රූපකාර්ථවත් බසකින් ලියැවුණු වර්ණගල | Page 2 | සිළුමිණ

රූපකාර්ථවත් බසකින් ලියැවුණු වර්ණගල

කර්තෘ : සුනන්ද එරංග පෙරේරා

“ස්වප්නමය රාත්‍රිය” “ධම්මික සාමණේර වත” කෙටිකතා සංග්‍රහ ද්වය පාඨකයා වෙත පිරිනැමූ සුනන්ද එරංග පෙරේරාගේ තෙවන නිර්මාණාත්මක කෘතිය “වර්ණගල” නම් වෙයි. මෙයද කෙටිකතා එකතුවකි. පුවත්පත්, සඟරා ආදියෙහි කොතරම් කෙටිකතා පළවුවත්, කියවා රස විඳිය හැකි නිර්මාණයක් හමුවන්නේ ඉතාම කලාතුරකිනි. ඒ සුදුර්ලභ කතාකරුවන් අතරින් කැපී පෙනෙන්නකු ලෙස සුනන්ද එරංග පෙරේරා හඳුන්වා දීමට කිසිසේත් අපි පසුබට නොවෙමු. වරද ඇත්තේ ඔහුගේ නිර්මාණ නිසි ඇගයීමකට පාත්‍ර නොවීම ය. අන්තගාමී කුහක විචාරකයන්ට අමතක වුවත්, සුනන්ද අද්‍යතනයේ අපට සිටින සැබෑ ප්‍රතිභාන්විත කෙටිකතාකරුවකු බව අවිවාදිත ය.

“වර්ණගල” කෙටිකතා සංග්‍රහයට ඇතුළත් පළමු නිර්මාණය වන “ගසක් හඬයි” පරිසරය පිළිබඳ ව නොතකන මුදල ම මුල් තැන්හි තබන සමාජයට පිරිනැමූ උත්තම දායාදයකි. එහි නිරූපිත දාවිත් හිත් පිත් නැති ලෙස පරිසරය විනාශ කර දමන්නෙකි. එහෙත් ඒ පරිසරයෙහි අගය නොදැන නොවේ. ඔහුට ගහ කොළ වනසා දැමීමේදි සහාය වන තරුණයා රජය පරිසරය ආරක්ෂා කිරීමට ගන්නා උත්සාහය ගැන හෙළි කරද්දී දාවිත්ගේ පිළිතුර වන්නේ මෙවැන්නකි.

“අර අහවල් දේකටද ඉබේ හැදෙන හත් ඉලව්වනේ”

පළමුව එසේ පැවසුවත් අනතුරුව තරුණයාගේ පැනයන්ට පිළිතුරු ‍සපයමින් දාවිත් මෙසේ පවසයි.

“කතා කරන්නෙ නැතුව විතරයි. එරත්නෙ පළාදෙණි කන්දෙ මං ගස් කපන කාලෙ... සමහර ගස් තුවාල කළාම ලේත් ගලනව.”

“මේ දිය පාර කන්ද පාමුලට ගලන්නෙනෑ” යනුවෙන් සහායකයාගේ මුවින් පිටවෙද්දීම දාවිත් පවසන්නේ

“ඉස්සර තිබුණ දැන් නෑ. කැලේ කපල වේලුං කාල”

මෙලෙස දැන දැන ගහකොළවලට හතුරකු වූ දාවිත් විශාල මිල්ල ගසක් කැපීමෙන් අනතුරුව ක්‍රියා කළ ආකාරය සුනන්ද මෙසේ විස්තර කර නිහඬ වෙයි.

“සැණින් ඉදිරියට පිනූ දාවිත් ගසේ කඳට කෙළ ගසා පයින් ඇන කොක් හඬලා සිනාසුණේය.”

“කෙළින් ඉන්නයි හිතා හිටියෙ දැන් ඉතින් ඉඳගන්නකො.”

මේ ක්‍රියාදාම ය. මේ වචන සමුච්චය ‍කොතරම් රුදුරුදැයි අමුතුවෙන් කිවයුතු නොවේ.

