අව­සන් ලිය­වි­ල්ලට අපි දෙදෙ­නාම එක­ඟයි | Page 2 | සිළුමිණ

අව­සන් ලිය­වි­ල්ලට අපි දෙදෙ­නාම එක­ඟයි

කෘතිය -බොලිවියාවේ චේ

ප්‍රකාශනය -ෆාස්ට් පබ්ලිකේෂන්

කර්තෘ - රොහාන් ඩිරෙක්ස් , තිස්ස ගුණතිලක

අර්නස්ටෝ චේ ගුවේරා ආජන්ටිනා ජාතිකයෙක්. නමුත් ඔබේ කෘතියෙ නම තියෙන්නෙ බොලිවියාවේ චේ කියා.

ඇත්ත චේ ඉපදෙන්නෙ ආජන්ටිනාවෙ. නමුත් කියුබානු විප්ලවයෙන් පස්සෙ කස්ත්‍රො ඔහුට කියුබාවෙ පුරවැසිකම ලබා දෙනවා. කස්ත්‍රොගෙ රජයෙ ඇමතිකමකුත් ලබාදෙනවා. නමුත් චේ ඒ හැම එකක්ම දාලා බොලිවියාවට යනවා බොලිවියානු විප්ලවයට නායකත්වය දෙන්න. එහෙම බැලුවාම චේ බොලිවියාවෙත් ලකුණක්. මේ කෘතියට පාදක වෙන්නෙ චේ එසේ බොලිවියාවට ගොස් අවසානයේ ඔහු මිය ගිය අන්දම. බොලිවියාවේ චේ නම පොතට යෙදිමට හේතුව ඒකයි. අනික චේ කියන්නෙ එක රටකට අයිති චරිතයක් නෙවෙයි. ඔහුට අවශ්‍ය වුණෙත් මුළු ලෝකයටම තමන්ගෙ දෙශපාලන දර්ශනය ව්‍යාප්ත කරන්න. ඒ නිසා මම හිතන්නෙ නෑ චේ ආජන්ටිනාවේ ඉපදුණාට බොලිවියාවේ චේ කියා යෙදීම වරදක් කියා.

චේ පිළිබඳ ලියැවුණු තවත් කෘති තිබෙනවා.

මේ කෘතිය ඒවා අතරින් වෙනස් එකක් වෙන්නෙ කොහොමද

ලංකාවෙ සිංහල බසින් චේ ගුවේරා පිළිබඳ රචිත තවත් බොහෝ කෘති තිබෙන බව ඇත්ත. මම හිතන්නෙ ඒවා සෑම එකක් ම පාහේ ලෝකයේ වෙනත් කවර හෝ භාෂාවකින් තමයි ඒ සිංහලයට පරිවර්තනය වී තිබෙන්නෙ. අනික ජනමාධ්‍යවේදින් වුණත් ඉතාම අතළොස්සක් තමයි බොලිවියාවේ සංචාරය කර මේ පිළිබඳ සොයා තිබෙන්නෙ. එසේ සොයා ගිය අය සිටියා වුණත් චේ ගුවේරා අවසන් කාලයේ ළඟින් සිටිය චාටෝ පෙරදෝ වගේ ගරිල්ලන් හමුවීමේ හැකියාවක් ඒ කිසි කෙනකුට තිබී නෑ. හේතුව දීර්ඝ කාලයක සිට චාටෝ පෙරදෝ නිවාස අඩස්සියෙ පසුවීම මත මාධ්‍යට අදහස් දැක්වන්න බොලිවියානු රජය ඉඩ ලබාදුන්නේ. නමුත් රොහාන් ඩිරෙක්ස් සමත් වෙනවා චාටෝ පෙරදෝ වගේම චේ ගේ අවසන් පෙම්වතියත් හමුවෙන්න. ඔවුන්ගෙ ඇසින් දුටු සාක්ෂි පදනම්ව තමයි බොලිවියාවේ චේ රචනා වෙන්නෙ. මේක පරිවර්තනයක් නෙවෙයි. සත්‍ය සිදුවීමට හානියක් නොකර නිර්මාණාත්මකව රචනා වීමක්.

