තමාව ම කැටපත් කර ස්ත්‍රී විමුක්තිය සොයන සිත්තරාවෝ | Page 2 | සිළුමිණ

තමාව ම කැටපත් කර ස්ත්‍රී විමුක්තිය සොයන සිත්තරාවෝ

විවිධ ශානර ඔස්සේ විවිධ තාක්ෂණ විධි, ශිල්පීය  උපක්‍රම හා විවිධ මාධ්‍යයන් උපයෝගී කරගනිමින් නිර්මාණ  ගුණයෙන් පොහොසත් කෘති ලෙස මේ නිර්මාණ සමූහය  හැඳින්විය හැකිය. මේ නිර්මාණ කෙරෙන්නේ විශද වන්නේ  ස්ත්‍රීත්වයයි. මෙම නිර්මාණ කරුවන් දොළොස්දෙනාම  ස්ත්‍රීන් වීමත්, සිය ආත්ම ප්‍රකාශනය මූලික කොටගත්  නිර්මාණ වීමත් මීට හේතුව විය හැකිය.

කොළඹ විශ්වවිද්‍යාලයට අනුබද්ධ ශ්‍රීපාලි මණ්ඩපයේ සෞදර්ය කලා අධ්‍යයනාංශයේ සිව්වන වසරේ සිසුවියන්ගේ 12 දෙනකු විසින් පසුගියදා ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පවත්වන ලද සිතුවම් දැක්ම පිළිබඳව කෙරෙන ආවර්ජනාත්මක සමාලෝචනයකි.

ස්වකීය ආත්ම ප්‍රකාශනය තේමා කොටගත් නිර්මාණ එකතුවක් පසුගියදා කොළඹ ලයනල් වෙන්ට්ඩ් කලාගාරයේදී මගේ ඇස ගැටිණි. මූර්ති හා සිතුවම් අංශයේ ඉගෙනුම ලබන අවසන් වසරේ සිසු සිසුවියන් දොළොස් දෙනකු තමන් මෙතෙක් ලැබූ අධ්‍යයනයන් උපයෝගී කර ගනිමින් මේ සිතුවම් හා මූර්ති දැක්ම එළිදක්වා තිබුණි. විවිද ශානරයන් ඔස්සේ විවිධ තාක්ෂණ විධි, ශිල්පීය උපක්‍රම හා විවිධ මාධ්‍යයන් උපයෝගී කරගනිමින් නිර්මාණ ගුණයෙන් පොහොසත් කෘති ලෙස මේ නිර්මාණ සමූහය හැඳින්විය හැකිය. මේ නිර්මාණ තුළින් විශද වන්නේ ස්ත්‍රීත්වයයි. මෙම නිර්මාණ කරුවන් දොළොස්දෙනාම ස්ත්‍රීන් වීමත්, සිය ආත්ම ප්‍රකාශනය මූලික කොටගත් නිර්මාණ වීමත් මීට හේතුව විය හැකිය. මේ නිර්මාණ අතර අහඹු ලෙස තෝරාගත් නිර්මාණ කිහිපයක් පිළිබඳව මම ඔබේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.

ලයනල් වෙන්ඩ්ට් හි සිවිලිමේ ගෑවෙන තරම් උසට නිමා තිබූ ස්ත්‍රියක මංගල ඇඳුමකින් සැරසී සිටින මූර්තිය පුරාම දක්නට ලැබුනේ නිර්මාණ ශිල්පිනියගේ උඩු කය ඡායාරූප සමූහයකි.

ඈ නමින් චතුරිකා සමන්මලී ය. ඈ සිය අතීතයේ සිට වර්තමානය දක්වා විඳි අත්දැකීම් තුළින් සිය අනාගත සිහිනය සාක්ෂාත් කර ගන්නේ කෙසේද යන්න මේ මූර්තිය තුළින් විශද කරයි.

