- එක උක් ගහෙන් වසර පහක් අස්වනු නෙළනවා. ගොවියන්ගේ ඉල්ලීම අසාධාරණ බව සීනි සමාගම කියයි
- සෙවනගල උක් ගොවියෝ අස්වනු නෙළීම නවතති
- උක් කිලෝ එකකට රුපියල් දෙකක මිල වැඩි කිරීමක් ඉල්ලති
පාරම්පරික ගොවිතැනට මෙන්ම ස්වංපෝෂිත කෘෂි ආර්ථිකයකට හිමිකම් කියූ ශ්‍රී ලංකාවේ ගොවියා රජ වූ යුගයක් තිබිණ. එහෙත් වර්තමානයේ රටත් ලෝකයත් මුහුණ දී සිටින අර්බුද රැසක් හමුවේ ගොවියාට අත්ව ඇත්තේ ද ශෝචනීය තත්ත්වයකි.
ජීවත් වීම සඳහා නිසි ආර්ථික වැඩපිළිවෙළක් නොමැති වීම, ගොවි නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් නොමැති වීම හා ඒ සඳහා වන උපකරණ හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීමේදී අධික මුදලක් වැය කිරීමට සිදුවීම යන කාරණා හමුවේ ගොවියෝ දිනෙන් දින ගොවිතැනින් ඉවත්වෙමින් සිටිති. එවැනි පසුබිමක් තුළ සෙවනගල උක් ගොවීහු ද උක් කිලෝ එකකට රුපියල් දෙකක මිල වැඩිකිරීමක් ඉල්ලා උක් අස්වනු නෙළීමේ කටයුතුවලින් මේ දිනවල ඉවත්ව සිටිති. මේ පිළිබඳ සොයා බැලීමට උක් ගොවීන් සොයා පසුගිය දිනෙක අපි සෙවනගලට ගියෙමු.
ලංකා සීනි සමාගමට අයත් සෙවනගල සීනී සමාගම ආරම්භ වූයේ 1986 වසරේදීය. මෙරට සීනි පරිභෝජනයෙන් සියයට 90ක් බ්‍රසීලය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව වැනි විදෙස් රටවලින් ආනයනය කරනු ලබන අතර ඉතිරි සියයට 10 පමණක් මෙරටදී නිෂ්පාදනය කරනු ලබයි. සෙවනගල සීනි ආයතනය පසුගිය දෙවසර තුළදී උක් මෙට්‍රික් ටොන් 546,122ක් ඇඹරීම සඳහා ලබාගෙන ඇති අතර, ඉන් සීනී මෙට්‍රික් ටොන් 33,910ක ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇත.
“සෙවනගල සීනි ආයතනය යටතේ හෙක්ටයාර 4,000ක පමණ භූමියක ගොවි පවුල් 3,500ක් උක් වගාව සිදුකර තිබෙනවා. එදා පටන්ම මේ ගොවීන් දැඩි ආර්ථික දුෂ්කරතාවලටත් සීනි ආයතනයේ පරිපාලකයන්ගේ පීඩාවටත් ලක් වෙමින් තමයි මේ උක් වගාව සිදුකරගෙන ආවේ. මේ සීනි ආයතනය රැකගන්න ඕනි නිසා ගොවීන් ලෙස අපි මෙච්චර කාලයක් කැපකිරීම් කළත් මේ ආයතනයට පත්ව එන නිලධාරීන් කවදාවත් උක් ගොවීන් දිහා බැලුවේ නැහැ. මේ ආයතනය දියුණු කරන්න නම් පළමුවෙන්ම කරන්න ඕනේ උක් ගොවියා ශක්තිමත් කිරීමයි. නමුත් කිසිම පාලකයෙක් ගොවියා ශක්තිමත් කළේ නෑ. ඔ
