ග්ලිට­රින් පෑන් භාවිත කර අඳින පළමු ආලේඛ්‍ය චිත්‍ර ප්‍රද­ර්ශ­නය මෙයයි | Page 2 | සිළුමිණ

ග්ලිට­රින් පෑන් භාවිත කර අඳින පළමු ආලේඛ්‍ය චිත්‍ර ප්‍රද­ර්ශ­නය මෙයයි

පිළිමතලාවේ, හැරමිටිගල ශ්‍රී ධීරානන්ද කණිෂ්ඨ විද්‍යාලයෙන් මුලකුරු කියැ වූ හෙතෙම දෙවන ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීය. පාසල් කාලයේදීම කුඩා කැමරාවක් නිර්මාණය කිරීමට දක්ෂ වූ හෙයින් ඔහු පාසල තුළ ඉතා ජනප්‍රිය විය. සිතුවම් ශිල්පය සිය ආත්මය කොට ගත් හෙතෙම ඉතා කුඩා ආලේක්‍ය සිතුවමට නැඟීමට සමත්කම් දක්වන්නෙකි. ඔහු නමින් කුසල සමරසිංහ ය. ඊයේ ( 27 වෙනිදා) දළදා වීදියේ පිහිටි රැජින හෝටල් පරිශ්‍රයේ දී "ප්‍රතිජීව" නමින් ඔහුගේ සිතුවම් දැක්මක් පැවැත්විණි.

 

මෙවැනි ප්‍රදර්ශනයක් පවත්වන්න ඕන කියල හිතුවේ ඇයි?

ලංකාවට ක්ෂුද්‍ර චිත්‍ර කලාව හඳුන්වල දුන්නේ මම. ඒත් කිසිම ආර්ථික ප්‍රතිලාභයක් ඒකෙන් මට ලැබී නැහැ. ඒකට විකල්පයක් විදියට මම ‘ප්‍රතිජිව’ නමින් ‘දිදුලන’ ආලේඛ්‍ය සිතුවම් ප්‍රදර්ශනය ඉදිරිපත් කරන්නේ. ඒවගේම ලංකාවේ මුල් වතාවටයි දිදුලන ආලේඛ්‍ය සිතුවම් දැක්මක් ඉදිරිපත් කරන්නේ. මෙහි විශේෂත්වය වන්නේ ග්ලිටරින් පෑන් භාවිත කර අඳින පළමු ආලේඛ්‍ය චිත්‍ර ප්‍රදර්ශනය වීමයි. මේ සිතුවම් අඩ අඳුරේද දිලිසෙනවා. මේ නිසා කිසියම් ප්‍රතිරූපයකට විසල් අගයක්, පෙනුමක් ආරෝපණය වෙනවා. මගේ ප්‍රධාන අභිප්‍රාය මින් ආර්ථික ප්‍රතිලාභයක් අත්කර ගැනීමයි. ඒ අනුව ඊට වටිනාකමක් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරනවා.

 

චිත්‍ර ශිල්පයට යොමුවෙන්න හිතුනේ ඇයි?

මගේ නිසඟ හැකියාව නිසා. මා ඉතා කුඩා අවධියේ සිට ඉතාම සියුම් දේවල් අඳින්න පුරුදු වෙලා හිටියා. ඒවා මා ළඟ තවම තියෙනවා. මේවා දකිද්දි මා අනාගතේ චිත්‍ර ශිල්පියකු වේවි කියල ගොඩක් දෙනා කිව්වා. නමුත් ඒකට මගේ මවුපියන් කැමති වුණේ නැහැ.

ඔවුන් කැමති වුණේ අනෙක් අම්මල තාත්තල හිතනව වගේම වෛද්‍යවරයෙක්, ඉන්ජිනේරුවෙක්, ලොයර් කෙනෙක් කරන්න. නමුත් මං එක එල්ලේම චිත්‍ර ශිල්පියෙක් වෙනවා කියන අධිෂ්ඨානයේ ම හිටියා. නමුත් මා මෙච්චර කාලයක් මේ වෘත්තියේ නියැළී සිටියත් මා කලාකරුවෙක් කියලා තාම විශ්වාස කරන්නේ නැහැ.

මා කලාවේ නිරත වන්නේ ඒ ආකාරයේ කිසියම් දැක්මක් සහිතවයි. නමුත් මා තවම කලාකරුවෙක් නෙමෙයි, ඉදිරියේදී කලාකරුවෙක් වෙන්න ඕන කියන හැඟීමයි මා තුළ තිබෙන්නේ.

