විනිශ්චයේ ඇදය සහ විචාරයේ අර්බුදය! | Page 2 | සිළුමිණ

විනිශ්චයේ ඇදය සහ විචාරයේ අර්බුදය!

මෙරටේ පළමු සාහිත්‍ය උලෙළ සංවිධානය වූයේ පනස් හයේ විප්ලවය ලෙස හැඳින්වෙන සමාජ දේශපාලන හා සංස්කෘතික ප්‍රබෝධයෙහි ප්‍රතිඵලයක් ලෙස ය. ඒ අනුව ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට සංස්කෘතික දෙපාර්තමේන්තුවක් ආරම්භ වූ අතර 1958 අංක 31 දරන පනතින් ශ්‍රී ලංකා සාහිත්‍ය මණ්ඩලයද බිහිවිය. එදා අගමැතිධුරයට පත්ව සිටි ඇස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ද ඉංග්‍රිසී බසින් කෙටි කථා රචනා කළ බව සඳහන් වේ. ‘නුවර පෙරහැර’ ‘මහහේනේ රිරී යකා’ ‘ මුදලි වලව්වක අවුල’ ඔහු විසින් රචනා කරන ලද කථා කීපයකි. එසේම සාහිත්‍යකරුවන් ජීවත්ව සිටියදී ඔවුන්ට දුකින් තොරව ජීවිත සකසා ගැනීමට වැඩ පිළිවෙලක් සැකසිය යුතු බවද බණ්ඩාරනායක අගමැතිවරයා කියා සිටියේය. එකල ජනප්‍රිය නවකථාකරුවකු වූ ඩබ්ල්යු. ඒ. සිල්වා මහතා මියගිය විට බණ්ඩාරනායක අගමැතිවරයා කොළඹ කනත්තේ පැවති ඔහුගේ අවමඟුල් උළෙලට (1957 ජුනි 05) එක් වු බවද සඳහන් වේ. මෙයින් පහැදිලි වන්නේ සාහිත්‍යකරුවාට රාජ්‍ය මට්ටමේ අනුග්‍රහයක් ලබාදීම රජයේ ප්‍රතිපත්තියක් විය යුතුය යන අදහස බණ්ඩාරනායක අගමැතිවරයා පිළිගත් බවය.

එදා ඇති කළ ඒ රාජ්‍ය පිළිවෙත අද වඩාත් ව්‍යාප්තව තිබෙන අතර, ඒ කාර්ය සඳහා විශ්ව විද්‍යාල හා ප්‍රකාශකයන්ද මැදිහත් වී සිටින බවද පෙනේ. විශ්ව විද්‍යාල මට්ටමෙන් ඒ සඳහා දැක් වූ දායකත්වය විදුදය සම්මාන ලෙස හැඳින්වේ. විදුදය සම්මාන උලෙළ වසර කීපයක් නොපැවති අතර එය මේ වසරේ යළි ආරම්භ විය. මේ සම්මාන ප්‍රදානය මහාචාර්ය සුනිල් ආරියරත්නගේ දැඩි මැදිහත් වීමක ප්‍රතිඵලයක් බව ද වාර්තා වේ. ගොඩගේ ප්‍රකාශන අධිපති සිරිසුමන ගොඩගේ මහතා පෞද්ගලිකව සංවිධානය කෙරෙන ගොඩගේ ජාතික සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 21 වන වරට ය. එයද පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් සාහිත්‍යයට කෙරෙන ගෞරවනීය ප්‍රදානයකි. ශ්‍රී ලංකා ප්‍රකාශකයන් ගේ සංගමය ස්වර්ණ පුස්තක හා රජත පුස්තක ලෙසින් වෙන වෙනම උත්සව දෙකක් සංවිධානය කරයි. මේ සාහිත්‍ය සම්මාන ප්‍රදාන වලින් පසු සාහිත්‍ය කලා සමාජය තුළ කිසියම් ප්‍රබෝධයක් ඇතිවී තිබේද? සාහිත්‍ය නිර්මාණකරුවන්ට නිසි ඇගැයුමක් හිමි වී තිබේද යනාදී ප්‍රශ්න සාහිත්‍ය නිර්මාණකරුවන් අතර මෙන්ම පාඨකයින් අතර ද පැන නැඟී තිබෙන බව රහසක් නොවේ.