සුනන්දගේ වර්ණගල කෙටිකතා සංග්‍රහයෙහි ඇතුළත් “ප්‍රේමයේ රශ්මි රාත්‍රිය” මට ඔහුගේ බොහෝ කෙටිකතා සිහියට නැංවීය. ඔහුගේ පළමුවන කෙටිකතා සංග්‍රහයෙහි පැනෙන “අනන්ත ප්‍රේමය” දෙවැනි කතා සංග්‍රහයෙහි දී රස විඳී “කාංසියේ පෙම්බරිය” සමඟ “උණුසුම් සඳ දිය” ඒ අතර වෙයි. විදෙස් අත්දැකීම් මෙන් ම ශුංගාරය ඉතා සංයමයෙන් ඉදිරිපත් කිරීමට සුනන්ද පෙන්වන සමත්කම මෙහිදී කැපී පෙනේ. එපමණක් නොව කෙටිකතා නිර්මාණයට මේ ලේඛකයා දක්වන කුසලතාව ද මෙහිදී අපට පසක් කර ගත හැකි බවද සඳහන් කළ යුතුම කරුණකි.

සිංගප්පූරුවේ ඉදිකිරීම් කර්මාන්තශාලා වැඩ බිමක සේවයෙහි නිමග්න ශ්‍රී ලාංකික කම්කරුවෙක් තමා වෙත අනපේක්ෂිත ලෙස රාත්‍රී කාලයෙහි ළඟා වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවක වූ රශ්මි නැමති දහ අට හැවිරිදි යුවතියකට පිහිට වීම පිළිබඳ පුවතක් මීට පාදක වී තිබේ. මේ කම්කරුවා දැන උගත්කමකට හිමිකම් කී අයුරු මෙසේ විස්තර කර තිබේ.

“... කලා උපාධිධාරියකු වූ ගුරු වෘත්තියට ප්‍රවේශ වූ සැණින්, ඒ සියල්ල අතහැර දමා කිසියම් හදිස්සි සිතිවිල්ලක් නිසා මම සිංගප්පූරුවට ආවෙමි.”

උගත්කමට සරිලන මානව දයාවකින් සන්නද්ධව සිටි බැවින්, මේ කථකයාට රශ්මි නැමති දහ අට හැවිරිදි තරුණියට නිවැරදිව පිහිටවීමට ඉඩ හසර ලැබුණු ආකාරය කතාව පුරා විසිරී පවතී.

“ආගන්තුක හැඟීමෙන් තොර දහ අට හැවිරිදි රශ්මි සිටින ස්වරූපයේ ඇත්තේ සැහැල්ලුවකි. ඇය ගේ මුහුණ පැහැපත්ය කුඩා ය. ඇගේ දකුණු කම්මුලේ කළු ඉන්නෙකි... ඇගේ සිහින් කයට ඔරොත්තු නොදෙන තරම් වූ පියයුරු මඳක් නිරාවරණය වෙලා ය. පොරෝනාවෙන් එය වසා දමන්නට මට සිත් නොදේ. ඇය තිගැස්සී පිබිදුණහොත් වරදවා සිතන්නට පුළුවන” අප ආදරය කළ යුත්තේ මෙලෙසින් නොවේද? බිරිය නිවසෙහි නොමැති අවස්ථාවක මත්පැන් පානය කර කාම රාගය අවුළුවා ගත් පාපතර චීන ජාතිකයකුගෙන් මිදුණු මේ අහිංසකාවිය කථකයාගෙන් මෙවන් සෙනෙහසක් නොලැබුණේ නම් කොතරම් අකාරුණිකද? ඇය දරිද්‍රතාවෙන් මිදීම උදෙසා කුරුණෑගල ප්‍රදේශයේ සිට සිංගප්පූරුවට පැමිණි අසරණියකි. මෙහි ඇති සංයමය කතාකරුවා ගේ පරිචය මැනවින් හඬවන්නකි. කථකයා ශුද්ධවන්තයෙක් නොවේ. එහෙත් පාපතරයෙන් හෝ අවස්ථාවාදී කාමාතුරයෙක් ද නොවන්නේ ය. මෙය ඉසියුම් පෙම් කතාවක සුවඳ වහනය වන්නක් ලෙස හැඳින්වීමේ වරදක් ඇත්දැයි අපි නොදනිමු.

