‘අපරාධය හා දඬුවම’ සියලු නූතන නවකතාවල ආරම්භයයි | Page 2 | සිළුමිණ

‘අපරාධය හා දඬුවම’ සියලු නූතන නවකතාවල ආරම්භයයි

සම්මානනීය නාට්‍යකරුවකු, කෙටිකතාකරුවකු, යොවුන් නවකතාකරුවකු වන රංජිත් ධර්මකීර්ති නවකතාතරණයෙහි මෙන් ම පරිවර්තන සාහිත්‍යයෙහි ද නියැළෙන ප්‍රවීණ ලෙඛකයෙකි. ඉංග්‍රීසි හා සිංහල යන දෙබසින් ම ග්‍රන්ථකරණයෙහි නියැළෙන ඔහු අතින් බිහිවී ඇති ශාස්ත්‍රීය කෘති ද රාශියකි. සඛිල ප්‍රකාශනයක් ලෙසින් බිහිවී ඇති ‘අපරාධය හා දඬුවම’ පරිවර්තන කෘතිය ඔහුගේ නවතම ප්‍රකාශනයයි. මෙහි සටහන් වනුයේ උක්ත කෘතිය සම්බන්ධ ව ඔහු සමඟ පැවැත්වූ සංවාදයෙහි සංක්ෂිප්ත සටහනයි.

නවකතාකරුවකු ලෙස ‘අපරාධය හා දඬුවම’ කෘතිය ඔබට දැනෙනුයේ කෙසේද?

මේ කෘතිය කරුණු කිහිපයක් නිසා මට තදින් ම දැනෙනවා. ඒ නිසා මේ පොත මම 5 – 6 වතාවක් කියවල තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දොස්තයෙව්ස්කිට මම කොතරම් ආදරය කරනවද කියල කිව්වොත් ඔහුගේ චරිතය පදනම් කරගනිමින් ‘මේඝ’ කියල නාට්‍යයකුත් මම නිෂ්පාදනය කළා.

මං හිතන විදියට දොස්තයෙව්ස්කිගෙ ‘අපරාධය හා දඬුවම’ තමයි සියලු ම නූතන නවකතාවල ආරම්භය සටහන් කරන්නෙ. මේක කියවෙන්නෙ 1866 වැනි ඉතා ඈත කාලවකවානුවකයි. ඒ යුගයෙ පවා දොස්තයෙව්ස්කි සෑම සාහිත්‍ය ශානරයක් පිළිබඳවම අත්හදා බැලීම් කරල තියෙනව කියල මේ කෘතිය සාක්ෂි දරනවා. ඒ නිසා තමයි ලෝකයෙ බිහිවෙන පළමුවැනි මනෝ විද්‍යාත්මක නවකතාව වශයෙන් මේ කෘතිය හඳුනා ගන්නෙ. ඒ විතරක් නෙමෙයි අද අපි කතා කරන පශ්චාත් නූතනවාදය ඇතුළු බොහෝ සාහිත්‍ය ප්‍රවණතා බිහිවීමට පාදක වෙලා තියෙන්නෙ ‘අපරාධය හා දඬුවමයි’. ඒ අතින් මේ නවකතාව ලෝ‍කයෙ මේ දක්වා බිහිවී ඇති සෑම කෘතියකට ම පූර්වාදර්ශයක් වෙලා තියෙනවා. ඇත්තටම මේ නවකතාව දොස්තයෙව්ස්කිගෙ ජීවිතයෙ ප්‍රතිනිර්මාණයකැයි කියන තරමට ඔහුගෙ ජීවිතය හා බැඳී තියෙනවා. ‍ඔහු ගත කරන ලද පාදඩ ජීවිතය මෙහි ප්‍රධාන චරිතය වන රැස්තොල්නිකොෆ්ගෙ චරිතය හා ඍජුව බැඳී පවතිනව. ඒ ‍අනුව ඔහුගෙ ජීවිතයෙන් උකහා ගත් සැබෑ අත්දැකීම් ඇසුරෙන් රචනා වන මේ නවකතාව චරිත ගොඩනැංවීමෙහිලා දක්වන ප්‍රතිභාව ඉතා උසස් ය.

වර්තමානයේ ඒ කෘතියට හිමි වන ස්ථානය කුමක්ද?

