චිත්‍රපටයක් නැවත නැවත කියවන විටයි සිනමාකරුවා දෙන ඉඟි පෙනෙන්නේ | Page 2 | සිළුමිණ

චිත්‍රපටයක් නැවත නැවත කියවන විටයි සිනමාකරුවා දෙන ඉඟි පෙනෙන්නේ

තුසිත ජයසුන්දර

අද සිනමා විචාර කාර්යයට එළැඹෙන පිරිසේ අඩුවක් දකින්න ලැබුණත් සිනමා විචාර කාර්යයේ නිරත වන මේ ස්වල්ප දෙනා සිනමාවේ සමස්තය හසු කරගන්න උත්සාහ කරනවා. ඒත් ඔවුන් ඒ කාර්යයේ නියැළෙන්නේ යම් යම් ප්‍රශ්නකාරී තත්ත්ව ඇතුළේ. තිබෙන බරපතළ ප්‍රශ්නය නම් තවමත් අප බොහෝ විට ළං වෙලා ඉන්නේ චිත්‍රපට කේන්ද්‍රීය විචාර පිළිවෙතකට.

සිනමා විචාරකයකු ලෙස ඔබ හමුවට පිවිසෙන තුසිත ජයසුන්දරගේ නවතම සිනමා කෘතිය 'කුටුම්බය ලිංගිකත්වය හා දේශපාලනය' යි. ප්‍රවීණ සිනමාකරුවකු මෙන්ම නාට්‍යකරුවකු ද වන ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමා භාවිතය විමසීමට ලක් කරමින් ලියා ඇති මේ කෘතිය නව කියැවීමක් බව හැඟෙයි. ඒ කියැවීම පිළිබඳ හා සිනමා විචාරය පිළිබඳ තුසිත ජයසුන්දර සමඟ 'පුන්කලස' කරන ලද සංලාපයකි.

සිනමා විචාරකයකු ලෙස ඔබගේ ගමන් මඟ ආරම්භ වන්නේ කුඩා කාලයේම නේද?

සිනමා විචාරකයකු බිහි වීම හෝ මා සිනමා විචාරකයකු වීම අහම්බයෙන් සිදු වන දෙයක් නොවෙයි; එයට පසුබිමක් තිබෙනවා. ඒ පසුබිම නිර්මාණය වන්නේ මගේ කුඩා අවධියේම සිනමාවත් සමඟ බැඳීමට තිබුණු ඉඩකඩත් සමඟ.

මගේ මවුපියන් හා වැඩිහිටියන් සිනමාව පිළිබඳ දැරුවේ ධනාත්මක ආකල්පයි. ඔවුන් සිනමා රසිකයන්. ඒ නිසා මතක ඇති කාලයේ පටන් මට සිනමාශාලාව අමුතු තැනක් වුණේ නැහැ. පාසල් කාලයේ පටන් තනිවම හෝ සිනමා ශාලාවට යෑම ජීවිතයේ කොටසක් බවට එහෙම නැතිනම් ඇබ්බැහියක් බවටයි පත් වී තිබුණේ. සිනමාවත් සමඟ බැඳීම ඉතා අර්ථාන්විත වූවක් වුණොත් එය ජීවිතයට අලුත් ආලෝකයක් බවට පත් කරගන්න පුළුවන්. ඒ මඟිනුයි සිනමාවත් සමඟ මගේ සම්බන්ධතාව ගොඩනැඟෙන්නේ. උසස් පෙළ පන්තිවලදිත් ඒ බව තහවුරු වුණා. විශේෂයෙන් ඒ අවධියේ නරඹන්න ලැබුණු දේශීය විදේශීය චිත්‍රපට මඟිනුයි; ජීවිතය හා සමාජය පිළිබඳ, පුද්ගලයා පිළිබඳ අපූරු නිර්වචන ගෙන ආ හැකි, දැවැන්ත ප්‍රකාශන මාධ්‍යයක් බව මා තේරුම් ගත්තේ. ඒ මඟිනුයි මා ‍ලියන්න උත්සාහ කළේ. එක කාලයක නම් මට වුවමනා වුණේ සිනමා ‍තිරනාටක රචකයකු වෙන්නයි. ඒත් පසු කාලයේ මා වටහා ගන්නවා වඩාත් හැකියාවක් සමත්කමක් ලැබේයි කියලා මට සිනමා විචාර කලාවට එළැඹෙන්න. ඒ නිසයි මා උසස් පෙළ ලියන කාලයේ පටන් මුද්‍රිත මාධ්‍යයත් එක්ක ගනුදෙනු කළේ.

