සුසානයකින් ජීවිතයට පැමිණි මිනිසකුගේ පැනය... | Page 2 | සිළුමිණ

සුසානයකින් ජීවිතයට පැමිණි මිනිසකුගේ පැනය...

ලේඛකයකුගේ අරමුණ කුමක් විය යුතුදැයි කල්පනා කරන සෑම විටකම ඒ පිළිබඳව මග පෙන්වන එක් කෘතියක් නිතැතින්ම මසිතට නැගෙයි. ඒ මා වඩාත්ම සසල කළ කෘති කිහිපය අතරින් එකක් වන ස්වයං ලිඛිත චරිතාපදානයකි. ප්‍රථමයෙන් Un di velt not Geshvign (ලෝකය නිහඬව සිටියෙන්) යනුවෙන් යීඩිෂ් බසින් රචනා කරනු ලදුව නැවතත් වඩාත් සංක්ෂිප්ත කෘතියක් ලෙස Lq Nuit යනුවෙන් ප්‍රංස බසින් පලව Night යන නමින් ඉංග්‍රිසි බසට පරිවර්තනය කෙරුණු ඒ කෘතිය කියවූ පළමු අවස්ථාවේදීම දැනුනු කම්පනය එය රාත්‍රිය නමින් සිංහල බසට පරිවර්තනය කිරීමේ දී දෙගුණ තෙගුණ විණි. ලෝක ඉතිහාසයෙහි අතිශය කෲරතම සංහාරය ලෙස සැලකෙන දෙවන ලෝක යුද සමයෙහි ගෑස් කාමරයකින් ජීවිතය අවසන් වීමේ ඉරණමට කැප කරනු ලදුව යුද්ධය අවසන් වූ මොහොත දක්වා කෙසේ හෝ දිවි රැකගැනීමට වරම් ලද දහසය හැවිරිදි කොලුවකු ගේ අත්දැකීම් ඇතුලත් මේ කෘතිය ඉන්පසුව තමන් විසින් රචනා කරන ලද අනෙක් කෘතීන් හතලිහටම පදනම නැතිනම් තේමාව සපයන් ලද්දේ යයි එහි කතුවර, නොබෙල් සාම ත්‍යාගයෙන් පුද ලද එලී වියෙසෙල්ම පවසයි.

ඔහු රාත්‍රිය කෘතිය රචනා කිරීමෙහි පසුබිම විස්තර කරන්නේ මේ අයුරිනි.

‘මා එය රචනා කළේ හුදෙක් උමතුවට පත් නොවී සිටීම සඳහාද එසේ නැතිනම් උමතුවේ ස්වභාවය ඉතිහාසය තුළ හා මනුෂ්‍ය හෘදය සාක්ෂිය තුළ පැන නැගි විසල්, බියකරු උමතුවේ ස්වභාවය වටහා ගැනීම සඳහා උමතු බවට පත් වීමටද?

එසේ නැතිනම් ඉතිහාසය යළි පණ ලැබීම වැලැක්වීමට උපකාර කිරීම පිණිස වදන්හී, මතකයන්හී උරුමය ඉතිරිකර යාමටද?

එසේත් නැතිනම් මරණය යන නපුර පිළිබඳ දැනුම සාහිත්‍යය තුළින් සොයා ගන්නා කරුණු වලට පමණක් සීමා විය යුතු වයසක උන් යෞවනයකු වශයෙන් සිටියදී මා අත්දුටු අති දුෂ්කර කාලපරිච්ඡේදය පිළිබඳ හුදෙක් වාර්තාවක් ඉතිරි කර තැබීමටද?

ආපසු හැරී බැලීමේදී මා පාපෝච්ඡාරණය කර සිටිය යුත්තේ මා හට මගේ වදන් තුළින් ළඟා කරගැනීමට ඇවැසි වූයේ කුමක්දැයි මා නොදැන සිටි එසේ නැතිනම් තවදුරටත් නොදන්නා බවයි. මා දන්නා එකම දෙය මේ සාක්ෂි ප්‍රකාශනය නොවී නම් මගේ දිවිය- එසේ නැතිනම් මගේ ජීවිත කාල පරිච්ඡේදය - එය පවත්නා තත්වයට පත් නොවනු ඇති බවයි.