මේ 2022 වසරට අදාළව උක් අස්වනු නෙළීම සිදු කරන කාලය වුණත් අපි මෙවර දැඩි තීන්දුවක් ගත්තා. අද සියලුම දේවල්වල මිල ගණන් ඉහළ ගිහින් තිබුණත් උක් ගොවියට උක් කිලෝ එකකට ගෙවන ගාන මේ වෙනකම් වැඩි කළේ නෑ. අපි මෙවර සීනි ආයතනයෙන් ඉල්ලීමක් කළා, අපිට උක් කිලෝ එකක් සඳහා රුපියල් දෙකක් මිල වැඩි කිරීමක් කරන්න කියලා. හැබැයි මේ වෙනකම් සීනි ආයතනයේ සභාපතිවරයා හෝ රජයේ පාර්ශ්වයෙන් අපේ ඉල්ලීමට කන් දුන්නේ නෑ. රුපියල් දෙකක මිල වැඩි වීමක් ඉල්ලපු අපිට සීනි සමාගම දුන්නේ ශත පනහක වැඩිවීමක් විතරයි. මේ වෙනකොට උක් අස් අස්වනු නෙළීමේ ගාස්තුව වැඩි වෙලා තියෙනවා. වගාවේ වල් මර්දනය සඳහා වෙනදට වඩා රුපියල් 27,000ක වැඩි වීමක් සිදු වෙලා තියෙනවා. ඉතින් මේ විදියට හැමදේකම මිල වැඩි වෙලා තියෙද්දීත් බලධාරීන් අපි ඉල්ලන මේ සාධාරණ ඉල්ලීමට කන් දෙන්නේ නෑ. ඒ නිසා තමයි අපි තීරණය කළේ අපිට උක් කිලෝ එකක් සඳහා රුපියල් දෙකක මිල වැඩි කිරීමක් සිදු කරන තෙක් උක් අස්වනු නෙළන්නේ නෑ කියලා. දැනට සෙවනගල උක් ගොවින්ගෙන් සියයට අනූපහක්ම උක් අස්වනු නෙළීමෙන් වැළකිලා ඉන්නේ”
සෙවනගල ගොවිසෙත ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩී.ඩී.ජයතිලක සෙවනගල උක් ගොවීන්ගේ අවනඩුව එලෙස අප සමඟ පැවසුවේ එලෙසිනි.
“මේ වෙනකොට උක් ගොවීන්ට දැඩි ආර්ථික අපහසුතාවලට මුහුණ පෑමට සිදුව තිබෙනවා. අපි අවස්ථා ගණනාවකදීම සෙවනගල සීනි ආයතනයේ පාලනාධිකාරියෙන් ඉල්ලීම් කළා උක් ගොවියාට සාධාරණයක් ඉටු කරන්න කියලා. ඒ අනුව අවසන් වරට 2021.11.08 වෙනි දින අපි සීනි ආයතනයේ සභාපතිවරයාට මේ පිළිබඳ ඉල්ලීම ලිඛිතව ලබා දුන්නා. ඒ වගේම පසුගිය 26 වැනි දින ජනාධිපතිවරයාටත් උක් ගොවියා මුහුණ පා ඇති තත්වය පිළිබඳ ලිඛිතව දැනුම් දුන්නා. නමුත් මේ වෙනකම් සීනි ආයතනයේ පාලනාධිකාරිය හෝ රජය පාර්ශ්වයෙන් මෙතෙක් අපේ ඉල්ලීමට සාධාරණයක් ඉටු කරලා නැහැ”
ඔහු පැවසුවේ කම්පාවෙනි. උක් ගොවින්ගේ බල මණ්ඩලය යනු සෙවනගල විසිරී පැතිරී තිබෙන සියලු ගොවි සංවිධානවල එකතුවකින් සැදුණු මවු සංවිධානයකි. ගොවි පවුල් 3,500කට වැඩි පිරිසක් එම අපේ සංවිධානය නියෝජනය කරන බව ද හෙතෙම සඳහන් කළේය.