සාහිත්‍ය සම්මාන ප්‍රදානය නිෂ්ඵල දෙයකැයි කෙරෙන විවේචනයක් ද ඇත. එහෙත් රටක සාහිත්‍ය ක්‍රියාවලිය දෙස වසරකට වරක් හෝ අවධානය යොමු කිරීම හා එහි සාධනීය වර්ධනයට ලැබිය යුතු අනුබල අනුග්‍රහ පිළිබඳ සංකථනයක් ඇතිවීම නොමැනවැයි කිව නොහැකිය. සාහිත්‍යකරුවා යනු කවර සමාජයක වුවද අභිවෘද්ධිය, සංවර්ධනය අපේක්ෂා කරන්නෙකි. සාහිත්‍යකරුවාගේ මැදිහත් වීම් සමාජ දේශපාලන වෙනස් කම් වලට පවා හේතු වී තිබේ. සාහිත්‍ය කලා සංගීතය පිළිබඳ විඥානයක් නැත්තන් අංතට්ටුවක් හා වලිගයක් නොමැති ගවයන් හා සමාන වෙතියි සුභාෂිතයක් ද වේ. එනිසා සාහිත්‍ය යනු නිසැකයෙන්ම මහජන ව්‍යාපාරයකි.

ශ්‍රී ලංකාවේ සාහිත්‍ය සමාජය කෙබඳු අරමුණු ඔස්සේ ගමන් කර තිබේද? එමඟින් සමකාලීන විඥානයට කෙබඳු බලපෑම් හා වටිනාකම් එක්කර තිබේද යන්න උරගා බලන එක් අවස්ථාවක් ලෙස සාහිත්‍ය සම්මාන ප්‍රදාන උලෙළ සැලකිය හැකිය. එය වූ කලී වසරේ සාහිත්‍ය අස්වැන්න පිළිබඳ විධිමත් විශ්ලේෂණ අඩංගු ශේෂ පත්‍රයක් වැන්න. විවිධ සාහිත්‍ය අංග පිළිබඳ විචාරාත්මකව විශ්ලේෂණය කිරීම හා සාහිත්‍යකරුවා අගැයීම යන පරමාර්ථ සම්මාන ප්‍රදාන උත්සව වලින් ඉටු වී තිබේද යන්න බොහෝ විට විවාදාත්මකය. සාහිත්‍ය ගුරුකුල ප්‍රචලිතව නැති වුවත් ඒ ඒ කේෂ්ත්‍රවලට අධිපති වූ මතවාද විසින් සාහිත්‍ය නිර්මාණ තක්සේරු කෙරෙන බවටද චෝදනා තිබේ.

ඉහත සඳහන් කළ පරිදිම සාහිත්‍ය සම්මානයක් යනු පොදු එකඟතාවක් මත පිරිනැමෙන ගෞරවයකි. නවකත‍ාවක්, කෙටිකතාවක්, කවියක් යනාදී කවර ගනයකට අයත් වුවද ඒ ඒ නිර්මාණවල ආඪ්‍යතාවත් සංස්කෘතික කලාත්මක වටිනාකම් පෙන්වා දීමත් ඒ කෘති විනිශ්චය කරන විද්වතුන්ගේ වගකීම ය. සාහිත්‍ය විද්‍යාවක් ම නොවන හෙයින් කිසියම් කෘතියක් පිළිබඳ සියලු දෙනාට ම එකඟ නොවිය හැකි වීමද ස්වාභාවික දෙයකි. එනිසා කිසියම් කෘතියක අගය විනිශ්චය කළ හැකිකේ සාපේක්ෂකව ය. මෙවර හොඳ ම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූයේ කපිල කුමාර කාලිංගගේ ‘අදිසි නදිය’ටය. එහෙත් හොඳම නවකතාව ලෙස රාජ්‍ය සම්මාන හා ගොඩගේ සම්මානය මෙන්ම විදුදය සම්මානය හිමිවන්නේ විරාජිනි තෙන්නකෝන්ගේ ‘මකරානන්දය’ටය. එහෙත් මේ කෘතිය වසරේ ආකර්ෂණීය නවකතා සම්මානය වු ස්වර්ණ පුස්තකය සඳහා නිර්දේශයක් හෝ නොලබයි. එනිසා එබඳු ප්‍රතිචාරයකට තුඩු දුන් හේතු පිළිබඳ ඇතිවන කුතුහලය ස්වභාවික ය.