1944 වසරේදී සිය පියා, මව සහ සහෝදරියන් තිදෙනා සමගම සමූලඝාතන කඳවුරු කරා පටවනු ලදුව යුද්ධයේ අවසානය දක්වාම පියා සමගින් එක් කඳවුරකින් තවෙකකට බැගින් අති දුෂ්කර ගමනක යෙදෙමින් යුද්ධාවසානය පෙනි පෙනී සිය පියා අහිමිව ගිය එලී හට පසුව හමුවනුයේ සිය සොහොයුරියන් තිදෙනා ගෙන් දෙදෙනකු පමණි. බාල සහෝදරිය වන ත්සිපෝරා ඝාතනයට ලක්වන අතර එලී සිය ප්‍රථම නිර්මානය නැතිනම් මේ ස්වයං ලිඛිත පදානය කැප කරනුයේ ඇගේ නමටය.

මේ කෘතියෙහි ඇති වැදගත්කම එය ලොව කෲරතම වර්ග සංහාරක යුද්ධයක් පිළිබඳ තවත් වාර්තාවක් වීම නොවේ. ඒ වෙනුවට එය නැවත මෙවන් ව්‍යසනයක් ලොව ඇති වීම වැළැක්වීම පිණිස සිදු කරනා බලපෑමයි. එලී තම ලේඛන දිවියෙහි අරමුණ ලෙස සලකනුයේ මහාපරාධයකට වගකිව යුතු සතුරකුට සිය අපරාධයන් මානව මතකයෙන් මතකයෙන් මකා හැරීමට ඉඩ නොතැබීමය. ඔහුට අවශ්‍ය වූයේ යම් දිනෙක මේ කාලපරිච්ඡේදය විනිශ්චයට ලක් කරන විට එහි සාක්ෂිකරුවකු වීමට මිස තම දිවි පෙවෙතෙහි එක් කාලපරිච්ඡේදයක් රචනා කිරීම නොවේ. ඔහු පවසන පරිදි යුද්ධයේ පළමු අවස්ථාවෙහි එමෙන්ම ලේඛනගත සාක්ෂිවලට අනුව බලය ලබා ගැනීමේ මුල් අවධියෙහි නාසින්ගේ අරමුණ වූයේ යුදෙවුවන්ට කිසි ඉඩක් නැති සමාජයක් බිහි කිරීමය. එහෙත් එය නාසි පාලන සමයේ අවසානය වන විට යුදෙවු යනුවෙන් ජාතියක් මිහිපිට නොවූ බව පෙනෙනු ඇති නටබුන් ලොවක් නිර්මාණය කිරීමේ අරමුණක් දක්වා පරිවර්තනයව තිබිණි. එදා මෙදා තුර අනෙකා සතුරා කරගනිමින් නිර්මිත සෑම යුද්ධයකම පොදු අරමුණ වූයේ මෙයම බව යුද ඉතිහාසය කියවන විට අපට පැහැදිලි වන්නේ වරක් දෙවරක් නොවේ.

එලීගේ සමස්ත ලේඛන දිවියම විසමන විට මේ කෲර අත්දැකීම ඔහුගේ ජීවිතයට බලපෑ ආකාරය හොඳින් වටහා ගත හැකිය. යුදෙවු සංහාරක යුද්ධයක් පැවතියේ නැතැයි එදා මෙන්ම අදත් නොපිළිගන්නා මිනිසුන්ද සිටිනා ලෝකයක එලී වරෙක එවන් එක් පුද්ගලයකුගේ ප්‍රහාරයටද ලක් විණි. එහෙත් ඔහු අදිටන් සහගතව සිය පන්හිඳ හැසිරවූයේ මේ තිරශ්චීන අත්දැකීම් යළි කිසිදු මනුෂ්‍යයකුට විඳින්නට ඉඩ නොදෙමි ය යන අරමුණෙහි රැඳෙමිනි. ඔහුගේ පළමු කෘතිය වූ රාත්‍රියෙන් පසු එහි දෙවන සහ තෙවන කෘති ද්විත්වයම ප්‍රබන්ධයන් වුවද (අරුණෝදාව සහ දහවල) ඒ කෘති ද්විත්වය පුරාම ගැබ්ව ඇත්තේ යෞවන එලීගේ දිවියෙහිම දිගුවකි. එසේම එය දෙවන ලෝක යුද්ධයෙහි තුවාලවලින් බැට කන මිනිසුන්ගේ අභ්‍යන්තර වේදනාවන් වෙනත් ආකාරයකට විවරණය කරනා විචාරාත්මක කෘතීන් ලෙසද සැලකිය හැකිය. එලී ගේ කෘතීන්හී දක්නට ලැබෙනා වැදගත්ම ලක්ෂණයක් වනුයේ එය ස්වයං විවේචනාත්මක වන අතරම යුදෙවුවන් යනු පරම පවිත්‍ර සහ අහිංසක ජන කොටසක් ලෙස ඉදිරිපත් කිරීමට වඩා පැවති තත්වයන් තුළ වඩා අවංක ලෙස නිරූපණය කිරීමට දරනු ලබනා අවංක උත්සාහයයි. මෙය දෙවන ලෝක යුද සමය පදනම්ව රචිත බොහෝ කෘතීන්හී දක්නට නොලැබෙන ලක්ෂණයකි.