අද බිහි වන සමහර සිනමා විචාර පිළිබඳ බොහෝ දෙනාගේ තිබෙන්නේ වැඩි කැමැත්තක් නොවෙයි...

‍අද සිනමා විචාර කාර්යයට එළැඹෙන පිරිසේ අඩුවක් දකින්න ලැබුණත් සිනමා විචාර කාර්යයේ නිරත වන මේ ස්වල්ප දෙනා සිනමාවේ සමස්තය හසු කරගන්න උත්සාහ කරනවා. ඒත් ඔවුන් ඒ කාර්යයේ නියැළෙන්නේ යම් යම් ප්‍රශ්නකාරී තත්ත්ව ඇතුළේ. තිබෙන බරපතළ ප්‍රශ්නය නම් තවමත් අප බොහෝ විට ළං වෙලා ඉන්නේ චිත්‍රපට කේන්ද්‍රීය විචාර පිළිවෙතකට. ඒ කියන්නේ කිසියම් චිත්‍රපටයක් නිශ්චය කරගෙන, වියුක්ත කරගෙන, ඒ චිත්‍රපටය ගැන පමණක් කතා කිරීමයි.

ඒ චිත්‍රපටය බිහි වන පසුබිම, ඒ අදාළ කාලවකවානුව, සිනමාකරුවාගේ මනෝභාව, ඔහුව ඒ තත්ත්වයට තල්ලු කළ සමාජ, දේශපාලන බලවේග කියන මේ කාරණා පිළිබඳ ඔවුන්ගේ වැඩි අවධානයක් යොමු වන්නේ නැහැ. ඒ අනුව හුදෙක් චිත්‍රපටය ගැන ම කතා කරන තත්ත්වයකුයි නිර්මාණය වී තිබෙන්නේ. මේ නිසා සිනමා විචාරය අද තිබෙන්නේ කිසියම් ජයගත යුතු තත්ත්වයක් මැද්දේ. ඒ විදියේ කුමන ගැටලු තිබුණත්, ‍අද ඉන්න ස්වල්ප දෙනා මේ කටයුත්තේ ස්වඋත්සාහයෙන් නිරත වන බවයි මගේ හැඟීම වන්නේ.

එවැනි සිනමා විචාරකයාගේ කාර්යය ජයගත යුතු වන්නේ කෙසේ ද?

එයට තිබෙන ප්‍රබල හේතුවක් විදියට මා දකින්නේ සිනමාව කියන්නේ වහා ජනප්‍රිය විය හැකි ප්‍රබල මාධ්‍යයක්. අද නම් එක රැයකින් චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වෙන්නත් පුළුවන්; ඒ වගේම ප්‍රධාන චරිතයක් නිරූපණය කරන කෙනකු වෙන්නත් පුළුවන්. සුපිරි තරු එක රැයෙන් බිහි වෙනවා. ඒ විදියටම ඒ සුපිරි තරු එක රැයකින් බැස යන්නත් පුළුවන්. ඒ වගේ බිහිවුණු චිත්‍රපට අධ්‍යක්ෂවරු, කාර්මික ශිල්පීන් හා ශිල්පිනියන්, රංගන ශිල්පීන් හා ශිල්පිනියන් පිළිබඳ පසුගිය වසර කිහිපයේ තිබුණු චිත්‍රපට නාමාවලිය විමසීමේදී අපට තේරුම් ගත හැකියි. ඒ තරම් ජනප්‍රිය විය හැකි මේ මාධ්‍ය ඇතුළේ සිනමා විචාරය කියන්නේ ඒ විදියට ජනප්‍රිය වීමට හැකි දෙයක් නොවෙයි. මේ නිසාමයි පසුගිය දශක කිහිපයේ සිනමා විචාරකයන් අපේ රටේ ජනප්‍රිය තරු නොවුණේ. සිනමා විචාරය කටයුතු හා සිනමා සාහිත්‍ය කටයුතු කියන්නේ අතිශය වෙහෙසකර කටයුත්තක්. දැඩි ව්‍යායාමයකින් සාක්ෂාත් කරගත යුතු දෙයක්. ඒ නිසාම මේ සඳහා එළැඹෙන පිරිස අඩුයි.

ඔබ මේ කෘතිය රචනා කිරීමේදී ඒ සඳහා ධර්මසිරි බණ්ඩාරනායක නම් සිනමාකරුවාම තෝරා ගැනීමට විශේෂ හේතුවක් තිබුණා ද?

