල් සහෝදරයා “මල්ලී ලොකු කෙල්ල කපපන් ” කියා අණ දී ඇත්තේ ඒ අවස්ථාවේදීය.
මේ අවස්ථාවේදී සිවුරු ඇඳ සිටි දෙදෙනා එම යාබද නිවසේ පිටුපස දොර කඩාගෙන නිවසට ඇතුළු වීමට උත්සාහ ගෙන ඇත්තේ අයියලා දෙන්නා ඉදිරිපසින් ඇතුළු වී දරුවන් කපා දමද්දී නිවැසි කත මරා දමන අදහසින් බවට ජනතාව සැක පහළ කරති. එක් චීවරධාරියකු මෙම පවුලේ දරුවකු බවත් අනෙකා ඔහුගේ මිතුරකු බවත් මේ වන විට හෙළිවී ඇත. එම සිදුවීම සැලවීමත් සමඟ පොලිස් කණ්ඩායමක් ඒ ස්ථානයට පැමිණ ඇති අතර, පොලිසිය මැරයකු අත තිබූ කඩුව උදුරා ගත්තද මැරයින් පලාගොස් ඇත. දරුවන් බේරාගැනීමට ගොස් මැර ප්‍රහාරයෙන් තුවාල ලත් ජී.ජී. වික්‍රමසිංහ (68) හිසේ, මුහුණේ හා අත්වල දරුණු කැපුම් තුවාල සහිතව වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, ඔහුගේ බිරිය වන ඊ.කේ. කුසුමාවතී (67)ගේ අතක ඇඟිලි කැපී වෙන්වීම නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. තම ජීවිත පරදුවට තබමින් එම යුවළ දරු දෙදෙනා බේරාගන්නට මැදිහත්වීම වීර ක්‍රියාවක් ලෙස සලකමින් ගම්වැසියන් ඉදිරියේදී ඔවුනට උපහාර පිදීමට අදහස් කරන බව ද දැනගන්නට ලැබිණි.
ඔවුන් දෙදෙනාට තුවාල සිදුකොට පොලිසියේ වෙඩි ප්‍රහාරය අතරතුර පලා ගිය අපරාධකරුවන්ගෙන් දෙදෙනකු එදින රාත්‍රියේ අසල මෝලක සැඟවී නිදා සිටියදී ගම්වැසියන්ගේ ආධාර ඇතිව අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වුවද දෙදෙනකු ඒ අවස්ථාවේදීද පැන යෑමට සමත් වී තිබිණ. ඒ අවස්ථාවේදී පොලිසියට හසුවී ඇත්තේ චීවරධාරීන් දෙදෙනා වන අතර, ඒ අවස්ථාවේදී ඔවුන් දෙදෙනා සාමාන්‍ය ඇඳුමින් සැරසී සිට ඇති අතර එක් සිවුරක් ඔවුන්ගේ නිවෙස අසල ළිං කණ්ඩියේ දමා තිබෙනු දැකිය හැකි විය. අපරාධකරුවන් නිදාසිට ඇත්තේ අනෙක් සිවුර බිම එළාගෙනය. අත්අඩංගුවට පත් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කර ඇතත් දරුවන් කපා මරා දැමීමට පැමිණ යුවළට තුවාල සිදුකළ දෙදෙනා අල්ලා ගැනීමට පොලිසිය අසමත් වීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ගම්වැසියෝ විසින් පසුගිය 20 වැනිදා දහවල් දිවුලපිටිය මීරිගම මාර්ගය අවහිර කරමින් දෙපැයක් තිස්සේ විරෝධතාවයක ද යෙදිණි.