ලෝකය දිනපතාම යළිත් ඇදී යමින් පවතිනුයේ යුද්ධොන්මාදයක් වෙත බව මෑත ඉතිහාසයෙහිදී අප දුටුවේ වරක් දෙවරක් නොවේ. බොහෝ රටවල් නිරතුරු කැසකවනුයේ සිවිල් යුද්ධයන් ඇවිළවීමට මිස සාමූහිකත්වයෙහි මිහිර අත්විඳින්නට නොවේ. ලොව පාලනය කිරීමට තමන් මවන ලද්දේ යයි පුරවැසියාට තහවුරු කිරීමට උත්සුක වන බොහෝ පාලකයන් සිය පාලනයෙහි ප්‍රධාන උපායක්‍රමික මෙවලම ලෙස භාවිතා කරනුයේ යුද්ධයමය. එහෙයින්ම ලොව නන් දෙසින් වර්තමානයෙහි ඇසෙනුයේ වහසි බස් මිස මනුෂ්‍යත්වයෙහි ප්‍රගීතය නොවේ. පිළිකා රෝගය ඇතුළුව බොහෝ දරුණු රෝගාබාධයන්ට ප්‍රතිකාර නොමැතිව ලක්ෂ සංඛ්‍යාත ජනයා අසරණව මියෙද්දී ජන සංහාරක යුද්ධයන් පවත්වා ගැනීම පිණිස අවි නිර්මාණයෙහි නිරත, එසේම ඒවා අත්හදා බැලීමට යුද්ධ නිර්මාණය කිරීමේ තිරශ්චීන අරමුණින් කටයුතු කරනා පාලකයන් උත්කර්ෂය නංවන ඊනියා දේශපාලනයක නිරුවත එලී වියෙසෙල් ගේ නිර්මාණ හරහා නග්න කරනු ලබන්නේ ඒ කියවන පාඨකයා හට තම ඇතුළු හදටම හැරෙන්නට දැඩි පෙලඹවීමක් කරමිනි. එසේ එලී වියෙසෙල් තම ජීවිත අරමුණ හරහා අනෙකාටද මනුෂ්‍යත්වයට අරුතක් සැපයීමට බලපෑම් එල්ල කරයි.

අන් ග්‍රහලෝකයන් ජනාවාසකරණය දක්වා සැලසුම් නිර්මාණය කරන බලලෝභී දේශපාලනයක් එවන් ග්‍රහලෝකයන් වෙත යවන්නට තබා පෘථිවියෙහි වාසයට පවා මනුෂ්‍යයන් ඉතිරි නොකරන විනාශකාරී පැවැත්මක් කරා මනුෂ්‍යයා ඇදගෙන යමින් සිටියි. එහෙයින්ම එලී වියෙසෙල් තමන්ගෙන්ම අසනා ප්‍රශ්නය සමස්ත මානව වර්ගයාගේම කේන්ද්‍රීය ප්‍රශ්ණය ලෙස ඉතිරිව තිබේ. ‘අප ජීවත් විය යුත්තේ කවර අරමුණක් උදෙසාද?’ මේ විසිඑක්වන සියවසෙහි අපට මගහැර යා නොහැකි මංසන්ධිය නොවන්නේද?

 

Comments