“ඒ සියලු දෙනා එක්ක අපි සිදු කළ සාකච්ජාවලින් පසුව තමයි මේ තීරණය ගත්තේ. ඒ අනුව මේ සියලුම උක් ගොවීන් ඒකමතිකව තීරණය කර තියෙනවා, බලධාරීන් අපිට උක් කිලෝවක් සඳහා රුපියල් දෙකක වැඩි කිරීමක් ලබා දෙන්නේ නැතිනම් මේ වසරේ උක් අස්වනු නෙළීමේ කටයුතුවලින් බැහැර වීමට. අද වන විට උක් ගොවියාගේ දෛනික ආදායම රුපියල් 550ත් 600ත් අතර දෝලනය වෙමින් තිබෙනවා. වතු කම්කරුවෙකුටත් වඩා ඉතා අඩු මුදලක් තමයි අද උක් ගොවියට ලැබෙන්නේ. මේ මුදල අපිට ජීවත් වීමට කිසිසේත් ප්‍රමාණවත් නැහැ. මේ ගැටලුව පිළිබඳ අපි පසුගිය 22 වැනිදා රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර එක්කත් සාකච්ජා කළා. එහිදී ඔහු පොරොන්දු වුණා ජනාධිපතිතුමා එක්ක සාකච්ජා කරලා මේ ගැටලුවට විසඳුමක් දෙනවා කියලා. හැබැයි මේ වෙනකම් අපිට විසඳුමක් ලැබුණෙ නෑ. අපේ දුක මේ උක් ගොවියා පත්ව ඇති අසරණ තත්ත්වය පිළිබඳව නිසි බලධාරින්ට කියන්න වෙන ක්‍රමයක් නෑ. ගොවියගේ දුක කියන්න හැමදාම අපිට ඉතිරි වුණේ මාධ්‍ය විතරයි. යම් හෙයකින් පාලනාධිකාරිය ගොවියට කන් දෙන්නේ නැතිනම් ලබන වසරේ සිට සෙවනගල උක් ගොවීන් සියලු දෙනා උක් වගාවෙන් අයින් වෙන්නත් කටයුතු කරනවා”
සෙවනගල ගොවිසෙත ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ඩී.ඩී.ජයතිලක එසේ පවසද්දී සෙවනගල උක් ගොවි බලමණ්ඩලයේ ලේකම් අයි.එච්.පියදාස මෙසේ සඳහන් කළේය.
“උක් ගොවියෙක්ට උක් ටොන් එකක් නිෂ්පාදනය කිරීම සඳහා එදාට වඩා අද වන විට දැරීමට සිදුවී තිබෙන පිරිවැය දෙතුන් ගුණයකින් ඉහළ ගොස් තියෙනවා. උක් ටොන් එකක් නෙළීමේ ගාස්තුවත් මේ වන විට රුපියල් 200කින් ඉහළ ගිහින් තියෙනවා. මේ විදියට හැමදේම වැඩි වෙලා තියෙනවා.අද උක් වගාකරුවන් උක් නිෂ්පාදනය සඳහා වැඩිවූ මුදල ගණන් හදලා බැලුවම උක් වගා කිරීම තිත්ත වෙනවා. ඒකට හේතුව අඩුමතරමින් උක් වගාව සඳහා වැයවෙච්ච මුදලවත් අපිට සීනි ආයතනයෙන් ලැබෙන්නේ නැහැ. පාඩුපිට පාඩු ලබමින් තමයි උක් ගොවියා උක් ගස් ටික සීනි ආයතනයට ලබා දෙන්නේ. අපි මේ සාධාරණ ඉල්ලීමක් බලධාරීන්ගෙන් ඉල්ලන්නේ. අපිට මේ ආයතනයට කවුරු පත්වෙලා ආවත් කමක් නෑ. අපි කියන්නේ ගොවියට සාධාරණයක් ඉටු කරන්න කියලා විතරයි. මොකද අපිට අක්කර දෙකයි දීලා තියෙන්නේ. අපේ දරු පවුල් නඩත්තු කරන්න වෙන්නේ මේ අක්කර දෙකෙන් ලැබෙන ආදායමෙන්. උක් වගා කරලා අපිට සාධාරණයක් ඉටුවෙන්නේ නැතිනම් අපි උක් වගාවෙන් ඉවත් වෙලා අකමැත්තෙන් හරි වෙන අතිරේක භෝග වගාවලට යනවා. ඒ නිසා අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා අපේ මේ සාධාරණ ඉල්ලීමට කඩිනම් පිළිතුරක් දෙන්න කියලා. එහෙම නැති වුණොත් මේ කන්නයේ උක් නෙළීමේ කටයුතුවලින් අපි ඉවත් වුණා වගේම ලබන කන්නයේ සිට උක් වගාකිරීමෙන් ද ඉවත් වෙනවා කියලා අපි බලධාරීන්ට කියනවා”
ඔහු පැවසුවේ සමස්ත උක් ගොවියන් පීඩාවට පත්කරන ගැටලුව පැහැදිලි කරමිනි. එක්සත් පුබුදු ගොවි සංවිධානයේ ලේකම් එම්.කේ.පේමසීලි පැවසුවේ ද එවැනිම කතාවකි.