ඔහු බොලිවියාවේ සංචාරය කරන්නේ පොත ලිවිමද අරඹයාම ද?

රොහාන් කියන්නෙ සාමාන්‍ය සංචාරකයකුට පහසුවෙන් ළඟා විය නොහැකි ලෝකයේ බොහෝ තැන්වල සංචාරය කළ ගවේෂණාත්මක සංචාරකයෙක්. රටවල් 87 ක් ඔහුගේ සංචාරක ගොන්නට අයත්. එහි දිගුවක් ලෙස තමා කියුබාවේ සහ බොලිවියාවේ සංචාරය කරනන්නෙ. ගැරි ප්‍රාඩෝ, චාටෝ පෙරදෝ හමුවීමේ සැලසුමක් ඔහුගේ තිබුණා. ඒ අවස්ථාවේදි මම ඔහුට යෝජනා කළේ ඒ පුද්ගලයන් හමුවිය හැකිනම් නිසැකවම හොඳ පොතක් කළ හැකි බව. ඒ නිසා මුල සිටම අපේ සැලැස්මක් තිබ්බා කියන එක නිවැරදියි.

මේ ග්‍රන්ථයේ කතුවරුන් දෙදෙනෙක් සිටිනවා. කොහොමද එය රචනා කළේ?

කෘතියෙ කියැවෙන කතාවට සම්පුර්ණ අමුද්‍රව්‍ය හොයාගන්නෙ රොහාන්ගෙ බොලිවියානු සහ කියුබානු සංචාරය මඟින්. ඇත්තට ම ඔහු එකතු කරගත් කරුණු එක්ක කතාව පිළිවෙළකට ගොඩනඟන්න අපි දෙදෙනා දිර්ඝ ලෙස කතා කළා. චේ ගෙ ප්‍රතිවාදින්ගෙනුත් අපි අදහස් එකතු කරගෙන තිබුණ නිසා අපිට සිදුවුණා දෙපැත්තෙම අදහස් අරගෙන කිරා මැන බලා සමහරක් අසත්‍යයි කියල හිතෙන සිදුවීම් අත්හැර දැමීමට. ඒ වගේම මට සිදුවුණා රොහාන් ගිය සංචාරය මගේ ඇසින් දකින්න. ඒක මගේ අත්දැකීමක් කරගන්න. ඊට පස්සෙ ඔහු ලබා දුන් කරුණුත් එක්ක තමයි මේක රචනා වුණේ. පස්සෙ අවසන් ලියවිල්ලට අපි දෙදෙනාම එකඟ වෙනවා.

කියුබානු විප්ලවයෙන් පසු චේ සහ කස්ත්‍රො අතර විරසකයක් ඇති වීම මත චේ බොලිවියා‍වට පිටත් කළ බව මතයක් පළ වෙනවා.?

චේ ගේ පුතා වන කැමිලෝ ගුවේරාගේ අදහස්වලට මේ පොතේ පරිච්ඡේදයක් වෙන් කර තිබෙනවා. මේ පිළිබඳ ඔහුගේ අදහස කියුබානු රජය ඔවුන්ව හොඳින් බලා ගත් බව කැමිලෝ ගුවේරා පවසා තිබෙනවා. ඔබ කීව චෝදනාව ඔහු ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් මේක හරියට අර මනමේ කුමරිය කඩුව කාටද දෙන්න හැදුවද වගේ විවාද සම්පන්න මාතෘකාවක්. මොකද කියුබාවවත් අවසන් මොහොතෙ චේ බේරා ගැනීමට රුසියාව මගින් හෝ බලපෑමක් කළ බව සඳහන් නෑ.

 

Comments