කවුරුත් පිළිගන්න විදියට හා අපේ රටේ සිනමා ඉතිහාසය ගැන කතා කරන විටත් ඔහුව මුල් පෙළේ සිනමාකරුවකු ලෙස සලකා බලනවා. එහෙත් තවමත් සිනමා සාහිත්‍ය ඇතුළේ ඔහු පිළිබඳ කරුණු කාරණා සාකච්ඡා කිරීමක් දකින්න ලැබෙන්නේ නැහැ. ඔහු ගැන කතා කිරීමටත් ඒ කාරණය මූලික වුණා.

ඒ වගේම ඔහුවම තෝරා ගැනීමට මේ කාරණයත් සැලකිය හැකියි. 1985 වසරේදියි 'සිනෙසිත්' ශාස්ත්‍රීය සිනමා සඟරාව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කරන්නේ.

අපේ රටේ පළ වුණු ප්‍රමිතියෙන් ඉහළ, වඩාත් ම ශාස්ත්‍රීය බවෙන් යුතු සිනමා සඟරාව වන්නේ එයයි. එහි පළවැනි 'සිනෙසිත්' සඟරාවේ කවරයේ කතාව විදියට නම් කර තිබුණේ වම් ඉවුරේ කණ්ඩායමයි. වම් ඉවුරේ කණ්ඩායම යන්නෙන් හැඳින්වූයේ සම්මත සිනමා ආර බැහැර කළ, විකල්ප සිනමා ආරක් පිළිබඳ අවධානය යොමු කරමින් එය පෝෂණය කළ සිනමාකරුවන් තිදෙනායි. ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක ඒ තිදෙනායි. ඒ අවධියේ සිනමාව ගැන බොහොම උනන්දුවෙන් පිවිසුණු අපට අපේ පරම්පරාවේ වීරයන් විදියට ලංකාවේ සිනමාවේ අප දකින්නේ ඔවුන්වයි. ඔවුන්ගෙන් දෙදෙනකු පිළිබඳ මා ග්‍රන්ථ රචනා කළා. එහෙත් එය සම්පූර්ණ කිරීමට නම් ධර්මසිරි බණ්ඩාරනායකගේ සිනමාව පිළිබඳ කතා කළ යුතු යැයි මා සිතුවා. ඒ අනුව මේ කෘතිය බිහි වුණා.

වම්ඉවුරේ සිනමාකරුවන් දෙදෙනකු පිළිබඳ ග්‍රන්ථ රචනා කර ඇති ඔබ මේ තිදෙනා ගැන ම කතාබහ කිරීමේදී තෝරා ගන්නේ එකම සිනමා ආඛ්‍යානයක් ද?

ඔවුන් තිදෙනාගේ කෘති රචනා කෙරෙන්නේ එකම ආකාරයකට නොවෙයි. පතිරාජගේ චිත්‍රපට නැරැඹීමේදී මා ඔහුව දුටුවේ මුළුමනින්ම දේශපාලනික සිනමාකරුවකු විදියටයි. එහිදි මා කතා කළේ ඔහුගේ 'අහස්ගව්ව' සිට 'මතුයම් දවස' දක්වා චිත්‍රපට ගැනයි (ඒ කාලයේ 'සක්කාරං' හා 'ස්වරූප' නිර්මාණය වී තිබුණේ නැහැ). ඒ අනුව ඒ සියලු චිත්‍රපට දේශපාලනිකයි. මේ නිසා මට ඒ චිත්‍රපට වෙන් වෙන්ව ගෙන සාකච්ඡා කිරීමට සිදු වුණා. වසන්ත ඔබේසේකරගේ සිනමාව ගැන කතා කිරීමේදී ඔහුගේ වෘත්තාන්ත චිත්‍රපට දහතුනක් තිබෙනවා. ඒවා තාරුණ්‍යය, ස්ත්‍රිය, මනුෂ්‍ය සම්බන්ධතා හා ආගන්තුක බව යන සිව් කාරණා ඔස්සේයි මා දුටුවේ. ඒ ග්‍රන්ථය මා රචනා කළේ ඒ මාතෘකා ඇතුළත් කරමින්. ධර්මසිරි බණ්ඩාරනායකගේ වෘත්තාන්ත චිත්‍රපට තිබෙන්නේ පහයි. 'හංසවිලක්', 'තුන්වැනියාමය', 'සුද්දිලාගේ කතාව', 'බව දුක' හා 'බව කර්ම' යි. මේ චිත්‍රපට සමස්තයක් විදියට මා දැක්කේ කුටුම්භය, ලිංගිකත්වය හා දේශපාලනය කියන ප්‍රධාන මාතෘකා තුනක් යටතේ නිර්මාණය කර ඇති බවයි. මේ කාරණා දෙස කවුළු තුනක් විදියට බලමින් ඒ මඟින් රිංගා යමිනුයි ඔහුගේ සිනමා භාවිතය මා මේ කෘතියට හසුකර ගත්තේ.