ඇය විසින් විඳි දුක, සතුට, බිය, වීර්ය, අධිෂ්ඨාශීලී බව, අහස උසට ගොඩනැඟුණු බලාපොරොත්තු ආදී වූ නොයෙක් දෑ මෙම මුර්ථිය තුළින් ඈ සංකේතවත් කරයි. මේ සමාජ සංස්කෘතිය තුළ ස්ත්‍රියකගේ බලාපොරොත්තුව මනාලියක වීමෙන් නිෂ්ටාවට පත් කර ඇති බව අපට හඟවන ඈ; එදින සිතට නැගෙන අතීත ආවර්ජනා තුළ ස්ත්‍රියක නිමග්න වන ආකාරය මේ මූර්තිය තුළ දැක්වෙන ඡායාරූප මඟින් දක්වයි. බලාපොරොත්තු කප්පරක් පොදි බැඳන් මනාලියක ලෙස ඈ නිදහස් ස්වාධීන අවකාශයකට ඇතුළු වූවා යැයි විශ්වාස කළ ද අවසානයේ ඇය නැවත වෙනත් කුටුම්බයක සිරකාරියක් බවට පත්ව තිබේ. නමුත් අවශ්‍ය වන්නේ ස්ත්‍රියක ලෙස මින් එහාට ලෝකය පරිකල්පනය කිරීමය. ඊට මේ පුරුෂ මූලික සමාජය කොතෙක් දුරට ඉඩ දෙනු ඇති ද?

ඊළඟට මගේ දෑස් යෙමු වූයේ ශලිනි ගුණසේකර සිත්තරාවගේ සිතුවමට ය. වියළුණු ලේ පාට හුරු කළු රතු මිශ්‍ර වර්ණ යොදා ව්‍යක්ත කලා ශානරයට නෑකම් කියන ඇගේ සිතුවම ස්ත්‍රියක වැඩිවියට පත් මොහොතේ පටන් මාස් ශුද්ධිය, කන්‍යා භාවය සිඳී යෑම හා දරුවන් වදන විට අධික ලේ ගැලීම, ස්ත්‍රී ප්‍රචණ්ඩත්වය ආදී නොයෙක් අවස්ථා සිහිගන්වන්නකි. ස්ත්‍රියක ලෙස මේ සමාජ සංස්තෘතික දේහය තුළ ඈ විඳි අත්දැකීම් ඈට ඈව ම ප්‍රශ්නයක් වී ඇති සේය.

සවිඥානකව මෙන්ම අවිඥ­ානක ව ද ඈ ඈව ම ප්‍රශ්න කරයි. මම මෙහෙම ඉන්නේ ඇයි? ඇයි මං මේ විදියට ඉන්නේ, මොකටද මෙහෙම ජීවත් වෙන්නේ, මොකක්ද මේකෙ අවසාන ප්‍රතිඵලය; ගෙවෙන හැම තප්පරයකම ඈ ඇගෙන් ම විමසන්නීය. ඇයට අවශ්‍යව තිබුණේ මේ සියලු සංවේදනාවන් කැන්වස මත මුදාහරින්න ය. ඊට හොඳ ම ක්‍රමය ෆ්රීඩා කාලෝ මෙන් ඇයවම පිටපත් කිරීම ය. නමුත් ඈ ඊට හාත්පසින්ම වෙනස් මඟක් ගත්තේය. තළ දර්පණයකින් තමන් දෙස බලා පිටපත් කරනවා වෙනුවට ඇය තෝරාගන්නේ තමන්ගේම ශරීර අවයවය. අල්ලේ සායම් තවරා කැන්වසයක් මත තැබූ විට තමන්ගේ ම පිටපත ලැබෙන බව ඈට අවබෝධ විය. තම ශරීරයේ නොයෙක් අංගයන්වල සායම් තවරා කැන්වසය මත තබා ලබා ගත් පිටපත්වලින් ඈ මෙම සිතුවම් නිර්මාණය කර තිබේ. මේ සිත්තරියන් අතර ඇගේ සිතුවම් වඩා සුවිශේෂීව දැනෙන්නේ ද එනිසා විය යුතුය. ඒ සටහන් තුළ ස්ත්‍රී පුරුෂ සම්භෝගය මෙන්ම ස්ත්‍රියකගේ ජීවිතයේ නොයෙක් අවස්ථා ඉතා සියුම්ව ලෙස ඉඟි කර තිබේ. මේ ඇයයි ඇගේ ජීවිතයයි.

