රස නුසුන් නොකර ශ්‍රාවකයා අතට එන සිතක සතුට | Page 2 | සිළුමිණ

රස නුසුන් නොකර ශ්‍රාවකයා අතට එන සිතක සතුට

කර්තෘ : මහින්ද දිසානායක

මිල: රුපියල් දෙසීය පනහයි

අර්ථවත් ගේය පද මාලා සාහිත්‍යයකට සම්මාදම් විය හැකි, අගනා ගායක ගායිකාවන් කිහිපදෙනෙකුටම ගායන ක්ෂේත්‍රයෙහි දොරටු විවර කර දුන් උත්තම නිර්මාණකාරකයකු ලෙස මහින්ද දිසානායකයන් ව ‍නොබියව හඳුන්වාදිය හැකිය. කිසි විටෙක බාල ජනප්‍රියත්වය නොපැතූ මේ ආදීන රචකයාගේ සිව්වන ගේය පද මාලා එකතුව “සිතක සතුට” වෙයි. මෙහි ඇතුළත් බොහෝ නිර්මාණ ශ්‍රාවක සවනට හුරු නොවීමේ අඩුවට දොස් ලබන්නෝ මාධ්‍යකරුවෝ ම වෙති. සිය නිර්මාණ ජනප්‍රිය කිරීම උදෙසා විවිධ උපාය මාර්ග අනුගමනය කිරීමේ අවශ්‍යතාවක් ද මේ රචකයාට නොමැති බව ද අපි හොඳින් ම දනිමු. බාල බොළඳ ජනප්‍රියත්වය නිර්මාණයක සාර්ථකත්වයේ මිනුම් දණ්ඩ නොවන බවද අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

බෞද්ධ දර්ශනයෙන් ප්‍රභාව ලබා ගේය පදමාලා රචනයෙහි නිමග්නවීම මහින්ද දිසානායකයන්ටම අනන්‍යවූවක් දැයි සිතෙන තරමට මෙහි පැනෙන පදමාලා බුද්ධ දර්ශනය හා බැඳී පවතී.

“සිතක සතුට සැනසුම බිඳදා

සෝ ළතැවුල් ගෙන එන කැන්දා

ඇනුම් බණුම් ගැරහුම් නින්දා

නොලද අයෙකු සිටීද මන්දා

යනුවෙන් ඇරඹෙන ගීයෙහි මිනිස් වගට පමණක් නොව, සොබා දහමටත් තීන්දුව පොදු බව කියමින් අවසන් කර තිබේ.

“වැටෙන අව්ව වැස්සට නින්දා

ගහ වැල මහ පොළොවට නින්දා

මල්පල සම්පතටත් නින්දා

ඉතින් අපට විතරද නින්දා”

මහින්ද දිසානායකයන් කෙතරම් පුළුල් දෘෂ්ටියකින් නිර්මාණකරණයෙහි නිමග්න වේද යන්න මෙයින් ඕනෑ ම සහෘදයකුට පසක් කරගත හැකි බව අමුතුවෙන් කිව යුතු නොවේ. බුදු පසේ බුදු මහ රහතුන් ගේ පටන් සොබා දහමටත් උරුම තීන්දුව පිළිබඳ මෙහි මූලය ධම්මපදයෙන් උකහා ගත්තක් ලෙස රචකයාම සඳහන් කර තිබේ. වරක් දෙවරක් මේ නිර්මාණය සවන් යොමු වූ බව මගේ මතකයයි. මගේ පෞද්ගලික නිගමනය වන්නේ මෙහි තනුව, සංගීතය හා ගායනය මීට වඩා ප්‍රමාණවත් විය යුතු බවයි. මෙය නැවත වරක් සංගීත හා ගායනා අංශයෙන් සකසා ඉදිරිපත් කළහොත් එය උත්තම පදමාලාවකට, උත්තම සේවයක්ද කළා වන්නේය. අවසන එය උසස් ශ්‍රවකයාට කෙරෙන ගෞරවාදරයක් බව පවසන්නේ කිසිවෙකුට රිදවීමට නොවේ.

