(ඔක්තෝබර් 24 දිනට යෙදුණු, සාහිත්‍යධර හියුබත් දිසානායකයන්ගේ 103 වන ජන්ම දිනය වෙනුවෙනි)
සිංහල සාහිත්‍යයට අනුපම සේවාවක් ලේඛකයන් අතර හියුබත් දිසානායකයන්ට හිමි වනුයේ සුවිශේෂ ස්ථානයකි. හෙළ හවුලේ කිවියකු ලෙස අද්‍යතන ගීත සාහිත්‍යයේ පෝෂණයට ඔහු දැක්වූ දායකත්වයද ඉමහත්ය. සිංහල ගීතයට ඔහු එක් කළ අපූර්වත්වය, ශ්‍රව්‍ය ගෝචර මාධ්‍යයක් වශයෙන් ගීතයට අවශ්‍ය ශිථිල බව හා සුබෝධත්වය මතු කරගැනීමට ගත් තැත සුනිල් සාන්තයන්ගේ ‘කෝකිලයන්ගේ’, ‘මෙවන් පිටිසරේ’, ‘මිහිකත නළවාලා’, ‘කුරුලු ආදරේ’, ‘සුවඳ රෝස මල් නෙළා’ බඳු ගී මඟින් මැනවින් ප්‍රකට වේ.
1916 ඔක්තෝබර් 24 වන දින ජා-ඇළ, වැලිගම්පිටියේදී උපත ලද හියුබත් දිසානායක වෑවල රෝමානු කතෝලික පාසලින් සහ කඳානේ ශාන්ත සෙබස්තියන් විදුහලින් අධ්‍යාපනය ලැබුවේය. කුඩා කල සිට ලේඛන කලාවට ඇල්මක් දැක්වූ හෙතෙම, පාසල් අධ්‍යාපනයෙන් පසු රජයේ සේවයට බැඳුණද, තම විවේක කාලයෙන් වැඩි කොටසක් වැය කළේ ගද්‍ය හා පද්‍ය රචනා කිරීමටය.
කුමාරතුංග මුනිදාස පඬිවරයාගේ ඇසුරෙන් හෙළ බස පිළිබඳ මනා අවබෝධයක් ඇති කරගත් හෙතෙම, කුඩා දරුවන් සඳහා ළමා පොත් රැසක් සම්පාදනය කළේය. ආදරය, කරුණාව හා උත්සාහය වැනි උතුම් ගුණාංග ළමා සිත් තුළ ජනිත කිරීම මේ ගද්‍ය-පද්‍ය නිර්මාණවල මූලික අරමුණ වූ බව පෙනේ. හෙළ හවුලේ උද්‍යෝගිමත් අනුගාමිකයකු වූ හියුබත් දිසානායකයන්ගේ සමාකාලීනයෝ වූවාහු, ජයන්ත වීරසේකර, අලවු ඉසි සැබිහෙළ, රැයිපියෙල් තෙන්නකෝන්, වෙල්ලාල ජයමහ, වෙ.වි. අබාගුණවඩු, අරීසෙන් අහුබුදු, ක. සූරසේන, මහැදුරු නන්දදාස කෝදාගොඩ වැනි වියත්තුය.
හියුබත් දිසානායකයන්ගේ පොත් අතර ‘මරු පහර’ 1945දීද, ‘නරි හිනාව’ 1947දීද ළමා කතා ලෙස බිහිව තිබේ. එලෙසම ‘කරුණාවට කරුණාවක්’, ‘කොණ්ඩ කිරිල්ලී’, ‘කපුටු හාමි’ මෙන්ම පරිවර්තනයක් වූ ‘ගලිවරය’ ද ඔහු ලියුවේ ළමයින් උදෙසාමය. ගුණසේන ප්‍රකාශන ලෙස ‘හිරෝශිමාවේ මල්’, ‘ඌව දනව්ව’, ‘සිංහල අත්පොත’, ‘රවින්ද්‍රනාත් තාගෝර්’ සහ ‘සුදු වත ඇඳි කත’ බිහි වූ අතර, ස්වදේශී මුද්‍රණාලයෙන් ‘සමාජ පිළියම’ ද, ගොඩගේ ප්‍රකාශකයන්ගෙන් ‘නයිට්වරුන්ගේ වීර කතා’, ‘නල දමයන්ති’, ‘හැම්ලට්’ බිහි විය. තමා කුඩා කල ගෙවූ දිවියේ මතකය, ළමා මනසට කාවදින ලෙස ඔහු ‘ගිය මා ළමා කල’ නමින් ග්‍රන්ථාරූඪ කළේය. ඒ ඔහු අතින් ලියැවුණු පොත් සමුදායෙන් අල්පයකි.
හියුබත් දිසානායකයන් තම පොත-පත මඟින් ඉටු කළේ අනාදිමත් කලෙක පටන් වහරේ සැඟව තුබුණු වියරණය හෙළි කිරීමය. ගත් වහරත් කට වහරත් අතර පරතරය වටහා දීමත්, ව්‍යාකරණයේ තාත්විකත්වයත් ඔහුගේ ග්‍රන්ථ කියවීමේදී වටහාගත හැකිය.
හියුබත් දිසානායකයන්ගේ කාව්‍යමය පබැඳුම්හි තිබුණේ අමුතු සුන්දරත්වයකි. එය ඔහු පසු කලෙක තම ගීතවලින්ද එළිදැක්වීය. සුනිල් සාන්තයන් ගැයූ ‘කෝකිලයන්ගේ...’ ගීතයේදී ගත් වහරත් කට වහරත් ඔහු මැනැවින් සම්මිශ්‍රණය කරයි. එය වඩාත් තීව්‍ර කරමින් ‘සමන් මලක් නෙළා මගේ බිසෝගේ... හිසේ ගසම් අන්න මගේ විනෝදේ... එන්නැ අනේ එන්නැ මගේ කුමාරී... සාදු කියා හාදු දෙකක් දෙන් සිරී... මගේ කිරිල්ලී... හඬින් සුමීරී... ගයන් අමා ගී...’ යැයි ඔහු ලියයි. මේ හියුබත් දිසානායකයන්ගේ ගීතාත්මක භාෂා ශෛලියයි.