එය තවමත් අංක එකේ නවකතාවක් ලෙස මුළු ලෝකය ම පිළිගන්නවා. ඇමෙරිකාව, එංගලන්තය වැනි රටවල දොස්තයෙව්ස්කි අධ්‍යයන පීඨ පවා තියෙනවා. බොහෝ රටවල අපරාධ විද්‍යාව හදාරන හැම කෙනෙක් ම ‘අපරාධය හා දඬුවම’ කියවිය යුතුයි. රැස්තොලනිකොෆ් කියන මෙහි ප්‍රධාන කතා නායකයා කිසියම් හේතුවක් නිසා ඒ වගේ ම කිසියම් දර්ශනයක් නිසා සල්ලි පොලියට දෙන උඩුමහලක ජීවත්වන මහලු කාන්තාවක් මරා දමනවා. පඩිපෙළ දිගේ ඒ අවස්ථාවෙ ඉහළට එන ඒ මහලු කාන්තාවගෙ සහෝදරියවත් මරා දමනවා.‍ ඒ කියන්නෙ මිනී මැරුම් දෙකයි. මේ මිනී මැරුම් කෘතිය පුරාම විශ්ලේෂණයට භාජනය වෙනවා. ඒ නිසා තමයි අපරාධ විද්‍යාව හදාරන විදේශීය රටවල විද්‍යාර්ථින්ට මේ කෘතිය නිර්දේශ කෘතියක් හැටියට නියම වෙලා තියෙන්නෙ. ඒ කරුණම ඇති කෘතියට වර්තමානයේ හිමිවන ස්ථානය පිළිබඳ හඳුනාගන්න. එපමණක් නොවෙයි, අද පවා මෙය විවිධ භාෂා වලට පරිවර්තනය වෙනවා. ලෝකයෙ ඕනෑම තැනක සාහිත්‍ය හදාරණ කෙනෙක් ඉන්නව නම් ඔහු අතින් ‘අපරාධය හා දඬුවම’ මග හැරෙන්න විදියක් නැහැ. නමුත් අපේ රටේ ප්‍රශ්නයක් තියෙනවා.

ඒ මොකක්ද?

‘අපරාධය හා දඬුවම’ අපේ රටේ මුලින් ම පරිවර්තනය කළේ මුනිදාස සෙනරත් යාපා. අද වෙනකොට ඒ පරිවර්තනය හොයා ගන්න නැහැ. ඒ පරිවර්තනය මටවත් කියවන්න බැරිවුණා. ඊට පස්සෙ එය දැදිගම වී. රුද්‍රිගු විසින් පරිවර්තනය කළා. ඔහු ඒ පරිවර්තනය කළේ මුල් රුසියන් බසින්මයි. නමුත් ඒ කෘතියෙ ඉංග්‍රීසි පරිවර්තන කිහිපයක් ම මම කියවන කොට මට දැනුණු එක් දෙයක් තමයි දැදිගම වී. රුද්‍රිගු පරිවර්තනය හොඳ පරිවර්තනයක් වුණාට එහි සමහර අවස්ථා නියමිත පරිදි පරිවර්තනය වෙලා තියෙනවද කියන ගැටලුව. ඒ නිසා මම නැවත එය සම්පූර්ණයෙන් ම පරිවර්තනය කළා. ඒ නිසා මෙය ‘අපරාධය හා දඬුවම’ නවකතාවෙ සම්පූර්ණ පරිවර්තනයක් මිසක් සංක්ෂිප්ත පරිවර්තනයක් නෙමෙයි.

මේ සඳහා මට විශාල කාලයක් ශ්‍රමයක් දරන්න වුණා. නමුත් මම මේ කාර්ය ඉතා ආසාවෙන් ඉටු කළා. ඒකට කැප කළේ ස්වතන්ත්‍ර නවකතාවක් ලිවීමට මට තිබූ කාලය. හැමදාම එක දිගටම නවකතා ලියන්න බැහැනෙ. සමහරු නම් එහෙම කරනව. හැබැයි අත්දැකීමක් නැතිව මට නවකතාවක් ලියන්න බැහැ. එහෙම අත්දැකිමක් නැතිව ඉන්න කාලෙක තමයි මම මේ පරිවර්තනය සිදු කළේ. එය මට විශාල ආත්ම තෘප්තියක් ගෙන දෙන අභ්‍යාසයක් වුණා.

දොස්තයෙව්ස්කිගෙ රචනා ශෛලිය පරිවර්තකයකුට පහසුවෙන් අවශෝෂණය කරගත හැක්කක් නොවෙයි...