ඔබගේ කෘතිය ලිවීමේදී මූලික වී ඇත්තේ කුටුම්බය, ලිංගිකත්වය හා දේශපාලනය යන කාරණා ත්‍රිත්වයයි. එවැනි කාරණා ත්‍රිත්වයට පමණක් ලඝු වීමට ඔබ තීරණය කළේ ඇයි?

මා ධර්මසිරි බණ්ඩාරනායකගේ චිත්‍රපට පහ මූලික වශයෙන් නැරැඹුවා. නැවත නැවත නැරැඹුවා. ඒ නැරැඹීමෙන් පසුවයි මා තේරුම් ගත්තේ ඔහු මේ මාතෘකා තුනත් සමඟ ගනුදෙනු කරන බව.

එහෙම නැතුව මා මේ මාතෘකා පිළිබඳ පූර්ව නිගමනයක පිහිටා සිටිමින් චිත්‍රපට නැරැඹූයේ නැහැ. වෙන් වෙන් වශයෙන් කතා කළොත් එවැනි පූර්ව නිගමනවලට පැමිණෙන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් 'හංසවිලක්' ගැන පූර්ව නිගමනයකට පැමිණියොත් එහි එක් පැත්තකින් දකින්නේ මධ්‍යම පාන්තික විවාහ සංස්ථාවේ තිබෙන විවිධ අර්බුද. 'තුන්වැනි යාමය' චිත්‍රපටයේදි විවාහ සංස්ථාව ඇතුළේ ඇති වන ලිංගික ගැටලු වගේ කාරණා. 'සුද්දිලාගේ කතාව' චිත්‍රපටයෙන් පුරුෂයා විසින් ස්ත්‍රියව සූරා කෑම යන කාරණාව. 'බව දුක' හා 'බව කර් ම' කියන චිත්‍රපටවලින් ස්ත්‍රී පීඩනය හා අධිරාජ්‍යවාදි සහ ග්‍රාමීය බලපුළුවන්කාරකම විසින් ගැමි ජනයා පීඩාවට පත් කිරීම යන කාරණායි දකින්න ලැබෙන්නේ. ඒ මතුපිටින් නරඹද්දියි. මේ චිත්‍රපට නැවත නැවත නරඹද්දි හා මේ චිත්‍රපට සමස්තයක් විදියට හඳුනා ගනිද්දියි කෘතියට පාදක කරගත් කාරණා තුනත් සමඟ ධර්මසිරි කටයුතු කළ බව මට හැඟී ගියේ. එහෙත් 'සුද්දිලාගේ කතාව' චිත්‍රපටයේදි මා කුටුම්බය කියන කාරණය සලකා බැලුවේ නැහැ. එහිදි මට හැඟුණේ ධර් මසිරි ඒ චිත්‍රපටයේදී කුටුම්බය ගැන පෘථුල අවධානයක් යොමු නොකළ බවයි. ඒ හැරුණු කොට මේ චිත්‍රපට පහත් සමඟ ම මා කෘතියට පාදක කරගත් මාතෘකා සමඟයි ධර්මසිරි ගනුදෙනු කර ඇත්තේ.

ඔබ කියන අයුරින් ධර්මසිරි බණ්ඩාරනායකගේ සියලු සිනමා නිර්මාණවලම දේශපාලනය කියන කාරණය විදහා දැක්වෙන්නේ කුමන ආකාරයකට ද?