අනතුරුව මා දෙනෙත් යොමු වූයේ බොක්ස් තුනක වෙන් වෙන්ව විනිවිද පෙනෙන ආකාරයට නිමවා ඇති ස්ත්‍රී රූප ත්‍රිත්වයකි එකක ඉදිරිය බලා සිටින ස්ත්‍රියකි. අනෙක් වා දෙපසින් බලා සිටින ස්ත්‍රී රූප දෙකකි. මේ අවස්ථා ත්‍රිත්වය ම නියෝජනය කරන්නේ ඈ ය. ඇය මේ විවිධ පැතිවලින් ඉලන්නට උත්සාහ ගන්නේ ඇයව ම ය. ඈ නමින් උපේකා අමරසිරි ය. ඇගේ සදිරිපස පසුපස හා පැති පෙනුම ඇය මින් සංකේතවත් කරයි. ආගමික, සංස්කෘතික, සමාජ බැඳීම්වලින් හා විවිධ ආකල්ප මඟින් කොටු කරනු ලැබූ ස්ත්‍රියක ඒ සියල්ල තමනට අවශ්‍ය ආකාරයට පෙරාගෙන ඇගේම වූ ලෝකයක් නිර්මාණය කර ගැනීම සමගුණයෙන් යුතු විසංගත වර්ණ යොදා ගනිමින් මේ බොක්ස් වර්ණවත් කිරීම මඟින් ඇය අර්ථ ගන්වයි. එමෙන් ම ඉන් ඈ සියලු අත්දැකීම් සමබරව තමන් තුළට අවශෝෂණය කර ගන්නා බවක් දක්වයි. බොක්ස් එක තුළින් ඇය කපා ඉවත් කිරීම මඟින් හිස් අවකාශය මඟින් කෙනෙකු දරාගෙන සිටීම අර්ථවත් කරයි. සමාජය තුළ තමන්ටම වූ හැඩයක් පැවැත්මක් ඇය විසින් නතුකර ගන්නා බව අපට හඟවයි.

එසේම ඇය විසින් කොළ හා රතු වර්ණ යොදාගෙන කළ කිසියම් ආකාරයකට ව්‍යුක්ත කලා ශානරය නියෝජනය කරන සිතුවමකි. ‘විසංගත ලෝකයක මම‘ එහි තේමාව වේ. කොළ වර්ණයෙන් සමාජයත් රතු වර්ණයෙන් ඇයවත් සිතුවම් කරණ ඈ කොලපාට සමාජය තුළ කොළපාට නොවී රතුපාටින් පෙනී ඉඳිමින් ස්වායක්ත පැවැත්මක් ඉල්ලා සිටියි. එහිදී ඇය එරෙහිව යනවා වෙනුවට ඒ තුළ දිය නොවී කොටු නොවී සමබරව සිටීමට උත්සාහ ගන්නා බව මෙම විසංගත වර්ණ භාවිතයෙන් ඇඳ ඇති හැඩතලවලින් අපට පවසයි.

දිනුෂා නයනි ආටිගල සිත්තරාව මෙහිදී මූලික අවධානය යොමු කර තිබුණේ සමාජය තුළ තරුණියක වටා ගොඩනැඟී තිබෙන පුරුෂමූලික කතිකාව කෙරෙහි ය. විලාසිතා, ආදරය, ලිංගිකත්වය හා විවාහය යන කාරණා සමඟ පවතින බැඳීම් හා ඒ බැඳීම් සමඟ සාම්ප්‍රදායික සමාජය තුළ ගොඩනැඟී තිබෙන සංස්කෘතික පරිසරය තුළ ස්ත්‍රිය කොටුවී සිටින ආකාරයයි.