එකී පවුලේ සාමාජිකයන්ගෙන් සිදුවන හිරිහැරවලට එරෙහිව සිදුකර ඇති සියයක් පමණ වන පැමිණිලි පිළිබඳ නිසි විභාගයක් සිදු නොවීම මෙහිදී ජනතාවගේ දැඩි විරෝධයට ලක්විය. පාර්ලිමේන්තුව නියෝජනය කරන සුවිශේෂි පුද්ගලයකුගේ රැකවරණය මෙම මැර පවුලට ලැබී ඇතැයි ජනතාව මෙහිදී පොලිස් නිලධාරීන් හමුවේ පැවසූහ. එහිදී කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.එන්. පුෂ්පකුමාර සඳහන් කළේ පොලිසිය සිටියදීම සිදුවූ මේ අපරාධය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කරන බවය. පලාගොස් සිටි සැකකරුවන්ගේ තොරතුරු පරීක්ෂා කිරීමට කටයුතු යොදා ඇතැයිද ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගන්නා බව ද සඳහන් කළ පොලිස් ස්ථානාධිපතිවරයා, එසේ නොවන්නේ නම් තමන් ස්ථානාධිපති ධුරයෙන් යන බවද පැවසීය. ස්ථානාධිපතිවරයාගේ වචන කෙරෙහි මහත් බලාපොරොත්තු ඇතිව ගම්වැසියෝ ඒ අවස්ථාවේදීම විරෝධතාව අත්හැරියහ. සැකකරුවන් ප්‍රදේශයේ නිවෙසක රැඳී සිටි බවට තොරතුරු හෙළි වීම නිසා එම නිවෙස ඒ අවස්ථාවේදීම පරීක්ෂා කිරීමට ද පොලිසිය පියවර ගත්තේය. ඒ අවස්ථාවේ සැකකරුවන් නොසිටියත් නිවැසි කාන්තාවගේ හැසිරීම කාටත් ඇති කළේ දැඩි කුතුහලයකි. මේ අතර එක් සැකකරුවකු අසල්වැසි තරුණයන් කිහිපදෙනකුගේ දුරකතන අංක ලබා දෙන ලෙසට මිතුරෙකුට කළ දැනුම්දීමක් ද අනාවරණය වීමත් සමඟ යළිත් ජනතාව බියට පත්ව ඇත්තේ කිසියම් තර්ජනයක් සමඟ ප්‍රහාරයක් එල්ලවනු ඇති බවට සැක පහළ කරමිනි.
මැර පවුලේ මව හා දරුවන් විවිධ ස්ථානයන්හි රැඳී සිටිමින් සිඟා කෑමේ යෙදී ඇති බවට ද තොරතුරු ලැබී ඇත. එසේ සිඟා කෑමට ගිය අවස්ථාවන්හිදී හමුවූ සිඟන්නියන් නිවෙසට කැඳවාගෙන විත් රඳවාගෙන ඔවුන් සිඟමනේ යොදවමින් ආදායම ලබා ගැනීමට මැර පවුලේ මව කටයුතු කර ඇති බව ද අනාවරණය වී ඇත. එක් සිඟන කාන්තාවක කොරෝනා උවදුර මැද මෙම නිවසේදී මරණයට පත්ව ඇතැයි ද එම කාන්තාවට සිවුරු පොරවාගෙන සිටි පුතා මෙන්ම මව ද පහර දුන් බව දක්නට ලැබුණු බව ද අසල්වැසියෝ පවසති. එක් අවස්ථාවක අහිගුණ්ඨික කාන්තාවක් ද එම නිවෙසට කැඳවාගෙන තිබූ අතර, ඇය සමඟ විෂ දළ හැලූ නාගයකු සිටි බව ද ඔවුහු කීහ. දරුවන් අතුරුදහන්වූ සිද්ධිය අවස්ථාවේදී මෙම කාන්තාව මාධ්‍ය හමුවේ නාගයකු පිළිබඳ කතාවක් පවසා ඇත්තේ අහිගුණ්ඨික කතගේ නාගයා සම්බන්ධයෙන් බව ද හෙළිවී ඇත.