‘මකරානන්දය’ ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ මායිමටවත් නොපැමිණීම පිළිබඳව දැනටමත් විවේචන නැඟෙයි. සම්මාන ප්‍රදානය සඳහා වගකීම පැවරෙන විනිශ්චය මණ්ඩල තම නිගමනවලට වගකිව යුතුය. ඔවුහු ඒ සඳහා හේතු කාරණා දැක්විය යුතු වෙති. එහෙත් පාඨකයන් ලෙස අපට ඒ හේතු දැක්වීම පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට ද ශුද්ධ වූ අයිතියක් ඇත. ස්වර්ණ පුස්තක සම්මාන උලෙළ අද වන විට මෙරටේ ප්‍රමුඛ සම්මාන උලෙළ බවට පත්ව තිබේ. එය අනාගතයේදී බ්‍රිතාන්‍යයේ බුකර් සම්මානය හෝ ඊට සමීප සම්මානයක් ලෙස තහවුරු වීමට ද බැරි නැත. එහෙත් ඒ සම්මාන ප්‍රදාන ක්‍රියාවලියේ මුඛ්‍ය වගකීම හිමිවන විනිශ්චය මණ්ඩල පොදුවේ නවකතා පාඨකයන්ගේ හා වෙනත් පොදු රසිකයන්ගේ විවේචනයට ලක් වේ නම් එය ගැටලු සහගත ය.

සාහිත්‍ය කලා විනිශ්චය යනු අතිශය ගාම්භීර වගකීමකි. ඒ විචාරකයන් ලෙස පෙනී සිටින අය මෙරටේ සාහිත්‍ය සංවාද වලට එක්වන, පොත් පත් ගැන විවේචන සිදු කරන හා අවම වශයෙන් සාහිත්‍ය මූලධර්ම පිළිබඳ දැනුමෙන් ද සපිරි අය විය යුත්තෝ ය. ස්වර්ණ පුස්තක විනිශ්චය මණ්ඩලය ඇතුළු පසුගියදා නිම වූ සියලු සම්මාන විනිශ්චය මණ්ඩලවල නාම ලේඛන ප්‍රසිද්ධ කර තිබේ. මේ අය අතර අප විසින් සඳහන් කළ සුදුසුකම් තිබෙන අය කීදෙනෙක් සිටිත්ද? උපන් හඳවියක සාහිත්‍ය සංවාදයකට එක් නොවූ හා කිසිම නිර්මාණයක් පිළිබඳ ව කිසිම මාධ්‍යයක විශ්ලේෂණයක් කර නොමැති අයගෙන් මේ බොහෝ විනිශ්චය මණ්ඩල සමන්විත වන බවට විවෘත චෝදනාවක් තිබේ. මූලික උපාධියක්, විධායක නිලයක්, විශ්ව විද්‍යාල ආචාර්ය ධුරයක්, මාධ්‍යවේදියකු ලෙස පළපුරුද්දක් ආදි බාහිරව පෙනෙන ලක්ෂණ මත පදනම්ව සාහිත්‍ය කලා විනිශ්චය සිදුවීම මේ බොහෝ අර්බුද වලට හේතු වී තිබෙන බව සම්මාන ප්‍රදාන වලින් පසුව කෙරෙන විවේචනවල කෙරෙන චෝදනාවකි.