ඔබ ඉතාම නිවැරදියි. ඔහුගේ ලේඛන ශෛලිය හරියටම අල්ලාගන්න නම් මුල් රුසියන් බසින්ම කියවන්න ‍ඕන. නමුත් මම රුසියන් දන්නෙ නැහැ. මම යොදා ගන්නෙ ඉංග්‍රීසි කෘති. ඒ කෘති කියවන කොට තේරෙනව බස හැසිරවීමෙහිලා දොස්තොයෙව්ස්කි කොපමණ දස්කමක් දක්වල තියෙනවද කියල. දැළි පිහියකින් කැපෙන තරමට ඉතා සියුම් ව ඔහු බස භාවිත කරනවා. ඒ නිසා ඒක අවබෝධ කරගන්න හරි අමාරුයි. ඒ කෘතියෙ සමහර තැන්වල නීති භාෂාව තියෙනවා. මම මේ පරිවර්තනය කරන කොට සමහර වචන නිර්මාණය වෙලා තිබුණා. උදාහරණයක් වශයෙන් සෝදිසි මෙහෙයුමක් දියත් කරනවා. වින්දිතයා යන යෙදුම් අද තියෙනවා. නමුත් මුල් පරිවර්තන කරන කොට එවැනි යෙදුම් තිබුණෙ නැහැ. ඒ නිසා මම ඊයෙ පෙරේද පරිවර්තනය කරපු නිසා මට පොඩි සහනයක් ලැබුණ; සමහර යෙදුම් සම්බන්ධව.

ඒ වගේ ම තමයි දොස්තයෙව්ස්කිගෙ රචනා ශෛලියෙ කඩන්න බැරි විදියට වාක්‍ය දිගට ලියනවා. ඒක ඒ විදියට ම පරිවර්තනයටත් ගන්න ඕන. නැත්නම් ඒ අදහස නැතිවෙලා යනවා. ඒ වගේ ම රසය නැතිවෙලා යනවා. මේක ඉතාම දුෂ්කර කාර්යයක්. නමුත් ලේඛකයො වශයෙන් අපි ඒ දුෂ්කර කාර්යයන්ට අත ගහන්න ඕන. පරිවර්තන කාර්යයේදී සිරිල් සී. පෙරේරා ගෙ කාර්යභාරය ඉතා වැදගත්. ඒ වගේ ම පද්මහර්ෂ කුරණගෙ විසින් පරිවර්තනය කරල තියෙන රුසියානු පරිවර්තන ඉතා හොඳයි. ඒ අතර තමයි මම මේ පරිවර්තනය කරන්නෙ. දොස්තොයෙව්ස්කිගෙ බස හා ලේඛන ශෛලිය නිවැරදිව හඳුනාගන්න නම් ඔහුගෙ දර්ශනය, පසුබිම, දෘෂ්ටිය වැනි සෑම කරුණක් ම අවබෝධ කරගන්න ඕන. එහෙම නැතුව නිකම් වචනයෙන් වචනය හෝ අදහස හෝ වෙනත් බසකට පෙරළුවට වැඩක් වෙන්නෙ නැහැ. විශේෂයෙන් ඔහු ‘අපරාධය හා දඬුවම’ තුළ ඉදිරිපත් කරන දර්ශනය පිළිබඳ අප ගැඹුරින් සලකා බැලිය යුතුයි.

ඒ ගැන පැහැදිලි කළොත්...

මුදල් තිබිය යුත‍්තේ මුදල් අවශ්‍ය කෙනා ළඟයි යන්න ඔහු මේ කෘතියෙ මතු කරන ප්‍රධාන අදහසක්. එහෙම හිතල තමයි මෙහි ප්‍රධාන චරිතය වන රැස්තොල්නිකොෆ් මහලු ගැහැනියව ඝාතනය කරන්නෙ. නැපෝලියන් වගේ අය අපරාධ කරන්නෙ නැද්ද? ‍මිනී මැරුම් කරන්නෙ නැද්ද? නමුත් කවුරුත් ඔහුට මිනී මරුවෙක් කියල කියන්නෙ නැහැ.

ඔහු මිනිස්සු මරල බලයට ආපුවහම ඔහුව මල් මාලා දාල පිළිගන්නවා. ඔටුනු පලඳවල ඔහු විමුක්තිදායකයා ලෙස පිළිගන්නව. ඒ මොකද ඔහුට අපරාධ කරන්න බලපත්‍රයක් දීල තියෙනවා.

නමුත් දුප්පත්කම නිසා මහලු ගැහැනියක මැරුවම මිනීමරුවෙක් වෙනවා. රටේ නීති ක්‍රියාත්මක වෙලා හිරේ දානවා. එය ඉතා අසාධාරණයි. මේ මුදල්වලින් තව කිහිප දෙනෙකුට ‍උදව් කරන්න පුළුවන්. ඔවුනට පුළුවන් මේ රට ගොඩ නඟන්න. ඒ නිසා මුදල් අවශ්‍ය තැනට මුදල් ගලා යා යුතුයි. මෙවැනි දර්ශනයකින් තමයි රැස්තොල්කොෆ්ව මෙහෙයවන්නෙ.