මේ ගේය පදමාලා සංග්‍රහයෙහි බුදු ගුණ ගී රැසකි. ඒ අතුරින් එච්.එම්. ජයවර්ධන තනුව හා සංගීතය නිර්මාණය කොට, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි ගායනා කර ඇති බුද්ධාභිවන්දනය රචකයා ගේ උත්පාදක ශක්තිය, බන්ධන චාතුය්‍ය හා රසාවේෂණ ශක්තිය ඉතා ඉහළින් පිළිබිඹු කරන්නකි.

“නොවිඳ සිහිලැල් සුවදැනේ

ගලා එන සදහම් දියේ

දියත පුහුදුන් ගොහොරුවේ ඔබ

සියපතකි සම්බුදු පියේ”

සදහම් දියේ, පුහුදුන් ගොහොරුවේ යන රූප කතාවක් බස කූටප්‍රාප්තිය ලබන්නේ අවසන් පාදයේදී බුදුන් නෙලුමකට රූපකාථාවක් කිරිමෙනි. එය කෙතරම් ඖජත්‍ය ගුණයෙන් යුතු ද? උත්පාදක ශක්ති‍යක් පෙන්නුම් කරන්නේද?

“එළිය නොපතා අනුන්ගේ

පහන දැල්වු තමන්ගේ

තිලොව එළි කළ දම්රදුණෙනි

ඉර හඳයි ඔබ වහන්සේ”

මෙහි පළමු හා දෙවන පදය මහින්දගේ උත්තරීතර කවි සම්පතෙහි මහිමය කියා පාන්නකි. වෙසෙස් කවිකමට හිමි කම් නොකියන කිසිවෙකුගෙන් කිසිසේත් මේ යෙදුම් අපෙක්ෂා කළ නොහැකිය. ඉර හඳ දෙක බුදු රඳුන් ය. ඉර හඳ දෙකම නැති වුවහොත් අපට කුමක් සිදුවේද? බුදු ද‍හමෙහි අනිත්‍යතාව මෙවන් කවිකමකින් මූර්තිමක් කිරීමේදී විනා සෘජු ප්‍රකාශයකින් රසයක් දැනේද?

මහින්දත් මේ ලියන අපත් අද දවසේ ජීවිතයේ සැඳෑ සමය ගත කරන්නෙමු. එහෙත් කලාව හද ගැබ පැළ පදියම්ව ඇති බැවින් අපගේ ඇතැම් ප්‍රේමනීය ස්මරණයන්ගෙන් සදහට ඈත් විය හැකිද?

“වෙන්වුණා වෙන්වුණාමයි

මේ කොදෙව්වේ වතාවක්වත්

යළිත් ඔබ මට දකින්නටවත්

නොලැබුණා පුදුමයි

ඒත් එය ඇත්තයි

කොතැන කවදා කොයි ලෙසින්

දෑස පියවෙන්නට කලින්

හීනෙකින් නොව හැබැයින්ම ඔබ

දකින්නට ආසයි

තවමත් ගායනා කර නොමැති “ස්මරණය” යනුවෙන් නාම ගන්වා ඇති මෙය මැදිවිය හෝ එය ඉක්මවා යන කී දෙනෙකුට පොදු වූ අත්දැකීමක් විය හැකි ද? මනා වූ තනුවක් නිර්මාණය කොට සංගීතය සපයා සුගානීය ලෙස ශ්‍රාවක සවනට ළඟා කළ හොත් මෙය උත්තරීතර පෙම් ගීයක් වනවා නොඅනුමානය. මෙය කිසිසේත්, විශේෂයෙන් පෞද්ගලික බස් රථවලදී බලහත්කාරයෙන් කනට ඇතුළු කරන ඕලාරික ආල අදෝනාවක් නොවේ.

“ආගන්තුක බව හිතට හරි දුකයි

සබඳකමක් නොතිබුණ ගානයි”

“එකට එක්ව එක පහනක් දල්වන

හැඟුම නිවී ගිය හැටි පුදුමයි”

“ඉඳ හිට තැනකදි ආ ගිය විටකදි

දුටුවත් සතුටට වැඩිය දුකයි”

මේ තවත් නොඇසූ එවන් පෙම් ගීයක අවස්ථා ත්‍රිත්වයකින් උපුටා ගත් පද සයකි. මෙය ගායනා කළහොත් භද්‍ර යෞවන වියේ පසුවන ශ්‍රාවක ශ්‍රාවිකාවන් ගේ රස පහස නිවාරණය කරන බව නිසැක ය.