ඉකුත් 21 දා වත්තෙමුල්ල භාවනා මධ්‍යස්ථානයේ පැවති පොලිසිය හා ගම්වැසියන්ගේ හමුවකදී මීගමුව සහකාර පොලිස් අධිකාරි පාලිත අමරතුංග සහ කොටදෙනියාව පොලිස් ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ ලැබී ඇති සියලු පැමිණිලි සම්බන්ධයෙන් ගතයුතු ගත හැකි සියලු විමර්ශන සිදුකර අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති බවය. එකී පවුලේ දරුවන්ට එරෙහිව මේ වනවිට බරපතළ අපරාධ, සුළු අපරාධ මෙන්ම සොරකම් මැරකම් ගණනාවක් සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන ඇති බව ද එහිදී පොලිසිය ගම්වැසියන් දැනුම්වත් කරනු ලැබීය. එහෙත් කිසියම් අදෘශ්‍යමාන හස්තයක් නිසා මැර පවුලට එරෙහි පැමිණිලිවලදී කොටදෙනියාව පොලිසිය නිශ්ක්‍රීය වන බවත් මැර පවුලේ ක්‍රියාකලාපයට සහාය දක්වන පිරිස් හෝ පුද්ගලයන් හෙළි කරගෙන ප්‍රදේශයේ ජනතාවගේ නිදහස භුක්තිවිඳීමට අවස්ථාව සලසා දීමට පියවර ගන්නේ කවදාද? යන ප්‍රශ්නයට පිළිතුරු ලැබෙන තුරා තමන්ට අස්වැසිල්ලක් නොවන බව ද ගම්වැසියෝ පවසති.
‘අල්කයිඩා‘ පවුලට එරෙහිව කර ඇති පැමිණිල්ලක් අස් කර ගන්නා ලෙසට තමාගෙන් කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ බව තරුණයකු ලියුම්කරු හා පැවසුවේ එකී ඉල්ලීම කළ පොලිස් නිලධාරියා ද පෙන්වමිනි. උසස් පොලිස් නිලධාරීන් මොනවා කිව්වත් පොලිසියේ ඇතැම් පුද්ගලයන් එකී පවුලට ඉතා හිතවත් බව ඒ ඉල්ලීම අනුව පෙනී යන බව ද ඔහු පැවසීය.
මීගමුව සහකාර පොලිස් අධිකාරි පාලිත අමරතුංග ජනතාව ඉදිරියේ සඳහන් කළේ කිසිසේත්ම මේ පවුලේ පිරිසගේ සිතැඟි පරිදි කටයුතු කරන්නට ඉඩ නොතබන බවය. පවත්නා නීති රාමුව මත කළ හැකි සියලු පියවර ගෙන ජනතාවට ඇති කරදර ඉවත් කිරීමට පියවර ගන්නා බව ද ඒ ගැන විශ්වාසය තබන ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලා සිටි අතර, ජනතාව කුමන චෝදනා කළත් එකී පැමිණිලි විභාග කිරීමේදී කිසිදු බලපෑමක් එල්ල වී නැති බව අවධාරණය කළේය.
පොලිසිය පොරොන්දුවූ පරිදි පෙබරවාරි 22 වැනිදා එතෙක් සැගවී සිටි 24 හැවිරිදි සැකකරු පස්යාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනු අතර ඔහුගේ බාල සොහොයුරා එදිනම රාත්‍රී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී තිබිණි. මෙසේ අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාද 23 දා මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 28 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත.
මේ අනුව මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනාම මේ වනවිට රිමාන්ඩ් බාරයේ පසුවෙන අතර අල්කයිඩා පවුල වසන නිවස ආසන්නයේ පදිංචිකරුවන් වැඩි දෙනෙකු නිදහසේ නින්දට ගියේ දින නවයකට පසු පෙබරවාරි 23 වැනිදා බදාදා රාත්‍රියේය.