සිරීපාද අඩවියේ බලාගාරයක් ඉදි කිරීමත්, ඒ හේතුකොටගෙන පහළ වී ඇති පරිසර විපර්යාසයත් පාදක කොටගෙන “වර්ණගල” කෙටි කතාව නිර්මාණය වී තිබේ. මීට පෙරාතුවත් නිර්මාණකාරකයන් නිර්මාණකාරියන් අතින් මෙවන් අන්තර්ගතයන් රැගත් නිර්මාණ බිහිවී ඇතත්, කතුවරයා තමන් හැදුණු වැඩුණු පරිසරය පාදක කොටගෙන විරචිත මෙය ඉතා විචිත්‍රත්වයක් උසුලයි. ඩිංගිරි උන්නැහේ නම් ගැමියාත් ගැමි පරසරයත් සුනන්ද විවරණය කරන්නේ කෙටිකතාව කාව්‍ය නිර්මාණයකට සමීප කරවමිනි.

හැත්තෑ එකේ, අසූ නවයේ අනුවණ කැරලි පිළිබඳවත්, උතුරේ ම්ලේච්ඡ කොටි සංවිධානය පිළිබඳවත් තවත් ඕනෑ තරම් නිර්මාණ බිහි කළ හැකි බවද සුනන්ද එරංග පෙරේරා “වර්ණගල” කෙටිකතා සංග්‍රහයෙන් පෙන්වා දී ඇති තවත් කරුණකි. “විසිහත්පන සැකකරුවා”, “සොල්දාදුවා සහ අලුත් බිරිය”, “උණුසුම් කරදිය” ඊට පැහැදිලි නිදසුන් ය. මේ සියල්ල අතරින් අවසනට සඳහන් කළ කෙටිකතාව රචකයාගේ ප්‍රතිභාව මැනවින් මූර්තිමත් කරන්නකි. රාමසාමි, නීලමණී, ශිවා, යෝගා යන චරිත මේ කතාව පරිශීලනය කළ සහෘදයාගේ මනසින් කිසිදා ඉවත් නොවන බව අපගේ හැඟීමයි. “කොල්ලු පොට්ටනායි මගනෙ එන්නෙයියුම් කොල්ලම්” (මරපං බැල්ලිගෙ පුතාල මාවත් මරපං)

“තම මවගේත් සහෝදරයාගේත් මරණය බලා හිඳි ලොකු පුතා ශිවා, තමන්ගේ මරණය වළක්වා ආපසු යන අයුරු රාමසාමි බලා සිටියේය.”

ම්ලේච්ඡ ත්‍රස්තවාදියෙකු බවට පත් රාමසාමිගේ වැඩිමහල් දරුවා තම බිරියත් පොඩි පුතුත් විනාශ කළ අයුරු දුටු මොහු තම වැඩිමහල් පුතුට “පිස්සු” යයි පවසා නිහඬ වූයේ කළ හැකි අන් කිසිවක් නොවූ බැවිනි. පුරුෂයාට වඩා ස්ත්‍රිය අනාගත විපත් දැකීමේ ඉවකින් යුක්ත බව සිය නිර්මාණයන්ගෙන් පළමුව පැවසුවෝ එදිරිවීර සරච්චන්ද්‍රයෝම වෙති. සුනන්ද එරංග මේ කතාවේදී නිලමණී දරුවන් කැටුව මතුගමට යෑමට දැක්වූ කැමැත්තට එකඟ වූයේ නම් ඔවුන් වෙත ළඟාවූ මේ විනාශය නූපන් දරුවන්වීමට ඉඩ තිබුණු බවද හඟවා තිබේ.

සුනන්ද එරංග මේ කතා සංග්‍රහයේදී රූපකාර්ථවත් බසකට නැඹුරුවීමට දැක්වූ සමත්කමද අගය කළ යුත්තකි.

සුනන්ද එරංග පෙරේරාගේ “වර්ණගල” කෙටිකතා සංග්‍රහයෙහි දුබලතාවක් ලෙස අප දකින්නේ කතාවල මාතෘකා පිළිබඳ සැලකීම මඳවීම පමණකි. “අලුත් බිරිය” “සොල්දාදුවා සහ අලුත් බිරිය” ඊට නිදසුන් දෙකක් පමණකි. අවසාන වශයෙන් කිව යුත්තේ කෙටිකතාව නම් කලා මාධ්‍ය රසවිඳීමට ප්‍රිය සහෘදයන් අනිවාර්යයෙන් “වර්ණගල” කෙටිකතා සංග්‍රහය පරිශීලනය කළ යුතු බවයි.

 

Comments