මෙනිසා මනුෂයයකු ලෙස පුරුෂයාට හිමි නිදහස ස්ත්‍රියට අහිමි වීම ප්‍රශ්න කිරීමට ඈ උත්සාහ කරන අතර; ඉන් මිදී නූතන ලෝකය සමඟ සම්බන්ධ වීමට ද ඇය උත්සාහ කරයි. නමුත් ඇයට ඒ බැඳීම් සියල්ල උදුරා දමා ඒවෙත පිය නැඟිය නොකි බව ඈ අපට පවසයි.

ගයනි විජේරත්න මේ නිර්මාණ එකතුව තුළ තමන්ගේ දෘෂ්ටිට ස්ථාන ගත කරන්නේ වෙනත් ම ඉසව්වකිනි. ඇය වඩාත් සමත් කම් දක්වන්නේ කාටුන් චිත්‍ර ශිල්පයට ය. එහිදී කාලීන සිදුවීම් සිය නිර්මාණ සඳහා උපයුක්ත කර ගැනීමට ඈ නිරායාසයෙන්ම පෙලඹේ. අප්‍රේල් 21 වෙනිදා පාස්කු ඉරුදින එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරය ඈ සිය නිර්මාණය සඳහා පාදක කර ගනී.

එම සිදු වීමෙන් පසුව ආගමික අන්තවාදය විසින් ස්ත්‍රීත්වය මත හෙළා ඇති පිරිපත ඈ ඉතා සියුම් ව චිත්‍රණය කරයි. එහිදී ඇය අයිඑස් නායක අබු බකර් බග්දාදි ගේ ලෝ පතල ඡායාරූපයට සමාන හැඩයෙන් යුතු කටු චිත්‍රයක් තුළට විවිධ තේමාවන් වර්ණ හා හැඩතල උපයෝගී කරගෙන සංකේතාත්මකව බහාලයි. ඉන් ඇය ස්ත්‍රීත්වය පමණක් නොව මුළු මහත් මානව ප්‍රජාවම මුහුණ දී සිටින අනතුර පිළිබඳව ඉඟි කරයි.

මේ ආකාරයට සඳුනාකා හංසනී, අභිෂේකී චමීරා, නේරංජනා ශ්‍රීපාලි ලිහිණියකුමාර, රෂිණි මධුෂිකා, තිළිණි තාරකා විජේසිංහ, යමුනා ප්‍රියදර්ශනී, සඳලංකා වන්නි ආරච්චි යන සිත්තරාවියන් ගේ නිර්මාණද එකිනෙකට වෙනස් අගයකින් කියැවිය යුතුය. ඒත් මෙහි තිබෙන සීමිත ඉඩ ඊට අවස්ථාව අවුරයි.

ඉඩ සීමිත වුවත් සඳලංකා වන්නි ආරච්චි සම්බන්ධයෙන් යමක් සඳහන් කළ යුතුමය. යකඩ එකලස් කරමින් නිර්මාණ කාර්යයේ නියැළීමට සමත්කම් දක්වන ඇය සිය නිර්මාණය හරහා ස්ත්‍රීත්වයට යා නොහැකි සීමාව කුමක්ද? යන්න අපෙන් ප්‍රශ්න කරයි.

රැඩිකල් ස්ත්‍රී කතිකාවතකට මුල පිරිය හැකි මේ සිත්තරාවන් දොළොස්දෙනා විසින් අප ඉදිරියේ තබා ඇති මේ නිර්මාණ අස්වැන්න මෙහරට ඊනියා ස්ත්‍රීවාදීන්ට නොපෙනීයෑම කනගාටු දායකය.

රසික කොටුදුරගේ

Comments