ස්වර්ණ පුස්තක සම්මාන උළෙලට පෙර සාහිත්‍ය කේෂ්ත්‍රයේ විවාදයට තුඩු දුන් කරුණක් පිළිබඳ ව ද මෙහිදි සිහියට නැඟෙයි. ඒ ප්‍රකට ලේඛිකාවක වන සුනේත්‍රා රාජකරුණාගේ ‘මියුරු හඬ’ නවකතාව ඒ සම්මාන සඳහා සලකා බැලීම ප්‍රතික්ෂේප වීම ය. සාහිත්‍ය කෘතියක් සම්මාන උලෙළක නීතිරීති වලට යටත්ව විනිශ්චයට භාජන විය යුතු බව සැබෑවකි. එහෙත් කිසියම් කෘතියක් කවර හෝ මාධ්‍යයක කොටස් වශයෙන් පළවී තිබීම ඒ කෘතිය සම්මාන සඳහා සලකා බැලීමට බාධාවක් වන්නේ කෙසේද? අප දන්නා තරමින් මෙරටේ සිංහල නවකතා, පොත් ලෙස පළවීමට පෙර සඟරා හා පුවත්පත් වල පළවී ඇත. පියදාස සිරිසේන වැනි ප්‍රකට නාවකතාකරුවෝ ද එයට සාක්ෂි දරති.

මේ නවකතාව ස්වරණ පුස්තක සම්මාන උලෙ‍ෙළ් නීතිවලට පටහැනිී නම් එය ප්‍රතික්ෂේප කිරීමේ බලය ඒ අදාළ බලධාරීන්ට තිබිය යුතුය. එහෙත් නවකතාවක් පත්‍රයක පළවීම, කවි පන්තියක් පොතට කලින් ප්‍රසිද්ධ වීම වැනි කරුණු මත කෘතියක් ප්‍රතික්ෂේප කිරීම පිළිගත හැකිද? ජයන්ත චන්ද්‍රසිරිගේ ‘මහරජ ගැමුණු’ නවකතාවද කලින් පුවත්පතක පළ වීම නිසා සම්මාන විනිශ්චයෙන් බැහැර වු බවද මෙහිදී සිහි වේ. කපිල කුමාරගේ ‘සැප්තැම්බරයේ දිග දවසක්’ නවකතාව ද එම දණ්ඩනයට හසු වූවකි. ඇත්ත වශයෙන් ම නවකතාවක් විනිශ්චයට භාජනය කළ යුත්තේ ඊට වඩා වෙනස් සාහිත්‍යමය ආකල්ප හා සමාජ වටිනාකම් මත පදනම් ව ය. කොටින්ම සාහිත්‍ය නිර්ණායකවලින් ලේඛකයා පීඩාවට පත් කිරීම අසාධාරණ ය. නවකතා අත්පිටපත් තරග හෝ ආධුනික නවකතා තරග වෙනස් දෙයකි. එහෙත් පොතක් ලෙස ප්‍රකාශයට පත්වීමට පෙර නිර්මාණයක් වෙනත් ආකාරයකට පළ වීමේ වරද කුමක්ද?

මෙරටේ බොහෝ සම්මාන ප්‍රදානයකදීම අපේක්ෂාභංගත්වයට පාත්‍රවන සාහිත්‍ය කලාකරුවෝ සිටිති. එය මේ උත්සවවල ආවේණික දුබලතාවක් වැන්න. රාජ්‍ය සාහිත්‍ය ප්‍රදාන උත්සවය ආරම්භ කළ මුල්ම කාලයේදී පවා මෙරටේ අද ගෞරවයට පාත්‍ර වී සිටින විශිෂ්ට සාහිත්‍යධරයන් ලෙස පිළිගත් සාහිත්‍යධරයන්ගේ නිර්මාණ පවා ප්‍රතික්ෂේප වී ඇත. 1958 දී පමණ මාර්ටින් වික්‍රමසිංහගේ ‘දැනුම හා දැකුම’ එදිරිවීර සරච්චන්ද්‍රගේ ‘කල්පනා ලෝකය’, ‘මනමේ’ හා සිරි ගුනසිංහගේ ‘අබිනික්මන’ ඇතුළු නිර්මාණ ගණනාවක් ම සම්මාන සඳහා නුසුදුසු බවට නිගමනය වූ බවද සඳහන් වේ. එහෙත් අද ‘කල්පනා ලෝකය’ හා ‘අබිනික්මන’ වැනි කෘති පිළිබඳ යථාර්ථය කුමක්ද? මනමේ අද සිංහල නාට්‍ය කලාවේ විශිෂ්ටතම නිර්මාණය වී තිබේ.