සෝනියා සම්බන්ධව දොස්තොවුස්කි හෙළන බැල්ම ද ඉතා සුවිශේෂයි. සෝනියා කියන්නෙ ඉතාමත් සුචරිතවත් ගැහැනියක්. නමුත් දුප්පත්කම නිසා ඇය ගණිකාවක් බවට පත්වෙනවා. ඒ ආත්ම පරිත්‍යාගය කරන්නෙ බඩගින්නෙ ඉන්න තම පියාගෙ දෙවැනි විවාහයෙ දරුවන්ගෙ බඩගින්න වෙනුවෙන්. රැස්තොල්නිකොෆ් ඇයගේ උදාරත්වය පිළිබඳ පැහැදිලි ඇයව විවාහ කරගන්න හදනවා. ඒ අතර ඇයගේ දෙපා ළඟ වැඳ වැටිල කියනව මා මේ වැඳ වැටෙන්නෙ සෝනියා කියන ගණිකාවට නොව දුක් විඳින සමස්ත මනුෂ්‍යත්වය ඉදිරියෙ කියල. මෙවැනි පුළුල්වූ සමාජ දැක්මක් මේ චරිත හරහා නිරූපණය වෙනවා. මේ නවකතාව කියවන පාඨකයො නැවත නැවතත් මේ චරිත පිළිබඳව සිතනවා. ඒ චරිත සමඟ ජීවත්වෙනවා. විරුද්ධ වෙනව; තර්ක කරනවා. මේ පුළුල් දැක්ම මත බිහිවන දාර්ශනික පසුබිම ‘අපරාධය හා දඬුවම’ වැනි කෘතියක් පරිවර්තනය කරන පරිවර්තකයා සතු විය යුතුයි‍.

ඒ නිසා තමයි එය කාලය තරණය කරමින් අද පවා පිළිගැනීමකට ලක් වෙන්නෙ...

ඔව්. බුදු දහම දිහා බලන්න. එය මෙච්චර කල් පවතින්නෙ මොකද? එහි සදාතනික වටිනාකමක් තියෙන නිසානෙ. ඒ නිසා කාලය තරණය කරමින් එය අදත් හෙටත් පරපුරින් පරපුරට ගලාගෙන යනව. එහි ප්‍රබලත්වය හරි පුදුමයි. ඒ වගේ තමයි ‘අපරාධය හා දඬුවම’ කෘතිය. එය ද කාල, ජාති, වර්ණ වැනි හැම සීමා මායිමක්ම ඉක්මවල අනාගතයට ගලාගෙන යනවා. එය අපේ හදවතට ඉතා ප්‍රබල ලෙස දැනෙනව. අපේ ප්‍රඥාවේ මායිම් පුළුල් වෙනවා. එය ඉතා ඉහළ ප්‍රතිභා ශක්තියකින් යුත් කෘතියක්.

අපේ වර්තමාන නව කතාව තුළ දක්නට නොලැබෙන ලක්ෂණය ද එයයි. මාර්ටින් වික්‍රමසිංහ විසින් ගොඩ නැඟූ ප්‍රබල කතා කලාව අද වෙන කොට අයාලෙ ගිහිල්ල තියෙනව.

ඔහුගෙන් පස්සෙ ප්‍රබල චරිත නිරූපණයක් සහිත කතා හමුවෙන්නෙ කේ. ජයතිලක, ගුණදාස අමරසේකර, සයිමන් නවගත්තේගම වැනි කිහිප දෙනෙකුගේ කෘති තුළ පමණයි.

ඉන් පස්සෙ ප්‍රබල චරිත නිරූපණයක් සහිත කතා බොහොම ටිකයි හමුවෙන්නෙ. මෙයට ප්‍රධාන හේතුව ප්‍රතිභාහීනත්වයයි. විචාර කලාව තුළ වුණත් තත්ත්වය ඒකයි. සරච්චන්ද්‍රයන් පේරාදෙණිය හා බිහි කළ ඒ විචාර කලාව තුළ ලෝක සාහිත්‍යයෙ වටිනාකම පැහැදිලි ලෙස ඉස්මතු වුණා. අද වෙනකොට ඒ තත්ත්වයත් පෙනෙන්න නැහැ.

පරිවර්තන සාහිත්‍යය තුළත් පෙනෙන්නෙ ඔය ලක්ෂණ තමයි. සමහර පරිවර්තන මුල් කෘතියෙ අහලකින්වත් යන්නෙ නැහැ. එවැනි පසුබිමක තමයි මම ‘අපරාධය හා දඬුවම’ ඉංග්‍රීසි භාෂාවෙන් සිංහලයට පරිවර්තනය කළේ. එහි ගුණ දොස් දැකීම පාඨකයන්ට අයිති කාරණයක්.

සුලෝචන වික්‍රමසිංහ

Comments