“ගොවීන් වෙච්ච අපි මේ වෙනකොට දැඩි පීඩනයකට ලක්වෙලා ඉන්නේ. ණයතුරුස් වෙලා වගා කළාය වැඩක් නෑ අස්වැන්න දෙන්න වෙලා තියෙන්නේ තුට්ටු දෙකට. සෙවනගල සීනි ආයතනයට වත්මන් සභාපති වරයා පත්ව ආව මුල් දවසේ කිව්වේ ගොවි ජනතාව නැඟිටුවන්න කටයුතු කරනවා,ඒ නිසා වෙනත් වගාවන් කරලා තියෙන ගොවීන් කරුණාකරලා උක් වගාව යළි ආරම්භ කරන්න කියලයි. ඒ අනුව අපිත් ගොවි නායකයෝ හැටියට ගොවින් දැනුවත් කරලා උක් වගාව නතර කරලා හිටිය ගොවීන්වත් එකතු කරගෙන යළි උක් වගාව පටන් ගත්තා. නමුත් අපිට සෙතක් වුණේ නැහැ. අපි ඉල්ලන්නේ උක් කිලෝවක් සඳහා රුපියල් 02ක් වැඩි කරන්න කියලයි. ආයතනය බලධාරින්ට කියන්නේ අනවශ්‍ය මුදල් නාස්තිය නතර කරලා ගොවියා නඟා සිටුවන්නත් වැඩ පිළිවෙළක් හදන්න කියලයි. අපේ ඉල්ලීම ඉටුවෙනතෙක් මෙවර උක් අස්වනු නෙළන්නේ නෑ. විසදුමක් නොලැබුනොත් ලබන කන්නයේ සිට සෙවනගල අපි උක් ගොවීන් සියලු දෙනා උක් වගාවෙනුත් ඉවත් වෙනවා.ඒක ස්ථිරයි”
උක් වගාවේ නිරත වී සිටින ගොවියකු වන කමලසිරි ජයවර්ධනට ද මේ ගැන කියන්නට කතාවක් තිබිණ.
“මම දැනට අවුරුදු 35ක ඉඳන් උක් වගා කිරීමේ නිරත වෙනවා. මේ වන විට රටේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක උක් වගාව කරගෙන ජීවත් වීම ඉතා අසීරු වෙලා තියෙනවා. මිරිස් කිලෝ එක රුපියල් 600කින් වැඩි වෙලා. හාල් කිලෝ එකක් රුපියල් 80කට වැඩි ගානකින් වැඩි වෙලා. අද උක් ටොන් එකක් නෙළීමේ ගාස්තුව රුපියල් 200කින් වැඩි වෙලා. ඉඩම්වලට වල් නාශක යෙදීමේ ගාස්තුව රුපියල් 27කින් විතර වැඩි වෙලා තියෙනවා. මේ විදියට හැමදේම මිල ඉහළ ගිහින් තියෙද්දී උක් ගොවියාගේ උක් මිලේ කිසිදු වෙනසක් සිදු වෙලා නෑ. අද දුක් විඳලා උක් වගාව සිදු කරලා ඒක සීනි ආයතනයට දීලා අපිට අත්දෙක පිහදගෙන බලාගෙන ඉන්න වෙලා තියෙනවා. අපිට දීලා තියෙන්නේ අක්කර දෙකයි. වෙන භෝගයක් දමන්න අපිට වෙන ඉඩම් කිසිවක් නෑ. අපේ මුළු දරු පවුලම රැකෙන්නේ මේ උක් වගාවෙන් ලැබෙන මුදලිනුයි. ඒ නිසා අපේ මේ සාධාරණ ඉල්ලීමට කන් දෙන්න කියලයි අපි ඉල්ලන්නේ.”