මහින්ද දිසානායක නම් පරිණත ගේය පදමාලා රචකයා ජීවිතය දෙස කොතරම් පරිණත ලෙස බැලුම් හෙළන්නේද? තම නිර්මාණයට ළංවන සහෘදයා කෙතරම් ඥානනය කරන්නේ ද යන්න තහවුරු වන නිර්මාණයක් ලෙස “සෑහීම” හඳුන්වාදිය හැකිය.

“ලැබුණු දෙයින් සතුටු වීම

තමයි වටින්නේ

නොලැබුණු දේ ගැනහිත හිත

ඇයි ළතැවෙන්නේ

මැනිය නොහැකි මහ වතුරකි

මුහුදෙ තියෙන්නේ

ලබු කැටයේ තරමට නොවැ

වතුර පිරෙන්නේ

විසිරී පැතුරුණ වැල්ලෙන්

සාගර වෙරළේ

ගත්ත මිටේ වැලි කොච්චර

ටිකද රැඳෙන්නේ”

සැබවින්ම තවමත් ගායනා කර නැති මෙයද ශ්‍රාවකයා වෙත රැගෙන යා යුතුමය. “රජෙකු වුවත් ගිලන් වෙලා” නම් මොහුගේ උතුම් ගේය පදමාලාව මෙන් මෙයද සාවත්‍රික අගයෙන් යුක්ත වුවකි. එමෙන්ම මෙය ලියුවාට වඩා නිරායාසයෙන් ලියැවුණු පදමාලාවක් ලෙස අපි දකිමු. මහින්ද දිසානායක වැනි නිසඟ හැකියාවෙන් යුත් ගේය පදමාලාකරුවන්ගෙන් බුද්ධිමත් සහෘදයා අපේක්ෂා කරන්නේද මෙවන් නිර්මාණ බව කිව යුතුය.

ගේය පදමාලා සංග්‍රහ සාහිත්‍ය නිර්මාණ ගණයෙහිලා නොසැලකිය යුතුය යන සාවද්‍ය මතය කොතරම් බියකරු ද යන්නට ද මහින්ද ගේ මේ නොගැයූ පදමාලාවල කවීත්වය නිහඬ පිළිතුරක් සපයන බවද ලියා තැබීමට අපි අමතක නොකරමු.

ආචාර්ය රෝහණ වීරසිංහයන් තනුව හා සංගීතය නිර්මාණය කොට ආධුනික ගායිකාවන් තම හඬින් ශ්‍රාවකයා වෙත පිදූ තව එක් නිර්මාණයක් ඉදිරිපත් කළ යුතුමය.

“සෙවණ මල් පල දෙන ගසක්

වටී වියළී ගිය විටත්

ලොවට වැඩ නැති ඉසුරුමතෙකුට

වඩා නොවටීද දර කඩක්

අරණ සරසන දළ ඇතෙක්

මියැදුණත් දළ ගෙට ගෙනෙත්

රටට එළියක් නොදෙන අයෙකුට

වඩා නොවටිද ඇතු දතත්

ගලා යන සිහිලැල් ගඟක්

ළවැලි දෙයි සිඳිලා ගියත්

ළතෙත් මුදු ගුණ නොමැති අයෙකුට

වඩා නොවටිද ගං තෙරක්”

මෙය මහින්දගේ අනිත්‍යතාව මැනවින් පිළිබිඹු කරන්නකි. මෙයට උත්තම නිර්මාණයක් යයි පැවසීමට අපි කුමට පසුබට වෙමුද?

සියලු සාහිත්‍යාංගයන් වැනසෙන හා වනසන සමයකදී මහින්ද දිසානායක යන‍්ගේ “සිතක සතුට” පාඨක විචාරයක පැසසුමට ලක්විය යුතු අග්‍රගණ්‍ය ගේය පදමාලා සංග්‍රහයකි.

 

Comments