තතු මෙසේ හෙයින් සාහිත්‍ය විනිශ්චය යනු අතිශය දුරවබෝධ හා දුෂ්කර ව්‍යායාමයක් බව දැක්විය හැකිය. එහෙත් විචාරක බුද්ධිය, අත්දැකීම වල පරිණත බව, විශ්ව සාහිත්‍ය පිළිබඳ දැනුම, සම්ප්‍රදාය හා සංස්කෘතික වටිනාකම් හැඳිනීම වැනි කරුණු වලින් පොහොසත් විචාරකයකුට එබඳු ගැටලු මතු නොවන බව ද අපට කිව හැකිය. ප්‍රශ්නය තිබෙන්නේ සම්මාන උළෙලක් සඳහා නිසි වග විභාගයකින් තොරව විනිශ්චය මණ්ඩල තෝරා ගැනීම ය. සාමාන්‍යයෙන් පොත් නොකියවන, සාහිත්‍ය පරිශීලනය නොකරන අයෙක් තම සිවිල් බලය මත පදනම් ව එබඳු විනිශ්චය මණ්ඩලයක් නියෝජනය කිරීමට ඉදිරිපත්වීම ද වරදකි. විචාරකයා යනු අමුතු සතෙක් නොවුවද ඔහුට තම නිර්මාණ කේෂ්ත්‍රය පිළිබඳ ඇසූ පිරූ තැන්ද, නව දැනුම් සම්භාරයක් ද තිබිය යුතුය. පලපුරුද්ද හා පලපුරුද්ද නැති විචාරක විකට රූප බොහෝ සම්මාන උළෙල වල සුලබ ලක්ෂණයකි. එහෙත් සාහිත්‍ය කෘතියක පත්ලට කිමිද එහි සාරය, ගාම්භීරත්වය මතු කර දිය හැක්කේ ප්‍රබුද්ධ විචාරකයකුට පමණි. නවකතාවක් නම් එහි තේමාව, රචනා රීතිය, සන්දර්භය, මානව දෘෂ්ටිය ආදි සාධනීය ලක්ෂණ විග්‍රහ කරදීමට විචාරකයා සමත් විය යුතුය. ඒ විචාරකයා සංස්කෘතික විඥානයක් සහිත විවෘත හා නිරෝගී මනසකින් යුතු අයෙක් වුවමනා ය. එසේම ඔහු ගුරුකුලවාදී බැදීම් හෝ පක්ෂග්‍රාහී සබඳතාවන්ගෙන් ද දුරු වූ අයෙක් විය යුතුය. විශිෂ්ට සාහිත්‍ය නිර්මාණයක් යනු සමාජ දේශපාලන සංස්කෘතික වියමනක් මෙන්ම ජීවිතය පිළිබඳ බුද්ධිමය ආලෝක, සංඥාර්ථ ලබා දෙන විරල හා රසභාව පූර්ණ අත්දැකීමක් බව ද මේ අනුව අපට පෙනී යයි. රසිකයාට, පාඨකයාට, බුද්ධිමය හා වින්දනාත්මක ආශ්වාදයක් ලබා දෙන නිර්මාණ රස විඳීමට මඟ පෙන්වීම විචාරක වගකීම වේ. එසේම සම්මාන ලෙස ඔසවා තබන කෘතිවලටද පාඨක අවධානය යොමු නොවන බවද කිව යුතුය. එහෙත් කෘතියක් හඳුන්වා දීම, පොතක අගය පෙන්වා දීම විචාරක වගකීමකි. සාහිත්‍ය ලෙස අප විසින් හඳුන්වනු ලබන ලේඛන සමූහය නිසැකයෙන්ම මනුෂ්‍යා විසින් මනුෂ්‍යාගේම යහපත උදෙසා කරන ලද අසාමාන්‍ය පරිත්‍යාගයක් බව පොත් කියවන සමාජයකට පහදා දිය යුතු නැත. අද්විතීය නිර්මාණ ශක්තියකින් හෙබි ලේඛකයන් විසින් ලියන ලද පොත් භාෂා, සංස්කෘතික භේද සීමා ඉක්ම වූ පොදු මානව වර්ගයාගේම ජයග්‍රහණ බවටද පත්ව තිබේ.

Comments