 

දැක්මක් සහිතව කටයුතු කළත් ඔබ කලාකරුවෙක් නෙමෙයි කියල කියනවා. මට එය තේරුම් කරන් පුළුවන්ද?.

මට අනුව කලාව කියල කියන්නේ සෑම මනුෂ්‍යයකුට ම නිදහසේ හුෂ්ම ගැනීමට ඇති අහසක් සහ නිදහසේ පා තැබීය හැකි පොළවක් සදා ගැනීම වෙනුවෙන් කටයුතු කිරීමයි.

මා කලාකරුවා විදියට අර්ථ දක්වන්නේ; නිර්මාණාත්මක චින්තනය සහ ශිල්පීය හැකියාව යන පීලි දෙක මත බර දරා; ජනතාව සිටින තැනින් ඉහළට ඔසවාගෙන දුවන දුම්රියක් විදියටයි. ඒ අනුව ශිල්පීය හැකියාවයි, නිර්මාණාත්මක හැකියාවයි කියන දෙක මත තමයි කලාකරුවා කියන කෙනා බිහිවන්නේ. අද මා ලංකාවේ කුඩා ම චිත්‍රය ඇඳලා, ශිල්පීය දක්ෂතාව යම් පමණකට පෙන්නල තියෙනවා. නමුත් මේ ශිල්පීය හැකියාව තිබුණට මදි, මා නිර්මාණකරුවෙකුත් වෙන්න ඕන. ඒ අර්ථයෙන් මා කියන්නේ මා නිර්මාණ කාර්යයට ඉදිරියේදී යොමුවේවි, නමුත් මට හොඳ කලාකරුවෙක් වෙන්න බැහැ. මොකද මට ඒ තරම් දුර යන්න බැහැ.

 

නමුත් ඔබ අඳින්නේ කවුරු හරි ඇඳපු හෝ ඡායාරූප ගතකළ ඒවා. ඒවායෙන් ඔය කියන දේ කරන්න පුළුවන්ද?

ඒක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මා තමයි මේ ක්ෂුද්‍ර චිත්‍ර කලාවට ආලේඛ්‍ය කියන වචනය මුලින් ම යොදා ගත්තේ. දැන උගත් සංවේදී මිනිසා බිහි කිරීමට මේ ක්ෂුද්‍ර චිත්‍ර කලාවට පුළුවන්. ලෝකයේ මෙච්චර තාක්ෂණය දියුණුයි. නමුත් එහෙම දියුණු වුණාට සංවේදී මිනිහෙක් ඒ තාක්ෂණයට හදන්න බැහැ. ඒ සංවේදී කම කිසියම් මිම්මකින් මනින්න බැහැ. හැබැයි ක්ෂුද්‍ර චිත්‍ර කලාවෙන් ඒක මනින්න පුළුවන්. අනෙක් සියලු දේ අමතක කරලා මේ දිහා විනාඩි පහක් බලන් හිටියොත් අපිට පැත්තක ඉඳන් තීරණය කරන්න පුළුවන් මෙයා සංවේදී ද? නැද්ද? කියලා. ඒ නිසා මේක සංවේදී චිත්‍ර කලාවක්. මේක රටේ සංවර්ධයට යොදාගන්නත් පුළුවන්.

 

ඔබ පාසල් අවදියේදී කැමරාවක් නිර්මාණය කළ බව දැන ගන්න ලැබුණා. ඒ පැත්තෙන් ඉදිරියට නොගිහින් චිත්‍ර ශිල්පියකු වුණේ ඇයි?

චිත්‍ර ශිල්පියකු ලෙස රූපරාමු, විවිධ කෝණ, සමීපරූප දුර රූප ආදිය අධ්‍යයනය කරන්නයි මට ඕන කළේ. ඒ නිසා තාක්ෂණික පැත්තට මා යොමු වුණේ නැහැ. නමුත් සිතුවම් ඇඳීමට එ් අධ්‍යයනයෙන් වැටුණු පදනම තමයි අදත් චිත්‍ර ඇඳීමට මාව පොලඹවන්නේ. ඒ කැමරාවෙන් විවිධ රූප නාබිගත කරමින් බලන්න මං පුරුදු වෙලා සිටියා. සිනමාකරුවෙක් වගේ මා ඒ ඔස්සේ ලෝකය දකින්න පුරුදු වුණා.

මා මගේ ජීවිතයට ආස නිසා මුලින්ම මගේ පින්තූර මා ඒකෙන් ගත්තා. ඒ සෙල්ෆි එන්න සෑහෙන කාලෙකට කලින්.

Comments