ඒ ආයාචනය ඔහුගේ පමණක් නොවේ. එය දැන් සෙවනගල සමස්ත උක් ගොවීන්ගේ ප්‍රශ්නය බවට පත්ව අවසන්ය. මේ සම්බන්ධයෙන් අප ලංකා සීනි සමාගමේ විධායක අධ්‍යක්ෂ ගාමිණී රාසපුත්‍ර ගෙන් විමසීමක් කළෙමු.
“ගොවීන් ඉල්ලන විදියේ වැඩි කිරීමක් කරන්න දැනට නම් හැකියාවක් නෑ. මේ වසරේදී අපි උක් ටොන් එකක් සඳහා රුපියල් 500ක් වැඩි කරලා තියෙනවා. ඉදිරියේදී තවත් වැඩිකිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටිනවා. ඔය සමහර ගොවි සංවිධාන කියන විදියට උක් වගාවට මහ අමාරුකම් නෑ. මොකද එක සැරයක් උක් ගහක් හිටෙව්වට පස්සේ එකම ගහෙන් අවුරුදු 05ක් උක් අස්වනු නෙළනවා. කෙසෙල් වගාවක් කරන කෙනා කෙසෙල් කැණ කපා ගත්තම ඒ ගහ ඉවරයි. හැබැයි උක් වගාව එහෙම නෙමෙයි. සමහර ගොවීන් එකම උක් ගහෙන් අවුරුදු හයක් හතක් උක් අස්වැන්න නෙළනවා. එහෙම තියෙද්දි තමයි ඔය විවිධ ඉල්ලීම් කරන්නේ. මොකද මේ උක් වගා කරන ගොවින් කවුරුවත් එක දිගට උක් වගාව විතරක් කරගෙන ඉන්න අය නෙවෙයි.
සියයට අසූවක්ම ගොවීන් වෙනත් විවිධ රැකියා කරන ගමන් තමයි උක් වගාව කරන්නේ. සමහරු මේ සීනි ආයතනයේම වැඩ කරන අය. අපි උක් ගොවීන්ට මතක් කරන්න කැමතියි පරණ යකඩවලට විකුණන්න ගිය කන්තලේ සීනි සමාගම ගැන. ඒ දේ සෙවනගලට කරන්න එපා කියලා ඉල්ලනවා. අපි මේ සියල්ල නිසි පරිදි කළමනාකරණය කරලා වැසී යෑමට තිබුණු ආයතන දෙකක් තමයි මේ ගොඩ නඟාගෙන යන්නේ. ගිය වර්ෂයේ විතරක් අපි සෙවනගල ගොවීන්ට රුපියල් ලක්ෂ දහඅට දාහක් ගෙවලා තිබෙනවා. මේ සෙවනගල ඉන්නේ ගොවින් 3,500යි. මේ ගාන මේ ගොවින්ගෙන් බෙදලා බලන්න, එක ගොවියෙකුට කීයක් ලැබිලද කියලා. ඒ නිසා මම ගොවින්ගෙන් ඉල්ලනවා මේ සීනි සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලිය අඩපණ කරන්නේ නැතිව තම අස්වනු නෙළීමේ කටයුතු කරන්න කියලා”