'හංසවිලක්' වගේ චිත්‍රපටයක් අපට පෙනෙන්නේ බැලූ බැල්මටම අපට පෙනෙන්නේ කුටුම්බ සම්බන්ධතා හා ඒ පසු පස තිබෙන ලිංගික සම්බන්ධතායි. ඒ පිටුපස්සේ තිබෙන දේශපාලනය සමහර විට අපට හසු වෙන්නේ නැහැ. ඒ කාරණය හසු කරගැනීමටයි මා උත්සාහ ගත්තේ. ධර් මසිරි කියන්නේ ඍජුවම දේශපාලනය කතා කළ සිනමාකරුවකු නොවෙයි. ඒත් ඔහුගේ 'බව දුක', 'බව කර්ම' චිත්‍රපට නිර් මාණය කරන විටයි ඔහු දේශපාලනික සිනමාකරුවකු වනවා ද නැද්ද කියන කාරණය පිළිබඳ ප්‍රබලව ඉඟි කරනු ලබන්නේ. එතෙක් ඔහුගේ දේශපාලන කියැවීම දක්නට ලැබෙන්නේ චිත්‍රපටවල යටිපෙළ අර් ථයෙනුයි. අපට 'තුන්වැනි යාමය' චිත්‍රපටයේත් තිබෙන දේශපාලන පසුබිම මොකක්ද කියන කාරණය බැලූ බැල්මට හඳුනා ගැනීමට අපහසුයි.

විශේෂයෙන් ඒ චිත්‍රපටයේ ප්‍රකාශන රීතිය, එහි තිබෙන කිසියම් විදියකට ලාංකික ප්‍රේක්ෂකයාට නුහුරු ආකෘතික පසුබිම වගේ දේවල් ගත්තට පස්සේ මේ චිත්‍රපටයේ එන දේශපාලනික පසුබිම මොකක්ද කියන කාරණය අපට සැලකීමට ලක් කරන්න වෙනවා. 'සුද්දිලාගේ කතාව' චිත්‍රපටයේ තිබෙන්නේ කුඹුරු පනත පිළිබඳයි. එක්දහස් නවසිය පනස් ගණන්වල මැද භාගයෙන් පස්සේ සම්මත වන කුඹුරු පනතයි. පනත සම්මත කරගන්නේ අග නගරයේ.

ඒත් පනත ක්‍රියාත්මක වන්නේ ඈත පිටිසර බඳ පෙදෙස්වලයි. තීරණ ගැනීමේ අරමුණු හා ඈත ගම්දනව්වල සිදු වන දේවල් සමඟ කොයිතරම් සම්බන්ධතා තිබෙනවා ද? ප්‍රතිවිරෝධතා තිබෙනවා ද? එහිදී ඒ මිනිසුන්ගේ ජීවිතවල තිබුණු වෙනස්කම්, රාජ්‍ය නිලධාරිතන්ත්‍රයේ සිදු වුණු වෙනස්කම් මේ ආදි ආකාරයෙන් දේ ඒ චිත්‍රපටයේ ගැබ්වෙලා තිබුණා. ඒත් අපට මුලින්ම හමු වුණේ පුරුෂාධිපත්‍යය විසින් ස්ත්‍රිය සූරාකෑම කියන මතුපිටින් අර්ථය පමණයි. එහි දේශපාලන කාරණා අප දුටුවේ නැහැ. ඒ වගේම 'බව දුක' හා 'බව කර්ම' කියන චිත්‍රපටවලදිත් දියුණු දශකයේ දෙවැනි දශකයට පමණ ප්‍රේක්ෂකයා කැඳවා ගෙන යනවා. එක් පැත්තකින් අධිරාජ්‍යවාදි පාලනයට නතු වුණු සමාජයත්, ස්වදේශික නියෝජිතයන් තව දුරටත් ඔවුන්ව පීඩාවට පත් කිරීමයි චිත්‍රපටවලින් නිරූපණය කරන්නේ. දශක කිපයක් තිස්සේ කොහොමද මේ වෙනස්වීම් සිදු වුණේ කියන කාරණයයි එහිදි දැක්වෙන්නේ. එතැන තිබෙන්නේත් දේශපාලන කාරණයක්.

බැලූ බැල්මට තිබෙන්නේ ස්ත්‍රියව සූරාකෑමක් වුවත් චිත්‍රපටයක් නැවත නැවත කියවන විටයි සිනමාකරුවා දෙන ඉඟි පෙනෙන්නේ. ඒ ඉඟි වශයෙන් දෙන දේ ඇතුළේයි සිනමාපටයක් පිළිබඳ කතා කළ හැකි මාතෘකා නිර්මාණය වන්නේ. ධර්මසිරිගේ චිත්‍රපට පහ සමස්තයක් විදියට අරගෙන කතා කිරීමේදී ඒ යටි පෙළ අරුත හසු කරගත යුතුයි. එහෙම හසු කර නොගත හොත් ඔහුට සාධාරණයක් ඉටු නොවන බව මගේ හැඟීමයි.

තිලානි ශානිකා විතානාච්චි 
සේයාරුව-තිලක් පෙරේරා

Comments