ඔහුගේ ‘මෙවන් පිටිසරේ...’ ගීතයේදී ඔහු භාෂාව හසුරුවන්නේ කට වහරට වඩාත් නැඹුරුවය. එහි යෙදුම් ඉතා සෞම්‍යය. ඔහු එහි භාෂාව තුළ කිමිදී ගැඹුරටම පිහිනා ගොස් හෘදයට වැදී යන පදවැල් සොයාගනී. ‘සුවඳ තෙල් දමා... සමන් කැකුළු වළලු ලා... බෙදා වරල බැන්ද කලට, හඃහ-හා හ-හා...!’ “හරි ලස්සන යි!” කියනු වෙනුවට යොදාගත්, චමත්කාරය හා සතුට පළ කරන අපූරු යෙදුමක් ලෙස මේ ‘හඃහ-හා හ-හා..!’ යන්න දැක්විය හැකිය.
හියුබත් දිසානායකයන් හා සුනිල් සාන්තයන් අතර තිබූයේ දැඩි මතු දමකි. දෙදෙනාම විසුවේත් එකම පරිසරයකය. එහෙයින් නිරතුරුවම ඔවුහු ඔවුනොවුන් හමු වූහ. ඔහු අතින් සුනිල් සාන්තයන්ට බොහෝ ගීත ලියවුණේ ඒ නිසා වන්නට ඇත.
‘මිහිකත නළවාලා... මඟ මල් ගන්වාලා... පාසල වෙත යන මේ... පිටිසර හෙළ ගුරු ලිය සැරදේ’
මේ ගීතයේදීද දිසානායකයන්ගේ කට වහර අතිශය මිහිරි හා උචිත ලෙස යොදා තිබුණේ ‘ඕලු නෙළුම් ඈ නෙක මල් පිපිදේ අහෝ විලේ සිරියා... ජය මැ මලක් ඉන් නෙළා ගනී ඈ හා හා කුමටද ඒ.... බාල ලියේ ඔබගේ... සුහදා හට වෙ-ද ඒ... සුරතලියේ ඔබැ හදවත පතුලේ පෙම් මල කා සතු දෝ...’
එලෙසම ‘සුවඳ රෝස මල් නෙළා... මාලයක් ගොතාලා...’ ගීයද, ‘පිරුණු ඒ සොමි සඳේ කැලුම් සේ අගේ...’ ගීයද, ‘රැල්ල නැඟෙන්නේ වැල්ල බලා ගලන්නේ...’ගීයද, ‘කුරුලු ආදරේ, සතුටු සාගරේ’ ගීයද හෙළ ගී මඟෙහි නව ආවර්තනයක් සිදු කළ ගීත ලෙස දැක්විය හැකිය.
හියුබත් දිසානායක යනු මනුෂ්‍යත්වයේ ප්‍රතිමූර්තියකි. කිසිදු වේලාවෙක ඔහුගේ මුහුණේ රැඳී තුබුණු අව්‍යාජ සිනාව මැකුණේ නැත. එලෙසම සරලව, සැහැල්ලුවෙන් ජීවත් වීමට ඔහු නිතර උත්සාහ කළේය. කෙනකුට උස් හඬින් කථා කිරීමට ඔහුට කිසි සේත් නොහැකි විය. කරදර කම්කටුලු බාරගත්තේද සිනාමුසු මුහුණිනි. ඒවා විසඳාගත්තේද ඒ සිනා මුසු මුහුණෙන්මය.
හෙළ හවුලේ සිට හෙළ බස පෝෂණය කළද ඔහු ඇන්දේ පැලැන්දේ සම්පූර්ණ යුරෝපා ඇඳුමය. හැම සංස්කෘතියකටම ඔහු ගරු කළේය; හැම මිනිසකුටම ආදරය කළේය. එහෙයින් හැම මිනිසකුගෙන්ම ඔහු පෙරළා ආදරය ලැබීය.
එකල ලංකාවේ හැම පුවත්පතකම ලිපි-රචනා සැපයූ හියුබත් දිසානායකයෝ ‘දවස’ පුවත්පතේ විශේෂාංග කර්තෘ වශයෙන්ද සේවය කළෝය. ඔහුගේ සේවාව ඇගයීම සඳහා රජය මඟින් 1982දී ‘කලාසූරී’ සම්මානය ඔහු වෙත පිරිනැමීය. කතෝලික සිනමා පර්ෂදයෙන්ද ඔහුට සම්මානයක් හිමි විය.
කවියකු, ගී පද රචකයකු, ලේඛකයකු හා විශේෂාංග කර්තෘවරයකු වශයෙන් සිංහල සාහිත්‍යය උදෙසා අනුපමේය සේවාවක් කළ හියුබත් දිසානායකයෝ 1995දී අප අතරින් සදහටම සමු ගත්හ. එහෙත් අදත්, හෙටත් පරපුරෙන් පරපුරට එතුමාගේ නාමය සදා ජීවමාන වී, ගරු බුහුමන් ලබනු නොඅනුමානය. ඒ ඔහු ලාංකේය ජනතාවගේ ජීවිත පෝෂණයට බොහෝ අර්ථවත් දෑ සාහිත කෙතෙහි වපුළ හෙයිනි.