සිංහල ජන වර්ගයාත් ඔවුන්ගේ භාෂාවත් හැඳින්වෙන්නේ 'සිංහල' යන පදයෙනි. එය සංස්කෘත භාෂාව ඔස්සේ සිංහල භාෂාවට එක් වුණු තත්සම පදයකි. පාලි භාෂාවෙන් සිංහල වර්ගයාත් ඔවුන්ගේ භාෂාවත් හැඳින්වෙන්නේ 'සීහළ' යන පදයෙනි. එබැවින් 'සිංහල' හා 'සීහළ' යන පද දෙක ම සිංහල 'කව් ලැකියෙහි' නොයෙදේ.
සිංහල වර්ගයා 'සිංහල' යන නමින් හැඳින්වුණේ කවර හෙයින් ද? ඒ පිළිබද වටිනා සටහන් දෙකකි. එකක් දසවෙනි සියවසෙහි ලියවුණු 'ධම්පියා අටුවා ගැටපදයෙනි'. අනික පොළොන්නරු යුගයෙහි ලියවුණු 'ධර්මප්‍රදිපිකා' නම් පරිකථාවෙනි.
ධම්පියා අටුවා ගැටපදය 'දීපභාසාය' යන පාලි පදයට අර්ථ දක්වන්නේ මෙසේ ය: දීපභාසාය හෙළු බසින්......දීපභාසාය යනු සාමාන්‍ය නො? 'හෙළු බසින්' යනු කිඳොට ලැබෙයි යත්ථ දීපවාසින් හෙළු බැවින් ලැබේ. 'හෙළහ' යනු කිසෙනි යත්ථ සීහබාහු රජ සිහකු මරා 'සීහළ' නම් වීථ 'සීහං ලුනවා ඉති සීහළො. - විදෑ කුමර ඒ ඔහු දරු බැවින් සීහළ නම් වි. සෙසුවො එවුහු පිරිවර බැවින් 'සීහළ' නම් වූහු, (ධම්පියා අටුවා ගැටපදය, හෙට්ටිආරච්චි සංස්කරණය- 6 පිට)
ධර්මප්‍රදීපිකාව 'සීහළ භාසාය' යන පදයට අර්ථ දක්වන්නේ මෙෙස් ය:
,සීහළ භාසාය යන තන්හි සිංහල භාසා නම් කවරැ යත් -
'සීහබාහු නරින්දෝ සො - සීහමාදින්නවා ඉති
සීහළෝ තෙන සම්බන්ධා - ආහු සබ්බෙපි සීහළා'
යූ බැවින් කාලිංග චක්‍රවර්තිහුගේ අන්වයෙහි උපන් රාජකන්‍යාව බඩ හොත් සිංහයා හට දා සිංහබාහු නම් රජ කුමර සිංහයාගේ ලානයල ආදානය කළෝනුයි සිංහල නම් විය.... සිංහලයා පිත් යක්ෂ මථනය කොට ලක්දිව ගත් විජය රජුද ඔහු මල් සිංහ පුරයෙහි රජ කළ සුමිත් රජුද ඔහු පිත් සිංහපුරයෙන් අවුදු ලක්දිව්හි රජ වූ පඬුවස් දෙව් රජු ද ඔහු මැ දරුමුනුබුරුහුද සිංහල නම් වෙත්.... සිංහලයනට වාසභූමි වූ ද්වීපය 'සිංහල ද්වීප' නම් විය.... සිංහල දේශස්ථ වූ ජනයෝ සිංහල ශබ්දයෙන් කියනු ලැබෙත්. ඔවුන්ගේ භාෂා 'සිංහල භාසා' නම් වේ. (ධර්මාරාම සංස්කරණයල 34 පිට)
හෙළුල එළු හා හෙළ
සිංහල වර්ගයා හා භාෂාව හැඳින්විමට 'සිංහල' යන පදය යෙදෙන්නේ ලෙව් ලැකියෙහි පමණකි. ඒ වෙනුවට කව් ලැකියෙහි යෙදෙන තද්භව පද තුනකිථ 'හෙළු' 'එළු' හා 'හෙළ' යනුවෙනි.
සිංහලයෙන් ලියවුණු ග්‍රන්ථ කිපයක් ම 'එළු' යන පදයෙන් වෙසෙසා දැක්වේ. එසේ කිරීමට හේතුව ඒ නමින් ම ග්‍රන්ථ පාලි භාෂාවෙන් ලියා තිබීම යි.
දඹදෙණි සමයෙහි දී 'හත්ථවනගල්ල විහාර වංසය' යනුවෙන් පොතක් පාලි භාෂවෙන් ලියවිණ. ගම්පොළ සමයෙහි දී සිංහලයට නැඟුණු මේ පොතට 'එළු අත්තනගලු විහාර වංසය' වන නම ලැබිණ.
උම්මග්ග ජාතකය අලළා සිංහලයෙන් ලියවුණු පොත් කීපයකි. මින් එකක් කුරුණෑගල සමයෙහි දී වීරසිංහ ප්‍රතිරාජ නම් ඇමතිවරයෙකු විසින් ලියන ලද්දකි. දෙවැන්න දෙවැනි විද්‍යාචක්‍රවර්ති නම් ලේඛකයෙකුගේ කෘතියක් බව කියවේ. එය නම් කෙරුණේ 'එළු උමංදාව' යනුවෙනි. 'එළු උමංදාව' අනික් 'උම්මග්ග ජාතකයට' වඩා සිත් ගන්නා බව මහාචාර්ය සන්නස්ගල කියයි.
'චත්තාරෝ පණ්ඩිතා දුම්මුඛා අසෙසුං' යන පාඨය ඒ පොත් දෙකේ සිංහලයට නගා ඇති සැටි එතුමා පෙන්වා දෙයි. (සිංහල සාහිත්‍ය වංශය, 199 පිට)
උම්මග්ග ජාතකය ,සේනකාදි පණ්ඩිතවරු සතරදෙන දුර්මුඛ වූහ,
එළු උමංදාව පණ්ඩිතවරු සතර දෙන මාගේ ස්වාමි දරුවන්ගේ ප්‍රඥා නැමැති සූර්ය තේජසින් මලාගිය ඇඹුල් මල් සේ ඉතා නිෂ්ප්‍රභ වූහ,
'එළු' වන ප්‍රකෘතියෙන් සැදෙන නාම පදය 'එළුව' . සිංහලයෙන් ලියා ඇති පොත 'එළුවෙන්' ලියූවක් සේ සැලකේ. 'ලෝවැඩ සඟරාව' ලියූ වීදාගම හිමියෝ එය ලියුවේ 'එළුවෙන්' යැයි කීහ. ඒ කාලයෙහි සමාජයෙහි වැඩි තැනක් ලැබුණේ පාලි සංස්කෘත හා දෙමළ යන භාෂා තුනට ය. එබැවින් තමාගේ කෘතිය 'එළුවෙන්' කීවයි අනදර හෝ අවමන් නොකරන ලෙස උන් වහන්සේ ඇයද සිටිති. 'එළු සඳස් ලකුණ' එනමින් හැඳින්වෙන්නේ සිංහල ඡන්දස් එහි විස්තර කෙරෙන නිසා මිස එය වෙනත් පොතකින් වෙන් කොට දැක්වීමට නොවේ.